යුක්තිගරුක මාධ්‍යකරණයකට මග කියන ලිඩියා කැචෝ (398)

post-title

මෙක්සිකෝවේ වඩාත්ම ප්‍රසිද්ධ සහ ගවේෂණාත්මක ක්‍රියාකාරී මාධ්‍යවේදිනියක් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වන ලිඩියා කැචෝ පෑන අවිය කොටගත් දක්ෂ සහ මානුෂවාදී මාධ්‍යවේදිනියකි. ඇය වරක් මෙසේ පැවසුවේය.

"ඔබ කුමන ආකාරයේ පුවත්පත් කලාවක් කළත් කමක් නැත, මාධ්‍යකරුවෙකු වුවත් කමක් නැත.නමුත් ඔබට මෙහෙවරක් ඇති බව ඔබ තේරුම් ගත යුතු අතර, මෙහෙවරට අවංකව හා සත්‍යය පැවසීම කළ යුතුය. අපි මිනිස් ජීවිතයේ කතාන්තර සන්නිවේදනය කරන අතර එය විශාල වගකීමකි. ”

(2010-ටුලී නිදහස් කථන සම්මාන උත්සවයේදී )

අවවාදයට වඩා ආදර්ශය වටිනා බව පසක් කරමින් ඇය ඉහත ආකාරයට තම මාධ්‍ය ජීවිතයේ මෙහෙවර නිසියාකාරව ඉටු කළේය. ඉටු කරමින් සිටින්නේ ය. 1963 වර්ශයේ මෙක්සිකෝවේ දී උපත ලද කැචෝ වැදගත් පවුල් පසුබිමකට උරුමකම් කීවේය. මවගේ සමාජ සුබසාධන කටයුතු සහ පියාගේ මානුෂවාදී චින්තනයෙන් ඇය කුඩා කළ සිටම පෝෂණය වූ අතර නිර්භීත සහ දක්ෂ මාධ්‍යවේදිනියක් වීමට තමාට එය බලපෑ බව ඇය නිතරම පවසන කාරණාවකි.

ඉගෙනීම් කටයුතු වල නියැලී සිටි සමයේ දී ඇය වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයකින් පෙළුණු අතර එයින් සුව වූ පසු ඇය පුවත්පත් කලාව කෙරෙහි යොමු වන්නට විය. කැන්කුන් පුවත්පත් සදහා විවිධ විශේෂාංග ලිපි ලිවීම කෙරෙහි යොමුව සිටි කැචෝ කෙටි කලකින් සමාජ අසාධාරණයන් සහ කාන්තාවන්, දරුවන් කෙරෙහි බලපාන ලිංගික කටුයුතු වලට විරුද්ධව තම අවධානය යොමු කළේය.ඇය එවැනි කරුණු කාරණා පිළිබඳව ලිපි ලියුවේ ය.

එහි ප්‍රථිපලයක් ලෙස ඉන් ටික කලකට පසු, 1999 දී, කැචෝ අතවරයට සහ ශාරීරික හිංසනයට ලක් විය. කැචෝ විශ්වාස කරන්නේ මෙම ප්‍රහාරය ඇගේ සත්‍ය විමර්ශනවලට එරෙහි පළි ගැනීමක් බවයි. කෙසේ වෙතත්, ඇය එයින් නොසැලුණේය. එය පන්නරයක් කොට වඩ වඩාත් ශක්තිමත් ලෙස ඇය සිය විමර්ශන කටයුතු වල නියැලුණි.

