සාගර පතුල් සරසන කොරල්පර

post-title

ලෝකයේ දක්නට ලැබෙන අතිශය මනරම් පරිසර පද්ධතියක් වන කොරල්පර පරිසර පද්ධතිය ජෛව ක්‍රියාවලීන් ආශ්‍රයෙන් නිර්මාණය වූ භූ රූප පද්ධතියක් ලෙස හඳුනාගත හැකි ය.වෙරළබඩ පරිසර පද්ධතියක් වන මෙය 'පොලිප් ජීවියා හෙවත් බුහුබාවා' යන අපෘෂ්ඨවංශික ජීවියා ආශ්‍රයෙන් නිර්මාණය වේ. සාමාන්‍යයෙන් තනි පොලිප් ජීවියෙක් සාගර ජලය මත පාවෙමින් සිටින විට දැඩි මතුපිටක් මුණ ගැසුණු විට ඒ මත වාසස්ථානගත වේ.මුහුදු ජලයේ පවතින් කැල්සියම් කාබනේට් අවශෝෂණය කරගනිමින් සැකිලි සාදන මෙම ජීවි කොට්ඨාශයේ ඊළඟ පරපුර තම දෙමව්පියන් සමඟ සම්බන්ධ වී සැකිලි සාදමින් කොරල්පර කොලණි සාදනු ලැබේ.මේ ආකාරයෙන් වසර දහස් ගණනක් පුරා සැකසෙන කොලණි කොරල්පරයක් ලෙස හඳුන්වනු ලැබේ.පොලිප් ජීවියා ලිංගික මෙන් ම අලිංගික යන දෙයාකාරයෙන් ම ප්‍රජනන කාර්යය සිදු කරන අතර වයස්ගත ජීවීන් ද්වීලිංගික වීමද හඳුනා ගත හැකිය.සෙසු ජීවින් ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික වේ.

කොරල්පර බොහෝවිට ආකර්ෂණීය මෙවලමක් ලෙස සංචාරක කර්මාන්තයේ දී යොදාගනියි.ඊට හේතු වී ඇත්තේ මෙම කොරල්පරවල පවතින වර්ණවත්භාවයයි.කොරල්රවලට විවිධාකාර වූ වර්ණයන් එක් වන්නේ සුසැන්තලේ නම් අණ්වීක්ෂීය පැළැටිය හේතුවෙනි.පොලිප් ජීවියා සහ මෙම පැළෑටි අතරඇතිවන සහජීවි සබඳතාවය හේතූවෙන් මෙම ජීවි කොට්ඨාශ දෙක මඔවුන්ගේ අවශ්‍යතාවයන් එකිනෙකාගෙන් සපුරාගනියි.

කොරල්පර ලෝකයේ පවතින සෑම මුහුදු කලාපයක ම නිර්මාණය නොවන අතර ඒ සඳහා ම සුවිශේෂි වූ මුහුදු පරිසර පද්ධතිවල පමණක් නිර්මාණය වේ.විශේෂයෙන් කොරල්පර වෙරළේ සිට මීටර් පනහක් දක්වා ගැඹුරු සාගරය දක්වා එනම් සූර්යාලෝකය මුහුදු අභ්‍යන්තරයට ගමන් කරන කලාපය දක්වා නිර්මාණය වේ.කොරල්පර නිර්මාණය වීමට සාගර පතුල තැනිතලා මතුපිටක් සහිත ව ස්ථිර විය යුතු අතර සාගර ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 30ත් අතර පැවතිය යුතුය.එසේ ම සාගර ජලයේ ලවණතාවය කොටස් 30 - 35 අතර පැවතිය යුතු අතර සාගර ජලය ඉතා පිරිසිදු වීමත්,සාගර පතුලට සූර්යාලෝකය හොඳින් පතිතවීමත් වැදගත් වේ.යම් ආකාරයකින් සාගර ජලයේ උෂ්ණත්වය ක්ෂණික ව අංශක දෙකකින් පමණ වෙනස්වීමකින් හෝ ලවණතාවය වෙනස්වීමකින් කොරල්පර ව්නාශ විය හැකි ය.

කොරල්පර සාමාන්‍යයෙන් නිර්මාණය වන්නේ සමකාසන්න කලාපයේ ය.ලෝකයේ සමස්ත කොරල්පර එකතුවෙන් 91.9% ව්‍යාප්ත වී ඇත්තේ ඉන්දු ශාන්තිකර කලාපයේ ය.එයින් 32.3% අග්නිදිග ආසියානු කලාපයේ ද 40.8% ඕස්ට්‍රේලියාව ආශ්‍රිත ව ද පවතියි.අත්ලාන්තික් සහ කැරිබියන් කලාපයේ සෙසු 7.6% ක කොරල්පර ප්‍රමාණය ව්‍යාප්ත වී ඇත.ලෝකයේ විශාල ම කොරල්පරය වශයෙන් ඕස්ට්‍රේලියාවේ පවතින' මහා බාධක කොරල්පරය'හඳුනාගෙන ඇත.එය දේශගුණ විපර්යාස හමුවේ මියගොස් ඇති බවට විදිවතුන් විසින් සඳහන් කර ඇත.මෙයට අමතර ව මෙක්සිකෝවේ පවතින බෙලිස් බාධක පරය ලොව දෙවනියට විශාල ම කොරල්පරය වේ.රතුමුහුදේ කොරල්පරය ඊජිප්තුවේ සිට සෞදි අරාබිය දක්වා විහිදෙන අතර ලොව ගැඹුරු ම ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන කොරල්පරය වන පුලී රිජ් ෆ්ලොරිඩා හී පවතියි.නව කැල්ඩේනියා බාධකපරය ලොව විශාලත්වයෙන් දෙවැනි ද්විත්ව බාධක පරය ලෙස ප්‍රසිද්ධ වී ඇත.ලංකාවේ ද කොරල්පර දක්නට ලැබෙන අතර එය ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණය ඇතිවීමට බලපා ඇත.

