බැබිලෝනියාවේ හමුරාබි නීති සංග්‍රහය (513)

post-title

ලෝකයේ ඉපැරණි සභ්‍යත්වයක් වශයෙන් සැලකෙන මෙසපොතේමියානු සභ්‍යත්වයට අයත් භූමි ප්‍රදේශයක් වශයෙන් බැබිලෝනියාව දැක්විය හැකිය. බැබිලෝනියාව ලෙස නූතනයේ හඳුනාගන්නේ ඉරාකයේ දකුණු ප්‍රදේශයයි. ඒ අනුව වර්තමානයේ බැක්ඩෑඩ් නගරයේ උතුරු සීමාවත් අරාබි බොක්ක ප්‍රදේශයත් ආවරණය කරමින් වියළි දේශගුණයක් සහිත කලාපයක බැබිලෝනියාව නමින් හැඳින්වෙන මෙම සභ්‍යත්වය ව්‍යාප්තව පැවතුණි.

 මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කේන්ද්‍ර කරගත් බැබිලෝනියානු ප්‍රදේශය නිරන්තරයෙන්ම ආක්‍රමණවලට ගොදුරු විය. ඒ අතරින් ඇමරොයිඩ්වරුන්ගේ ආක්‍රමණ සහ ඔවුන් බැබිලන් ප්‍රදේශවල තම බලාධිපත්‍ය ස්ථාපිත කිරීම වැදගත් වේ. ඔවුන්ගේ බලාධිපත්‍ය හමුවේ බැබිලන් ප්‍රදේශවල මුලින්ම දේශපාලන බලය ස්ථාපිත කරන්නේ " සුමු අබුම් " නම් දක්ෂ , රණකාමී පාලකයෙකි. ඉන් පසුව මෙම රාජවංශයෙහි ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ " හමුරාබි " බලයට පත් වේ. ඔහු යටතේ සිදු වූ සුවිශේෂී ම කාර්යය වූයේ බැබිලෝනියාව කේන්ද්‍ර කර ගනිමින් "හමුරාබි" නමින් හැඳින්වෙන නීති සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීමයි. 

බැබිලෝනියානු සභ්‍යත්වය කේන්ද්‍ර කර ගනමින් ප්‍රකාශයට පත් වූ මෙම හමුරාබි නීති සංග්‍රහය ලොව පැරණිතම විස්තරාත්මක නීති සංග්‍රහය වශයෙන් ද පිළිගැනේ. ක්‍රි.ව. 1901 දී පමණ පැරණි එලම් රාජ්‍යයේ සුම්සාහි කළ කැණීම්වලදී ප්‍රංශ පුරාවිද්‍යාඥ ජාකස් ඩී මෝගන් මෙහෙයවන ලද කණ්ඩායම විසින් සොයා ගන්නා ලද උසින් අඩි හතක් පමණ වූ ස්ථම්භයක ලේඛනගත වී පැවති නීති සංග්‍රහය මෙම හමුරාබි නීති සංග්‍රහය බව පිළිගැනීමයි. මෙය ක්‍රි.පූ. 1760 දී පමණ ප්‍රකාශයට පත් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ආකේඩියානු භාෂාවෙන් ලියවී ඇති මෙම නීති සංග්‍රහය වගන්ති 282කින් සමන්විත වේ. දුෂ්ටයන් මෙන්ම පව්කරන්නන් බැහැර කොට ප්‍රබලයන් විසින් අනාථ වූවන් හා වැන්දඹුවන් පෙළීම නතර කිරීම මෙම නීති සංග්‍රහයෙහි අරමුණ වූ බව ආරම්භයේදීම සඳහන් කිරීම තුළින් පැහැදිලි වන්නේ සාධාරණ පාලනයක් අරමුණු කරගන්නට ඇති බවයි. 