ලිඩියා කැචෝ විසින් 2003 වර්ශයේදී පෝර් එස්ටෝ පුවත්පත සඳහා නිර්භීතව ලිපි ලියුවේ ය. බාල වයස්කරුවන්ට ලිංගික අතවර කිරීම පිළිබඳ ලිපි ලියා ඇති අතර, ව්‍යාපාරිකයෙකු වන ජීන් සුකාර් කුරි විසින් අපයෝජනයට ලක් කරන ලද ගැහැණු ළමයෙකු පිළිබඳ සටහනක් ද එහි ඇතුළත් විය. දැරියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බව දැනුණු කැචෝ, ඊළඟ වසරේ දී " ලොස් ඩිමෝනියෝස් ඩෙල් එඩන් " (ඩිමන්ස් ඔෆ් ඒඩන්) නම් ග්‍රන්ථය ලියා ප්‍රකාශයට පත් කළ අතර, එහි ප්‍රාදේශීය හෝටල් හිමිකරුවෙකු වනසුකාර් කුරි ළමා කාමුක දර්ශන සම්බන්ධ කටයුතු සදහා වරදකරුවෙකු බවට චෝදනා කරයි. ගණිකා වෘත්තිය සහ ඔහුගේ චෝදනාවට ලක්වූවන්ගේ නිල ප්‍රකාශ සහ ඔහු පිළිබඳ වීඩියෝවක් (සැඟවුණු කැමරාවකින් රූගත කිරීම) වැනි කරුණු මත පදනම්ව කැචෝ කරුණු ඉදිරිපත් කළේය. ඒවා සදහා වැදගත් යැයි පවසන දේශපාලනඥයින් වන එමිලියෝ ගැම්බෝවා සහ මිගෙල් ඇන්ජල් යූන්ස් ද සම්බන්ධ බව පොතේ සඳහන් කළ අතර ව්‍යාපාරිකයෙකු වන කමෙල් නසීෆ් බෝර්ජ්විසින් සුකාර් කුරි ආරක්ෂා කළ බවටකැචෝ චෝදනා කළේය.

පොත නිකුත් කිරීමෙන් පසු කැචෝව කැන්කන්හිදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇයට පැය 20 ක පමණ කාලයක් වාචිකව අතවර කළේය. එහිදී ඇයව දූෂණය කිරීමේ සැලසුමක් ඇති බවට ඉඟි කළ බවත් කැචෝ ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ඇප මත මුදා හැරීමට පෙර අපහාස චෝදනා මත ඇය කෙටි කාලයක් සිරගත කරන ලදී. ඉන්පසුව ඇය සාධාරණය ලබාගැනීම සහ සත්‍ය හෙළි කිරීම වෙනුවෙන් දිගින් දිගටම සටන් වැදුණු අතර එහි සාර්ථක ප්‍රථිපල සාර්ථක විය. 

2006 දී ව්‍යාපාරිකයෙකු වන කමෙල් නසීෆ් බෝර්ජ් සහ පියුබ්ලා හි ආණ්ඩුකාර මාරියෝ ප්ලූටාර්කෝ මැරන් ටොරස් අතර සංවාදයක පටිගත කිරීමක් හෙළි විය. එහිදී කැචෝගේ පොතේ වාර්තා කිරීම සඳහා කැචෝට පහර දී දූෂණය කිරීමට කුමන්ත්‍රණය කිරීම් පිළිබඳව තොරතුරු අඩංගු වූ අතර දිගුකාලීන නඩු කාර්යයක තීන්දුව ලෙස කැචෝට වධහිංසා පැමිණවීම, අයුතු ලෙස අත්අඩංගුවට ගැනීම දූෂණය කිරීමට කුමන්ත්‍රණය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් 2021 පෙබරවාරි 3 වන දින මාරන් ටොරස් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු දිගුකාලීන දඬුවමකට ලක්වන බව බොහෝ දෙනාගේ අදහසයි.

ඇයගේ ලිඛිත වචනවලට මරණ තර්ජන එල්ල වූ විට සහ ඇයව පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා සිරගත කිරීමෙන් පසුවද ලිඩියා කැචෝ පසුබසින්නේ නැත. ගවේෂණාත්මක පුවත්පත් කලාවට ලෝකය වෙනස් කළ හැකි බව ඇය තවමත් විශ්වාස කරයි. එකී විශ්වාසයෙන් යුතුකැචෝ 90දශකයේ සිට වර්තමානය දක්වාම තම මාධ්‍ය ජීවිතය හසුරුවන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය, ළමා හා කාන්තා අයිතිවාසිකම්, සමාජීය අසාධාරණයන් වැනි විවිධ කරුණු කෙරෙහි විමර්ශනශීලීවය.

