ගතින් මෙන් ම මනසින් ද සුන්දර සමාජ සේවිකාවක වූ රූ රැජින - මනුෂි චිල්ලර්

post-title

"ඔබ සෙසු තරඟකරුවන් තිස්දෙනෙකු සමඟ දින තිහක් ගත කර ඇත. එයින්  ඔබ තමා සමඟ නැවත ගෙන යන්නේ කුමන පාඩමද? " 

එම ප්‍රශ්නයට මෙම සුන්දර තරුණිය මෙසේ ප්‍රතිචාර දැක්වීය 

" මම මගේ සෙසු තරඟකරුවන් සමඟ ගත කළ මේ දවස් මගේ ජීවිතයේ වඩාත්ම ගතික කාල පරිච්ඡේදයයි.  මුළු කාලය තුළම සහතික වූ එකම දෙය සහ  අත්දැකීම අවිනිශ්චිත බවයි. මම මා සමඟ ආපසු ගෙන යනු ඇතැයි යන එක් විශ්වාසයක් නම්,  ඔව් ... මට ලෝකය වෙනස් කළ හැකිය. මම මිස් ඉන්දියාවට ඇතුළු වන විට මට ඇත්තේ දැඩි ආශාවක් පමණි. නමුත් මෙම ගමනේදී මම ජීවිතයේ දර්ශනයක් ලබා ගතිමි. එම දැක්ම සහ මට ලෝකය වෙනස් කළ හැකිය යන විශ්වාසය මම ආපසු ලබා ගැනීමට යන දෙයකි."

2017  Femina Miss India තරඟයේ අවසාන ප්‍රශ්න හා පිළිතුරු වටයේ දී  විනිශ්චය මණ්ඩලය විසින් මනුෂි චිල්ලර් නම් සුරූපී තරගකාරිය වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඇය ලබාදුන්  ආත්ම විශ්වාසය පිරි පිළිතුර එයයි.

දැඩි ආත්ම විශ්වාසය නිසාම ඇයට මෙම තරගයේ ජයග්‍රහණය හිමි විය. 2017 වසරේ miss femina  india ලෙස අභිසෙස් ලැබූ මනුෂි චිල්ලර් ඉන්දියාව නියෝජනය කරමින් 2017 ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි කර ගත්තේය . 

1997 මැයි 14 හරියානා ප්‍රාන්තයේ උපත ලද මනුෂිචිල්ලර්   නව දිල්ලි සෙන්ට් තෝමස් පාසලේ කීර්තිමත්  ආදි ශිෂ්‍යාවකි. වැදගත්  සහ උගත් පවුල් පසුබිමකට උරුමකම් කියන ඇගේ මව සහකාර මහාචාර්යවරියකි. පියා විද්‍යාඥයෙකි. ඇයට එක් සහෝදරයකු සහ සහෝදරියක් සිටියි. 2017 miss world තරගයට ඉදිරිපත් වන විට ඇය භගත් ෆූල් සිං රජයේ කාන්තා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස තම අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් සිටියේය.

2017 miss world ඉන්දියානු නියෝජනය වූ මැය තරගය පුරාවටම දැඩි ආත්ම විශ්වාසයකින් සහ දක්ෂ ලෙස කටයුතු කළේය . මෙම තරගයේදීද අවසාන ප්‍රශ්න  හා පිළිතුරු වටයේ දී තමාට යොමුවුන ප්‍රශ්නයට ඇය ලබාදුන් පිළිතුර සියලු දෙනාගේ අවධානයට සහ පැසසුමට ලක් විය.

 " ලෝකයේ ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය කුමක්ද ?"

ඉතා සුන්දර සිනහවකින් මුව සරසා ගත් මනුෂි එම පැනයට මෙලෙස පිළිතුරු දුන්නේය.

