කේම්බ්‍රිජ් සරසවියේ දී රජීව්ට හමුවුණු ඉතාලි පෙම (515)

post-title

අස්ථිරසාර ලෝකයේ ස්ථිරසාර දේ මෙයැයි කීමට කිසිවක් ඉතිරි නොවන බව සත්‍යයි. නමුත් ප්‍රේමය, ආදරය යන වචනාර්ථයන් සැබෑ ලෙසම මෙලොව සදාකල්ම ස්ථිර දෙයක් බවට ද පසක් කළ චරිතයන් අපට හමුවෙයි. එවැනි ප්‍රේමයන් සදා අමරණීය ලෙස ලෝකයාගේ හදවත්වල තැන්පත් කිරීමට එම චරිතවලට හැකිව තිබේ. අද මා ලියන්නට යන්නේ එවන් ලෝක බලවතෙක්ගේ ප්‍රේම වෘතාන්තය පිළිබදවයි. ඒ රජීව් රත්න ගාන්ධිය.

අවුරුදු 40 දී ඉන්දියාවේ අගමැති පදවියට පත් ලාබාලතම පුද්ගලයා වූයේ ඔහුයි. 1944 අගෝස්තු 20 වැනිදා උපන් රජීව් ගාන්ධි වයස අවුරුදු 20 සම්පූර්ණ වීමත් සමග බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවිය බලා ඉන්දියාවෙන් නික්මුණේ තම උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණෙනි. එදා නවදිල්ලියේ සිට ලන්ඩනය බලා ගිය ගමන තුළ ඔහුගේ දෛවය ලියැවී තිබුණේ හරි අපූරුවටය. ඉංජිනේරු ශිෂ්‍යයෙකු වශයෙන් කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනගත් රජීව්ගේ අනාගත අපේක්ෂාව වූයේ ගුවන් නියමුවෙකු බවට පත් වීමයි. ඒ වන විටත් රජීව්ගේ මව වූ ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි ඉන්දියාවේ ප්‍රවෘත්ති හා ගුවන්විදුලි ඇමති ධූරය දරමින් දේශපාලනයෙහි නිරත විය. ඇයට අවශ්‍ය වූයේ රජීව් හොදින් අධ්‍යාපනය ලබා ඔහුගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉඩහසර ලබා දීමටයි.

1965 වසරේ දී එක්තරා සොදුරු දිනයක් උදා විය. තම දිවියේ ප්‍රථම පෙරළිය එදින සිදුවනවායැයි රජීව් හාන්කවිසියක්වත් නොදැන සිටියේය. කේම්බ්‍රිජ් ග්‍රීක ආපනශාලාව කේම්බ්‍රිජ් සරසවියේ පෙම්වතුන්ගේ රගමඩල බවට පත්ව තිබුණි. රජීව් ද දේශන අවසන්ව හෙමින් සීරුවට ආපනශාලාව වෙත ඇදුණේ තම කුසගින්න නිවා ගැනීම සදහාය. හදකට හදක් යා වෙමින් ඈතින් දුටු යුවතිය කෙරෙහි රජීව්ගේ සිත ඇදී ගියේය. ඇයගේ රූ සපුවත්, දගකාර පෙනුමත්, අවිහිංසක සිනහවත් ඔහුගේ සිත සොරා ගැනීමට කදිම උත්තේජනයන් විය. රජීව්ගේ කුසගින්න කෙසේ වෙතත් හදවත පිරී ගියේ ප්‍රේමයේ හීසරය මේ යුවතියට ද එල්ල කරමිනි. ආපනශාලාවේ දී අහම්බෙන් හමුවුණු අවුරුදු 19ක් වයසැති නව යොවුන් තරුණිය නමින්, එඩ්විග් ඇන්ටෝනියා ඇල්බිනා මයිනෝ වූවාය. ඇයගේ පියා වූයේ ඉතාලියේ නිවාස ඉදි කිරීම් කටයුතු වල නිරතව සිටි මේසන් බාස්වරයෙකු වූ ස්ටෙෆනෝ මයිනෝය. 1964 වර්ෂයේ දී පියාගේ දැඩි කැපවීම මත ඇල්බිනාව කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් කෙරුණේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සදහාය. රජීව් ඉන්දියාවේ සිට කේම්බ්‍රිජ් දක්වා ළගා වීමත්, ඇල්බිනා ඉතාලියේ සිට කේම්බ්‍රිජ් දක්වා පැමිණීමත් එකම කාලවකවානුවේදීම සිදුවීමද පුදුම දනවන සුලුය. රජීව් තමාට හමුවන විට රජීව් ඉන්දියාවේ බලවත් දේශපාලන පවුලක සාමාජිකයෙකු බවත්, ඔහුගේ සීයා ඉන්දියාවේ ප්‍රථම අගමැති බවත් ඇල්බිනා නොදැන සිටියාය. එමෙන්ම රජීව්ගේ මව ඉන්දීය දේශපාලනයෙහි ප්‍රබල පුරුකක් බවද නොදැන සිටියාය.

