තුර්කියේ නොබෙල් දිනූ සාහිත්‍යවේදියා - පමුක් ට සුබ 70 වෙනි උපන්දිනයක්. (766)

post-title

අද පමුක්ගෙ උපන්දිනේ. මට මතක් වෙන්නේ පමුක්ගේ නොබෙල් දේශනය. ඔහු ඒක නම් කරන්නේ මගේ තාත්තගේ සූට්කේස් එක කියලා. ඒකෙදි ඔහු කියනවා මෙන්න මෙහෙම.

"මගේ තාත්තා මැරෙන්න අවුරුදු දෙකකට විතර කලින් මට සූට්කේස් එකක් දුන්නා. ඒක පිරිලා තිබ්බේ එයා ලියපු අත්පිටපත් සහ සටහන් පොත්. තාත්ත සාමාන්‍යයෙන් හැමදේම විහිළුවට අරන් කියන විදියටම කිව්වා එයා ගියාට පස්සේ මේ ටික මට කියවන්න කියලා. එයා කිව්වේ එයා මැරුණට පස්සේ කියන අදහසින්.

“නිකන් බලන්න, ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා.” එයා කිව්වේ ටිකක් ලැජ්ජාවෙන් වගේ. “බාගවෙලාවට මම මැරුණට පස්සේ ඔයාට පුළුවන් ටිකක් තෝරලා පබ්ලිෂ් කරන්න.”

අපි හිටියෙ මගේ අධ්‍යන කාමරේ. තාත්තා සූට්කේස් එක තියන්න කාමරේ තැනක් හොයමින් එහාට මෙහාට ගියේ වේදනාත්මක බරක් තමන්ගෙන් නිදහස් කරන්න හදන මනුස්සයෙක් වගේ. පස්සේ එයා තැනක් බලලා සූට්කේස් එක එතන තිබ්බා. ඊට පස්සේ අපි ආපහු සාමාන්‍ය දේවල්, තුර්කියේ සදාතනික දේශපාලන ගැටළු ආදිය කතා කරමින් කාලය ගතකළා. තාත්තා නැතිවුනාට පස්සේ, මට මතකයි දවස් ගාණක් මම සූට්කේස් එක පහුකරන් එහාටයි මෙහාටයි ගියා ඒක අල්ලන්නෙවත් නැති ව. මේ සූට්කේස් එක, ඒකේ අගුල, රවුම් කොන් මේ හැමදේම මට හොඳට පුරුදුයි. මගේ තාත්තා එයාගෙ කෙටි ගමන්වලට වගේම වැදගත් ලියවිලි අරන් යන්න මේක පාවිච්චි කළා. තාත්තා දුර ගමනක් ගිහින් ආවම මේ සූට්කේස් එක අවුස්සලා ඒවා අස්සෙන් එන වෙන වෙන රටවල කොලෝන් සුවඳ විඳිනවා මට මතකයි. සූට්කේස් එක හුරුපුරුදු යාලුවෙක්. මගේ ළමා විය, අතීතය මතක් කරන බලවන්ත වස්තුවක්. ඒත් දැන් මට ඒක අල්ලන්වත් බැහැ. ඇයි? සැකයක් නෑ ඒ ඒක ඇතුලෙ තියෙන දේවල් ගැන මගේ හිතේ තියෙන අද්භූත බර නිසා.

මම දැන් කතාකරන්න යන්නේ අන්න ඒ බර කියන දේ අර්ථය ගැන. ඒක තමයි කෙනෙක් කාමරයක් අස්සට වැදිලා, කාමරේ මුල්ලක තියෙන මේසෙක වාඩිවෙලා තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කරන එක - ඒක තමයි සාහිත්‍යයේ අර්ථය.”

මේ විදියට විස්තර කරගෙන එන පමුක් මේ සූට්කේස් එක අරින්න එයාට තියෙන බය ගැන විස්තර කරනවා.