" මම මගේ මවට ඉතා කිට්ටුයි. එබැවින් මවකට ඉහළම ගෞරවය හිමිවිය යුතු බව මා සිතනවා. මේ ලෝකයේ සියලු මවුවරුන් තම දරුවන් වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා.  එබැවින් ඉහළම වැටුප, ගෞරවය, ආදරය ලැබිය යුතු වෘත්තිය වන්නේ මවක් වීමයි"

කෙසේ හෝ  2017 වර්ෂයේ  54 වැනි ලෝක රූ රැජින ලෙස කිරුළේ හිමිකාරත්වය දැරීමට මනුෂි හට හැකිවිය. ලෝක රූ රැජිනක් වූ ඉන්දියාවේ 6 වන තරුණිය වන්නේ ද මැයයි. ඒ වන විට ඉන්දියාවෙන් ලෝක රූ රැජිනක් අවසාන ලෙස බිහි වී තිබුණේ දෙදාහ වර්ෂයේ දී ය. ඒ සුපිරි බොලිවුඩ් - හොලිවුඩ්  නිළියක් වන ප්‍රියංකා චොප්රායි.

ඇගෙන් අවුරුදු 17කට පසු තම රටට රූ කිරුල ගෙන ඒමට මනුෂි හට හැකිවීම නිසා ඇයට ඉන්දියානු රජයේ සහ ජනතාවගේ ඉහළ ප්‍රසාදයක් සහ ගෞරවයක්ද හිමි වුවා. ඉන්දියාවට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දීම නිසා මනුෂි හට 2017 CNN වසරේ සම්මාන උළෙලේ විශේෂ ජයග්‍රහණ සම්මානය ද  හිමිවිය.

2017 වසරේදී රූ කිරුළත් සමඟම ඇයට  සුවිශේෂි වරමක් ද හිමි වූවේය. එනම් beauty with propose නම්  රූපලාවන්‍ය ඒකාබද්ධ  සමාජ සේවා අරමුණක් ද ඇයට  මෙයින් ලැබුණු අතර එලෙස හිමිවූ පළමු කාන්තාව වූයේ ද මනුෂි ය.

beauty with propose හි අරමුණු සහ ඉලක්කය වන්නේ ස්ත්‍රී ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ ව දැනුවත් කිරීමයි.

2017 ලෝක රූ රැජිණ ලෙස තම බල කාලය තුළ මෙම අරමුණ තුළින් විශාල සමාජ සේවයක් සිදු කිරීමට ඇයට හැකි වූවා. ලෝක රූ රැජිණ කණ්ඩායම සමග රටවල් විශාල සංඛ්‍යාවක සංචාරය කරමින්, මෙම ව්‍යාපෘතියේ අරමුණ සඳහා එම රටවල් වල  රජයන් දැනුවත් කරමින් සහ අරමුදල් රැස් කරමින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාව වෙනුවෙන් බොහෝ සුබසාධන කටයුතු කිරීමට ඇය වෙහෙසෙනවා. මනුෂි එලෙස 

චීනය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, ශ්‍රී ලංකාව,  දකුණු අප්‍රිකාව, නවසීලන්තය,  බ්‍රසීලය, ඇමරිකාව සහ ප්‍රංශය වැනි බොහෝ රටවල තම කණ්ඩායම සමග සංචාරයේ නිරත වූවාය. එම සංචාරවලදී තව තවත් සමාජ සුභසාධන කටයුතු සඳහා ඉදිරිපත් වීමට ඇය අමතක නො කළාය.

2018 වර්ෂයේ දී මාරියා සුළි කුණාටුවෙන් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල ප්‍රදේශයන්ට සිදු වූ හානි  යථා තත්වයට පත්කිරීමට අරමුදල් රැස් කිරීමට සහ එහි අඩු ආදායම්ලාභී දරුවන් ගේ සනීපාරක්ෂාව, ඉගෙනුම් කටයුතු සඳහා පෙනී සිටීමට ද  ඇය උනන්දු විය. පිළිකා සහ ළාදුරු රෝගින්ගේ සුබසාධන කටයුතු සදහා අරමුදල් රැස් කිරීමේ කටයුතු වලටද ඇය සම්බන්ධව සිටියාය. 

