කෝපි ගසක වගතුග (358)

post-title

ලෝකයේ වැඩිපුර ම හුවමාරු වන වෙළඳ ද්‍රව්‍ය අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ ඛනිජ තෙල් වේ.එහි දෙවැනියට පවතින්නේ කෝපි බව ඔබ දන්නවාද? ජලයට පමණක් ම දෙවැනි වන මෙම කෝපි පානය ලොව ජනප්‍රිය ම පානයක් වශයෙන් හඳුනාගෙන ඇත.ලෝකවාසීන් දිනකට කෝපි කෝප්ප මිලියන එක්දහස් හාරසියයක් පමණ පානය කරනු ලබන අතර කෝපි පානයේ ආරම්භය සිදුවන්නේ ඉතියෝපියාව තුළ ය.ඉතියෝපියානු ජාතික කාල්දි නම් වූ එඬේරා තම එළු පට්ටිය තණ කෑමට නිදහස් කොට තිබූ අතර එළුවන් අතර ඇති වූ නොසන්සුන්තාවය නිසා විපරම් කළ මොහුට දක්නට ලැබුණේ බෙරි වැනි ගෙඩි ආහාරයට ගන්නා එළුවන් එලෙස නොසන්සුන් ලෙස හැසිරෙන බවයි.මේ පිළිබඳ කල්පනා කළ මොහු පල්ලියේ පියතුමා හට මේ කරුණ සැළ කර සිටියේය.පියතුමා විසින් මෙම ශාකයේ ඇට විවිධ අයුරින් පානය කිරීම සඳහා වේලා ,බැඳ සකස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කෝපි පානය නිර්මාණය විය.මෙම පානය ඔවුන්ගේ රාත්‍රී යාඥාවන් සඳහා දිගු වේලාවක් අවදිව සිටීමට ප්‍රයෝජනවත් වූ නිසා තව දුරටත් ප්‍රසිද්ධ විය. කිතුනු සමාජය තුළ කෝපි පානය හඳුන්වනු ලැබූයේ ' යක්ෂයාගේ පානය' වශයෙනි.ඊට හේතු වී ඇත්තේ මෙම පානය නිර්මාණය කර ඇත්තේ සාතන් විසින් බවට ඔවුන් විශ්වාස කිරීමයි.කෙසේ වෙතත් අටවන ක්ලෙමන්ට් පාප්තුමා විසින් මෙම කෝපි පානය කිතුනුවන්ට සුදුසු බව දැක්වීම තුළ දුර්මත පහව ගොස් ඇත.ඉස්ලාම් සමාජය තුළ ද කෝපි පානය තහනමට ලක් ව තිබූ කාලයක් පැවතුණි.වර්ෂ 1511 දි මක්කම පාලනය කළ ඛයිර් බෙග් නමැත්තා කෝපි පානය හරාම් පානයක් නැතහොත් තහනම් පානයක් ලෙස නම් කර තිබුණි.කෝපි පානය කිරීම තුළින් මිනිසුන් තුළ ඇතිවන උත්තේජනය හේතුවෙන් තමාට එරෙහි ව යම් මතවාදයක් හෝ පාලනයක් ගොඩ නැගේ යැයි ඇති වූ බිය නිසා මෙවැනි නීති නිර්මාණය වී ඇත.නමුත් 1524 දී තුර්කි ජාතික සුල්තාන්වරයෙකු විසින් එම තහනම ඉවත් කර ඇත.අතීතයේ එවැනි නීති පැවතිය ද වර්තමානයේ කෝපි යනු ලොව පුරා ප්‍රමුඛ ලෙස භාවිත කරන පානයක් වේ.

