විප්ලවය අතරමැද නගරාධිපතිගේ දියණියට පෙම්බැන්ද කියුබාවේ ගිනිසිළුව - පිදෙල් කස්ත්‍රෝ (351)

post-title

ජීවිතේ සුන්දර වුණත් අසුන්දර වුණත් ජීවිතය තුළ දිගහැරෙන සමහර දේවල් හරිම පුදුමාකාරයි. ජීවිතේ සුන්දර වෙන්නත් අසුන්දර වෙන්නත් බලපාන්නේ අපි නොදැනුවත්වම අපට හමුවෙන අහම්බකාරක ප්‍රපංචයන්. ඒ තුළ විචලනයන් ඇති වීම හරිම සාමාන්‍යයි. වැටෙන පිනිබිදුවකට ගැස්සිලා ඇහැරෙන රෝස පොහොට්ටුව හරිම සුන්දරයි. ඒ පිනිබිදුවෙන් විකසිත වන රෝස මලෙහි සුගන්ධය දසත සුවදවත් කරන්නේ අපගේ ජීවිත වලට ද සියුම් ස්පර්ශයක් එක් කරමිනුයි. ඒත් රෝස කටු හරිම සැරයි. හරියට අපේ ජීවිත වගේ. ඒ ඇනෙන කටුත් එක්ක වැටෙන පිනිබිදු අපි හිතන තරම් සුවදායක නැහැ. අපිට හමුවෙන ප්‍රේමයත් විටෙක සුවදායකයි. විටෙක කටු ඇනෙන තරම් වේදනාකාරී. කෙසේ නමුත් අද මගේ කතාවේ ප්‍රේමවන්තයා මේ සියල්ල සමසිතින් දරාගත් ඒකාධිපති පාලකයෙක් වගේම දැඩි විප්ලවකාරී නායකයෙක්. ඒ කියුබාවේ හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝයි. පෙම්වතියන් කිහිප දෙනෙකුම ඇසුරු කරමින් තම ජිවිතයට නියම ප්‍රේමය පැමිණෙන තෙක් මගබලා සිටි මේ යොවුන් වියේ ආදරවන්තයාගේ ආදර කතාන්දරය මිහිරියාවෙන් පිරුණු කාව්‍ය සංග්‍රහයකට සමානයි. 

කියුබාවේ බිරාන් ප්‍රදේශයේ 1926 වර්ෂයේ අගෝස්තු 13 වැනිදා පිදෙල් කස්ත්‍රෝ මෙලොව එළිය දුටුවා. දරිද්‍රතාවයේ හිනිපෙත්තට ගමන් කරමින් තිබූ කැස්ත්‍රෝගේ ජීවිතය තුළ ඔහුගේ ශක්තිය වූයේ සිය දිළිදු පියායි. දුප්පත්කම පෙරටු කර ගනිමින් සිය ජීවන අරගලයට අවතීර්ණ වන කැස්ත්‍රෝගේ ළමා විය ගෙවුණේ පියාගේ සොදුරු වූ ගොවිපළ තුළයි. කඨෝර දිවියක සුවද කැස්ත්‍රෝ හදුනා ගත්තේ මෙම අවධියේදීයි. යාන්තම් 19 හැවිරිදි වියට පත් වූ පසුව ඔහුට 1945 දී හවානා නුවර පිහිටි හවානා විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. එදා හවානා සරසවිය මොහුගේ ජීවිතය තුළ පෙරළි කරමින් උඩුයටිකුරු කිරීමට සමත් වුණා. සරසවියේ නීති පීඨයට ඇතුළත් වූ මොහු නීතිය හදාරමින් සරසවි ශිෂ්‍ය සංගම් වලට නායකත්වය ලබා දුන්නේ එවකට තිබුණු දූෂිත පවුල් පාලනය පෙරළා දැමීමටයි. ඔහු සරසවි භූමිය තුළ දේශන පවත්වමින් ඇරඹූ අරගලය අවසන් වූයේ කියුබාවේ සුක්කානම සියතට ගනිමිනි. පිදෙල් කැස්ත්‍රෝට 1959 වර්ෂය වන විට එවක කියුබාවේ තිබූ පවුල් පාලනය පෙරළා දැමීමට හැකි වුණා. නමුත් පුද්ගලයාගේ සිතුවිලි ක්ෂණිකව වෙනස් වීමට ගත වන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයකි. මොහුටද බලය ලැබෙන විට බලය නොතිබූ අවධියේ තිබූ සිතුවිලි පරමාර්ථ සුළගට ගසා ගියාක් ලෙස සිතෙන් පහව ගියා. රෝගාතුරව මරණාසන්න වූ විට 2008 පෙබරවාරි 24 වැනිදා එවකට හමුදා ප්‍රධානී සහ උප ජනාධිපති තනතුර දැරූ තම සොහොයුරු රාවුල් කස්ත්‍රෝට රටේ පාලනය පැවරීමට කටයුතු කිරීම මෙයට කදිම සන්නිදර්ශනයක්. 

