වැලන්ටයින් ප්‍රේමයේ පුනරුච්චාරණය

post-title

ක්‍රිස්තු වර්ෂයෙන් දෙසිය හැත්තෑවෙහි එක් පැහැබර සන්ධ්‍යාවක දී රෝමයේ සිර මැදිරියක් තුළ මරණ දණ්ඩනයට නියම වූ සිරකරුවෙක් ඉතා ප්‍රසන්න ලීලාවකින් පැහැපත් හැඟීමකින් යුතුව සිර මැදිරියේ කුඩා වා කවුලුවෙන් එපිට බලා සිටියා. මේ සන්ධ්‍යාවේ දී ඔහුගේ මතකය අතීතයේ විවිධ ඉසව් කරා දිව ගියා විය යුතුයි. ඇතැම් විට ඒ කල්පනා මාත්‍රයන්ගේ ගැබ් වූයේ දෙවන ක්ලෝඩියස්ගේ නියෝගය නොතකා තමා විසින් එක් කරන ලද අනන්ත අපරිමාණ ප්‍රේමවන්තයින් පිළිබඳ පැහැපත් සිතුවිලි විය හැකියි. නො එසේ නම්, තවත් සති කිහිපයකින් තමා හා මුණිවර පිළිසඳරක යෙදෙන්නට සූදානම් වන දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තු විය හැකියි.  සිරකරුවාගේ දැහැන බිඳුණේ ජේලර්වරයාගේ බරැති පාවහන් යුගලය රළු ගල් පොළවෙහි ගැටීමෙන් හට ගත් මෘදු ශබ්දයත් සමඟය. 

“ඉතාම රළු පෘෂ්ඨයන් දෙකක් එකිනෙකාට ඝට්ටනය වුණාම වඩාත්ම මෘදු ශබ්දයක් වුණත් නිපදවෙන්න පුලුවනි ජේලර්. හැබැයි මේ විලෝමය උපදින්නෙ හදවතින් හදවතට අරමුණු කරන පණිවිඩයේ ස්වරූපය අනුව.” 

            සිරකරුවාගේ ඥානය මේ වන විටත් මනාව වටහා ගෙන සිටි ජේලර්වරයා සිනාසුණා පමණය. ඔහු මෙහි පැමිණ සිටියේ සිරකරුවාගේ බුද්ධියත් කරුණාබරිත හෘදයයත් හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රාණ සම වූ ආයාචනයක් ඉදිරිපත් කිරීමට ය. ජේලර්වරයා සිරකරුවා සතු දිව්‍යමය ඖෂධ සහ ආධ්‍යාත්මික සුව කිරීමේ හැකියාව දැන සිටියේ ය. එහෙයින්ම ඒ පැහැබර සන්ධ්‍යාවේ දී ජේලර්වරයා මේ උගත් සාමකාමී සිරකරුවාට ඒ ඉල්ලීම ඉදිරිපත් කළේ ය. 

අගක් මුලක් නැතුව පටන් ගත්ත මේ කතාවේ මැදින් පොඩි සටහනක් තියන්න ඔබ මට අවසර දෙන්න ඕනි.  මේ ඓතිහාසික කතා පුවත සිදු වෙන්නෙ ක්‍රි.ව 270 රෝමයේ දෙවන ක්ලෝඩියස් රජු රාජ්‍යය කරන කාලයේ. සිරකරුවාගේ නම වැලන්ටීනස්. ක්ලෝඩියස් රජු තමන්ගෙ යුද්ධ සේනාවේ ඒකමිතිකත්වය වෙනුවෙන් නීතියක් පනවනවා. ඒ තමයි යුද්ධය වෙනුවෙන් සහභාගිවන සියලුම දෙනාට “විවාහ වීම තහනම්” බව. ආගම සම්බන්ධයෙනුත් ඔහු තහනම් පැනවීම් සිදු කරනවා. මේ කිසිවකට ඇහුම්කන් නොදෙන වැලන්ටීනස් දිගින් දිගටම තම දෙවියන් වහන්සේ කෙ‍රෙහි විශ්වාසය තබා ගනිමින් ජීවත් වෙනවා. තම ආගම අනුව ප්‍රේමය සහ විවාහය උත්තරීතර වූවක් හෙයින් ඔහු රහසින් මනුෂ්‍යයන් සෑහෙන ප්‍රමාණයක් විවාහ කරවනවා. රාජ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ඔහුට මරණ දඩුවම නියම වෙනවා. මේ ජේලර්වරයා ඔහුට හමු වෙන්නෙ එතැනදි. සිරකරුට මරණ දඩුවම ලබා දෙන්න ඉතිරිව තිබුණේ තවත් සති කිහිපයක් පමණයි. ජේලර්වරයා තම සාමකාමී උගත් සිරකරුවාගෙන් කළ ඉල්ලීම තමයි - තමන්ගෙ අන්ධ දියණිය ඔහුගේ දිව්‍යමය ඖෂධවලින් සුවපත් කරන ලෙසත් සුවපත් කිරීම අතරේ ඇයට දැනුම සහ ප්‍රඥාව ලබා දෙන ලෙසත්.!