ශ්‍රී ලංකාවට කෝපි වගාව හඳුන්වා දෙන්නේ යේමනයේ සිට පැමිණි අරාබිවරුන් විසිනි.ඒ වර්ෂ 1503 දී ය.එලෙස කෝපි ලංකාවට හඳුන්වා දුන්නද එහි දළු ව්‍යංජන සඳහා යෙදීමටත් කෝපි මල් බුද්ධ වන්දනය සඳහා යොදා ගැනීමටත් හැර එහි නිසි ප්‍රයෝජන ලැබීමට ලාංකිකයන් දැන සිටියේ නැත.1658 දී ඕලන්ද ජාතිකයන් විසින් කෝපි ශාක වගාවක් වශයෙන් ආරම්භ කරන ලදී.මෙම කෝපි වගාව වඩාත් ප්‍රචලිත සහ ප්‍රයෝජනවත් ලෙස ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය.1825 පමණ වනවිට බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ වගා කළ හැකි සෑම බිම් කඩකම කෝපි වගා කිරීම ඇරඹීමත් සමඟ ලංකාවේ කෝපි වගාවේ ස්වර්ණමය යුගය ආරම්භ විය.1870 වනවිට වසරකට පවුම් මිලියන සියය ඉක්මවන වටිනාකමකින් කෝපි අපනයනය කළ අතර ලෝකයේ කෝපි වගා කරන ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සඳහන් විය.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ මහා මාර්ග,දුම්රිය මාර්ග යනාදී යටිතල පහසුකම් සංවර්ධනය වීම ද පුළුල් විය.1830-1860 කාලය තුළ ලෝකයට කෝපි අපනයනය කරන ප්‍රධාන රටවල් ත්‍රිත්වය අතර ලංකාව ද පැවතුණි.සෙසු රටවල් වූයේ බ්‍රසීලය සහ ඉන්දුනීසියාවයි.කෙසේ වෙතත් 1869 දී කෝපි වගාවට ඇති වූ මලකඩ රෝගය හේතුවෙන් වගාවන් විනාශයට පත් විය.

කෝපි ගස සාමාන්‍යයෙන් අඩි තිහක් (මීටර් නවයක්) පමණ උසට වර්ධනය වන ශාකයකි.කෝපි ගසේ එකවර මල්,අමුගෙඩි මෙන් ම ඉඳුණු ගෙඩි ද දැකගත හැකි වේ.ප්‍රථම වරට මල් පිපීමෙන් පසුව ගෙඩි පරිණත වීම සඳහා වසරක පමණ කාලයක් ගත වන අතර සම්පූර්ණ ඵල දැරීම කරා ළඟාවීමට වසර පහක පමණ කල් ගත වේ.කෝපි ශාකයක් සාමාන්‍යයෙන් වසර සියයක් පමණ කාලයක් පවතින නමුත් එහි නිෂ්පාදන කාර්යය නොහොත් ඵල දැරීම වඩාත් හොඳින් සිදුවන්නෙ ශාකයේ වයස අවුරුදු හතත් විස්සත් අතර කාල පරිච්ඡේදයේදී ය.කෝපි ශාකයේ ශක්තිය ආරක්ෂා කරගැනෘම සඳහාත් අස්වනු නෙළීමේ පහසුව උදෙසාත් ශාක කප්පාදු කිරීම සිදු කරයි.නිසි අයුරින් නඩත්තු කිරීම මඟින් කෝපි නිෂ්පාදනය නිසි ලෙස පවත්වා ගැනීම සහ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම සිදු කළ හැක.සාමාන්‍ය කෝපි ගසකින් වසරකට කෝපි ගෙඩි රාත්තල් දහයක් හෝ කොළ පැහැ ගෙඩි රාත්තල් දෙකක් පමණ ලබාගත හැකි වේ.කෝපි මල පෙති පහක් හෝ හයක් සහිත සමන්පිච්ච සහ ගාඩිනියා යන මල්වල සුගන්ධයෙන් සම්මිශ්‍ර සුගන්ධයකින් යුතු පිච්ච කුලයට අයත් වූවකි.ලෝකයේ කෝපි මහා පරිමාණයෙන් වගා කරන බ්‍රසීලය,වියට්නාමය,ඉන්දියාව සහ යේමනය තුළ කෝපි මල් පිපෙන සමය දහස් ගණනක විදේශිකයන්ගෙන් පිරී ඉතිරී යයි.ඒ කෝපිමල්වල විචිත්‍රත්වයත් සුගන්ධයක් විඳගනු පිණිස ය.