වරක් මනුෂි බ්‍රසීල පාර්ලිමේන්තුවේ ප්‍රසාදයට ලක් වූයේ ද මෙම මානුෂීය කටයුතු වෙනුවෙන් ඇය දක්වන උනන්දුව සහ වෙහෙස නිසාම ය.

" ඔබේ සිනහව ඔබ සතු බලවත්ම ආයුධයයි. එයින් ඔබට හදවත් දිනාගත් පසු  ජයග්‍රහණය කිරීමට යුද්ධයක් ඉතිරි නොවේ .. එමෙන්ම ඔබේ සිහින වලට පියාසර කිරීමට  ඔබට ඇති ධෛර්යය සහ  ආත්ම විශ්වාසය  ඔබේ ජීවිතය ඉතා වටිනා ජීවිතයක් බවට පත් කරයි "

මනුෂි එලෙස පවසන අතර එය ක්‍රියාවෙන්ද ඔප්පු කිරීමට සමත් වූ සුන්දර තරුණියකි.

beauty with propose අරමුණ සමග ඒකාබද්ධව "ශක්ති" නම් ව්‍යාපෘතියක්ද ඇය ඉන්දියාව තුළ ගෙන ගියාය. ඇය ඒ පිළිබදව මෙසේ අදහස් දක්වා ඇත.

" ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක් විසඳීම ශක්ති ව්‍යාපෘතියේ අරමුණයි.

කාන්තා සනීපාරක්ෂාව සහ AIDS රෝගය  පිළිබඳව අප කාන්තාවන් අතර දැනුවත්භාවයක් නොමැති කමෙන් ඔවුන් දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. දැනුවත් කිරිම ප්‍රතිකාර කිරීම ඔවුන්ට අත්‍යවශ්‍යයි"

තම ප්‍රියතම දේශපාලන නායකයා වන ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා සහ  රජය සමග සාකච්ඡා කොට ඇය තම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු කෝටි 18ක මුදලක් රජයෙන් ලබා ගැනීමටද සමත් විය .

හරියානා ප්‍රාන්තයෙ රජයේ පාසල්වල සියලුම ගැහැණු  ළමුන්ට සනීපාරක්ශක තුවා නොමිලේ ලබාගත හැකි වැඩසටහනකට ද ඇය මෙමගින් මූලිකත්වය දරනවා. එමෙන්ම බෙංගාල වාණිජ හා   කර්මාන්ත මණ්ඩලය විසින් ස්ත්‍රී සනීපාරක්ෂාව පිළිබඳව විශේෂ සැසියකට ද සහභාගි වූ ඇය මුඩුක්කු හා ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරමින් සනීපාරක්ෂාව සහ ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කළාය . ඇය ශක්ති ව්‍යාපෘතිය සමඟ ද ඉන්දියාව පුරා ගම්මාන 200ක පමණ සංචාරය කොට කාන්තාවන් පන්දහසකට අධික පිරිසකට පෞද්ගලික සහ ඔසප් සනීපාරක්ෂාව  දැනුවත් කළ අතර ප්‍රතිකාර කටයුතු ද සිදු කළාය. ජෛව හායනයට ලක් විය හැකි සනිපාරක්ෂක පෑඩ් සෑදීමේ ව්‍යාපෘතියක් සමඟ ද එක්ව කටයුතු කළ මනුෂි 2018 මැයි මාසයේදී ඉන්දියාවේ සංවිධානය කර තිබූ  ලෝක ඔසප්වීම හා සනීපාරක්ෂක දිනය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ පා ගමනකට ද  එක් වී තිබෙනවා. සුපිරි බොලිවුඩ් නළු  අක්ශේ කුමාර් රංගනයෙන් දායක වූ "පෑඩ් මෑන්" චිත්‍රපටියේ කණ්ඩායම සමග එක්ව ස්ත්‍රී ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ තවත් ව්‍යාපෘති සමඟ ඇය සහයෝගයෙන්  කටයුතු කළාය.

