ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල කරන මියන්මාරයේ ස්ත්‍රීන්! (375)

post-title

“මගේ ශරීරයේ ඇති දෘඩම තැන මගේ දණහිස් ය. මම කවදාවත් දණ ගහන්නේ නෑ” - අවුන් සාන් සුකී

මියන්මාරය හමුදා පාලනයට නතු වී දැනට දින 100කට අධික කාලයක් ගෙවී ඇත. මිලිටරි ජුන්ටාවේ වෙඩි උණ්ඩ හා බෝම්බ ප්‍රහාර නොතකා ජනතාව විදී බැස ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මොර දෙයි. ආසියාන් සංගමය හරහා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුනත් මියන්මාරයේ ජනතාව ඉන් සෑහීමකට පත් වන බවක් නම් නොපෙනේ. අනාගතයේ යම් ප්‍රජාතන්ත්‍රවාදයක් ඔවුන්ට හිමි වූවත් එය නාමික වනු ඇතැයි ඔවුන් සිතන්නා සේය. 2020 නොවැම්බර් මස 8 වන දින මියන්මාර මහ මැතිවරණය පැවැත්වුණු අතර අවුන් සාන් සුකී ප්‍රමුඛ ජාතික ලීගය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ^National League for Democratic Party& බහුතර ජනමතයකින් ආණ්ඩුවක් කරවීමේ බහුතර බලය අත්පත් කර ගන්නා ලදි. එම නව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව තිබු 2021 පෙබරවාරි මස 01 වන දිනයේදී අනපේක්ෂිත ලෙස එදිනම අලුයම වූ හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය උපදේශක අවුන් සාන් සුකී හා ජනාධිපති ඌ වින් මින් ජාතික ලීගය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන නායකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හමුදා අත්අඩංගුවට පත් කරමින් රට හමුදා පාලනයට නතු කර ගැනීම සිදු විය. එපමණක් නොව වසරක හදිසි නීතියක් ප්‍රකාශ කරමින් උප ජනාධිපති හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජෙනරාල් මින්ට් සුවේ වැඩ බලන ජනාධිපති ලෙස පත් වෙමින් ඔහුගේ එම බලතල හමුදා ප්‍රධානී මින් උන් ලෙන් හට පවරා දෙනු ලැබීය. 

වසර ගණනාවක සිට පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිහින මැවූ මියන්මාර වැසියන් විදී බැස තම නායිකාව අවුන් සාන් සුකීව නිදහස් කරනා ලෙසත් මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන ලෙසත් ජුන්ටාවට බල කරමින් මහමඟ අරගල කරති. ඔවුන් ජුන්ටාවට බියක් නැත්තාසේ තමන්ට කෙදිනක හෝ ජය අත්වේයැයි ඒකායන අදිටනෙන් පසුවෙති. මේ බොහෝ අරගල වල විශේෂත්වය නම් කැපී පෙනෙන ලෙස ස්ත්‍රීන්ගේ මැදිහත් වීමක් දකින්නට ලැබීමයි. කෙසේ නමුත් මියන්මාරයේ දේශපාලනයේ කාන්තා ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම අවුන් සාන් සුකීගේ මදිහත් වීම තරම් ප්‍රභල ලෙස නොපෙනුනත් 2015 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලීගය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කාන්තාවන් 150 පෙනී සිටි අතර, ඉන් 134ක්ම තේරී පත් විය. 2015 දී එය ප්‍රතිශතයක් ලෙස 12.7% ක් විය. මෙම පිරිස අතර නීතීඥයින්, වෛද්‍යවරුන්, විවිධ ජනකොටස් වල නායිකාවන්, නීති සම්පාදකයින් හා අධ්‍යාපනඥයින් වැනි පිරිස් සිටීම විශේෂත්වයකි. 2011 දී මියන්මාර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 3.5% ක් වූ අතර 2019 දී එය 11.32% කි. ඉන්පසු 2019 දී රාජ්‍ය සේවයේ කාන්තා නියෝජයන 30% ක් දක්වා වැඩි විය යුතු බව අවුන් සාන් සුකී යෝජනා කලත් 2021 වර්ෂයේ සිදු වූ මෙම බල පෙරළිය නිසා එයට කුමක් වේ දැයි කීමද අවිනිශ්චිතය. කෙසේ නමුත් මියන්මාරය හා සසඳන කල ශ්‍රී ලංකාවේ කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම ගැන පවසන්නේ නම් 2020 වර්ෂයේ අපගේ 9 වන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ ප්‍රතිශතය 5.3% ක් පමණි. එනම් 225ක් වූ පාර්ලිමේන්තු නියෝජිතයින් අතරින් කාන්තාවන් සිටින්නේ 12 දෙනෙකු පමණි.

