ශ්‍රී ලංකාවේ යටත්විජිතකරණ ක්‍රියාවලිය තුළ සුවිශේෂී ම අවස්ථාවක් සනිටුහන් වූයේ බ්‍රිතාන්‍යයනගේ ආගමනයත් සමගය. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කමත් කුරුඳු ඇතුළු ලබා ගැනීමේ හැකියාවත් මූලික කරගනිමින් බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. ක්‍රි.ව.1796 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම යටතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය පිහිටුවා ගන්නා බ්‍රිතාන්‍යයන් ක්‍රි.ව.1802 වන විට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය ව්‍යාප්ත කරනු ලැබීය. මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගැනීමෙන් අනතුරුව ලංකාවේ ප්‍රධාන පාලනය මධ්‍යස්ථානය ලෙස පැවති උඩරට රාජධානිය කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වෙයි. අවස්ථා ගණනාවකදී උඩරට යටත් කර ගැනීම සඳහා ආක්‍රමණ මෙහෙය වූවත් ඒවායෙන් අසාර්ථක වූ බ්‍රිතාන්‍යයන් වර්ෂ 1815දී උඩරට රාජ්‍යය යටත් කර ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට සමත් වෙයි. ජෝන් ඩොයිලි ප්‍රමුඛ ඉංග්‍රීසීන්ගේ උපක්‍රමශීලී ක්‍රියාකලාපය පමණක්ම නොව තවත් බොහෝ හේතු සාධක ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා බලපෑවේය.
බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණ මෙහෙයවන සමය වන විට මෙරට පාලකයා බවට පත්ව සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ය. එහෙත් මෙරට සමස්ත ජනතාවට ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලනය සම්බන්ධයෙන් පැවතියේ මහත් කලකිරීමකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අඩංගුවට ගනිමින් උඩරට රාජධානිය තුළ බලය ස්ථාපිත කර ගැනීමට බ්‍රිතාන්‍යන්ට අවස්ථා උදා වීමට එයද මහත් පිටුබලයක් විය. ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වන දින උඩරැටියන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ඔහුගේ බිසෝවරුන් අල්වා බ්‍රිතාන්‍යයන්ට පාවා දෙනු ලැබීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් පමණින් සමස්ත ලංකාවම යටත් කරගත් බව පිළිගැනීමට බ්‍රිතාන්‍යයන් කැමැති නොවීය. එනිසා ගිවිසුමක් ආධාරයෙන් උඩරට යටත් කර ගැනීම සම්පූර්ණ කර ගැනීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරනු ලැබීය.
1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවට රැස් වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ උඩරට ප්‍රධානීන් අතර ගිවිසුමේ අඩංගුව වගන්ති පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලැබ ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 1815 මාර්තු 15 දින නිකුත් වූ රජයේ නිල ප්‍රකාශයකට අනුව උඩරට ගිවිසුම අත්සන් තබන ලද්දේ 1815 මාර්තු 10 දින බව දක්නට ලැබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිගේ අධීක්ෂණය යටතේ ජෝන් ඩොයිලිගේ ප්‍රධානත්වයෙන් ද මෙරට ජනයා වෙනුවෙන් රදළවරුන්ගේ ප්‍රධානත්වයෙන් ද වගන්ති 12කින් සමන්විත උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව උඩරට ගිවිසුමේ එක් එක් වගන්ති මගින් බ්‍රිතාන්‍ය රජය සහ උඩරට රදළ ප්‍රධානීන්ගේ ප්‍රධානින් එකඟතාවයකට පැමිණෙනු දක්නට ලැබුණි.
1.මලබාර් රජුකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කන්ද උඩරට රාජධානිය කිරුළ සම්බන්ධයෙන් පැවති සියලුම හිමිකම් අහෝසි කිරීම.
- රජතුමාගේ රාජ්‍ය කාලය සහ කන්ද උඩරට පාරම්පරික හිමිකම ද සිංහලයේ ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතිකයන්ට පැවති සියලුම අයිතිවාසිකම් ද අහෝසි කළ බව ප්‍රකාශ කිරීම.
- රජතුමාගේ සියලුම පුරුෂ ඥාතීන් රටින් පිටුවහල් කිරීම සහ යළි පැමිණීම තහනම් කිරීම.
- සිංහලයේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත් බව ප්‍රකාශ කිරීම සඳහා සහ සිංහල නීති ක්‍රමය දිගටම පවත්වාගෙන යාම සඳහා උඩරට අදිකාරම්වරුන්ට, දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට, කෝරාලේවරුන්ට සහ විදානේවරුන්ට බලය පිරිනැමීම.
5.බුදු දහම, සංඝයා වහන්සේ, විහාරස්ථාන සහ දේවාල ආරක්ෂා කිරීමට සහ නිසි ලෙස නඩත්තු කිරීමට පොරොන්දු වීම.
- සෑම ආකාරයේම ශාරීරික වධ හිංසාවන් සහ අවයව කැපීමේ දඬුවම අහෝසි කිරීම.
- මරණ දඬුවම නියම කිරීම සඳහා අවශ්‍ය බලතල ආණ්ඩුකාරවරයා වෙත ලබා දීම සහ මරණ දඬුවම ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිට දී සිදු කළ යුතු බව ප්‍රකාශ කිරීම.
