පෙනුමින් කෙනෙක් මැනිය නොහැකි බව කියා දුන් ලිසී (394)

post-title

" මම සාමාන්‍ය පැහැපත් සමක් තියෙන යුවතියක්. මගේ බෙල්ලේ එක පැත්තක හෝර්මෝන බලපෑමක් නිසා මුහුණට වඩා එක කොටසක් අවපැහැයට හැරිලා තිබුනා. කාලයක් තිබ්බා මානසික වදයක් වෙන තරමට හැමෝම ඒ ගැන කතාකරපු. එකදිගට සැර අධික බෙහෙත් පාවිච්චි කරපු නිසා කොන්ඩෙත් අසාමාන්‍ය විදියට යන්න පටන්ගත්තා. පරම්පරාවෙ හුඟ දෙනෙක්ගෙ දත් තිබුනෙ ටිකක් ඉස්සරහට වෙන්න. ඒ උරුම කරුමය මටත් එහෙම් පිටින්ම හම්බුනා. මටම මගේ පෙනුම සෑහෙන්න වදයක් උනා.

ඔහොම කාලයක් මම මම ගැනම දුක්වුනා.එක දවසක් මම අහම්බෙන් කෙනෙක්ව දකිනවා. යූ ටියූබ් වලින් තමා මම එයාව දැක්කෙ. ඒ සුන්දර හදවතෙන් මම අපූරු පාඩමක් ඉගෙනගත්තා. ඉතින් අද මම කතා කරන්නෙ අන්න ඒ සුන්දර යුවතිය ගැන

ඇය නමින්, ලිසී වැලස්කිවිස් ( Lizzie Velásquez ).

ඔයාට කවුරු හරිම කිව්වොත් ,

" ඔයාට තියෙන්නෙ කාලකණ්ණි පෙනුමක්. ඔය මූණ දැක්කත් අසුභයි " 

එහෙම උනොතින් ඔයාට මට මොනවගේ හැඟීමක් එයිද? 

ලිසී ඒ වචන දකිනකොට ඇගේ වයස අවුරුදු දාහතයි. ඇය හරිම ආසයි සිංදු අහන්න. යූ ටියූබ් එකේ ඇය ආසම මියුසික් වීඩියෝ දෙක තුනක් නරඹන අතරවාරයේ ඇය අහම්බෙන් දකිනවා වීඩියෝවක්. ඒ වීඩියෝවට අදාලව හෙඩිම තිබ්බේ " ලෝකයේ අවලස්සනම යුවතිය ( The ugliest woman in the world ) කියලා.

" මම ඒ වීඩියෝව දැකලා කලබල උනා. මට හිතාගන්න බැරිඋනා. හැමදේම එකපාරටම නතරඋනා වගේ.

" ලෝකයේ අවලස්සනම යුවතිය ? " ඒ මමද කියලා හිතුනා. කීදෙනෙක් මේ වීඩියෝව බලන්න ඇතිද. මම වීඩියෝ පටයට පහලින් තියෙන අදහස් ( Comments ) කියවන්න ගත්තා.

" හොල්මනක් වගේ "

" මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද ? "

" මේ මූණ දකිනවට වඩා හොඳයි ඇස් පේන්නෙ නැතුව ගියා නම් "

" මම නම් ඉපදුන ගමන්ම මරලා දාන්නෙ " 

" මම උඩට පහළට ගිහින් හැම අකුරක් ගානෙම කියෙව්වා. මගේ හිතට පීඩා දුන්න අකුරු හැරෙන්න හිත හැදෙන්න එක වචනයක් ඒ වීඩියෝවට කවුරුත් අදහසක් විදියට එකතුකරලා තිබ්බෙ නෑ. මම සිංදු අහන එක පැත්තක දාලා හොඳටම අඬන්න ගත්තා. මට දරාගන්න අමාරුවෙන තරමට හයියෙන් මම ඇඬුවා. අම්මට තාත්තාට හිත හදන්න බැරිතරමට මම ඇඬුවා. ඒ වචන මගෙ හිත ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා. පහුවදා ඉස්කොලේ ගියත් සමහර යාලුවො මාව කොන් කරන්න ගත්තා. ඒ වීඩියෝව නරඹපු හුඟක් යාලුවෝ විහිලු කරන්න ගත්තා. ඇයි මම ජීවත්වෙලා ඉන්නෙ කියලා හිතෙන තරමට මට මාවම එපා උනා. "

මිනිස්සු මේ තරමටම නපුරු ඇයි කියලා ඇයට හිතෙන්න ඇති. ඒත් ලිසීට දවසක් ආවා. ඇය හිතන්න ගත්තා හැමදේකම හොඳ වගේම නරක කියලා කොටසකුත් තියෙනවා කියලා. ඇය කාටත් වඩා තදින් ඇයව විශ්වාස කරන්න පටන්ගත්තා. ඉතින් ඇය තනිවම උත්තර හෙව්වා. මම කොහොමද මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වන්න ඕනි කියන තැනට ඇවිදින් ඇය අරගල කරන්න පටන්ගත්තා.