“ ඇත්තටම මගේ තාත්තගේ සූට්කේස් එකෙන් මාව ඈත් කරලා තිබ්බ පළවෙනි කාරණය තමයි ඒක ඇතුළෙ තිබිලා මම කියවන දේට මම අකමැති වෙන්න පුළුවන් වීම. මගේ තාත්තා මේක දැනගෙන හිටිය හින්දා, එයා කලින්ම සූදානම් වෙලා, ඒක ඇතුළෙ තියෙන දේවල් ගැන එච්චර බරපතළ විදියට හිතන්නේ නැති බව එයා පෙන්නුවේ. අවුරුදු 25ක් ලේඛකයෙක් විදියට කටයුතු කරපු මට මේක දැක්කම ලොකු වේදනාවක් ඇති වුණා. සාහිත්‍යය බරපතළ විදියට නොගත්තු එක ගැන මට මගේ තාත්තත් එක්ක තරහ වෙන්න ඕන වුනේ නැහැ ... මගේ සැබෑ බිය, වැදගත්ම දේ නම්, මගේ තාත්තා හොඳ ලේඛකයෙක් විය හැකි බව දැනගන්න හෝ සොයාගන්න මට අවශ්‍ය නොවීම. මෙන්න මේ බය නිසා මට තාත්තාගේ සූට්කේස් එක දිගහරින්න බය හිතුනා. ඊටත් නරක දේ නම්, මට මේක එළිපිට පිළිගන්න බැරි වුනා. මගේ තාත්තගේ සූට්කේස් එකෙන් විශිෂ්ඨ සාහිත්‍යවේදියෙක් මතු වුනා නම් මගේ තාත්තාගේ ඇතුළෙ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් හිටපු බව මට පිළිගන්න වෙනවා. ඒක බිය උපදවන අවස්ථාවක්. මගේ වැඩිහිටි වියේදී පවා මට ඕන වුනේ මගේ තාත්තා මගේ තාත්තා වීම මිසක් ලේඛකයෙක් වීම නෙමෙයි.”

මේ විදියට ගලා යන පමුක්ගේ නොබෙල් දේශනය පුරාම පියා සහ පුතු අතර තිබූ සම්බන්ධතාවය සහ ලේඛකයෙක් විදියට ඔහු සංවර්ධනය වීමට තාත්තා බලපාපු ආකාරය වගේම, සාහිත්‍ය කියන්නේ මොනවගේ දෙයක්ද කියන කාරණා ගණනාවක් කියනවා. ලේඛකයෙක් වෙන්න හිතන, දැනටත් ලියමින් ඉන්න හැමෝම කියවන්න වටින නොබෙල් දේශනයක් තමයි පමුක්ගේ මේ දේශනය. පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන් සම්පූර්ණ දේශනය. ඔහු ඒ දේශනයේ එක තැනක මෙහෙම කියනවා. අතීත ලේඛකයන්ට නොතිබුන ඒත් වර්තමාන ලේඛකයන්ට තියෙන අභියෝගයක්. විශේෂයෙන් තොල්ස්තෝයි, දොස්තයෙව්ස්කි, චෙකොෆ් වගේ අය ලියද්දි රූපවාහිනිය වගේම ගුවන් විදුලිය බලපෑමක් නොතිබීම සහ අද ඒවයේ බලපෑම නිසා සාහිත්‍යයේ දිශානතිය ගැන ඔහු මෙහෙම කියනවා.

“සාහිත්‍යයට කවදාවත් කියන්න බැරි තරම් සරලව සහ වේගයෙන් පත්තර, රූපවාහිනී ගුවන් විදුලිය මූලික ගැටලු අද වෙනකොට ඉදිරිපත් කරනවා. සාහිත්‍යයට අද කියන්න සහ විමර්ශනය කරන්න වෙලා තියෙන්නේ මනුෂ්‍යත්වයේ මූලික භීතියන් ගැන. පිටමං කිරීමේ බිය, කිසිවක් නැති වීමේ බිය, ඒ වගේ භීතින් එක්ක ඇතිවෙන වටිනාකමක් නැතිවීමේ බිය, සාමූහික අවමානයන්, දුර්වලතා, දුක් ගැනවිලි, සංවාද, සිතින් මවාගත් අපහාස, ජාතිකවාදී පුරසාරම් සහ උද්ධමනය වගේ දේවල්වල ඉදිරි ස්වරූපයන්.”

ලංකාව දිහා බැලුවම අද මේ සියල්ල අපිට පේනවා. හැබැයි ඒවා ග්‍රහණය කරගන්න ලේඛකයන් හිඟකම වගේම, එහෙම කළත් ඒවා මුද්‍රණය කරගන්න කර්මාන්තයක් නැතිවීම කියන අනතුර එක්ක ලංකාවේ සාහිත්‍යය කොයි අතකට යනවාද කියන එක ගැන අපි බරපතළ විදියට හිතන්න ඕන. හැබැයි එහෙම එකක් පේන්න නැහැ. කොහොම වුණත් ඔර්හාන් පමුක්ට සුබ උපන්දිනයක්. ඔහුගෙ රත් වරලැති ලිය, මම රක්ත වර්ණ නම් වෙමි සහ මසිත් හසර එක්තරා නුහුරුවක ඔබට කියවන්න පුළුවන් විදර්ශන ප්‍රකාශන විදියට.

Top