ඇගේ නිවස අසල නාඳුනන නිලධාරීන්ගේ හිරිහැර හා ඇගේ බ්ලොග් අඩවිය හරහා මරණ තර්ජන වලට මුහුණ දුන් අවස්ථා වලදීත් කැචෝ මෙසේ පැවසුවේය. “ නිර්භීත වීමේ දී භය වීම ඔබේ සහකාරිය බවට පත්වෙනවා. නමුත් එය මම ජීවත් වීමට ඉගෙන ගත් දෙයක් පමණයි. අප නිතරම සත්‍යවාදී විය යුතුයි.” 

කෙසේ හෝ නිරන්තර තර්ජන වලට මුහුණ දීමට සිදුවීම හා කැචෝගේ ජීවිත අවධානම් තත්වය හේතුවෙන් වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇයට රට හැර යන ලෙස උපදෙස් දුන් අතර, ඇයට වෙනත් රටක දේශපාලන රැකවරණ පතන්නැයි නිර්දේශ කළේය. තවද ජාත්‍යන්තර උසාවිවලට ප්‍රවේශ වීම සඳහා ඇයට නීතිමය සහාය ලබා දුන්නේය. එලෙස ම සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනා කැචෝගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර අවධානයකින් ක්‍රියා කරනු ලබයි. ඔවුන් පවසන්නේ ලිඩියා කැචෝ යනු සමාජීය යුක්තිය සදහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

 කැචෝ විසින් ඇයව පැහැරගෙන යාම සහ නඩු විභාග කිරීම විස්තර කරන Memories de una Infamia (Memoirs of a Scandal) (2008) ග්‍රන්ථයක්, ළමා ලිංගික අපයෝජනය තේරුම් ගැනීමට, වැළැක්වීමට සහ සුව කිරීමට මාර්ගෝපදේශයක් වන කොන් මයි හිජ් (මගේ දියණිය / පුතා සමඟ නොවේ) ග්‍රන්ථයක් සහ එච්.අයි.වී ආසාදිත කාන්තාවකගේ සත්‍ය කතාව පදනම් කරගත් නවකතාවක් වන මුවර්ඩෙල් එල් කොරසම් වැනි ග්‍රන්ථද ඇතුළුව බොහෝ ග්‍රන්ථ රචනා කොට ඇත. ඇය කාන්තාවන් සහ ළමයින් ජාවාරමක් සිදු කළ ජාත්‍යන්තර මාෆියාවක් පිළිබඳ ග්‍රන්ථයක් ද ලියා ඇත.

එමෙන්ම කැචෝ කැන්කුන් හි අපයෝජනයට ලක්වූ කාන්තාවන් සහ දරුවන් සඳහා වූ සරණාගත මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂකවරිය වන අතර ගෘහස්ථ හිංසනය සහ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කොට සැලකීම්වලට ගොදුරු වූවන්ට උපකාර කරන කාන්තා ආධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීව තම ජීවිතය කැප කොට ඇත.

මෙක්සිකෝවේ ප්‍රභල හා දක්ෂ මාධ්‍යවේදිනියක් සමාජ ක්‍රියාකාරිණියක් සහ ලේඛිකාවක් ලෙස ඇය නිසැකවම හැදින්විය හැක.

එම කටයුතු වෙනුවෙන් ඇය මෙතකැයි කිව නොහැකි තරම් සම්මාන සහ ගෞරවයන්ට හිමිකම් කියා ඇත.

2010 -  PEN / Pinter Prize සම්මානය ( ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න ලේඛකයෙකු ලෙස)

2008 - යුනෙස්කෝ / ගිලර්මෝ කැනෝ ප්‍රකාශන නිදහස සම්මානය

 2007 - ලෝකයේ සී එන් එන් වීරයා

 2007 - ඇමරිකා එක්සත් ජනපදයේ ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හි ගිනෙටා සාගන් සම්මානය

 2007 - ජාත්‍යන්තර කාන්තා මාධ්‍ය පදනමේ සම්මානය

 2006 - වෙනිසියුලාවේ ධෛර්යය ජනමාධ්‍යවේදි සම්මානය

 2006 - ජාතික මානව හිමිකම් ත්‍යාගය ( රාජ්‍ය හිංසනයට මුහුණ දීම පිළිබඳ නිර්භීතකම සහ ළමා කාමුක දර්ශන සහ ළමා අපචාර ගැන ලිවීම සඳහා)