ඒ අනුව එකල බැබිලෝනියානු සභ්‍යත්වය තුළ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික යන සෑම අංශයකටම මෙහි නීති අදාළ නීති මෙහි ඇතුළත් කොට තිබුණි. එමෙන්ම මෙම නීති සංග්‍රහය මූලික වශයෙන් විනිශ්චයකරුවන්ට මඟ පෙන්වූ නීති සංග්‍රහයක ස්වරූපයෙන් යුක්ත විය.එසේම බොහෝමයක් නීති රාජකීය හා උසාවි තීරණ ලෙස පෙනෙන්නට ඇති බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි. රාජ්‍යයේ එක් එක් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ විවිධ නීති පද්ධතීන් වෙනුවට ඒකීය නීති පද්ධතියක් පවත්වාගෙන යාමට ගත් උත්සාහයක් ලෙසද මෙය දැක්විය හැකිය.

හමුරාබි නීති සංග්‍රහයෙහි ඇතුළත් නීති මොනවාදැයි විමසා බැලීම ද වැදගත් වේ. දේපළ අයිතිය, වෙළඳ හා ව්‍යාපාරික කටයුතු, විවාහය, අපරාධ, වහල් සේවා, ණය ගනුදෙනු පිළිබඳ නීති රීති එහි අතුළත් වේ. ඒ වගේම වරදේ ස්වභාවය අනුව දඬුවම තීරණය විය. මරණ දඬුවම, ශරීර අංග ඡේදනය, දඩ ගැසීම, නිවසින් පිටමං කිරීම, ඉඩම් අයිතිය අහිමි කිරීම, රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීම ආදිය ක්‍රියාත්මක වූ බව නීති සංග්‍රහයේ දැක්වේ. ඒ අතර කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

▪️ විනිශ්චයකරු අතින් යම් තීන්දුවක් ලබා දීමේදී වරදක් සිදු වී ඇත්නම් තමා විසින් නඩුවේදී පවරන දඩය මෙන් දොළොස් ගුණයක් ගෙවිය යුතුය. ඒ වගේම විනිශ්චයකාර ධූරයෙන් ප්‍රසිද්ධියේ ඉවත් විය යුතුය.

 ▪️යමෙකු රජවාසලට හෝ නිදහස් මිනිසෙකුට අයත් වහලෙකු, වහලියක පලායන අවස්ථාවේදී තම නිවසට ගෙන්වා ගනීද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනීද ඒ නිවසේ ගෘහ මූලිකයාට මරණ දඬුවම හිමි වේ.

▪️යමෙකුට ණයක් ගෙවීමට තිබියදී කුණාටුවක්, ජල ගැල්මක් නිසා ධාන්‍ය අහිමි වූ විට එවන් අවස්ථාවක ණය හිමියාට ධාන්‍ය ලබා දිය යුතු නැත.

▪️ශල්‍යකර්මයකදී යම් වරදක් සිදු වී වෛද්‍යවරයා අතින් රෝගියා මිය ගියහොත් වෛද්‍යවරයාගේ දෑත් කපා දැමිය යුතුය.

▪️ පුතෙකු තම පියාට පහර දුන්නේ නම් එම පුතාගේ අත කපා දැමිය යුතුය.

ඒ වගේම දඬුවම් ලබා දීමේදී සමාජ තත්ත්වය අනුව දඬුවම වෙනස් වීමක් ද යම් ආකාරයකට තිබී ඇත. කෙසේ වුවත් එකල බැබිලෝනියානු සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි හමුරාබි නීති සංග්‍රහය සම්පාදනය කළ බවක් දක්නට ලැබේ. ඒ වගේම මෙම නීති සංග්‍රහය අවසානයේ දී නීතිය පිළිබඳ දැනගැනීමට අවශ්‍ය පුද්ගලයන් මෙය කියවා බලා අවබෝධයක් ලබා ගන්නා ලෙසද දක්වා ඇත. ලොව පැරණිතම නීති සංග්‍රහය ලෙස සැලකූ මෙය ශිලාමය ස්ථම්භයක සටහන් කිරීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේද මහජනයාට කියවා බලා අවබෝධයක් ලබා ගැනීමට සැලැස්වීම වන්නට ඇත.

Top