විප්ලවය, දේශපාලනය, ආදරය යන තුන් පැත්තට විහිදුණු ජීවිතය තුළින් කියුබානු සුරුට්ටුවේ සිට රුසියානු මිසයිලය දක්වා කස්ත්‍රෝ ගිය ගමන අතිශයින්ම විශ්මය දනවන සුලුයි. ශිෂ්‍ය සටන්, වාමාංශික දේශපාලනය, රුසියාවේ කොමියුනිස්ට් වාදය පිළිබද සංකල්ප වලින් ආඪ්‍ය වූ තම සිත තුළට ප්‍රේමයේ සුගන්ධවත් මුදු පහස ගලා ආවේ මේ හවානා සරසවි භූමිය තුළදීමයි. එදා කඩවසම් රූප සම්පත්තියකට හිමිකම් කියූ කස්ත්‍රෝ දෙස හවානා සරසවියේ දිව්‍යාංගනාවන් වන් සුරූපිනියන් බැල්ම හෙලුවේ ඔහුගේ සොදුරු පෙනුම තම සිතැගි අනුව විද දරා ගනිමිනුයි. කස්ත්‍රෝට ද මේ සුරූපිනියන් තමන් කෙරෙහි දක්වන ළබැදියාව නොදැනුනා නොවෙයි. ඔහු ඒ පිළිබදව යටි සිතෙන් සතුටු වන්නටත් ඇති.... නමුත් කස්ත්‍රෝගේ සිත නතර වුණේ බේන්ස් නුවර නගරාධිපතිවරයාගේ දියණිය ළගයි. දෙහදක අපිරිමිත බැදීමක අරුත් දෙන වචනය ආදරය, ප්‍රේමය, ළබැදියාව, ස්නේහයයි. තරුණ කස්ත්‍රෝගේ සිතද ප්‍රේමයෙන් උමතු කළ මේ අප්සරාවියත් හවානා සරසවියේම ඉගෙනගත් ශිෂ්‍යාවකි. ඇය නමින් මිරාටා ඩයස් බලාර්ට්... ඒ වන විටත් 17 වැනි වියේ පසු වූ මැය කෙරෙහි සදදිය දෝතක් වන් කුළුදුල් ආදරය තම හදවතින් විදාලන්නට කස්ත්‍රෝ සමත් වුණා. එදා හරිම සුන්දර දවසක්....එදින විශ්ව විද්‍යාල භුමිය ද පෙම්වතුන්ගේ සැරසුණේ මොවුන් දෙදෙනාගේ හදවත් වලටද මල්හීසර වදිමිනුයි. යෙහෙළියන් සමග ඇවිද එන මිරාටාව කස්ත්‍රෝගේ උකුසු දෑසට හසු වුණේ ඔහුවත් නොසිතූ පරිද්දෙනි. දෙදෙනාගේම ඇස් ගැටුණේ දෙදෙනාගේම හදවත් මොහොතකට නතර කරමිනුයි. ඇය දුටු මොහොතේ සිට කස්ත්‍රෝගේ හදවතේ සියුම් රිද්මයක් එක් කරමින් තාලයකට ප්‍රේමයේ තරංගයන් ඇතුලු හදවතට ගමන් කරන්නට වූවා. දුටු පළමු දිනයේම ඇයගේ සිනහවට, සොදුරු පෙනුමට වශීකෘත වූ මොහුට සිහිනෙන් පවා ඇයව දකින්නට 

වරම් හිමි වුණා. උදා වූ සෑම දිනයකම ඇයගේ දසුනින් මේ විප්ලවකාරී සටන්කාමියාගේ සිත ප්‍රේමයෙන් මුසපත් වුණා. මිරාටාගේ ආදරය හමුවේ මේ ප්‍රතාපවත් කස්ත්‍රෝ දමනය වෙමින් රස ගුලාවක ප්‍රේම කතාන්දරය එලෙස ආරම්භ කළා. 