අද වන විට 700කට වැඩි ප්‍රමාණයක් මිලිටරිය විසින් ඝාතනය කර ඇති අතර බොහෝ කැරළිකරුවන් සිරභාරයේ පසුවෙති. මරණයට පත් වූවන් අතර කුඩා දරුවන්ද වේ. මිලිටරි ජුන්ටාව මියන්මාරයේ අලුත් අවුරුද්ද එළැඹීම නිසාවෙන් සිරකරුවන් 24,000ක් පමණ සංඛ්‍යාවක් නිදහස් කල අතර අරගල වල මූලිකත්වය ගත් ක්‍රියාකාරීන් ඔවුන් අතර නැති බව කැරලි කරුවන් චෝදනා නඟයි. මේ වන විට මිලිටරි ජුන්ටාවේ පාලනය මියන්මාරයෙන් පන්නා දැමීමට අරමුණු කර ගත් “සමගි ආණ්ඩුවක්” ඊට විරුද්ධ සියලු පක්ෂ සමඟ එක් වී ප්‍රතිසංවිධානය වී ඇති අතර වින් මියන්ට්ගේ සභාපතිත්වයෙන් යුක්ත මේ කන්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනවාර්ගික කණ්ඩායම් වල නියෝජිතයන් සහ කුමන්ත්‍රණයට විරුද්ධ ව්‍යාපාර වල සාමාජිකයින්ගෙන් යුක්තයි. පසුගිය දිනකදී වෘත්තීය සමිති නායිකාවක වූ ඩෝ මයේ අයෙ (Daw Myo Aye), ජුන්ටාව විසින් බලහත්කාරයෙන් ගෙන ගොස් සිර ගත කොට ඇති අතර, ඇයගේ මියන්මාරයේ සහෝදරත්ව වෘත්තීය සංගමයයේ නිලධාරිනියක් මේ ගැන සඳහන් කර තිබුනේ “අපට අපේ මහා කුළුන අහිමි වුවා” යනුවෙන්.

 එමෙන්ම පසුගිය දින වල සමාජ මාධ්‍ය ජාලා වල බෙහෙවින්ම හුවමාරු වූ ඡායාරූපයක් වන කතෝලික පූජකවරියගේ ඡායාරූපයෙන් වැටහෙන්නේ ආගමික පාර්ෂව පවා මෙම ගැටුම් වලින් මහත් වෙහෙසට පත්ව ඇති බවයි. ලමයින්ගේ පෙළපාලියකට වෙඩි නොතබා තමාවට වෙඩි තබන ලෙස ඇය එහිදී කියා සිටියි. බහුතර බෞධාගමික ප්‍රජාවක් ජීවත් වන මියන්මාරයේ ක්‍රිස්තියානි ආගමික ජන කොටස් පවා මෙම අරගල වලට සම්බන්ධ වීමෙන් වැඩිදුරටත් පෙනෙන්නේ සියලු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් දැඩි පිපාසයකින් පෙළෙන බවයි.

ලෝකය පුරා සිදු වූ විවිධ ආකාරයේ ගැටුම් ගැන සැලකීමේදි පැහැදිලි වන යමක් නම් සෑම විටම ස්ත්‍රීන් හා ලමයින් ඉන් විශාල ලෙස පීඩාවට පත් වන බවයි. වසර 30 ක යුධ අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේද එම තත්ත්වයේ වෙනසක් නැත. 2010 වර්ෂයේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කල සංගනනයකී 89000 ක කාන්තාවන් යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්ව ඇති අතර ඉන් 49000ක් ම උතුරු නැගෙනහිර පළාත් වල අයයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව විසින් යුද්ධයේ යථාර්ථය මැයෙන් පෙන්වා දෙන්නේ, ගැටුමේ ප්‍රධාන ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ ස්ත්‍රීන්, ළමයින් සහ මහල්ලන් බවත්, බොහෝ ස්ත්‍රීන්ගේ ස්වාමි පුරුෂයන් අහිමි වීම් මැද ඔවුන් තම මව්පියන් රැක බලා ගනිමින් ජීවිතය ගෙන යාමට අරගල කරන බවයි. එම නිසා වෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතතාවය සහ මානව ගරුත්වය සහතික කිරීමට ක්‍රියා කල යුතුය යන්නයි. මියන්මාරයේ කාන්තාවන්ටත්, තමන්ගේ රට ප්‍රජාතාන්ත්‍රවාදය දිනා ගන්නා තෙක් මෙම කටුවක ඉරණමට මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය නොහැක. මේ වන විටත් දරුණු ජුන්ටාවට එරෙහිව සමාජ ක්‍රියාකාරිණියන් තමන්ට හැකි සෑම ආකාරයකින්ම බලපෑම් කරමින් සිටිති. මියන්මාරයේ නිලියක වන මයාට් නොඑ අයෙ ^Myat Noe Aye& මිලිටරි ජුන්ටාවට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකාවක කරන ලද ප්‍රකාශයක් නිසා ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇති බව ඇය සඳහන් කරන්නීය. ඇය එහි තව දුරටත් සඳහන් කර ඇත්තේ, ඔවුන් කොතරම් හොල්මන් කලත් සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ජයග්‍රහණය කරන තෙක් ගෙන යන බවයි.

