අහිමි වීම් තුළින් හිමි වීම් සොයා ගත් හොන්ඩා (468)

post-title

මේ ලෝකයට අපි එනකොට රිදී රත්තරන් හැඳි අත දරාන ඉපදුනේ නැති උනත් ජීවිතය දිනන සොඳුරුතම අවිය ඇතිවයි මම සහ ඔයා ඉපදෙන්නේ. 

" ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වංශාධිපතියෙකු හෝ පොහොසත් කෙනෙකු ලෙස උපත ලැබීම අවශ්‍ය නොවේ " 

මේක හරි අපූරු කියමනක්. මේ කියමන කියපු චරිතය මුලින්ම මම මුල් නමින් හඳුන්වන්නම්.ඒ තමා ජපන් ජාතික සොයිචිරෝ ( Soichiro ) . දැන් මම ඔහුව මේ විදියට හඳුන්වන්නම් " සොයිචිරෝ හොන්ඩා " ( Soichiro Honda ) .හුරු පුරුදු නමක් කියවුනා නේද ? එහෙනම් අද සොයිවිරෝ මහත්මයාගෙ ජීවිතයෙන් වචන ගලපලා අලුතින් පිටුවක් කියවමු. ජීවිතය ජයගමු




කම්මල්කරුවෙකු වන ගිහෙයි හොන්ඩා සහ ඔහුගේ බිරිඳ මිකාගේ පළමු පුත්‍රයා සොයිචිරෝ හොන්ඩා. සොයිචිරෝ 1906 නොවැම්බර් 17 වන දින ජපානයේ ග්‍රාමීය පරිසරයක උපත ලබනවා. 1922 දී ඔහු ෆුටාමාටා ජ්‍යෙෂ්ඨ ( Senior ) ප්‍රාථමික පාසලෙන් උපාධිය ලබා ගත්තත් විධිමත් අධ්‍යාපනය කෙරෙහි හොන්ඩාට ඒ තරම් කැමැත්තක් තිබී නෑ. සමවයස් මිතුරන් ආදරය හා ජීවිතය ගලපගන්නකොට හොන්ඩාගේ සැබෑ ආදරය මෝටර් රථ ලඟ නැවතුනා.ඔහුට ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකදීම මෝටර් රථ සමඟ වැඩ කිරීම ඔහුට විනෝදාංශයක්. 

පාසැල් අධ්‍යාපනයෙන් පස්සෙ හොන්ඩා සිය වෘත්තිය ආරම්භ කළේ ටෝකියෝහි ආටෝ ෂෝකායි හි ආධුනිකයෙකු ලෙස ය.( වෙළඳාම පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට වැඩ කරන පුද්ගලයෙකු වශයෙන් ) 



ජීවිතයේ විවිධ අභියෝග මැද තමන් සමඟම සටන් කළ හොන්ඩාගේ සිහිනය හරි වෙනස් එකක්. අනික් අයගේ සිහිනය ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ ( ටොයෝටා ) මැකෑනික් වරයෙක් වීම උනත් හොන්ඩාට උවමනා වූයේ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීම.

විවිධ පර්යෙෂණ කටයුතු වල නියැලෙමින් තමන්ගේම මෝටර් රථයක් නිපදවීමට උත්සාහ කළ හොන්ඩාට ඊට වියදම් වන මුළු මුදලම දැරීමට සිදුවෙනවා. තමන්ගේ වුමනාවන්ට මුල්තැන දෙමින් අවශ්‍යතාවයන් පාලනය කළ නිසාම හොන්ඩාට මේ කැපකිරීමේ කිසිදු කටුකත්වයක් නොදැනුන බව බොහෝ සම්මුඛ සාකච්ඡා වලදි ඔහු පවසනවා.

" අරමුණක් සහිතව මහන්සි වෙන මිනිසෙකුට විවේකයක් ගැනීමට අවශ්‍ය විටක විවේකය ගන්න ක්‍රම රාශියක වුවමනාවන් මතු උනොත් ඒ විවේකය අපරාධයක් වෙනවා. මම බොහෝ අවස්ථාවල මගේ අවශ්‍යතවයන්ට මුල්තැන දෙමින් වුවමනා පාලනය කරගන්න උත්සාහ කලා. නිදාගන්න තිබුන බෝඩිම් කාමරයට ගෙවන කුලිය ඉතිරිකරගන්න මට ඕනි උනා. ඉතින් මට අවශ්‍ය විවේකය නම් ඇයි මට ගරාජයේ කොටසක් මගේ නවාතැන කරගන්න බැරි ? ගරාජයේ තිබුණු බංකුව මම මගේ නින්දට රාජධානිය කරගත්තා ."

මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය එලිදක්වන්න.එහි ප්‍රථිපලය ලෙස සිහින මෝටර් රථය එලිදැක්වුවා.

 ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

ආයෙ ආයෙම පරීක්ෂණ කටයුතු කරගෙන ගිය හොන්ඩා අවසානයේ ඒ අවස්ථාව ජයගත්තා. නමුත් ඔහුගේ සිහිනය දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමඟ තව තවත් අභියෝගයට ලක්වුණා. 

කිසිම ආයෝජකයෙක් මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු තව තවත් උත්සාහ කලා. වසර ගනනාවක් යනතුරු ම ආයෝජකයින්ට ලිපි ලියා අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.හොන්ඩාගේ නව මෝටර් රථ කම්හල ඉදිවුණා. 

දෛවයේ සරදමකට 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් හොන්ඩාගේ සිහිනය පොළොව සිපගත්තා.ඔහුගේ කර්මාන්ත ශාලාව විනාශ වුණා.

සියල්ල අහිමි වූ හොන්ඩා ආයෙම පටන්ගත්තා.ඔහුව නවත්තන්න පුළුවන් අභියෝගයක් ඔහුට මුණගැහුනෙ නෑ. 

පැවති යුධ වාතාවරණය එක්ක කාර් මිල ඉහල ගිය නිසා කාර් මිලට ගන්න එන පිරිසට විකල්පයක් ලෙස ඔහු මෝටර් බයිසිකලයක් නිර්මාණය කලා. අත්නොහැර තම හීනය වෙනුවෙන් මහන්සි වූ හොන්ඩා 1949 දී නිපද වූ Dream මෝටර්බයිසිකලය ඔහුගේ උත්සාහයට වටිනාකමක් දුන්නා. ඒ බයිසිකලය ඔහුව කෝටිපතියෙක් කරා.

එතනින් නොනැවතී ඔහු නැවතත් සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කලා.අවසානයේ හොන්ඩාගේ මෝටර් රථ සිහිනය ලෝකයම වැලඳගත්තා. 

ටොයෝටා සමාගම යටතේ වැඩකරපු හොන්ඩා ඔහුගේම නමකින් ලෝකය ජයගත්තා.

අහිමිවීම් කියන්නෙම නව නිර්මාණයක්.ඔයාගෙ ජීවිතේ ඔයාට අහිමි උන හැම දෙයකටම ස්තූති වෙන්න. ඔයාගෙ ජීවිතේ නව නිමැවුම් කරුවා නිර්මාණය කරන්න,අහිමි වූ තැන්වලින්ම ඔයත් පටන්ගන්න.ජය පරාජය තීරණය කළ යුත්තේ වෙන කවුරුත් නෙමෙයි.එය තීරණය කළයුත්තේ 

 " ඔබයි " .

මේ වචන ඔබේ හීනයන් නිර්මාණය කරගැනීමට ආශිර්වාදයක් ම වේවා !

Top