කස්ත්‍රෝගේ අරගලයෙහි මුල් පෙළේ සිටි ශිෂ්‍යාවක් බව මිරාටාව එදා විශ්ව විද්‍යාල භූමියම සාක්ෂි දැරුවා. මේ සිසු අරගලය යොවුන් ආදරයකට හැරෙමින් තිබූ අවධියෙහි ඔහුගේ සටන්කාමීත්වය ඇය බෙහෙවින් අගය කළා. ඔහුගේ විප්ලවීය අදහස් මතවාදයන් වලට ලුණු ඇඹුල් එකතු කරන්නට මිරාටා ද උත්සාහ කළා. ඔහු පැවසුවේ පාලකයන් විශ්ව විද්‍යාල සිසුන් තම හතුරන් ලෙස සලකන බවත් පාලන බලය ලබා ගැනීම සිසුන්ගේ අරගලයන්හි අරමුණ බවයි. කාලයාගේ ඇවෑමෙන් සිසු අරගල වලදී පෙරමුණගත් මොවුන් දෙදෙනා විප්ලවීය අරගලය සමග තම ප්‍රේමයේ අරගලය ද තම හිත් වලට මෝරා යෑමට ඉඩ ලබා දුන්නා. හවානා සරසවි බිම තුළදී කස්ත්‍රෝ- මිරාටා දෙදෙනාගේ ආදරය ලියලා ගිය ආකාරය සරසවියට නම් රහසක් වුණේ නැහැ. සරසවිය තුළ සුරූපී තරුණ ශිෂ්‍යාවන් රැසක් මේ තරුණ විප්ලවවාදියාගේ හිත දිනා ගැනීමට වෙහෙසෙන ආකාරය මිරාටා ඊර්ෂියාවෙන් යුතුව බලා සිටියා. මෙවන් සමයක ගැහැණු හිතකට තම අනාගත ස්වාමියාව තමන්ගේ කර ගන්නට හීන දකිමින් දෑස් දල්වා බලා සිටින විට මෙවන් සිදුවීම් නිසා හිත් සසල වීම ස්වාභාවිකයි. මිරාටාටත් එසේ වන්නට ඇති...... ඒ තරම් ගැහැණු හිත් ප්‍රේමනීයයි. ළද බොළදයි....මට සිලුටුයි.....හවානා සරසවිය අසල පිහිටි මනස්කාන්ත මුහුදු වෙරළ මේ තරුණ පෙම්වතුන් යුවළගේ ප්‍රේම පාරාදීසය බවට පත් වුණා. තරුණ දෙහදක දලු ලා වැඩෙන ප්‍රේමයට කාගෙන්නම් බාධාවක් ද? ඔවුන් තෙපලූ වදන් වල ආදරණීය හැගුම් මහා සාගරය කෙතරම් නම් අසා ගෙන සිටින්නට ඇත්ද? කෙතරම් නම් විද දරා ගන්නට ඇත්ද? ඒ සිනිදු සුදු මුදු තලාවේ කැස්ත්‍රෝ මිරාටාගේ සියුමැලි දෙකොපුල් අතොරක් නැතිව සිප ගනිද්දී වෙරළට ඇදෙන රළ විළියෙන් කැළඹෙද්දී එය දරාගත නොහැකිව ඒ රළම නැවත ක්ෂණිකවම ආපසු ඒ උණුසුම සමගින් සාගරය මැදට ගමන් කරන්නට ඇති......

