අතීත ඉන්දුනීසියාවේ පාලනය නොයෙකුත් රාජවංශ යටතේ ක්‍රියාත්මක විය. ඒ අතරින් මධ්‍ය ජාවාව කේන්ද්‍ර කොටගත් ශෛලේන්ද්‍ර රාජවංශය ප්‍රමුඛත්වයෙහි ලා සැලකිය හැකිය. ක්‍රිස්තු වර්ෂ හත්වන සියවස අවට කාලයේ දී තම දේශපාලන බලය ස්ථාපිත කරගන්නා ශෛලේන්ද්‍රවරුන්ගේ කාර්යභාරය පිරික්සීමේදී සංස්කෘතික අංශයට දැක්වූ දායකත්වය බෙහෙවින් කැපී පෙනෙයි. විශේෂයෙන් ම ශෛලේන්ද්‍රවරුන් යටතේ මධ්‍ය ජාවාහි සිදු වූ ආගමික ප්‍රබෝධය එකල ඉන්දුනීසියානු සංස්කෘතියේ සෑම අංශයක් ම වෙනස්කම්වලට ලක් කිරීමට හේතු විය. මහායාන බුදු දහම ප්‍රධාන කොටගත් රාජ්‍යයක් වූ ඉන්දුනීසියාව තුළ බුදු දහමට පමණක් නොව ඉන්දියානු ආභාෂය සහිතව පැමිණි හින්දු ආගමට ද ශෛලේන්ද්‍රවරුන් යටතේ අනුග්‍රහය හිමිවිය.
ශෛලේන්ද්‍රවරුන් යටතේ බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම සමඟ බෞද්ධාගමේ සුවිශේෂී වර්ධනයක් දැකගත හැකි විය. ඒ අතරින් විශේෂයෙන්ම වැදගත් වූයේ ඉන්දුනීසියාව පුරා බෞද්ධ සිද්ධස්ථාන ඉදිවීමයි. ඒ අතරින් ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වශයෙන් හැඳින්වෙන "බොරෝ බුදූර්" ස්තූපයට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි. එය එදා සිට අද දක්වාම බෞද්ධ ජනයාගේ නොමද ගෞරවාදරයට පාත්‍රවන සුවිශේෂී ආගමික සිද්ධස්ථානයකි.
බෝරෝ බුදූර් සිද්ධස්ථානයෙහි ඉදිවීම ක්‍රිස්තු වර්ෂ 835 දී පමණ සිදුවන්නට ඇතැයි අනුමාන කෙරේ. එය නිර්මාණය කිරීම සඳහා මුළුමනින්ම භාවිතයට ගෙන ඇතැයි සැලකෙන්නේ "ඇන්ඩිසිට්" නම් පාෂාණයයි. ඉන්දුනීසියාව යනු ගිනිකඳු පිහිටි දේශයක් වූ නිසාම ගිනිකඳු පුපුරා යාමෙන් ඇති වූ ලෝදිය හා මිශ්‍ර වී ඝන බවට පත් වූ පාෂාණ විශේෂයක් ලෙස මෙම පාෂාණ නිර්මාණය වූ බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. එම පාෂාණ බොහෝ ගණනක් බොරෝබුදූර් ස්තූපය ඉදි කිරීම සඳහා යොදා ගෙන ඇත. එහි නිර්මාණාත්මකබව දෙස බැලූ විට එක් එක් පාෂාණ එකිනෙකට බද්ධ නොවන පරිදි 'කත්තුමල්ලිය' නම් වූ වඩු කර්මාන්තයේදී යොදා ගන්නා ක්‍රමවේදයකට අනුව නිර්මාණය කොට ඇත. දුටුවන් නෙත් ආකර්ෂණය කර ගන්නා මේ මහඟු සිද්ධස්ථානය මහල් අටකින් සමන්විත වූවකි. එහි මහල් නිර්මාණය දෙස බැලූ විට පහත මහලේ සිට ඉහළ මහල්වලට යන විට වටප්‍රමාණය අඩුවන පරිදි නිර්මාණය කොට ඇති ආකාරයක් හඳුනාගත හැකිය. ඒ සෑම මහලක් ම නිර්මාණය කොට ඇත්තේ බෞද්ධ දර්ශනයට අනුගත වන පරිද්දෙනි.
