නුතන ඉන්දීය සාහිත්‍යයේ මව වූ කමලා දාස් (227 වන ලිපිය)

post-title

කමලා නායර් නම් වන ඇය ඉපදුනේ 1934 මාර්තු මස 31දා ය. කමලා නායර් යනුවෙන් නම් කළ විට ඇය ඔබට යම් පමණකින් ආගන්තුක විය හැකි ය. නමුත් ඔබ ඇය හදුනන්නේ කමලා දාස් යන නමින් යැයි පැවසුවහොත්, එසද ඔබට ඇය මතකයට නැගෙනු ඇත්තේ නිරායාසයෙන් ය. ඇය කමලා දාස් යන නම උරුම කරගන්නේ ඇගේ විවාහයෙන් පසුවය. ඊටත් පසු ඇය මාධවී කුට්ටී යන අන්වර්ථ නාමයෙන් ඉන්දිය සාහිත්‍ය කෙතට මහගු අස්වැන්නක් ලබා දුන්නී ය. අවසන ඇය මිය යන්නේ කමලා සුරයියා ලෙසින් ය. ඉදින් මේ කවර නමකින් හැදින්වුව ද මලයාලි ජාතික කමලා දාස් ඔබ හදුනාගන්නේ ජනප්‍රිය කිවිඳියක්, නවකතා හා පුවත්පත් තීරු ලිපි රචිකාවක්, චිත්‍ර ශිල්පිණියක් මෙන් ම තරුණ රැඩිකල්වාදී මත දැරූ දේශපාලන නායිකාවක් යන විවිධ භූමිකා ඇසුරෙන් ය. 

ඇය නියෝජනය කළ මෙවැනි විවිධ භූමිකා තුළින් ස්ත්‍රිත්වයත්, ආදරයත් පිළිබඳ ගවේෂණාත්මක අදහස් අතිශය අව්‍යාජ තත්වයකින් ඉදිරිපත් කළ අතර මෙම කරුණු මුළුමහත් ඉන්දියාවේ කාන්තා පරපුරට පමණක් නොව , ආසියාතික බොහෝ රටවල කාන්තාවන්ට පොදු ලක්ෂණයන් විය.

සාහිත්‍ය කලාවන්ට ලොල් වූ ඇයට ඒ අභාෂය ලැබෙන්නට ඇත්තේ ඇගේ දෙමවුපියන් ද ඇගේ මාමා ද ලේඛකයන් වීම නිසාවෙන් යැයි සිතිය හැකිය. ලේඛන කලාවෙන් දිගු ගමනක් ගිය ඇය විවිධ සම්මාන බුහුමානයෙන් ද පිදුම් ලද්දී ය. ඒ අතර 1964 වසරේදී කාව්‍ය නිර්මාණය සඳහා ආසියාතික Pen සම්මානයෙන් ද, 1969 වර්ෂයේදී මලයාලි බසින් ලියන ලද කෙටි කතා සංග්‍රහයක් වෙනුවෙන් කේරල ඇකඩමියෙන් ද සම්මාන ලැබුවාය. එමෙන්ම 1984දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් සම්මානය සඳහා නිර්දේශිත විය.

කමලා දාස් ගේ ලේඛන ජීවිතයේදී අව්‍යාජත්වය හෙළිකරන කෘතියක් ලෙස ඉංග්‍රීසි බසින් රචිත Alphabet of Lust නව කතාව හැඳින්විය හැකිය. අතිශයින් නිර්ධය ලෙස භාරතීය දේශපාලනයේ අඳුරු පැතිකඩ විවේචනය කරන මෙම නව කතාව භාරතයේ පමණක් නොව ලොව පුරා ආන්දෝලනයට පාත්‍ර වූ කෘතියකි. පද්මාවතී , The Harlot and Other Stories ඇයගේ නිර්මාණ අතර වැදගත් වන තවත් කෘතීන් ය. කමලා දාස්ගේ කාව්‍ය කෘතීන් අතර Summer in Calcutta(1965) The Descendants , the Old Play House and Other Stories (1985) , Only the Soul knows How to sin (1996)යන පද්‍ය සංග්‍රහයන් ද පවතියි. ඒවා ඈ අතින් බිහිවුන උසස් ගණයේ සාහිත්‍ය කෘතීන්යැයි සැළකිය හැකි ය.