ඇල්බිනා සිය අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය මුදල් උපයා ගත්තේ කේම්බ්‍රිජ් සරසවි ආපනශාලාවේ වේටර්වරියක වශයෙන් සේවය කිරීමෙනි. නිතර නිතර ආපනශාලාවේ දී මුණ ගැසෙන රජීව් සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට ඇල්බිනාද පුරුද්දක් කර ගත්තාය. මොවුන් දෙදෙනාගේ ආදරය ලියලා වැඩුණේ දෙදෙනාටම හොරාය. කේම්බ්‍රිජ් සරසවි භූමිය තුළ ප්‍රේමයේ උණුසුම දෙදෙනාම වැළද ගනිමින් නව යෞවනයේ ප්‍රථම ප්‍රේමය නැමැති සනාතන බැදීමට අගෞරවයක් කිරීමට දෙදෙනාගෙන් එක් අයෙකුවත් පෙළඹුණේ නැත. හිරු නොබසින අධිරාජ්‍යයේ දී තමාට හමුවුණු මෙම ඉතාලි පෙම රැක ගැනීමට රජීව් සෑම විටම උත්සාහ කළේය. එක් වසරක සරසවියෙහි නිවාඩු සමයෙහි රජීව් ඉන්දියාවට නොගොස් කේම්බි්‍රඡ්හි රැදී සිටිමින් නිවාඩු කාලයේ දී ද බාහිර පන්ති වලට සහභාගී වන බව පවසමින් සිය මවට බොරු කීවේ මේ ඉතාලි යුවතිය සමග කාලය ගත කිරීමේ අරමුණෙනි. 

කාලයාගේ ඇවෑමෙන් ඇල්බිනා රජීව්ගේ පවුල් පසුබිම දැනගත් වහාම කණස්සල්ලට පත් වුණේ කිසිදාක තම පෙම්වතාගේ අත ගැනීමට තමන් සුදුසු තැනැත්තියක් නොවන බව හැගුණු නිසාය. මේ නිසාම ඇල්බිනාගේ හදවත වේදනාවෙන් ඇළලී යද්දී 1966 වර්ෂයේදී ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ අගමැති පදවියට පත් විය. ඉන්දියාවේ කාන්තාවක් අගමැති පදවියට පත් වූ ප්‍රථම අවස්ථාව ද එය වූ හෙයින් සියලු දෙනාගේම අවධානය ඒ වෙතට යොමු විය. ඇල්බිනා ද ඇය දෙස බලා සිටියවුන් අතර එක් අයෙක් වූවාය. තම පෙම්වතාගේ මව ඉන්දියාවේ අගමැති පදවියට පත් වීම

තම ප්‍රේමය උඩු යටිකුරු කිරීමට හේතු විය හැකි බව ඇල්බිනා තනිවම සිතුවාය. 1967 වර්ෂයේ දී රජීව් කේම්බ්‍රිජ් සරසවියට ආයුබෝවන් කියා ඉන්දියාව බලා ගමන් ඇරඹුවේ සරසවිය තුළ ආදරණීය මතකයන්, සිහිවටනයන් ද සමගිනි. ඒ අතර ඇල්බිනාගේ ආදරණීය මතකයද ඉන්දියාවට ගෙනයන්නට ඔහු අමතක කළේ නැත. මේ අතරම ඊට මාස කිහිපයකට පසු ඇල්බිනා ද රජීව්ගේ මතකයන් සමග තම උපන් රට වූ ඉතාලිය බලා පිටත් වුයේ කෙදිනක හෝ රජීව්ව යළිත් හමුවීමේ අධිෂ්ඨානය ඇතිවය. දෙදෙනා දෙතැනක සිටි නමුත් හදවත් එකට හැඩූ වාර අපමණය. ඉන්දියාවේ ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කළ රජීව් තම මවගේ දේශපාලනික කටයුතු වලට මුලදී සම්බන්ධ නොවීය. රජීව් ටිකෙන් ටික තම ප්‍රේමය මවට හෙළි කිරීමට කටයුතු කළේ මේ අතරය. නමුත් මුලදී ඉන්දිරා ගාන්ධි තම බලවත් විරෝධය මැදින් අකමැත්ත පළ කළත් පසු කලෙක මෙම සබදතාවයට ආශිර්වාද එක් කළාය. එය ඔහු තම ජීවිතයේ ලබාගත් ලොකුම ජයග්‍රහණය බව පසු කලෙක රජීව් මාධ්‍යයට හෙළි කළේය.

1968 වර්ෂයේ දී හින්දු ආගමික චාරිත්‍ර වලට අනුව මේ ඉතාලි ජාතික එඩ්වින් ඇන්ටෝනියා ඇල්බිනෝ මයිනෝ , සෝනියා ගාන්ධි ලෙස රජීව්ගේ ප්‍රථම ප්‍රේමයේ සදාකාලික හිමිකාරිය හා පතිනිය වූවාය.

Top