කෝපි ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Coffea වේ. ප්‍රධාන වශයෙන් කෝපි වර්ග දෙකකින් යුක්ත ය.

*Coffea arabica

*Coffea robusta එම දෙවර්ගය වේ.

ඇරබිකා වර්ගය ඉතියෝපියානු සම්භවයකින් යුක්ත වේ.මීටර් අටසියයට වඩා ඉහළ උන්නතාංශයක් සහිත සිසිල් දේශගුණයක වැඩෙන මෙම කෝපි ප්‍රභේදය ප්‍රමාණයෙන් කුඩා වීම නිසා කළමනාකරණය පහසු වේ.ස්වපරාග ශාකයක් වන බැවින් බීජ මඟින් ප්‍රචාරණය කළ හැකි ය.ඇරබිකා ප්‍රභේදයේ පවතින ඉහළ ගුණාත්මකභාවයත්,රසයේ සහ සුවඳේ විශිෂ්ටත්වයත් හේතුවෙන් ලෝක වෙළඳපොළෙ වැඩි ඉල්ලුමක් පවතින්නේ මේ සඳහා ය.රොබස්ටා ප්‍රභේදය අප්‍රිකාව ආශ්‍රිත ව සම්භවය ලබා ඇත.මෙම කෝපි මීටර් අටසියයක් දක්වා තෙත් සහ අතරමැදි කලාපවල වගා කෙරෙයි.මෙම කෝපි දෙවර්ගයේ ම අමු කෝපි කිලෝග්රෑම් පහකින් සැකසූ කෝපි කුඩු කිලෝග්රෑමයක් පමණ ලබාගත හැකි වේ.මෙම කෝපි ප්‍රභේද දෙකකට අමතර ව ලයිබෙරිකා නම් කෝපි වර්ගය ද පවතියි.මෙහි කෝපි ශාකය විශාල ලෙස වැඩෙන අතර වාණිඡ වශයෙන් වගා කිරීම සිදු නොකරයි.මැලේසියාව,මැදපෙරදිග රටවල් විසින් ඉල්ලුම් කරන මෙම කෝපි වර්ගය තිත්ත රසයෙන් යුක්ත වේ.රොබස්ටා කෝපි වර්ගය ලාබදායි වුවද කැෆේන් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතියි.සංඛ්‍යා දත්තවලට අනුව ලෝකයේ සමස්ත කෝපි නිෂ්පාදනයෙන් සියයට හැටක ප්‍රමාණයක් ඇරබිකා කෝපි වර්ගය ද සියයට හතලිහක ප්‍රමාණයක් රොබස්ටා කෝපි වර්ගය ද වේ.

ලංකාවේ හැත්තෑව දශකයෙන් පසුව කෝපි වගාව පරිහානියට පත් වුව ද මෑතකාලීන ව රබර් හා තේ වගාව මඟින් කෝපි වගාව ප්‍රතිස්ථාපනය කර ඇත.ලංකාවේ කෝපි අතරින් ඇරබිකා වර්ගය සහ දෙමුහුන් වර්ගය උක්ත දක්වන ලද මලකඩ රෝගයට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් වීම නිසා ඇරබිනා කෝපි මහනුවර,මාතලේ,නුවරඑළිය,බදුල්ල යන ප්‍රදේශවලත් රොබස්ටා වර්ගය කෑගල්ල,කුරුණෑගල,මහනුවර,මාතලේ යන ප්‍රදේශවලත් වගා කරනු ලැබේ.ඒ අනුව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර හයදහස් පන්සිය අසූවක කෝපි වගාව ව්‍යාප්ත වී තිබේ.කෝපි වගාව සඳහා ගුණාත්මක පස,සෞම්‍ය දේශගුණය,නිරන්තර ලැබෙන වර්ෂාව සහ සෙවණ සහිත පරිසරය වැදගත් වේ.