ස්ත්‍රීවාදී ලේඛිකාවක වූ ඇය රචිත Summer in Calcutta කවි සංග්‍රහය ඇයගේ මුල්ම නිර්මාණ සංග්‍රහය වූ අතර එය ඉන්දීය සාහිත්‍ය ලොව හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ. සංවේදී කාන්තාවක් වූ ඇය තම සිතේ සඟවාගෙන සිටි හැඟුම් සහ සිතුවිලි තම නිර්මාණ ඔස්සේ ලොවට හෙළිදරව් කළාය. මෙම කරුණු නිසාම ඇය නුතන ඉන්දීය සාහිත්‍යයේ මව යන නාමයටද හිමිකම් කීම විශේෂත්වයකි.

ඇයගේ පසුකාලින මලයාල සාහිත්‍ය කෘතීන් වන පලයන් (1990), නෙව්පයාසම් (1991) දාවරික්කුරිප්පුකල් (1992) යන නව කතාද ආන්දෝලනයට තුඩු දුන් ඒවාය. 1999 වසරේදී ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇය ලෝක් සේවා නමින් තමාගේම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කළා ය .

වයස අවුරුදු 15දී ඇයට වඩා සැහෙන තරම් වැඩිමල් පුද්ගලයකුට විවාහ කර දුන් කමලා වයස දහසයේදී දරුවකු ලැබූ අතර පසුව දරුවන් තිදෙනෙකුගේ මවක් වුවාය.මෙම විවාහ ජිවිතයෙන් ඇය ලැබූ අත්දැකීම් ද ජීවිතයේ අතෘප්තිමත් භාවය ද , අඟහිඟකම් ද , කාන්තාවක් වශයෙන් විවාහ ජීවිතය නිසා සාහිත්‍යකරණයට වෙලාවක් නොලැබීම ආදී පැනයන් ද , ඉන්දියානු කාන්තාවගේ නිදහසක් නොමැති අවිවේකි ගෘහ ජීවිතය යනාදී විවිධ පැතිකඩ ඇයගේ පොත් මගින් විවේචනයට ලක් කරයි. ඒ අතරම සැමියාගෙන් ඇගේ ලේඛන කලාවට ලැබුණු සහයෝගයද අගය කිරීමට ඇය පසුබට නොවුවාය.

"ඔයා දැන් මට ඉරිසියා කරන්න අරන්. ඔයාට ඕනා මුළු ජිවිත කාලය තුළම ගෙදර නවත්තගෙන මාළු ව්‍යංජන හදව ගන්න විතරයි. මම තව දුරටත් ඔයාගේ වහලියක් හැටියට ඉන්නේ නැතිවෙයි කියලා ඔයා බයයි. මම ඔයාගේ පාපිස්සනේ "

ඇය කාන්තාවන්ට දෙන මෙම ආන්දෝලනාත්මක පණිවිඩය අද ද කාන්තාවන්ට වලංගු කියමනක් ලෙසින් හදුනාගත හැකි ය.

ඇයගේ "My Grand Mothers House - මගේ අත්තම්මාගේ නිවාස" නමැති ඉංග්‍රීසි පද්‍ය ඇය කුඩාකල ගතකල ආච්චි අම්මාගේ නිවසේ පරිසරය, හිතේ නිසකලංක බව සතුට පිළිඹිබු කරන්නකි. ඒ සියල් සතුටු මොහොත් විවාහයෙන් පසු අහිමිවන වග ඇය දක්වන්නී ය. එය පුරුෂාවාදී සමාජයක කාන්තා උරුමයක් ලෙසින් බොහෝ ස්ත්‍රින් නිහඩව විද දරා ගත්තද කමලා දාස් එවන් ප්‍රශ්න වෙනුවෙන් සිය පෑන මෙහෙවා ඇත. ඒ අනුව සමස්ථ ස්ත්‍රිය මුහුණ දෙන්නාවූ සමාජ අසාදාරණතා මෙන් ම කුටුම්බ අසාදාරණතා වෙනුවෙන් ද ඇය සිය නිර්මාණ මගින් කතා කරන්නට උත්සහ ගෙන තිබීම වඩා උසස් පරමාර්ථයක් බැවු නම් පැවසිය යුතුය. 

එබැවින් කමලා දාස් යනු ස්ත්‍රිය වෙනුවෙන් කතා කළ ස්ත්‍රිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සුවිශේෂීම චරිතයක් ලෙසින් සැලකිය හැකි ය. 

Top