 ඇයගේ “ලොස් ඩිමෝනියෝස් ඩෙල් එඩන්” ග්‍රන්ථයේ මෙක්සිකෝවේ කැන්කුන් හි කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ හොඳම විමර්ශන වාර්තාව සඳහා 2000 රාජ්‍ය මාධ්‍යවේදීන්ගේ ත්‍යාගය 

 ඩෙමාක් සාහිත්‍ය සම්මානය

 හියුමන් රයිට්ස් වොච් සම්මානය

 ඔක්ස්ෆෑම් නොවිබ් / PEN ප්‍රකාශන නිදහස සම්මානය

 වොලන්බර්ග් පදක්කම ආදිය ඇය ලැබූ සම්මාන සහ ත්‍යාග කිහිපයක් පමණි.

මේ වන විට ජීවිතයේ සැදෑ සමයට එළැඹෙමින් සිටින කැචෝ තවමත් තම යුක්ති සහගත සහ මානුෂවාදී සිතුවිලි සමග තරුණය. ඇය තම සුන්දර සිනහවෙන් නිතරම මුව සරසා ගමින් පවසන්නේ මෙම ලෝකය වෙනස් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් තමාගේ යුතුකම් කොටස නොබියව ඉටු කළ යුතු බවත් ය එමෙන්ම මෙක්සිකෝවේ මෙන්ම ලොව පුරා නිදහස් මාධ්‍ය භාවිතයත්, ගවේෂණාත්මක මාධ්‍ය පිළිබඳවත් අවශ්‍යතාවයක් පවතින බැව් ඇගේ අදහසයි.

ලිංගිකත්වය යනු යමෙක් පෙළීමට හෝ අවභාවිතයට පවතින යමක් නොවන බවත් මිනිසුන් ලිංගික වහලුන් ලෙස ස්ත්‍රීන් , දරුවන් හෝ පුරුෂයින් පත්වන අවධානම් තත්වයන්ගෙන් ගලවා ගැනීමේ සමාජීය අවශ්‍යතාවයක් දැඩිව නිර්මාණය විය යුතුය. ඒ සදහා විසදුම් නිර්මාණය කළ යුතුය. 

එමෙන්ම ස්ත්‍රියකගේ කායික ශක්තියට වඩා වටිනාකමක් ස්ත්‍රී මානසික ශක්තිය සතු බවත් ස්ත්‍රීන් සහ දරුවන් වෙනුවෙන් මෙන්ම තමාට සිදුවන සියලු අසාධාරණයන් කෙරෙහි විරුද්ධ වීමට තරම් කශේරුකාවකින් ස්ත්‍රීන් පරිපූර්ණ විය යුතු බවත් ලිඩියා කැචෝ වැනි පෞරුෂයන් මගින් උගත හැකිය. එමෙන්ම රටක යහපතත්, අයහපතක් යන දෙඅංශයටම සෘජු ලෙස බලපෑම් කළ හැකි තරම් මාධ්‍ය ප්‍රභලය. 

කැචෝ වැනි පරමාදර්ශී චරිතයන්ගේ සරු ආකල්ප කෙරෙහි අවධානය යොමු කොට ගනිමින් එලෙස මානව හිතවාදී මාධ්‍යකරුවෙකු වීම සියලු මාධ්‍යකරුවන්ගේ අධිෂ්ඨානයක් විය යුතුය. කැචෝ ලෙස අවධානම් වලට මුහුණ දීමට යැයි නො පවසමි. නමුත් හෘද සාක්ෂියට අවංකව යුක්ති සහගත මාධ්‍යකරුවෙකු වීමට ඔබට හැකිය. එසේ නොහැකිනම් වෘත්තියට නිගා නොකොට නිහඩ විය යුතුය. මාධ්‍යකරුවන් පමණක් නොව මිනිසුන් තම තමාගේ චරිතය යුක්තිය සහ මානව ගුණාංග වලින් පෝෂණය කරගත යුතුය. නොහැකිනම් මිනිස්කමට නිගා නොකොට දිවියෙන් නිහඩ වීම නම්බුකාරය.


මූලාශ්‍ර

https://apnews.com/article/arrests-journalists-lydia-cacho-mexico-5b186fd10f125414d004744a7485c08a

https://mobile.twitter.com/lydiacachosi

 

https://www.bbc.com/mundo/noticias-america-latina-55939444

Top