නිසොල්මනේම කැරකෙන තත්පර කටුව අපටත් නොදැනිම ජීවිතය ඈතට අරගෙන යනවා. තත්පරයෙන් තත්පරය, පැයෙන් පැය දවසින් දවස ගෙවන ජීවිතය තුළ අරමුණු බලාපොරොත්තු නම් කෙතරම් තිබෙනවාද? ඒ ජීවිතය සුන්දර වුණත් අසුන්දර වුණත් අමාරුවෙන් හෝ ලිහලා බලන්න අපට සිද්ධ වෙනවා. ඒ ජීවිතය දිගහැරෙද්දී ප්‍රේමය, ආදරය කියන බැදීම හමුවීම සරල කාරණයක්. එය පිදුරු සෙවිළි කළ පැල්පතේ සිට මහා මන්දිරය දක්වාම පොදු වූවක්. අද මගේ කතාවේ කතානායකයා ලෙස තෝරා ගත්තේ මහා මන්දිරයක් නියෝජනය කළ ලෝක බලවතෙක්. ඒ ලිබියාවේ ඒකාධිපති පාලකයා වූ මුවම්මර් ගඩාෆියි. සුරූපී තරුණියන් පිරිසක් තම ආරක්ෂාවට යොදා ගනිමින් සිටි මේ ඉලන්දාරියා ලෝක බලවතාගේ නොම්මර එකේ ප්‍රධාන සතුරන්ගෙන් එක් අයෙක්. අවුරුදු 42ක් ලිබියාව පාලනය කරමින් ඒකාධිපති පාලකයෙකු ලෙස ලිස්ට් එකට ඇතුළත් වූ හිතුවක්කාරයෙක්. ගඩාෆි ද සදාම් හුසේන් හා පිදෙල් කස්ත්‍රෝ මෙන්ම සාමාන්‍ය දිළිදු ගොවි පවුලකින් පැවත එන්නෙක්. යුද සෙනෙවියෙකු මෙන්ම රණ ශූරයෙකු වූ ගඩාෆි කිසිම ජගතෙකු ඉදිරියේ හිස නොනැමූ විප්ලවවාදියෙක්. ජීවිතයේ 68 වැනි සැතපුම් කණුව පසුකරද්දී ඔහුට මෙලොවින් සමු ගැනීමට සිදු වුයේ ඔහුගේ විප්ලවීය නාමය ලෝකවාසීන්ගේ සිත් සතන් තුළ නොමැකෙන ලෙස සනිටුහන් කරමිනුයි.
ආදරයට ප්‍රේමයට සීමා මායිම් නැහැ. දෙහදක ආදරය හට ගන්නේ දෙදෙනාගෙන් කවුරුවත්ම නොසිතූ නොපැතූ පරිදියි. ගඩාෆිට ද සිදු වූයේ එවැන්නකි. ලොව අන් සියලු දෙනාටම මෙන් ප්‍රේමය, ආදරය ගඩාෆිට ද දැනුණේය. හිරිමල් වියේ දී මෙන්ම වයසින් හා ශරීරයෙන් මුහුකුරා ගොස් හැඩි දැඩි පුද්ගලයෙකු වූ පසුවද තරුණියන් සමග ඔහු ආදරයෙන් වෙළී සිටි අයුරු අපූරුය. සුන්දරය. මිහිරිය. ප්‍රේමය හමුවේ දඩබ්බර ප්‍රේමවන්තයෙකුගේ භූමිකාව රගපෑ ඔහුට පාසල් ගුරුවරියක වූ පතිහා අල් නූරිට මල්සරාගේ හීසරය එල්ල කරන්නට වෙලාවක් කලාවක් තිබුණාද යන්නද සැක සහිතයි. එයට හේතුව වුණේ ඔහුට වයස අවුරුදු 26ක් සපිරෙන්නටත් පෙර සිටම ඔහු එවකට ලිබියාවේ පැවති ඉද්රිස් රජුගේ පාලනය පළවා හැරීමට විප්ලවය සංවිධානය කළ නිසාය. තරුණ වියේදීම බෙන්ගාසි හමුදා පුහුණු පාසලට ඇතුළත් වී හමුදා පුහුණුව සදහා සිත යෙදවූයෙන් ඔහුට ප්‍රේමයක් පිළිබදව සිතන්නට කාලයක් තිබුණේ නැහැ. ඔහුට