මනුෂි චිල්ලර් හින්දි සහ ඉංග්‍රීසි භාෂාවේ චතුර කථිකයෙකි. ඉන්දියානු CBSE  ඉංග්‍රීසි ඉහළම ලකුණු අතරට පැමිණීමට ද ඇය පාසල් අධ්‍යාපනය ලබන සමයේදී සමත් වී තිබුණි. ඇගේ මෙම ඉංග්‍රීසි විෂය පිළිබඳව දැනුම සහ දක්ෂ කථිකත්වය  සමාජ සුබසාධන කාර්යයන් කෙරෙහි යහපත් ලෙස බලපෑවාය. 2017 හයිද්‍රාබාද්හි පැවති ගෝලිය ව්‍යවසායකත්ව සමුළුවේදී ඇය කීර්තිමත් කථිකයකු විය. එමෙන්ම කාන්තා සවිබලගැන්වීම් කටයුතුවල ද නිරත වූ මනුෂිචිල්ලර් Economic Times කාන්තා සංසදයේ ආරාධිත කථිකයෙකු ලෙසද කටයුතු කළාය.

මනුෂි චිල්ලර් රක්තහීනතාවය රෝගය මැඩලීම  සහ නිර්මාංශභාවය වෙනුවෙන් ද පෙනී සිටින චරිතයකි. ඇය ඉන්දියානු රක්තහීනතාවය මැඩපැවැත්වීමේ වැඩසටහන්හි තානාතිපතිවරියක් ලෙසද ක්‍රියා කරයි. ඇය එක් අවස්ථාවකදී 2019 වසරේ නිර්මාංශත්ව පෞරුෂයට හිමි ඉන්දියානු PETA සම්මානයද හිමි කරගත් තරුණියකි.

නිර්මාංශ වීම පිළිබද ඇයගේ අදහස මෙයයි.

" නිර්මාංශිකයෙකු වීම ඇත්තෙන්ම මට ජීවන මාර්ගයක් වී තිබේ. මගේ දෙමව්පියන් නිර්මාංශිකයින් වූ අතර ඔවුන් මට ඒ සදහා යම් තේරීමක් කළ ද, නොකළ ද මා කිසි විටෙකත් මග හැරී ඇති බවක් මට දැනුනේ නැත. මම සෑම විටම නිර්මාංශිකයෙක් වන අතර එය වෙනස් කිරීමට අවශ්‍ය යැයි කිසි විටෙකත් මට හැඟී නැත" 

TIMES OF INDIA විසින් පැවැත්වූ අන්තර්ජාල සමීක්ෂණයෙන් ඇය ඉන්දියාවේ වඩාත් ජනප්‍රියම කාන්තාව ලෙස ද තේරීපත් වූයේ ඇයගේ මානුෂීය කටයුතු පිළිබදව හා ඇයගේ බාහිර මෙන්ම අභ්‍යන්තරයේද ඇති සුන්දරත්වය කෙරෙහි ඉන්දියානුවන් තුළ තිබූ ඇල්ම සහ විශ්වාසය නිසාමය. 2017 ලෝක රූ රැජින  කිරුළ දිනා ගැනීමෙන් පසු ඇය කළ සියලු සමාජ සේවා කටයුතු උදෙසා  ජනමාධ්‍යන්හිද  සහයෝගය ඇයට නිතැතින් ම ලැබුණේය.

2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් සහ 2018 ලෝක රූ රැජින වූ වැනීසා පොන්ස් සමග එක්ව මනුෂි චිල්ලර් Covid 19 කොරෝනා වෛරසය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ සහ තම රටවල් වෛරසයට එරෙහි වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වේදිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය කරගනිමින් කටයුතු කළාය.

