‘’දළ දේශීය නිෂ්පාදිතයට වඩා දළ ජාතික සතුට වැදගත් වේ’’
1972 වර්ෂයේ භූතානය පාලනය කළ හතරවන ජිග් මේ සංගි වැන්ග් චක් විසින් ප්‍රකාශ කරන ලද උක්ත පාඨයත් සමඟ ‘දළ ජාතික සතුට’ යන වචනය භාවිතයට පැමිණි අතර මේ තුළින් තිරසාර සංවර්ධනය පිළිබඳව පූර්ණ ප්‍රවේශයක් ගත යුතු බවත් යහ පැවැත්මේ ආර්ථික නොවන අංශවලට සමාන වැදගත් කමක් ලබාදිය යුතු බවත් දක්වා ඇත. ඒ අනුව ලෝකයේ සෙසු රටවල් සංවර්ධනය මැනීමේදී දළ දේශිය නිෂ්පාදනයට අවධානය ලබාදෙන විට භූතානය දළ දේශීය සතුට ( Gross Domestic Happiness) කෙරෙහි අවධානය යොමුකර ඇත. භූතානය ජනගහනයේ සාමුහික සතුට සහ යහපැවැත්ම මැනීම සඳහා 2008 වර්ෂයේ ජූලි 18 වන දින භූතානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භූතාන රජයේ ඉලක්කයක් වශයෙන් දළජාතික සතුට දර්ශකය ස්ථාපිත කරන ලදි. 2011 වර්ෂයේ ජූලිමස භූතානය ඇතුළු රාජ්‍යයන් හැට අටක් සම්බන්ධවී එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ‘සතුට : සංවර්ධනය සඳහා පූර්ණ ප්‍රවේශයක් කරා’ යන මැයෙන් යෝජනාවක් ඉදිරිපත්කර සම්මතයක් ඇතිකරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයේ අප්‍රේල් මස පළමුවන දින පළමු වන ලෝක සන්තුෂ්ට වාර්තාව නිකුත් විය. මෙම වර්ෂයේ ම භූතාන අගමැතිවරයා වූ ජිග් මේකින්ලි සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් වන බැන් කී මූන් මහතා ඇතුළු පිරිස එක්ව ජාත්‍යන්තර සතුට දිනය වශයෙන් මාර්තු විසිවන දිනය සම්මත කරගන්නා ලදි.
දළ ජාතික සතුට පිළිබඳ කොමිෂම විසින් ‘දළ ජාතික සතුට නොහොත් දළ ගෘහස්ථ සතුට ක්‍රියාත්මක කරන අතර එම කොමිෂමේ භූතාන අගමැතිගේ සභාපතිවරයාද රජයේ සෑම අමාත්‍යංශයක ම ලේකම්වරුන්ද GNH කොමිෂමේ ලේකම්වරයාගෙන් ද සමන්විත වේ. මෙම GNH සමීක්ෂණය මුල්වරට 2008 වර්ෂයේද දෙවනවර 2010 වර්ෂයේද තෙවන වර 2015 වර්ෂයේද සිදුකර ඇත. මෙමඟින් රටේ දිස්ත්‍රික්ක විස්සම ආවරණය කරන ලද අතර මේ සඳහා මූලික වශයෙන් කුලුණු හතරක් පිළිබඳව අවධානය ලක් කරයි.
- තිරසාර හා සාධාරණ සමාජ ආර්ථික සංවර්ධනය
- පාරිසරික සංරක්ෂණය
- සංස්කෘතිය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය
- යහ පාලනය
GNH කොමිෂම විසින් මෙම කුලුණු හතරෙහි හරය ලෙස බුදුදහම හඳුන්වා දෙනු ලැබේ. මෙම කුලුණු හතරට අමතරව තවත් අංශ නවයක් මෙම කොමිෂම හඳුන්වාදී ඇත.
- මානසික යහ පැවැත්ම
- සෞඛ්‍යය
- අධ්‍යාපනය
- කාල භාවිතය
- සංස්කෘතික විවිධත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව
- යහ පාලනය
- ප්‍රජා ජීව ශක්තිය
- පාරිසරික විවිධත්වය හා ඔරොත්තු දීමේ හැකියාව
- ජීවන තත්ත්වයන්
භූතානය හිමාලය කඳු අතර පවතින සුන්දර රටක් වන්නේ භූතාන රජය විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල නිසා වෙනි . සෙසු රටවල්වල මෙන් සංකීර්ණ පරිභෝජන රටාවක් නොවීමත් සොබාදහම සමඟ සමීප සබඳතා පැවැත්වීමත් හේතුවෙන් මෙහි ජීවත්වීම ඉතාම සුවදායක වේ. සංවර්ධනය මුල්කරගෙන පරිසරය විනාශය සිදු නොකිරීමත්, සමස්ත රටේම නිවාස සහ නගර අනුමත සංස්කෘතික සම්ප්‍රදායකට අනුව නිර්මාණය කර ඇති නිසාත් මෙහි දක්නට ලැබෙන්නේ සරල ජීවන දර්ශනයකි. සෑම පුද්ගලයෙකුට ම ස්ථිර නිවාස පැවතීම තුළ වීදි පුරා යදින්නන් නොවීම ද පරිසරයට සමීපවීම නිසා කැළිකසළ අවම වීම ද සංචාරක ආකර්ෂණය අවම නිසා භූතානයේ සංස්කෘතික සාධක ද දේශීය අනන්‍යතාවය මුසුකරගෙන ක්‍රියාත්මක වේ.
වර්තමානයේ සමස්ත ලෝකයම සංවර්ධනය ලෙස දක්වමින් හෞතික කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් හැල්මේ දිවෙන මොහොතක භූතානය සමස්ත ජනයා සමඟ පාරිසරික අධ්‍යාත්මික සුවය පතා වෙනස් මඟක් වෙත ප්‍රවේශ වී ඇත. ඔවුන් සරල දිවිපෙවෙතක් අනුගමනය කරමින් අසීමිත සම්පත් පරිභෝජනයෙන් මිදී කායික මානසික සුවය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් භූතානයේ සමස්ත වන ගහනය 72% ක් තරම් ඉහළ මට්ටමක පවතින අතර රජය මෙම තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාත්මක වෙමින් සිටියි.
භූතානයේ ක්‍රියාපිළිවෙත ඔස්සේ අවධානය යොමුකිරීමේදී දේශගුණික අර්බුද රැසකින් පීඩා විඳින විසිඑක්වන ශතවර්ෂයේ මානවයා හෞතික සංවර්ධය ඔස්සේ දිව ගොස් විනාශ මුඛයට ඇද වැටෙනවා ද නැත්නම් අධ්‍යාත්මික සංවර්ධනය කරා පියමන් කර සුවදායක ලෝකයක් තනනවාද යන්න නැවත සිතා බැලිය යුතු කරුණකි.