ඇය ජුලියා නම් වූවා ය. උපතින්ම අන්ධ වූවා ය. වැලන්ටීනස් නම් වූ සොඳුරු සිරකරුවා තම අවසන් සති කිහිපෙය්දී ඇයට ඉගැන්වීම භාර ගත්තේ ය. ඔහු රෝමයේ ඉතිහාසය ඇයට ශබ්ද නගා කියවූවේ ය. සොබාව ධර්මයාගේ ප්‍රතිපත්ති සහ සෞන්දර්යයන් විස්තර කළේ ය. අංක ගණිතය සහ දෙවියන්ගේ ප්‍රේමය ඉගැන්වූයේ ය. ඇයට ඖෂධ සත්කාර කළේ ය. ඈ ඔහුගේ දෙනෙතින් ලෝකය හැදින ගත්තා ය. ඔහුගේ ඥානය විශ්වාස කළා ය. ඔහුගේ නිහඩ ශක්තිය තුළ සුව පහසුව සොයා ගත්තා ය. 

වැලන්ටීනස්, ඇත්තටම දෙවියන්ට අපේ යාඥා ඇහෙනව ද?” වරක් ජුලියා විමසා සිටියා ය. 

“ඔවු මගේ දරුවා. ඔහුට සියල්ල ඇසෙනවා”

“ඔබ දන්නව ද මම සෑම උදෑසනකම සහ රාත්‍රියකම යාඥා කරන්නේ කුමක් සඳහා ද කියා.? ඔබ කියා දුන් සියල්ල මට මගේ ම දෙනෙතින් බලන්න උවමනයි” 

දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සුදුසුම දේ ඉටු කරනවා. ඔහු කෙරෙහිම විශ්වාසය තබන්න” 

මම විශ්වාස කරනවා ! මම විශ්වාස කරනවා !!” ඇය මිමිණුවා ය. ඔවුහු නිහඩව යාඥාවේ යෙදුණ හ. 

වැලන්ටීනස්ගේ අවසන් දිනය උදා වන තෙක්ම ගැහැණු දරුවාගේ පෙනීම සුව වන ලකුණු නොපෙනුනේ ය. නමුත් ජේලර්වරයාත් දියණියත් විශ්වාසය දුරු කර නොගෙන සිනහ මුසු මුහුණින් වැලන්ටීනස් හමු වූවෝ ය. ඔහුගේ අවසන් ගමනට සුබ පැතුවෝ ය.

සිය මරණ දිනෙය්දී වැලන්ටීනස් ජුලියා ට අවසන් ලියමන ලියුවේ ය. දෙවියන් විශ්වාස කරමින් ඔහු සමීපයේ ම ජීවත් වන මෙන් එයින් ඉල්ලා සිටි අතර ලියමන අවසන් කර තිබුණේ “ඔබගේ වැලන්ටයින්” යන ආමන්ත්‍රණයෙන් ය. ක්‍රි.ව 270 පෙබරවාරි 14 දින වැලන්ටීනස් මරා දමනු ලැබී ය. 

වැලන්ටීනස්ගේ මරණයෙන් පසු ලියමන කියවා බලන මොහොතේ ජුලියාට ආශ්චර්යයක් සිදු විය. ජීවිතයේ ප්‍රථම වතාවට ඇයට ආලෝකය දකින්නට හැකියාව ලැබුණි. ඇයගේ පෙනීම ඇයට හිමි විය.! 

ප්‍රේමවන්තයන්ගේ දිනය වෙනුවෙන් කාඩ් සැමරුම් හුවමාරු වෙන හෙට දවසට හොද පෙරවදනක් වැලන්ටයින් සාන්තුවරයා එයාගෙ ජීවිත කාලය තුළ ලබා දීලා තියෙනවා. වැලන්ටයින්ලාගේ ප්‍රේමය සිල්ලරට හුවමාරු වෙන ගනුදෙනුවක් නම් නෙවෙයි. “ප්‍රේමය” කියන අකුරු තුනවත් මේ ප්‍රේමය ඇතුළෙ පුනරුච්චාරනය වෙන්නෙ නැති වෙන්න පුලුවන්. ප්‍රේමය ගැන එකම සාර්ථක සම්පූර්ණ නිර්වචනය මට හමුවුණේ බයිබලයෙන්. හෙට දවසෙ දහස් ගණනක් හුවමාරු වෙන ප්‍රේම ත්‍යාගවල සහ කාඩ්වල බයිබලේ ඇතුළත් මේ අදහස් ප්‍රින්ට් කරන්න පුලුවන් නම් අපිට පුලුවන් වෙයි හුදෙක් ගනුදෙනුවක් බවට පත් වෙමින් පවතින ප්‍රේමයට ආගම් භේදයකින් තොරව ම නැවත ප්‍රාණය ලබා දෙන්න. 

Top