පසුගිය මාර්තු මාසයේ දහඅට හැවිරිදි මා කියල් සින්ට ^Ma Kyal Sin& තම ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ මිලිටරි ජුන්ටාවට එරෙහි උද්ඝෝෂණයට සහභාගි වූ නිසාය. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි ජීවත් වූ තරුණියකි. දිනපතා මා කියාල් මෙන් සිය දහස් ගණනින් ස්ත්‍රීහු දෛනික උද්ඝෝෂණ සඳහා මහා මාර්ග වලට රැස් වෙති. උද්ගෝෂණ වල නිරත වෙන අයට ආහාර ලබා දීම, ප්‍රථමාධාර ලබා දීම පවා කරන්නේ මේ ස්ත්‍රීන් ය. නීති වෘත්තීය වේදීන්, ගුරුවරියන්, ඇඟලුම් සේවිකාවන් සහ වෛද්‍ය සේවකාවන් මෙම අරගල වල ඉහළින්ම සිටින්නෝය. මිලිටරි ජුන්ටාවේ කිසිදු කාන්තා නියෝජනයක් නැත. ජුන්ටාව ජයග්‍රණය කරන්නේ නම්, මියන්මාරයේ ස්ත්‍රීන්ට කිසිදින තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට අවස්ථාවන් නොලැබෙන බව ඔවුන් හොඳාකාරයෙන්ම දනිති. මා කියල් සින්ගේ මරණයෙන් පසු ඇයගේ සහයෝගිතා කාරිනියක පවසා හිටියේ “මියන්මාරයේ ස්ත්‍රීන්ගේ ලේ රතුපාටයි” යන්නයි. පසු දින ඇයගේ අවමගල්‍යට විශාල පිරිසක් දහස් ගණනින් පිරී ඉතිරී යන ලදි. ඇය මිය ගිය දිනයේ ඇය හැඳ සිටි ඇඳුමේ සටහන්ව තිබුනේ “හැම දේම හරියාවි” යනුවෙනි. නමුත් හැමදේම නම් හරි ගොසින් නැතත්, හැම දෙයක්ම හරියන්නට මියන්මාර ස්ත්‍රීන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි පිදීමට උවත් සූදානමෙන් සිටිති.

