(කේ. ජයතිලකයන් ගේ ‘අපටත් වැසිකිළියක්’ කෙටි කතාව ඇසුරෙන්)
නව භාවිතාවක් සමාජය තුළ ස්ථාපිත කිරීම කෙතරම් අසීරු කර්තව්‍යයක් ද යන්න වර්තමාන සමාජය මුහුණ දෙන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මිනිසුන් ක්‍රියාකරන ආකාරය දෙස බැලීමෙන් පෙනෙයි. සමාජයක් හුරු වූ සමාජ තත්ත්වයකින් තවත් නව සමාජ තත්වයකට ගමන් කිරීමේදී මිනිසුන් අතර විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙයි. එයට හුරු වීමම එක්තරා අන්දමක අභියෝගයකි. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේද රටක් ප්‍රධාන වශයෙන් මුහුණ දෙන අභියෝගය වන්නේද එයයි. දීර්ඝ කාලයක් හුරුපුරුදු වූ පුරුදු අත්හැර නව පුරුදු ඇති කර ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමෙහි අසීරුතාවය කේ. ජයතිලක මහතාගේ ‘අපටත් වැසිකිළියක්’ කෙටිකතාව තුළින් අපට සිහිගන්වයි.
කේ. ජයතිලකයන් විසින් රචිත ‘අපටත් වැසිකිළියක්’ නම් කෙටිකතාව ඔහු විසින් රචිත ‘නො නිමි සිත්තම හා තවත් කෙටිකතා’ නමැති කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි. සාමාන්‍යයෙන් කිසිදු නිර්මාණකරුවකුගේ අවධානයට යොමු නොවූණු අතීත ග්‍රාමීය ජීවිත හා සබැඳි එක්තරා සුවිශේෂ සමාජ අංගයක් විවරණය කරනු සඳහා මෙම කතාව රචනා කර ඇත. එකල ගැමියන් මළ බැහැර කිරීම සඳහා සඳහා වැසිකිළි භාවිතා නොකළහ. ඔවුන් එම අවශ්‍යතාව සඳහා භාවිතා කළේ අසළ වනයයි. වන ගහනය මෙන්ම දියපහරවල්ද සුලබ වූ ගැමි වටපිටාවෙහි ඒ සියල්ල සඳහා යෝග්‍ය පරිසරයක් ඉබේම සැකසී තිබිණ. මෙබඳු ඉතා සරල, පහසු ක්‍රමවේදයකට හුරුව සිටි ග්‍රාමීය ජනතාවට ඒ වෙනුවට වැසිකිළි භාවිතය හුරු කළ සැටි මෙම කෙටිකතාවෙන් අපුර්වාකාරයෙන් විස්තර කෙරෙයි.
මෙම කතාව ගෙතී ඇත්තේ 1924 වැනි කාල වකවානුවක ජීවත්වූ පිටිසර ග්‍රාමීය පවුලක් වටායි. මේ ලංකාව පුරා කොකු පණු රෝගය පැතිරීම නිසා විශාල පිරිසක් රෝගී වී මරණයට පත්වුණ කාලයකි. කොකුපණු රෝගය වැළදෙන්නේ කොකුපණු බීජානු මිනිසුන්ගේ ශරීරයට ආහාර මඟින් හෝ ජලය මඟින් ඇතුල්වීමෙනි. කොකු පණු බීජානු පරිසරයට එකතු වන්නේ මිනිසුන්ගේ මළපහ මඟිනි. ගම් හි බොහොමයක් ජනතාව වැසිකිළි භාවිතා නොකළ නිසා ගම් ප්‍රදේශ ආශ්‍රිතව මෙම කොකුපණු රෝගය වසංගතයක් මෙන් පැතිරී තිබිණ. මෙම වසංගතය මර්දනය කිරීමට එකළ පැවති යටත් විජිත ආණ්ඩුව කෙටිකාලීනව රෝගීන්ට ප්‍රතිකාර කිරීමත්, දීර්ඝකාලීනව මෙසේ වසංගතයක් ඇතිවීම වැළක්වීමට ජනතාවට වැසිකිළි භාවිතය හඳුන්වාදීමටත් තීරණය කර ඇත. ඒ තීරණය ක්‍රියාත්මක කරන ලද්දේ මහජන සෞඛ්‍ය නිළධාරීන් විසිනි. එසේ දුර බැහැර පටිසර ගම්මානයකට මෙසේ රාජ්‍ය නිළදාරියකුගේ සම්ප්‍රාප්තිය හේතුවෙන් ගැමියන්ගේ ජිවිතවලට සිදුවුණු බලපෑම මෙම කෙටිකතාව ඔස්සේ අපූරුවට දිග ඇරෙයි.
