ලෝකයේ පැරණිතම ප්‍රේම ගීතයටත් පණ දෙමින් ලොවෙන් මැකී ගිය සුමේරියානු ශිෂ්ටාචාරය (457)

post-title

ලෝකයේ අරුම පුදුම දේ එමට ඇත. එහෙත් ඒ කිසිවක් මිනිසා තරම් පුදුම නැත. ලෝකයේ ඇතැම් බොහෝ දේවල් විශ්ව කර්ම නිර්මාණයන් වීමටත්, ඇතැම් ගවේෂණයන් හා පර්යේෂණයන් ලොව සසල කළ මවිතයන් වීමටත් පුදුම සහගත මූල බීජය වන්නේ මිනිසාය. එවැනි ඓතිහාසික ශිෂ්ටාචාරයකට උරුමකම් කියමින් ප්‍රේම ගීත ලොවට දී මෙලොවින් වද වුණු මානව පරපුරක් පිළිබදව අද වචන හරහා ඔබට ගෙනෙන්නට සිතුවෙමි. ලොව එතෙක් මෙතෙක් බිහි වූ මානව ශිෂ්ටාචාර අතරින් සුමේරියානු ශිෂ්ටාචාරයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. සමාජ, ආර්ථික, සංස්කෘතික, ආගමික ලක්ෂණ වලින් පොහොසත් වූ මෙම ශිෂ්ටාචාරය මානව පරපුරක එක්තරා වූ කේන්ද්‍රස්ථානයක් ලෙස හැදින්වූවාට ද වරදක් නැත. 

ක්‍රි.පූ 2000 දී පමණ මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝ, ගෝතමාලා වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වී ගිය මායා ශිෂ්ටාචාරයේ නොදත් විත්ති ලොවට හෙලි වූයේ මේ මෑතකදීය. අදින් වසර 4000ක පමණ දුරාතීතයක් පැවති මෙම ශිෂ්ටාචාරයේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කිරීම සදහා මැටියෙන් තැනූ දින දසුන කදිම සන්නිදර්ශනයක් සපයයි. මේ ලෙසටම ආදි සුමේරියානු ශිෂ්ටාචාරය කාලයේ වැලි තලා මතින් වැසී නැවත අපුරු වෘතාන්තයක් ලෙස කළ එලි බසින්නට කාලය ඉඩ ලබා දී තිබේ. මධ්‍යම ආසියාව නිජබිම කොටගත් සුමේරියානු ශිෂ්ටාචාර වැසියන් මෙයට වසර 5000කට පෙර ජීවත්වුයේ යැයි ඉතිහාසයෙහි සදහන් වෙයි. තුර්කියේ ස්තාන්බූල් නගරය අති කාර්යබහුල නගරයක් වූ අතර වත්මනෙහි ගුවන් සහ නාවික ගමන් මාර්ග සෙසු දේශාන්තර වලට සම්බන්ධව ඇත්තේ මෙය හරහාය. ස්තාන්බූල් නගරයට ආසන්නයෙන්ම ඇති කොන්ස්තන්තිනෝපල් නගරය පෞරාණික සුමේරියානු ජන සමාජීය ව්‍යුහයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය ද වෙයි. මෙම නගරය රෝම අධිරාජ්‍යයෙකු වු කොන්ස්ටන්ටයින් රජු විසින් නිර්මාණය කර ඇත. පළමු වරට කතෝලික දහම වැළද ගනිමින් ඓතිහාසික වශයෙන් පොහොසත් රාජ්‍යයක් බවට පත් කළ කොන්ස්ටන්ටයින් රජු තම ජන්ම භූමිය වූ රෝමය අතහැර හිතුමනාපය පරිදි ආසියාවට නුදුරෙන් මෙම නගරය බලකොටුව ලෙස පවත්වා ගනිමින් තම රාජ්‍යය කරගෙන ගොස් ඇත.

යුද්ධයට අති සමතුන් වූ සුමේරියන්වරු තම රාජධානිය වටා තිබූ අනෙකුත් රාජ්‍යයන් තම රාජ්‍යයට ඈදා ගැනීම සදහා සටන් වැද තම දිවිය නිර්භයව පුද කළ රණශූරයන් වූහ. මරණයටත් අභියෝග කිරීමට සමත් වූ සුමේරියානු වැසියන් ගෘහ නිර්මාණ ශිල්පය, ගීතය, නාට්‍යය ආදී කලා ශිල්ප වලට කුසලතා දැක්වූ ජාතියක් වශයෙන් දිවි ගෙවීය. නමුත් ස්වභාදහම් මෑණියන් නියම කළ ධර්මතාවයට අනුව අනුගත වෙමින් ස්වභාවික උපද්‍රව සහ ගැටුම් හේතුවෙන් මෙම ඓතිහාසික මානව පරපුර මිහි මතින් විනාශ වී ගියේය. ඒ අමරණීය පෞඪ මානව සංස්කෘතියක මතක සටහන් රැසක් ලොවට දායාද කරමිනි. නමුත් එම වංශකතාව යළි යළිත් පණ ගන්වන්නට විදු ලොවෙහි තතු මහෝපකාරී වූ බව කිවයුතු මනාය. තුර්කියේ පිහිටි ස්තාන්බූල් කෞතුකාගාරය එයට කදිම සාක්ෂි දරයි. ලොව පැරණිතම අක්ෂර මෙම ශිෂ්ටාචාරයෙන් හමුවන බව විද්‍යාත්මක මතයන් තහවුරු කරන අතර ඒ සදහා මැටි පුවරු මත ලියා ඇති අක්ෂර විදු ලොවෙහි පර්යේෂණ සදහා බදුන් විය.