ආසියාවේ දේශපාලනය හා බල අරගල තුළ කාන්තා නියෝජනය ඉහළින්ම පවතින රටකි මියන්මාරය. ශ්‍රී ලංකාවේ අප, ලොව ප්‍රථම අගමැතිනිය අපිට සිටියා යැයි උදම් ඇනුවත් අවුන් සාන් සුකී වැනි කාන්තා දේශපාලන පෞර්ෂයක් ශ්‍රී ලංකාවේ තවමත් බිහිව නැත. බිහි වන්නට වෙර දැරුවත් පුරුෂ මූලික සමාජයේ අඳුරු හෙවණැළි වලින් එම ස්ත්‍රීන්ගේ මාර්ගය වසා දමනු ලබයි. ශ්‍රී ලංකාව හා සැසඳීමේදී ඉන්දියාව, නේපාලය, මියන්මාරය අපට වඩා ස්ත්‍රී දේශපාලන නියෝජනයේ ඉහළ අගයක සිටිති. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3% වන විට ඉන්දියාවේ එය 12.6%ක්ද, නේපාලයේ එය 32.7%ක්ද මියන්මාරයේ එය 11.32% ක්ද විය. කෙසේ නමුත් 2018 වර්ෂයේදී මැතිරවණ ක්‍රමයට එකතු වූ 25% කෝටා ක්‍රමය දේශපාලනයේ නියැලෙන ස්ත්‍රීන් ලැබූ විශාල ජයග්‍රණයක් වූවද, කාන්තා නියෝජනය වැඩි කිරීමෙන්ම පමණක් කාන්තා අයිතීන් දිනා ගැනීමට රුකුළක් වනු ඇතැයි සිහින මැවීම ප්‍රතිඵල රහිතය. කැපවීම් කල හැකි ප්‍රභල කාන්තා හඬවල් අපට අවැසිය. වර්තමාන ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන හා සමාජ ව්‍යාපාර තිබුනත් ඒවායින් ස්ත්‍රීවාදී පෙනුමක් ගන්නේ කිහියපක් පමණි. එයට හේතුවක් ලෙස කාන්තාවන්ට අවශ්‍ය පසුබිම සැකසී නැති වීමද, රැඩිකල් ස්ත්‍රීවාදීන් සමාජ ප්‍රශ්න වලට මැදිහත් නොවීමද ප්‍රභල ලෙස බලපානු ලබයි. කෙසේ නමුත් ඍජු දේශපාලනයේ නොවුනත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්, විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූළ්‍ය ණය නිසා වැඩිපුරම පීඩාවට පත්වන්නේ ස්ත්‍රීන් ය. සංඛ්‍යා ලේඛන අනුව ලංකාව පුරා විසි අට ලක්ෂ අනු දාහක් එනම් ලක්ෂ 29ක පිරිසක් ක්ෂ්‍රද්‍ර මූල්‍ය අර්බුදයේ හිර වී සිටිති. මෙයින් වැඩිම ප්‍රමාණයක් කාන්තාවන් වන අතර අද වන විට ක්ෂුද්‍ර මූළ්‍ය ණයට එරෙහි ව්‍යාපාරය මෙහෙයවන්නේ කාන්තාවන් ය. තවද උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ මව්වරුන්, වැන්දඹු කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් අදටත් තමන්ට ඉටු නොවූ යුක්තිය වෙනුවෙන් මහමඟ අරගල කරති.

මියන්මාරයේ අරගල කරන ස්ත්‍රීන් හා සසඳන කල ශ්‍රී ලාංකික ස්ත්‍රීන්ට එවැනි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා සටන් කිරීමට නම් ස්ත්‍රීය බැඳි යම් ප්‍රවේශයක් අවශ්‍ය අතර එවැනි අවස්තාවක් වර්තමාන දේශපාලන ව්‍යුහය තුළ නම් පෙනෙන්නටවත් නැත. රටක හමුදාවක් යනු එම රටේ ආරක්ශාව ගැන වග කියන පාර්ශවයක් විනා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරාගන්නා කොටසක් නොවේ. මෙවැනි සිදුවීම් නිසා ඕනෑම රටක සංවර්ධනය අඩාල වන අතර ස්ත්‍රීන් ඇතුලු ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන් තව තවත් අගතියටම පත් වේ. ලිබියාව, ඉතියෝපියාව, කොංගෝ රාජ්‍ය, බොලීවියාව, ටියුසීනියාව හා වර්තමානයේ පලස්තීනයත් මියන්මාරයත් මේවාට නිදසුන් ය. මේ රටවල් ලෝක බලවතුන්ගේ වක්‍රාකාර අත පෙවීම් වලට දැනටමත් හසු වී හමාරය. මියන්මාරයේ තත්ත්වය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මානව හිම්කම් වෙනුවෙන් ක්‍රියා කරන ලෝක සංවිධාන 137කගේ අත්සනින් යුතු ලිපියක් යවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්‍යාලයට ඉන් එක් පාර්ෂව කරුවෙකි. කෙසේ හෝ වේවා අවුන් සාන් සුකී යන අද්විතීය ස්ත්‍රී නායකත්වය තව දුරටත් තමන්ට අවශ්‍ය බව මියන්මාරයේ ස්ත්‍රීන් තම ජීවිත පවා පරදුවට තබමින් ලෝකයට පෙන්වා දී හමාරය. මිලිටරි ජුන්ටාව පරාජය වී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මියන්මාරයට හැකි ඉක්මණින් ලබා ගැනීමට හැකිවනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලෝක ජනතාවගේ එකම ප්‍රාර්ථනයි.

  • නයනතාරා ජයතිලක

මූලාශ්‍ර

Top