" මට දවසක් හිතුනා , මම වගේ පීඩා විඳින කී දෙනෙක් මේ ලෝකෙ ඇතිද කියලා. මම සිංදු අහන එක පැත්තක තියලා කතාකරන්න ඉගෙනගත්තා. තනියම කාමරේට වෙලා කණ්ණාඩිය ඉස්සරහ ඉඳන් මම මටම කතා කළා. මිනිස්සුන් දිරිගන්වන වීඩියෝ ( Inspiration videos ) බැලුවා. ඊට පස්සේ මම මගේ කතාව ලියන්න පටන්ගත්තා. යූ ටියූබ් එකේ එදා මම දැකපු වීඩියෝවෙන් මට දැනුන වේදනාව දැනෙන, මම වගේ මිනිස්සුන්ට මම කතාකළා. අවසානයේ මම ම යූ ටියුබ් එකට වීඩියෝවක් අප්ලෝඩ් කළා."

ඇය දිගින් දිගටම කතා කළා. ඊට පසුව ඇය " TED x Austin Women Talk " කියන වැඩසටහනට සම්බන්ධ වෙනවා. මිලියන 54කට අධික නැරඹුම් වාර හරහා ඇයව මිනිස්සු අඳුනගන්නවා. ඇයට අපහාස කළ සියලු දෙනාම ඒ වීඩියෝව හරහා ඇයගෙන් සමාව ගන්නවා. ලිසීගෙ ධෛර්යය ඇයව දිනවනවා. එක රැයකින් ඇය ඇගේ ජීවිතය වෙනස්කර ගන්නවා.

" මම උපතින්ම ශාරීරික ආබාධිත සහිතව ඉපදුන කෙනෙක්. මගේ ශරීර බර කවදාවත් කිලෝග්‍රෑම් 29 ( රාත්තල් 64) ට වඩා වැඩි වෙන්නෙ නෑ කියලා වෛද්‍යවරු කිව්වා. ඒ මේ රෝගයේ හැටි. මගේ ශරීරයේ මේද ප්‍රමාණය 0% යි. මම කොටින්ම ඇටසැකිල්ලක් වගේ. මගේ දකුණු ඇහෙන් මට බලන්න බෑ. ඒත් මගෙ වම් ඇහැ මට හැමදේම දකින්න උදව් කරනවා. ඔයාලගෙ වගේම මගෙත් හුස්ම වැටෙනවා. මම ජීවත්වෙනවා. ඇයි අපි මිනිස්සුන්ට ලැබිලා තියෙන දේවල් වලට හිනාවෙන්නෙ. මම මට විශේෂයි , මගේ දෙමව්පියන්ට විශේෂයි. ඉතින් අද ඔබට මාව විශිෂ්ඨයි. "

කාන්තාවක් විදියට මුළු ලෝකයක්ම ඇයව දුර්ලව කරපු තැනින් ඇයම නැගිට්ටා. අද එදා ඇයට අපහාස කරපු හැමෝම ඇයගෙ වචනවලින් ජීවත්වෙනවා. කාලකණ්ණි පෙනුමක් කියලා හංවඩු ගහපු ඒ රූපය අද මුළු ලෝකයම මිනිස්සුන්ට ජීවත්වෙන්න තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගාගන්න විදිය ගැන අභිප්‍රේරකයෙක් විදියට සහය වෙනවා.

ලිසීගෙ ජීවිත කතාව සිනමා පටයක් විදියට මිනිස්සු අතරට යනවා. " නිර්භීත හදවත " ( A Brave Heart ) නම් ඒ චිත්‍රපටිය මුළු ලෝකයක්ම ආදරෙන් වැලඳගන්නවා.

රෝගී තත්ත්වය නිසා එක ඇහැක් අන්ධ වුවත් ලිසී අද ලේඛිකාවක්. ඉතින් හිතන්න ,

මට වගේම ඔයාටත් ජීවිතේ එකපාරක් , කවුරුම හරි ඔයාව නොදැන ලිසීට වගේ කතා කියලා ඇති. ඔයාටම උනත් දැනිලා දුක්වෙලා ඇති. ලිසීගෙන් ඉගෙනගත්ත රහස නිසා මමත් අද සතුටින්. මට තිබුන ගැටලුවට වෛද්‍යමය ප්‍රතිකාර කරපු නිසා අද ඒ තත්ත්වය ගොඩාක් හොඳ අතට හැරිලා තියෙන්නෙ. කොන්ඩෙට නිතරම කරන සත්කාර නිසාම අද මට හුරුබුහුටි කොන්ඩයක් තියෙනවා. පරම්පරාවෙන් උරුම උන දේ කරුමයක් කියලා කලින් හිතුනත් අද මට ලස්සනට සිංදු කියන්න පුළුවන්. මගේ කටහඬ නිසාම නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන් තැන් ගොඩක් මට මුණගැහුනා.

ලිසීට ඇහුම්කන්දෙන්න, ඔයාටත් මට වගේම හිතහදාගන්න තැන් මුණගැහේවි.

ඔයයි මමයි සර්ව සම්පුර්ණ අය නෙමෙයි. ඉතින් අපිට පුළුවන්ද අනිත් අයගෙ දුර්වල තැන්වලට හිනාවෙන්න. ඉතින් , තවත් කෙනෙක්ගේ බාහිර ස්වරූපයට අපහාස කරන මිනිස්සු මැද වචනයකින් හරි හිත හදන මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න.

අපි ලස්සන වෙමු හදවතින් 

අපි කරුණාවන්ත වෙමු වචනෙකින් හරි 

ස්තූති ලිසී ! 

මම ලෑස්ති ලිසී දුන්න හිනාව ලෝකයටම බෙදන්න.

ඉතින් හිතන්න , ඔයත් ලෑස්තියිද ?

Top