කිසියම් නිර්මාණයක සාර්ථකත්වයට ඍජුවම ප්‍රධාන සාධක කිහිපයකි. භාවිත භාෂාව, චරිත නිරුපණය, අවස්ථා හා සිද්ධි නිරූපණය මෙන්ම ඉන් ප්‍රකට කරන දර්ශනයද ඒ අතර ප්‍රධාන වෙයි. ගද්‍ය පද්‍ය හෝ කුමන ආකාරයක නිර්මාණයක් වුවද සාහිත්‍යකරුවාගේ මනසෙහි ජනිත කළලය අපූර්වතම නිර්මාණයක් ලෙස පාඨකයා කරා ප්‍රවාහනය කරන මාධ්‍යය වන්නේ භාෂාවයි.
මෙම නිර්මාණයේදී කතුවරයා අනුගමනය කරන ලද සංවාද භාවිතය කතාවේ ගලායාමට මෙන්ම ප්‍රාණවත් බවටද මනා අත්වැලක් වී ඇති අයුරු පෙනෙයි. කතාව දිග ඇරෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. කථකයා තවමත් නව යොවුන් වියට එළඹෙමින් සිටින පාසල් යන පිරිමි දරුවෙකි. ඔහු පටබැඳිගේ හේරත් නමින් හැඳින්වෙන, මෙහි විස්තර වන පියාගේ වැඩිමහල් පුත්‍රයා ය. කටුක කෘෂිකාර්මික පරිසරයක දුක සේ දිවි ගැට ගසාගන්නා පවුලක වැඩිමහල් පුත්‍රයා වෙත පැවරෙන වගකීම් රැසකි. එහෙත් කථකයා තුළ ඒ පිළිබඳව එතරම් හැඟීමක් නොමැත. පියා හේන් ගොවිතැනෙන් දිවි ගෙවී යන්නෙකි. මව රෝගාතුර බැවින් ගෙදර සියලු බර පැන උසුලන්නී, වැඩිමහල් අක්කා ය. ගැමි බස ව්‍යාජ සාටෝපවත් වදන්වලින් තොර වූවකි. පවසන දේ ඍජුවම පාඨකයාට වැටහෙන, සරල බස් වහරක් ලේඛකයා භාවිතා කර ඇති බව පෙනෙයි.
“අයියේ, අයියේ, පොලිස්කාරයෙක්!” හදිසියේම හතිලමින් අප වෙත දුව ගෙන ආ පොඩි මල්ලී දෑත් වනමින් මට කතා කළේ ය.
කෙටිකතාවට අදාළ ප්‍රධාන සිද්ධි මාලාව ගොඩනැගෙන්නේ මින් පසුවය. කථකයා මෙන්ම පවුලේ සැමටම මෙය පුදුමයකි. ඔවුන් පොලිස් නිළධාරියකු දකින්නේ බොහොම කලාතුරකිනි. කථකයා පවසන ආකාරයට ඔවුන් සැමටම එය දුලබ දර්ශනයකි. පිටිසර ගම්මානයක් කෙරෙහි නිළධාරීන් සතුව පවතින අඩු සැළකිල්ල කතුවරයා මින් ව්‍යංගාර්ථයෙන් දක්වයි. ඔහු ඇඳ සිටින්නේ කාකි ඇඳුම නොවන බව පිරිස වටහාගනියි. නිළධාරියා ප්‍රථමයෙන් හඳුනාගන්නේ සුගතන් ය. ඒ “කුණු ඉස්පැට්ටර” යන නමිනි. ඉන් නොනවතින සුගතන් පිරිසට ඔහුව හඳුන්වාදෙන්නේ සෑම නිවසකටම ගොස් කක්කුස්සි නැති නිවෙස්වලට නඩු දමන පුද්ගලයකු ලෙසිනි. ජයතිලකයන් සිය නිර්මාණයේදී ගැමියාගේ මුවට නංවන මෙවැනි වදන් නිසා ඔහු විසින් භාවිත ග්‍රාමීය වදන් පිළිබඳව පාඨකයාට මනා අවබෝධයක් ලැබේ.
