ගිටාරයක් නිසා ඩොලර් මිලියන 180ක් සහ හොඳ නම නැති කරගත් යුනයිටඩ් එයාර් (198 වන ලිපිය)

post-title

කොරෝනා සමඟ ඔන්ලයින් පොත් අලෙවිය ශීග්‍රයෙන් වර්ධනය වෙලා. ක්ෂේත්‍රයක් විදියට එහෙම විකල්පයකට මිනිස්සු පුරුදු වීම වැදගත්. මේ නිසාම ඒකට තරඟකාරීත්වයක් වගේම කාර්යබහුලත්වයක් එකතු වෙලා. මේ නිසාම අතපසුවීම්, සමාජ මාධ්‍යවලට ඇවිත් දැවැන්ත ප්‍රශ්න බවට පත්වෙලා. පොත් කියන්නේ ව්‍යාපාරයක්ම විතරක් නෙමේ. පාඨකයා, පාරිභෝගිකයාම බව ඇත්ත වුණත්, පාඨකයා ට පොතකින් ලැබෙන්නේ අනෙක් ද්‍රව්‍යයකින් ලැබෙනවාට වඩා වෙනස් දෙයක්. ඒ නිසාම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සල්ලි දීලා පොතක් ගැනීම ම නෙමේ. ඒක ආත්මීයයි. පහුගිය කාලය පුරා විවිධ දේවල් හුවමාරුවෙනවා, එහාට මෙහාට මාරු වෙනවා. මේ ලියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. කලාව ව්‍යාපාරයක් හා ගැටීම ගැනයි. 

ආයතනයක වැදගත්ම කොටස තමයි සේවකයා. සේවකයාට පුළුවන් ආයතනයක් නැති කරන්නත්, දියුණු කරන්නත්. විශේෂයෙන් පාරිභෝගික සේවා නිළධාරීන් කියන්නේ ඒකේ ප්‍රධාන පාර්ශවයක්. ලංකාවෙදි නම් පාරිභෝගිකයා තුට්ටුවට දාලා තමයි හුඟක් ආයතනවල සේවකයන් වැඩ කරන්නේ. ඒවාට විවිධ හේතුත් තියෙනවා. ධනවාදී ක්‍රමයේ අවුල වෙන එකක්. හැබැයි පවතින ක්‍රමයේ වුණත් සේවකයෙක් බැදෙන කොන්දේසි වලට වැඩ කරන්න ඕන. එතනදී ආයතනයේ නීති අංක එකද? පාරිභෝගිකයා අංක එකද? කියන තැනදි තමා බොහෝ සේවකයන් අතරමං වෙන්නේ. 

යුනයිටඩ් බ්‍රේක් ගිටාර්ස් කියන්නේ අන්න ඒ වගේ මෑත කාලීන අත්දැකීමක්. බොහෝ ආයතන මේ සිදුවීම උදාහරණයට ගන්නවා තමන්ගේ පුහුණු සැසි වලදී. ඩේවිඩ් කැරොල් කියන්නේ කැනේඩියානු ගිටාර් වාදකයෙක් වගේම ගීත රචකයෙක්. වරක් ඔහු ප්‍රසංගයකට ඔම්හා යන අතරතුරදී ගුවන් තොටුපල සේවකයන් ඩේවිඩ්ගේ වටිනා ගිටාරය අනිත් භාණ්ඩ සමඟ විසි කරනවා. මෙම ගුවන් සමාගම වුණේ යුනයිටඩ් එයාර් ආයතනය. අදාළ තැනට ඇවිත් තමන්ගේ ගිටාරය අතට අරන් බලන ඔහු දකින්නේ කුමක්ද? ඩොලර් 3500 වටින ගිටාරය භාවිතයට ගත නොහැකි විදියට කැඩිලා තියෙන විදිය. ගිටාරය, ගිටාර් වාදකයෙක්ට ආත්මය වගේ. ඔහු මේ ගැන පැමිණිලි කරන්න ගියවිට එතැන සේවකයන් ඔහුව ගණන් ගන්නේ නැහැ. අවසානයේදී ඔහු සංචාරය අවසන් කරලා ඇවිත් මේ ගැන යුනයිටඩ් එයාර් මූලස්ථානයට පැමිනිලි කරනවා. 

එතැනදි ඔහුට ලැබෙන්නේ මේ වගේ උත්තරයක්. ඒ තමයි පැමිණිලි කරන්න තියෙන පැය 24 කාල සීමාව ඉක්මවා ගිහින් තියෙන නිසා ඔහුගේ පැමිණිල්ල භාරගත නොහැකි බව. ඩේවිඩ් මාස නමයක් තමන්ට සිද්ධ වුණු අසාධාරණයට සහනයක් ඉල්ලා සිටියත් කිසිදු පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අන්තිමට ඔහු තීරණය කරනවා තමන්ට සිද්ධ වුණු අසාධාරණය ගීතයක් බවට පත්කරන්න.

ඒ අනුව පළමු ගීතය United break Guitars (යුනයිටඩ් ගිටාර් කඩයි) නිකුත් කරනවා. ඔහුගේ කණ්ඩායමේ සගයෝ එකතු වෙලා තවත් ගීත දෙකක් නිකුත් කරනවා United break guitars 2 සහ 3 විදියට. මේ තුන්වෙනි ගීතය නොසිතූ විදියට මිනිස්සු අතරට යනවා. පළමු දවසෙම යූටියුබයේ 150000ක් දෙනා බලනවා. 2009 දී මේක ලොකු අගයක්. ඊටපස්සේ ක්‍රමයෙන් මේක ලක්ෂ පහ දහය විදියට වැඩිවෙනවා. යුනයිටඩ් සමාගමේ ප්‍රධානියෙක් ඩේවිඩ්ට කතාකරලා සමාව ඉල්ලනවා. ඒ වගේම ඒ වීඩියෝව තමන්ගේ අභ්‍යන්තර පුහුණුවකට යොදාගන්න අවසර ඉල්ලනවා. හැබැයි මේ මොනවා කලත් යුනයිඩට් සමාගමට නම් සිද්ධ වෙන්නේ නස්පැත්තියක්. ඔවුන්ගේ කොටස් නිකුතුව කඩා වැටෙනවා. ඩොලර් මිලියන 180ක පාඩුවක් ඔවුන්ට කෙලින්ම සිද්ධ වූ බවට ගණන් බලා තියෙනවා. ඒ වගේම ඒ වැරැද්ද නිවැරදි කරන්න වැය කරපු මුදල ඊටත් වඩා වැඩි බවයි පැවසෙන්නේ. පාරිභෝගිකයෙකුගේ පැමිනිල්ලක් සුළුවට ගණන් ගන්න බොහෝ ආයතන මේ සෝෂල් මීඩියා නිසා දැන් නම් නිතර පාඩම් ඉගෙන ගන්නවා. තමන් ලොකුයි කියල නම් හිතන් ඉන්න එපා, වැටෙනකම්ම දන්නෙ නැහැ. ! කලාව එක්ක හැප්පෙන එක එච්චරම සරල දෙයක් නෙමේ.

Top