"වෛරසය එහි ධාවන පථය තුළ නැවැත්වීම සඳහා ප්‍රජාවන් ප්‍රධාන වනු ඇත,  මට අවශ්‍ය වූයේ අපි එකට සිටින බවත් ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේ ලෝකයේ සෙසු රටවලත් සිදුවන බවත් පැවසීමටයි. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලෝකය එක්සේසත් වීමේ අවශ්‍යතාවය ගැන කථා කරන්නයි. අනෙක් රූ රාජිණියන්ද මෙය කථා කරනු ඇත. වැනීසා සහ ස්ටෙෆනි සමග මා ද දැනුවත් කිරීමට එකතු වී සිටියි. අපි එක ලෝකයක් වන අතර අපට සාමූහිකව සටන් කොට මෙය සුව කළ හැකිය.  මෙම අභ්‍යාසයේ අභිප්‍රාය එයයි" මනුෂි එසේ පවසන්නේ සමාජය දිරිමත් කරමින්. 

එමෙන්ම ඇය යුනිසෙෆ් සංවිධානයේ Covid 19 කොරෝනා වසංගතය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩකටයුතු සදහා සම්බන්ධ වී කටයුතු කරමින් සිටියි. වසංගත තත්වය පිළිබදව වීඩියෝවක් ද ඇය සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණාය.

 "මගේ රටේ පුරවැසියෙකු ලෙස,  අප සම්බන්ධ ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා නැගී සිටිමින් මගේ යුතුකම ඉටු කිරීම මගේ වගකීමයි. කොරෝනා වයිරස් අප සියල්ලන්ම අනාරක්ෂිත භූමියකට ඇද දමා ඇති අතර එය අප සැමට බලපාන අතිශය තීරණාත්මක තත්වයක්. එබැවින් සියලු දෙනා සමාජ දුරස්ථභාවය රකිමින්, සෞඛ්‍යාරක්ෂිතව වගකීමෙන් කටයුතු කරන්න. ”  යැයි මනුෂි ජනතාවට එහිදී පැවසූයේ සමාජයේ ගෞරවය හිමි ජනප්‍රිය කාන්තාවකගෙ සැබෑ වගකීම හඳුනා ගනිමිනි.

2017 ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමත් සමගම ඇයට හිමි වූ beauty with propose අරමුණෙන් සමාජ සේවා කටයුතු ඇරඹි මනුෂි තවමත් සමාජීය කටයුතු වෙනුවෙන් පෙරමුණ ගනිමින් සිටියි.

එමෙන්ම නර්ථන හා චිත්‍ර ශිල්පයේද දක්ෂතා දක්වන මනුෂි ඉන්දිය අධ්‍යක්ෂක චන්ද්‍රප්‍රකාශ් මහතාගේ ප්‍රිත්විරාජ් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ද රංගනයට අත්පොත් තැබුවේ මෙම වසරේදීයි.

එමෙන්ම වෙළද සන්නාම තානාතිපතිනියක්, සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරනා 23 හැවිරිදි මනුෂි චිල්ලර් තම වෛද්‍යවරයකු වීමේ සිහිනය වෙනුවෙන් කැපවෙමින් සිටින්නේ අසීමිත සිහින පිළිබදව දැඩි විශ්වාසයෙනි.

 

" අහස යනු සීමාවයි. එහෙත් අප අසීමිතයි. අපේ සිහිනද එසේය.

අප කිසිවිටෙක අපගේ සිහින පිළිබදව සැක නොකළ යුතුයි"  යනුවෙන් ද ඇය පවසන්නීය.

 

අප ද තම ජීවිතය තුළ අසීමාන්තික සිහින වෙනුවෙන් දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කළ යුතු අතර එකී අසීමාන්තික සිහිනයන්ට යන ගමනේදී අවට සමාජයේද යහපත් වෙනසක් ඇතිකිරීමට උත්සහ කළ යුතුයි. එකී උත්සහයන්ම දිනෙක අප සිහින ඉටුවීමට උත්තේජකයක් සපයනු ඇත. එමෙන්ම තම අභ්‍යන්තරයේ සාරවත් භාවය බාහිර පෞරුෂය පෝෂණය කිරීමට ඉවහල් වන බවද මනුෂිචිල්ලර් වැනි චරිත මගින් මනාවට තහවුරු වේ.

මූලාශ්‍ර:_  www.indiatvnews.com

             www.hindustanitimes.com

             www.indianexpress.com

             ANI news agency

Top