සුමේරියානු සාහිත්‍යය ලොව පෙම්වතුන් පවා අමන්දානන්දයට පත් කරනු ලැබූවකි. ප්‍රස්ථාව පිරුළු, මිථ්‍යා පුරාවෘත, ආගමික ගීත හා කාව්‍යයන් මෙහි ශ්‍රේෂ්ඨත්වය ලොවට කියා දෙයි. මැටි පුවරු වල ලියා ඇති අමරණීය ප්‍රේම ගීත සුමේරියානු ශ්ෂ්ටාචාරයට පමණක් අනන්‍ය වූවකි. ලොව විවිධ දේශයන්හි සිදු කළ පුරා විද්‍යාත්මක කැණීම් වලදීවත් මෙවැනි අමරණීය ප්‍රේම ගීත අඩංගු එකදු මැටි පුවරුවක්වත් මෙතෙක් හමු වී නැති අතර ඒ නිසාම මෙය ලෝකයේ පැරණිතම ප්‍රථම ප්‍රේම ගීතය ද වෙයි. ආදිතම සුමේරියානු වැසියන් විසින් අදහනු ලැබූ දෙවියෙකු සහ දේවතාවියෙකු මුල් කරගෙන සිදුවන විවාහ මංගල්‍යයක් වෙනුවෙන් මෙම පෙම් ගී ලියැවී ඇත. එමෙන්ම රජු සහ පූජකවරියක් අතර සිදු කෙරෙන විවාහයක් සංකේතවත් කිරීම සදහා ලියැවුණු ප්‍රේම ගීතයක මුල් කොටසේ අනුවාදය මෙලෙස වෙයි.

 රජු- “ ප්‍රියාදර සොදුර....මගේ හද අරක් ගත් සුරතල් ලලනාවනි.....? ඔබේ සුකොමළ බව සුන්දරත්වය.....අසීමිතය. සියුමැලි බව....උත්තරීතරය.....හඩ මිහිරිය....මී පැණි මෙන් මධුරය..... ”

පූජකවරිය- “ සබද....මගේ නොයිදුල් හදවත උදුරාගත් ප්‍රතාපවත් සංහ රාජයාණෙනි....? ඔබ මට මිණකි.....ඔබේ තේජස් බව මට සැපකි. ආදර ඇමතුම මිහිරකි....එයද මීපැණි සේම මධුරය. එහෙයින්ම.... ”

සුමේරියන්වරු කලා ශිල්පයෙහි නිපුණයන් වීමත් උග්‍ර දේවවාදී අදහස් දැරූ මානව වංශිකයින් පිරිසක් වීම නිසාත් මොවුන් තුළ රසකාමීත්වයක සුසංයෝගයක් දක්නට හැකිවිය. ඔවුන් එන්ලීල් නම් දෙවියන් භක්ති ප්‍රණාමයෙන් පුදනු ලැබූ අතර ඒ බව පසක් කරලීමට එන්ලීල් දෙවියන්ගේ ගුණ කදම්භය සිහි කිරීම පිණිස මැටි පුවරුවක ලියා තැබූ සටහනක් මෙලෙස දැක්වෙයි.

“කිසිදා නොසැලෙන ගිරි ශිඛරයක් බදු වූ එන්ලීල් දෙවියාණෙනි.... ඔබතුමන්ගේ සෙවණ නොපතන තැනෙක නගර ගම් නියම්ගම් ඉදිවිද...? ඔබතුමන් නොමැතිව බැටළු රැළ රැකේද....? රජකු රජවේද...? පූජක උතුමන්ලා පහළ වේද....? සයුරේ මින් රළ වෙරළේ බිජුවට වපුරාද....? ගංගා ඇළ දොළ උතුරාද...? සියලු සියොතුන් මිහිපිට කැදලි තනයිද....? අහස්කුස දරා සිටින වලාරොද දිය බිදු බිම හැළෙයිද....? සෙවණ දෙන රුක. ඵල දෙන වැල නිල්වන් තණපලස තැනෙයිද....? අහර ඉවර වෙයිද....? හාම්පුතුන් කම්කරුවන් බිහිවේද....? ලොව රක්නා වේද....? එසේ හෙයින් මැ....? එන්ලීල් දෙවියාණෙන..ි ඔබය අපේ මග... ඔබය අපේ පණ.... ඔබය අපේ පැවැත්ම.... නිබදවම අප රකිනු මැන..... ”

මේවා අධ්‍යයනය කරනවිට සුමේරියානුවන්ගේ පැවති සාහිත්‍යයමය විමර්ශනය මනාව ගම්‍යමාන වෙයි. යුදයෙන් මෙන්ම කලාවෙන් ද පොහොසත් මෙවන් වූ ශිෂ්ටාචාරයක නොදත් තතු බොහොමයි. ආදි සුමේරියානුවරුන් පිටසක්වළ සමග පැවැත්වූ සම්බන්ධතාවය පිළිබදව විද්‍යා ලොවෙන්ද තතු හමුවන බවද මෙහිදී දක්වාලිය යුතුය. සුමේරියානු ශිෂ්ටාචාරයේ නටඹුන් අතර සැගව ඇති දේ තවනම් කොතෙකුත් ඇත්ද?

Top