කෝපි ප්‍රධාන වශයෙන් පානය කරන ආකාරය අනුව වර්ග දෙකක් වේ.

*සාමාන්‍ය කෝපි

*ක්ෂණික කෝපි

සාමාන්‍ය කෝපි යනු කෝපි ඇට වේලා,බැද,කුඩු කර සකස් කරගන්නා කෝපි පානය වේ.ක්ෂණික කෝපි යනු කෝපි ඇට වේලා,බැද,කුඩුකර ලබාගෙන එය දිය කර නැවත අධික තාපයක් යටතේ හෝ සීතලක් යටතේ පවුඩර් එකක් බවට පත් කිරීමෙන් පසුව සකස් කරගන්න කෝපි පානයන් ය.මෙම කෝපි දෙවර්ගය අතරින් සාමාන්‍ය කෝපිවල කැෆේන් ප්‍රමාණය වැඩි වේ.ලෝකයේ විවිධ රසයෙන් යුතු කෝපි රසවිඳිය හැක.ඒ අතර Black, Espresso, Latte, Cappuccino, Americano, Mocha ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෝපි වර්ග වේ.මීට අමතර ව Dappio, Cortado, Red eye, Lungo, Irish, Macchiato යනාදි වශයෙන් ද විවිධ රටවල්වල කෝපි පානයන් හඳුනාගත හැකිය.

කෝපි පානය කිරීම පිළිබඳ ව දිගු කාලයක් පුරාවට විවිධ පර්යේෂණ,සමීක්ෂණ සිදුවූ අතර වර්තමානයේද ඒ පිළිබඳ අවධානය යොමු වී තිබේ.කෙසේ වෙතත් කෝපි පානය නිසා මිනිසාට වාසි මෙන් ම අවාසි ද අත්විඳිය හැක.කෝපි පානය කිරීම නිසා ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේ බර අඩු කරගත හැකි ය.ශක්තිජනක පානයක් වන කෝපි මඟින් ශරීරයේ ක්‍රියාශීලීත්වය වර්ධනය කරයි.එසේ ම කෝපිවල පවතින කැෆේන් හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතර අධිරුධිර පීඩනය අවම කරයි.මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් පාකින්සන්,පිළිකා,හෘදයාබාධ,දියවැඩියාව වැනි රෝග අවදානම අඩු කිරීමටත් විෂාදය වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීමටත් කෝපි උපකාරී වේ.නැවුම් කෝපි පානය කිරීම තුළින් අක්මාව පිරිසිදු කරන අතර ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට දායක වේ.කෝපි පානය කිරීමේ අවාසි වන්නේ,ගුණාත්මකභාවයෙන් අවම කෝපි පානය කිරීම නිසා වෙනත් ලෙඞ රෝග ඇතිවීමයි.එසේ ම කෝපිවල අඩංගු කැෆේන් නිසා කෙටි කාලයක් තුළ අධි පරිභෝජනය නුසුදුසු වේ.විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ගේ කළලවලට කැෆේන් බලපෑම් කරන බැවින් කෝපි පානය අහිතකර වේ.

ඕනෑම ආහාරයක් අධික ව පරිභෝජනය කිරීම හෝ ඇබ්බැහි වීම තුළ අතුරු ආබාධ ඇතිවිය හැකිය.කෝපි පානය කිරීමට ද මෙම තත්ත්වය අදාළ වේ.එබැවින් දිනකට එක කෝපි කෝප්පයකට සීමාවීම වඩා සුදුසු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි.විශේෂයෙන් ලංකාව වැනි සමකාසන්න රටකට කෝපි වැනි ඌෂ්ණාධික පානයක් බහුල වශයෙන් පානය කිරීම බොහෝවිට ආහාරජීරණ පද්ධතියට බලපෑම් ඇති කිරීමට හේතුවනු ඇත.

Top