අතීතයේ සිංහල ගැමියා මළ බැහැර කිරීම සඳහා භාවිතා කලේ වැසිකිළිය නොවේ. අසළ වනය ය. නිරතුරුවම වනය හා ගැටෙමින්, වනය අසලම, වනය ම සරණ කොටගෙන දිවි ගෙවූ ගැමි ජනතාවට මෙහි කිසිදු අපහසුවක් හෝ අවහිරයක් නොතිබිණ. මේ අතර හදිසියේම ගමට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගෙනෙන නව යෝජනාව හේතුවෙන් මුළු ජිවිත කාලය තුළම වැසිකිළියක් භාවිතා නොකළ ගම්වැසියන් මෙහිදී මහත් අපහසුතාවයට පත්වෙයි.
ගැමියන්ගේ කතාබහේදී, ඔවුන් සිතන ආකාරයට ජාතික අවශ්‍යතාව අනුව ග්‍රාමීය ජනයාට වැසිකිළි භාවිතය හුරු කිරීම කාගේ හෝ කූට ප්‍රයෝගයකි. මෙතෙක් තමන් ගත කරමින් ආ නිස්කලංක ජීවිතය බාහිර බලවේගයක් මඟින් අභියෝගයකට ලක්වීම දරාගත නොහැකි වූ ගැමියන් එයට ප්‍රතිවිරෝධය දක්වන ලදී. ඒ බව, “මෙච්චර කල් නොතිබුණු කක්කුස්සියක් මොකද මේ එක පාරට ම ඕනෑ වුණේ? කාගේ හරි මගොඩියක් වෙන්න ඇති, කාට තියෙන සල්ලිද ඕවා හදන්න?” යනුවෙන් පැවසීමෙන් එය වැටහෙයි. කොළඹ රටේ කක්කුස්සි තිබෙන්නේ ගේ ඇතුලේම බව සුගතන් තාත්තා ට පවසයි. එවිට ඒ පිළිබඳව ජුගුප්සාජනක සිතුවිල්ලක් ඇති කර ගන්න තාත්තා විමසන්නේ “ගෙයක් ඇතුලෙ ඉඳ ගෙනත් ඔය වැඩේ කළ හැකිද?”, “ෂික් විතරක්. ගඳ ගහන්නේ නැද්ද?” “යනුවෙනි. මෙවැනි වදන් තුළින් ලේඛකයා පාඨකයාට දැනවීමට උත්සහකරනුයේ ගැමියන් සතුව පවත්නා අව්‍යාජ අවිහිංසකකම හා සමාජයහි නව පරිවර්තනයන් පිළිබඳව ඇති නොදැනුවත්භාවයයි.
සෞඛ්‍ය පරීක්ෂකගෙන් හා නඩු දැමීමෙන් ගැලවීමට නිවැසියන් වැසිකිළියක් ඉදිකෙරු නමුදු කිසිවෙක් එය භාවිතා නොකළහ. අහිංසක ගැමියන් බියවද්දා වැසිකිළිය ඉදිකෙරූ නමුදු එය භාවිතා කරන ආකාරය, භාවිතා කල යුත්තේ ඇයි හා වැසිකිළි භාවිතයේ ඇති වැදගත්කම පිලිබඳ ගැමියන් සතුව නිසියාකාර දැනුමක් නොතිබීම එයට හේතු විය.
මෙහි තේමාවහි වන විසිවෙනි සියවසේ මැද භාගයේ සිදුවන සමාජ විපර්යාසයට ගැළපෙන අයුරින් කතුවරයා විසින් කතාවේ ප්‍රධාන චරිතය ගොඩනගා ඇත. ගතානුගතික චර්යා රටා සහ සිතුම් පැතුම්වලින් මිදෙන්නට ලෝකයේ සිදුවන නව වෙනස්වීම, ප්‍රවණතා ආදිය පිලිබඳව දැනුවත් වීමට උනන්දුවක් දක්වන්නේ තරුණ පරම්පරාවයි. නව යුගයක හෙවත් සමාජ පරිවර්තනයක ඇරඹුම ඇති කරලන්නට පෙරමුණ ගන්නේ කථකයා යි. සෞඛ්‍ය පාඩමත, එහි ඉගැන්වූ කරුණුත් නිසා වැසිකිළි භාවිතයහි වටිනාකම ඔහුට ක්‍රමයෙන් වැටහෙයි. ඔහු පැරණි ආකල්පවලින් මිදී නව ආකල්ප වෙත ආගමනය වූයේ ක්‍රම ක්‍රමයෙනි.