බ්‍රිතාන්‍යයට ද ගොස් හමුදා පුහුණුව ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. මෙම කාලයේ දී ඔහුගේ පරම අධිෂ්ඨානය වූයේ හමුදා කැරැල්ලකින් ඉද්රිස් රජුගේ රාජ්‍ය පාලනය පෙරළා දමා ඒකාධිපති පවුල් පාලනයක් ගෙන යාමටයි. ඒ නිසා ප්‍රේමය ඔහුගේ සිත ඇතුළේ නිදන්ගතව පැවතුණත් දියෙන් යට රබර් බෝලයක් යම් ආධාරකයක් ඇතිව සගවා තබා ගන්නට උත්සාහ කරනවා මෙන් ඔහුටද සිදු වූයේ එවන් හැගීමකට තම හදවත විවර කරන්නට ඉඩ නොදී තම හැගීම් සගවා ගැනීමටයි. කෙසේ නමුත් මේ විප්ලවීය මිනිසාගේ යකඩ හිතට ප්‍රේමයේ මුදු පහස ලබා දෙමින් නවාතැනක් සපයන්නට ආධාරකය වුණේ මේ සියුමැලි පතිහාටයි.
ගඩාෆිගේ මුල්ම පෙම්වතිය වුණු පතිහා අල් නූරි ඔහුට මුණගැසුණේ 1967 වර්ෂයේදීය. දුටුවන්ගේ සිත් වශී කරන රූපයක් තිබූ පතිහාව අහම්බෙන් දැකගත් විගස ගඩාෆිට සිදු වුණේ අගුලු දමාගත් තම හදවතට ප්‍රේම සංඥා නිකුත් කිරීමටයි. ඒ වන විටත් විසිහතර වියැති සෙල්ලක්කාර යෞවනයෙකු වූ ගඩාෆි තුවක්කුව සහ ආදරය අතර අතරමං වෙමින් සිටියා. අහම්බෙන් හමු වූ මෙම තරුණ යුවළගේ ආදර අන්දරය රස ගුලාවක් සේ ගලා ගිය අතර මොවුන් දෙදෙනාම අනාගතය වෙනුවෙන් සුභ සිහින දකිමින් ප්‍රේමයේ මිහිර සැමරුවා. එදා මේ තුරුණු රූ සපුවට වසග වූ ගඩාෆිට ප්‍රේමයේ පාඩම මුලින්ම කියා දුන්නේ මේ සොදුරු රුවැත්තියයි. 1968 වර්ෂයේ දී විවාහ දිවියට ඇතුළත්ව මොවුන් දෙදෙනාගේ පිරිසිදු ප්‍රේමයේ සංකේතය ලොවට දායාද කළා. ඒ මොහොමඩ් ගඩාෆිය. 1967 වර්ෂයේ දී හමු වෙලා 1968 දී විවාහ දිවියට ඇතුළත් වෙලා කුළුදුල් දරුවාගේ ප්‍රසූතියත් සිදු වී මාස 6 කට පසුව පතිහාගෙන් වෙන්ව ගඩාෆි ට්‍රිපොලියේ රජ මැදුර වෙත පිය නැගුවා. බලය ලැබෙද්දී තමන්ගේ ප්‍රථම ප්‍රේමයට පිටු පෑමට තරම් ගඩාෆිගේ සිත නැවත දරදඩු වුණා. නමුත් පසුකලෙක ඔහු තම සමීපතම මාධ්‍යවේදියෙකුට පවසා තිබුණේ තමාගේ ප්‍රථම ප්‍රේමය මෙන්ම විවාහයේ මතක සටහන් කිසි දවසක අමතක කළ නොහැකි බවයි. නමුත් ප්‍රතිහාට ඔහුගෙන් වෙන් වීම කෙතරම් දුරට දරාගත හැකි වුයේද යන්න සිතා ගන්නට පවා බැරිය. බලය නැති කාලයේ මොහු වෙනුවෙන්ම ප්‍රේමය පුද දී සියල්ල දරා ගනිමින් ජිවත් වූ ප්‍රතිහාට බලය ඇති කාලයේ ඇයව අමතක කොට පළවා හැරීම කෙතරම් සාහසික කාරණාවක් ද?