මෙම ස්ථූපයෙහි පළමු පීඨිකාවෙහි බොහෝමයක් දක්නට ලැබෙන්නේ බුද්ධ චරිතය හා සම්බන්ධ කැටයම්ය. ඒ වගේම දෙවන පීඨිකාවට යනවිට කාන්තාවට වැඩි අවධානයක් යොමු කරමින් කැටයම් නිර්මාණය වූ ආකාරයක් දක්නට ලැබේ. මෙලෙස ක්‍රමයෙන් පස්වන පීඨිකාව දක්වා විශාල ප්‍රමාණයක ශෛලමය කැටයම් දක්නට ලැබේ. පස්වන පීඨිකාවෙන් පසුව ඇති අනෙක් පීඨිකාවල ශිලාමය ස්තූප නිර්මාණයන් දක්නට ලැබේ. එම ස්තූප නිර්මාණය කර ඇත්තේද චතුරශ්‍රාකාර සිදුරු සහිතවය. එමගින් ස්ථූප ඇතුළත ඇති බුද්ධ රූප බාහිරට පෙන්වීමට සලස්වා ඇත. මේ අයුරින් ටිකෙන් ටික පටු වන ස්තූපය තවත් බොහෝ දුරක් අහස් කුස සිසාරා ඉහලට දිවෙන තනි ස්තූපයක් ලෙසින් දර්ශනය වේ. කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ ශෛලමය කලාවෙ අද්විතීය නිමැවුමක් වශයෙන් බෝරෝ බුදූර් පෙන්වාදිය හැකිය.
ඉන්දුනීසියාව ගිනි කඳු ආශ්‍රිතව පිහිටි රාජ්‍යයක් වන නිසාම එම ගිනිකඳු වල බලපෑම මෙම ප්‍රකට බෞද්ධ සිද්ධස්ථානයට ද ඇති වූ ආකාරයක් හඳුනාගත හැකිය. බෝරෝ බුදූර් අසන්නේ පිහිටා ඇත්තේ 'මෙරපි' ගිනිකන්දයි. එය 2018 දී අවසන් වරට සක්‍රිය වූ අවස්ථාවේ දී බෝරෝ බුදූර් සිද්ධස්ථානය අළුවලින් වැසී ගොස් ඇත. වරින්වර ගිනිකඳු පිපිරීමෙහි බලපෑම බෝරෝ බුදූර්වලට එල්ල වුවද ඉන්දුනීසියාවේ බෞද්ධ ජනයා එය ආරක්ෂා කර ගැනීමට බෙහෙවින් උත්සුක විය. කල්යත්ම මුල දී බෞද්ධාගමට පැවැති අනුග්‍රහය නොලැබීයත් ම බෝරෝබුදූර් කෙරෙහි පැවැති සැලකිල්ල ද අඩුවන්නට විය. එනිසාම එය මිනිස් වාසයෙන් අත්හැරුණු බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලය තුළ බෝරෝ බුදූර්හි වටිනාකම හඳුනාගත් බ්‍රිතාන්‍ය පාලකයන් එය නැවතත් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඉන්පසු ඒ පිළිබඳ අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි පැවති සුවිශේෂීත්වය හඳුනාගනිමින් එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් 1991 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන්දුනීසියාවේ සුවිශේෂී බෞද්ධාගමික මධ්‍යස්ථානය වූ බෝරෝබුදුර් අද වන විට ආදායම් උපයන මූලයක් බවට පමණක් පත් ව ඇත. එහෙත් මෙතරම් වටිනා බෞද්ධාගමික උරුමයකට හිමි ගරුත්වය සැමදා එක ලෙස පැවතිය යුත්තකි.