- කන්ද උඩරට රාජධානිය තුළ සිදුවන සෑම සිවිල් සහ අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් ම ක්‍රියාමාර්ග ගැනීමේදී එය පවතින උඩරට නීති ක්‍රම යටතේ සිදුකළ යුතු බව තහවුරු කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී පමණක් බ්‍රිතාන්‍ය නීතිය හඳුන්වා දෙන බවට පොරොන්දු වීම.
- කන්ද උඩරට නොවන අනෙකුත් ප්‍රදේශයන්හි බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්වෙන බව ප්‍රකාශයට පත් කිරීම.
- එවකට තුන් කෝරළේ, හතර කෝරළේ සහ සබරගමුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද දැන්වීම් පත්‍ර සියල්ලක්ම අහෝසි කිරීම.
- ජනතාවගෙන් රැස්කරන බදු සහ අනෙකුත් ආදායම් සියල්ලම බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් වෙන් කරන බව ප්‍රකාශ කිරීම.
- වෙළඳ කටයුතු සහ අනෙකුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට බලය ලබාදීම.
ඒ අනුව ඉංග්‍රීසීන්ට උඩරට රාජ්‍යය අත්පත් කොට ගැනීමට රදළ ප්‍රධානීන්ගෙන් ලැබුණු උපකාරවලට හිලව්වක් වශයෙන් ගිවිසුමට වගන්ත කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම සිදු ව තිබුණි. ඒ අනුව උඩරට ගිවිසුමේ 01,02 සහ 03 වගන්තිවලින් නායක්කාර් පෙළපතට උඩරට සිහසුන සම්බන්ධයෙන් තිබූ සියලූ අයිතිවාසිකම් අහෝසි කොට එංගලන්තයේ කිරීටය වෙත පවරා ගත් අතර උඩරට වෙනුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුව ඉටු කිරීමට පොරොන්දු වූ කොන්දේසි 04, 05 සහ 06 වන වගන්තිවලින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි. උඩරට රාජ්‍යයේ පැවති පරිපාලන රටාව ඒ ආකාරයෙන්ම එකල පිළිගත් සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට අනුකූලව ක්‍රියාත්මක කරන බවද ඒවා ක්‍රියාත්මක කරනු ලැබූ රදළ ප්‍රධානීන්ගේ නිලතල, බලතල හා වරප්‍රසාද ඒ අයුරින්ම ආරක්ෂා කොට දෙන බවටද ඔවුන් මෙම වගන්තිවලින් පොරොන්දු විය. ඒ වගේම උඩරට ගිවිසුමේ වැදගත්ම වගන්තිය 05 වන වගන්තියයි. බුදු දහම මෙරටට හඳුන්වා දුන් දින සිට රාජ්‍ය අනුග්‍රහය යටතේ සුරක්ෂිත කොට පවත්වා ගෙන තිබු බැවින් ද සියලුම සිංහලයන් ජීවිතය දෙවැනි කොට බුදුදහම ආරක්ෂා කිරීමට කැපවී සිටින බැවින්ද බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට බුදුදහම ආරක්ෂා කරන බවට පොරොන්දු වීමට සිදු විය. එනිසා රදළ ප්‍රධානීන් ඇතුළු රටවැසි ජනතාවගේ ආගම වූ බුද්ධාගම, භික්ෂූන් වහන්සේ සහ විහාර දේවාලගම් අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන බවට ද ඒවා ආරක්ෂා කොට පවත්වාගෙන යන බවට ද පස්වන වගන්තියෙන් පොරොන්දු විය. ඒ වගේම මෙරට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ගත් කළ එකළ දේශීය ප්‍රධානීන් සහ ඔවුන් යටතේ මුලාදෑනීන් මගින් දේශීය උසාවි ක්‍රමය ඔස්සේ දේශීය සිරිත් විරිත් අනුව මෙරට අධිකරණ ක්‍රමය පවත්වාගෙන යන බවට 8 වන වගන්තියෙන් දක්වනු ලැබීය. මේ අයුරින් විශේෂ කරුණු කාරණා රාශියක් පිළිබඳ පොරොන්දු සපයමින් ඉංග්‍රිසින් විසින් 1815 දී උඩරට ගිවිසුම සම්පාදනය කරනු ලැබීය.
උඩරට ගිවිසුම අත්සන් කොට වැඩිකල් යාමට මත්තෙන් බ්‍රිතාන්‍යයන් අතින් උඩරට ගිවිසුමේ වගන්ති එකින් එක උල්ලංඝනය වන බව මෙරට භික්ෂූන් වහන්සේලාට රදල ප්‍රධානීන්ට සහ සාමාන්‍ය ජනයාට දැනෙන්නට හැඟෙන්නට විය.ස බ්‍රිතාන්‍යයන් පොරොන්දු වූ තරම් තමන් වෙනුවෙන් පොරොන්දු ඉෂ්ට කරන බවක් දක්නට නොවූ නිසා ඉංග්‍රීසින් පිළිබඳ මෙරට ජනයාගේ අප්‍රසාදය දිගින් දිගට ම වර්ධනය වන්නට විය. කෙසේ වෙතත් උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වූයේ මෙරට භික්ෂූන්, රදල ප්‍රධානීන් ඇතුළු සාමාන්‍ය ජනයාට යහපත සැලසීම නොව බ්‍රිතාන්‍ය බලය ශක්තිමත් ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ගැනීමටයි.