කොරල්පර මානව පරිභෝජන කාර්යයන් සඳහා ඉතා ප්‍රයෝජනවත් වන අතර ප්‍රධාන වශයෙන් බෙල්ලන්,මත්ස්‍යයින්,පොකිරිස්සන්,කකුළුවන් වැනි සාගර ජීවින් මෙම කලාප ආශ්‍රීත ව බහුල වීම නිසා ධීවර කර්මාන්තය ප්‍රබල ලෙස මෙම කලාපවල පවත්වාගෙන යා හැක.ලියුකේමියාව සහ පිළිකා වැනි රෝග තත්ත්වයන් සඳහා ඖෂධ නිපදවීමට ද ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා හුණුගල් ලබාගැනීමට ද සංචාරක කර්මාන්තය සඳහා ද අපනයනය සඳහා විසිතුරු මසුන්,ගල්මල් ආදිය ලබාගැනීමට ද පසෙහි පවතින ආම්ලිකතාවය උදාසීන කරන රසායනිකයක් වශයෙන් ද කොරල්පර යොදාගනු

කොරල්පර වර්තමානය වනවිට තර්ජනයට ලක් වූ පරිසර පද්ධති වශයෙන් හඳුනාගෙන ඇත.මානව ක්‍රියාකාරකම් එහි පැවැත්මට නිශේධනීය ආකාරයෙන් බලපා ඇත. සාගර දූෂණය,කොරල්පර ආශ්‍රිත කර්මාන්ත බහුල වීම,සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම,නාගරික අපහරණය,ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා ක්‍රමවේද යනාදිය කොරල්පර විනාශ වීම වේගවත් කර ඇත.

මෙලෙස සිදුවන කොරල්පර විනාශය වැළැක්වීම සඳහා ඒ ඒ රටවල් සුදුසු ක්‍රමවේද වර්තමානය වනවිට යොදාගනු ලැබේ.ඒ අනුව නූතන තාක්ෂණික මෙවලම් යොදාගෙන මෙම ප්‍රදේශවල ධීවර කර්මාන්තය සිදුකිරීම බොහෝ රටවල් සීමා කර ඇත.පැපුවා නිව්ගිනියාහි කලපු හයක් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට අනුව මත්ස්‍ය නිෂ්පාදන ලබාගැනීමට කටයුතු කරනු ලැබේ.එසේම කොරල්පර ආශ්‍රිත ව ඉතා විශාල ජෛව විවිධත්වයක් පවතින අතර කොරල් විනාශවීමත් සමඟ එම පරිසර පද්ධතිය බිඳ වැටේ.එම තත්ත්වයන් වැළැක්වීම සඳහා අන්තර්ජාතික සංවිධාන රාජ්‍යයන් සමඟ සම්බන්ධ වී කොරල් සංරක්ෂණ වැඩසටහන් දියත් කරනු ලැබේ.ලංකාවේ ද නැගෙනහිර ප්‍රදේශයේ කල්කුඩා හි කොරල් කැඩීම නැවැත්වීම හේතුවෙන් ස්වභාවික ව තැන්පත් වූ කොරල් තීරයක් හේතුවෙන් වෙරළ තීරයක් කෙටි කලකින් නිර්මාණය විය.එසේ ම සමහර රටවල් කෘත්‍රිම ව කොරල් නිර්මාණය කිරීමටත් කොරල් නිර්මාණය සුලබ කිරීම සඳහා පැරණි නැව් මුහුදේ ගිල්වා කොරල් වැඩීම ඇති කිරීමටත් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ 1979 වන රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හික්කඩුව ප්‍රදේශයේ අක්කර 110ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත.වෙරළ රක්ෂණ පනතට 1988 ගෙන ආ සංශෝධනයෙන් කොරල්පර කැඩීම ලංකාවේ සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති අතර එම පනතේ 31(ආ) වගන්තියට අනුව කොරල්පර කැඩීම,එකතු කිරීම,ලඟ තබාගැනීම,හුනුගල්ලබාගැනීමට පිළිස්සීම සහ ප්‍රවාහනය තහනම් වේ.නීතියට අනුව මෙම වරදෙහි යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම,දඩ අයකිරීමට හෝ සිරගත කිරීමට නීතිමය ප්‍රතිපාදන සකසා ඇත.

කොරල්පර යනු තවත් එක් ජීවි කොට්ඨාශයකි.ඔවුහු තම පැවැත්ම සකසාගනිමින් තවත් බෙහෝ පිරිසකට පහසුකම් සලසන කුඩා ජීවි විශේෂයකි.මිනිසාගේ අසීමිත පරිභෝජන අවශ්‍යතාවයන් හමුවේ දිනෙන් දින විනාශයට පත්වන මෙම පරිසර පද්ධති නුදුරු දිනයක පොතපතට,අන්තර්ජාලයට පමණක් සීමා විය හැකිය.එවැනි අනාගතයක් නිර්මාණ වීමට ඔබත් මමත් දායක නොවිය යුතුය.

Top