වසර තුනකට පසු එනම් 1948 වර්ෂයේ දී සරසවි අධ්‍යාපනය අවසන් කර දෙදෙනාම සරසවියට ආයුබෝවන් කීවේ උපාධිධාරීන් වශයෙනුයි. නමුත් දෙදෙනාගේ ප්‍රේමය එලෙස අවසන් වූයේ නැත. කැස්ත්‍රෝ නීතිඥවරයෙකු ලෙස සමාජය වෙත පෙනී සිටි අතර තමන්ගේ මුල්ම ආදරවන්තිය තමන්ගේ කර ගැනීමට කාලය උදා වූ බව කැස්ත්‍රෝගේ හදවත පැවසුවා. ඒ අනුව 1948 ඔක්තෝබර් 11 වැනිදා කැස්ත්‍රෝ තම මුල්ම පෙම්වතිය ජිවන සහකාරිය බවට පත් කර ගත්තා. යුග දිවියට එළඹුණු මොවුන් දෙදෙනා මධු සමය ගත කිරීමට ගියේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයටයි. මිරාටා සමග ෆ්ලොරීඩා මුහුදු වෙරළට පියමං කරමින් සිටි කැස්ත්‍රෝ විප්ලවවාදී සිතුම් පැතුම් අමතක කොට මිරාටාගේ මුව මඩළ සිප ගනිමින් එදින ප්‍රේමයේ මුදු පහසේ උණුසුමට දෙදෙනාම ගුලි වන්නට වුණා. 1949 සැප්තැම්බර් 01 වැනි දින මොවුන් දෙදෙනාගේ පිරිසිදු ප්‍රේමයේ සංකේතය ලොවට දායාද කළා. ඒ මොවුන් දෙදෙනාට දාව බිහි කළ ප්‍රථම පිරිමි දරුවා වූ පිදෙල් ඇන්ජල් කැස්ත්‍රෝ කැදැල්ලට එක් වෙමිනි. නමුත් දෙදෙනාගේ විවාහය පැවතියේ අවුරුදු 7ක් වැනි කෙටි කාලයක් පමණයි. මොවුන් දෙදෙනාගේ විවාහ දිවියට කණ කොකා හඩන්නට පටන් ගත්තේ මෙතැන් සිටයි. ඉන් මොවුන්ට එක්ව ජිවත් වන්නට ලැබුණේ වසර තුනක කාලයක් පමණයි. 1953 වසරේ දී එවකට කියුබාව පාලනය කළ බැටිස්ටාට එරෙහිව කස්ත්‍රෝ ප්‍රමුඛ විප්ලවවාදී කල්ලිය එල්ල කළ අසාර්ථක ප්‍රහරය කෙළවර වූයේ කස්ත්‍රෝව සිරභාරයට ගැනිමෙන් අනතුරුවයි. තම පුත්‍රයා සමග තනි වූ මිරාටා 1955 වර්ෂයේ දී කස්ත්‍රෝගෙන් දික්කසාද වීමට ඉල්ලා සිටියා. ඒ වන විටත් ඔහු සිටියේ සිරභාරයේයි.

රිදී තිරයක ජවනිකා මෙන් කැස්ත්‍රෝගේ ජිවිතය මෙලෙස දිගහැරීමත් සමග පාලක බැටිස්ටාට එරෙහි ප්‍රහාරය අසාර්ථක වීමත් , සිය ප්‍රථම ප්‍රේමය සහ ඒ ප්‍රේමයෙන් ලද දායාදය තමන්ව තනි කොට යාමෙන් අසරණ තත්ත්වයකට පත් වන්නට සිදු වුණා. ප්‍රේමයේ මිහිර කෙසේනම් අමතක කරන්නද? සියල්ල අමතක කිරීමේ බලාපොරොත්තුවෙන් කියුබාවේ සිට මැක්සිකෝවට පළා ගොස් නව අනාගත සැලසුම් සමගින් නව දිවියක් ඇරඹීමට කස්ත්‍රෝ තීරණය කළා. ඒ අනුව කස්ත්‍රෝ මෙක්සිකෝව බලා ජීවන යාත්‍රාව ආරම්භ කිරීමට යද්දී මිරාටා තම පුත්‍රයා සමග ස්පාඤ්ඤය බලා පිටත්ව ගියා. ඇය එහිදී වෛද්‍යවරයෙකු සමග නැවත විවාහ වූවා

පිදෙල් කැස්ත්‍රෝ චේ ගුවේරාගේ සහාය ඇතිව බැටිස්ටාට එරෙහිව එල්ල කළ දෙවැනි ගරිල්ලා ප්‍රහාරයෙන් සාර්ථක ජයක් ලබා ගැනීමට සමත් වූවා. 1959 බැටිස්ටාගේ ඒකාධිපති පාලනය සුනු විසුණු කොට කියුබාවේ සුක්කානම කැස්ත්‍රෝ අතට ගත්තා. එතැන් පටන් ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතර 1962 දී තම රටේ න්‍යෂ්ටික අවි ස්ථාපනය කිරීමට සෝවියට් දේශයට ඉඩ දීම තුළින් කස්ත්‍රෝ ඇමෙරිකාවේ හතුරෙකු බවට පත් වුණා. හියුගෝ චාවේස් ප්‍රමුඛ පාලකයන් ඇමෙරිකාවට එරෙහිව බලවේගය හැසිරවීමට දායක කර ගැනීමට ඔහු මුලු දිවියම කැප කළා.