කෙසේ නමුත් ගඩාෆි 1969 වර්ෂයේ දී ලිබියාවේ පාලනය සියතට ගැනීමෙන් පසුව දරුණු ලෙස රෝගාතුර වුණා. ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව ඔහුට සත්කාර ප්‍රතිකාර ලබා දීම සදහා ඔහු වටා හෙද තරුණියන් කිහිප දෙනෙකු රැදී සිටියා. රෝහල් භූමිය තුළ කෙමෙන් කෙමෙන් දින ගත කරන ගඩාෆිගේ සිත දෙවන වරටත් සොරාගත් සුරූපිනියක් මෙම හෙද කාර්ය මණ්ඩලයෙහි සේවය කළා. ඇගේ ක්‍රියාවන් සියුම් ලෙස නිරීක්ෂණය කරමින් ඇය කෙරෙහි සිතට දැනුණු ආදරය ඔහු තනිවම සිතින් විද ගත්තා. නමුත් තම සිතැගි සගවා ගැනීමට ගඩාෆිට නම් කිසි ලෙසකින් හැකියාව ලැබුණේ නැහැ. ඒ හෙදිය වෙන කිසිවෙකුත් නොවෙයි සොෆියාය. ඇගේ ආදර බැල්මට වශී වූ මොහුට උන්හිටි තැන් පවා අමතක වුණා. දිනක් රෝහල් ඇදේ වේදනාවෙන් කෙදිරිගාමින් සිටි කර්නල් ගඩාෆි අනෙකුත් හෙදියන්ට ඇස නොගැටෙන ලෙස සොෆියාව තනි කර ගැනීමට උත්සාහ කළා. නියම අවස්ථාව පැමිණි පසු ගඩාෆි අතොරක් නැතිව සොෆියාගේ දෙකම්මුල් සිප ගත්තා. අනතුරුව සොෆියාගේ මුව මඩල සිප ගනිමින් රෝහල් භූමිය මොවුන් දෙදෙනාගේ ප්‍රේම පාරාදීසය බවට පත් කර ගත්තා.
සොෆියා ෆර්කාශ් එල්බ්‍රාසී නම් වූ ඇය හෙදියක වශයෙන් ගත කළේ අඩු වැටුපක් සහිත ඉතා දුශ්කර ජීවිතයක්. ලිබියානු පාලකයා තම වසගයට ගැනීමෙන් පසු සිය හෙද වෘත්තියට ආයුබෝවන් කියා ට්‍රිපොලි රජ මැදුරට පය ගැසුවා. ප්‍රතිහාගෙන් දික්කසාද වූ ගඩාෆි 1970 දී සොෆියාව තමන්ගේ කර ගත්තා. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහයෙනි. විවාහයෙන් පසුව මොවුන් දෙදෙනාගේ සොදුරු කැදැල්ල වර්ණවත් වූයේ පුතුන් 6 දෙනෙකු සහ එක් දුවකගේ ආගමනයත් සමගයි. උපතින්ම උරුම කරගත් රූ සපුව නිසාම සොෆියාට විප්ලවීය මිනිසෙකුගේ හදවතේ ස්පර්ශය උණසුම්ව විද ගැනීමට හැකි වුණා. ඔහු අවසන් හුස්ම හෙළන තෙක්ම ඔහු අසළ රැදෙමින් ඔහුගේ තුරුලෙහි උණුසම විදීමට තරම් වාසනාවන්තියක් බවට පත් වුණා.
ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු සොෆියා තම දියණිය වූ අයෙෂා සමග විදෙස් රටකට පළා ගියා. නමුත් මොවුන් දෙදෙනා ජීවත්වන පරිසරය පිළිබදව තවමත් මාධ්‍යයට රහසක්.