වැසිකිළිය භාවිතා කිරීමෙන් තමා ලත් අත්දැකීම තවකෙකු හා බෙදාගැනීමට කථකයාට අවශ්‍ය වෙයි. ඔහු එය මල්ලීට පවසයි. මල්ලීට ද එම රහස දරාගැනීමට නොහැකිව එය නංගිට පවසයි. නංගී එය අක්කගේ කනෙහි තබයි. වැසිකිළිය භාවිතා කිරීමේ අනික් පියවර තබනු ලබන්නේ නංගී විසිනි. ඒ “හහ්! එයාට විතරක් මොකද? මමත් හෙට යනවා.” යනුවෙන් පවසමිනි. ඉන්පසු එදිනම මල්ලීත් වැසිකිළිය භාවිතා කරයි. පසුව අක්කාත් සහ අම්මාත්, කලකට පසු තාත්තාත් මේ නව සමාජ පරිවර්තනයට සෙමෙන් අවතීර්ණ වෙයි. අවසානයටම වැසිකිළිය භාවිතයට ගන්නේ තාත්තා ය. ඒ ගස් කැපීම නිසා වනය කුඩාවීමත්, නිතර ප්‍රයෝජනයට ගැනීම නිසා වැසිකිළිය තුළින් දුගඳක් හමා ඒමත් නිසාය. දුගඳ හමා ඒමත් සමඟ පෙරදී වැසිකිළිය නමින් ගෞරවාර්ථයෙන් හැඳින්වූ නාමය ‘කක්කුස්සිය’ ලෙසට වෙනස් වේ.
මැදිවිය ඉක්මවූ පුද්ගලයින් සමාජ නව්‍යතාවත් කෙරෙහි නැඹුරු වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. නව්‍ය අංග ඉතාමත් ඉක්මණින් වැළඳගන්නේ හා ඊට අනුවර්තනය වීමට කැමැත්තක් දක්වන්නේ තරුණ පිරිස ය. ඔවුන් සමාජ පරිශීලකයෝ ය. අලුත් අලුත් දේ සොයා යන්නෝ ය. වැඩිහිටි පරම්පරාව ස්වභාවයෙන්ම ඔවුන් ජිවත්වන සමාජ තත්ත්වයන්, පාරම්පරිකව පවත්වාගෙන එන පුරුදු හා විශ්වාස, මතිමතාන්දර මත එල්බ කල් ගෙවති. ඔවුන් එවැනි මතයන්ගෙන් වෙන්වී නව්‍ය ලෝකය වැළදගන්නට දක්වන්නේ බියකි.
ගතානුගතික සමාජ තත්ත්වක සිට නව සමාජ තත්ත්වයකට ක්‍රමක්‍රමයෙන් හුරුවන පුද්ගලයින් පිරිසක් පිළිබඳව පාඨකයාට මනා අවබෝධයක් ලබාදීමට කේ. ජයතිලකයන් ඔහුගේ ‘අපටත් වැසිකිළියක්’ නම් කෙටිකතාව මඟින් සාර්ථක උත්සහයක් ගෙන ඇති බව පෙනෙයි. ඒ සඳහා ඔහු විසින් යොදාගත් උපයුක්ත භාෂාව, චරිත නිරූපණය හා අවස්ථා සම්බන්ධය ද, ඉන් ප්‍රකට කරන දර්ශනය ද හේතු වී ඇති බව නම් කිව යුතුමය.
සමාජයක් තුළ නිරන්තරයෙන් හුරු පුරුදු වූ යමක් වෙනස් කිරීම ඉතාමත් අසීරු කාර්යයකි. විශේෂයෙන් පුද්ගලයකුගේ මනස ඒ සඳහා සකස්කිරීම ඉතාමත් අසීරුය. එයට වර්තමානයේ අප මුහුණ දෙන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ නිරන්තරයෙන් අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්තභාවයෙන් කටයුතු කිරීම වැනි නව සෞඛ්‍ය පුරුදු ජනතාවට හුරු කිරීමට රජය හා සෞඛ්‍ය අංශ ගන්නා වෙහෙස මීට මනා නිදර්ශනයකි. විශේෂයෙන් එහිදී ජනතාවගේ මනස සකස්කිරීම සඳහා ඔවුනට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. එයට හේතුව මෙවැනි අත්දැකීමක් මින් පෙර නොවිඳ තිබීමත් එවැනි තත්ත්වයක් පිළිබඳව ජනතාව තුළ තිබූ නොදැනුවත්භාවයත් නොවේද?