මේ යන යාත්‍රාවේ ඔහුට සිය දෙවැනි ආදරවන්තියව මුණ ගැසෙනවා. ඒ ඩාලියා සෝටෝය. මොවුන් දෙදෙනා අතර වයස් පරතරය වසර 15 කට වැඩියි. මිරාටාගේ වෙන් වීමත් සමග පෑරුණු හිත සුවපත් කිරීමට ඩාලියාගේ ආදරණීය සෙනෙහස කැස්ත්‍රෝට දිව්‍යමය ඖෂධයක් වූවා. කැස්ත්‍රෝගේ ඇස් තෙත් කළ මතක මැදින් දිව ගිය වියැලුණු හිතට සෞම්‍ය පදාසයක් එක් කිරීමට ඩාලියා සෑම විටම සෙවණැල්ලක් වුණා. ටි්‍රනිඩෑඩි රාජ්‍යයේ උපන් ඇයව ප්‍රථම වරට ඔහුට මුණ ගැසුණේ 1961 වර්ෂයේයි. ඇය කියුබාවේ උක් වගා කරන ගොවීන්ගේ සංවිධානයේ මුල් තැන හිමි කරගෙන කටයුතු කරන අවස්ථාවේ එරට පාලකයා ලෙස තමන්ගේ සිත සොරාගත් සුරූපිනිය මැයම බව කස්ත්‍රෝ සිතුවා. ඇයගේ බැල්මට වහ වැටුණු පසු දෙදෙනා විවාහ නොවී එක වහලක් යට අඹු සැමියන් ලෙස රහස් ජීවිතයක් ගත කළා. මෙලෙස වසර 18 ක් තිස්සේ එකට ජීවත් වීමෙන් පසුව 1980 වර්ෂයේ දී විවාහ බන්ධනයෙන් බැදෙන්නට වුණා. ඔහු ඩාලියා සමග විවාහ වුවත් ඇය කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික හෝ උත්සවයකට සහභාගී කර ගත්තේ නැහැ. 

2011 වර්ෂයේ දී පිදෙල් කැස්ත්‍රෝ බලවත් ලෙස අසනීප වී මරණාසන්නව ගත කරන බව අසන්නට ලැබුණු මිරාටාට ඔහුව නොදැක සිටීමට නොහැකි වුණා. ඇයට ද ඇගේ ප්‍රථම ප්‍රේමයේ වේදනාව එහි දී දැනෙන්නට ඇති. ඒ නිසාම 87 හැවිරිදි මිරාටා ස්පාඤ්ඤයේ සිට කියුබාවට පැමිණ කාලය තවත් ප්‍රමාද නොකොට කැස්ත්‍රෝව බැලීමට රෝහලට ගියා. කස්ත්‍රෝ ගිලන් ඇදෙහි සිටින ආකාරය දුටු මිරාටා තම හදවතෙහි ඇතුලු ගැබින් පැන නැගුණු දරා ගත නොහැකි වේදනාව සියුම් ඉකියකින් පිට කරනු ලැබුවා. කදුළු රැදි දෑසින් තමා දෙස බලා සිටින මිරාටාව දුටු කැස්ත්‍රෝට ද තම දෙනෙතෙහි රැදි කදුළු පිටතට එන්නට නොදී වළක්වා ගැනීමට නොහැකි වුණා. වාන් දැමුවා සේ කදුළු දෙදෙනාගේම දෑසින් කඩා වැටෙන්නට වූයේ දෙදෙනාට දෙදෙනා දැකීමෙන් තත්පරයකටත් වඩා අඩු කාලයකිනි. එහිදී අතීතයේ මතක සැමරුම් මොවුන් දෙදෙනාගේම සිත් තුළ යළි කරණම් ගසන්නට ඇත. බොහෝ වේලා සංලාපයේ යෙදෙමින් සිටි මිරාටා ඔහුට දීර්ඝායුෂ පැතීම හදකම්පා කරන සිද්ධියක් වූ බව එදා ලෝක මාධ්‍ය වාර්තා කළා.

ප්‍රේමය තුළ හමුවීම්, වෙන්වීම්, නැවත හමුවීම් කෙතරම් නම් සිදුවනවාද? රටක් රාජ්‍යයක් තම අතේ ඇගිලි අතරට ගුලි කරගත් දැවැන්ත චරිත වලටද එසේ වීම තවදුරටත් ප්‍රේමය තුළ ඇති මිහිර සහ වේදනාව මොනවට පසක් කරන්නකි.

Top