බ්‍රෙෂ්ට් ගේ මාක්ස්වාදී මැදිහත්වීම හා නාට්‍යමය ශානරය

post-title

බ්‍රෙෂ්ට් නාට්‍ය රචනා කළේ හිට්ලර් ගේ "නාසිවාදය" ජර්මනියේ පමණක් නොව මුළු ලොවම කායිකව හා මානසිකව පීඩාවට පත් කළ සංකීර්ණ අර්බුදකාරී සමයකය. සම්මත යථාර්ථවාදී රංග රීතිය තුළින් පවතින සංකීර්ණත්වය ගැඹුරින් විග්‍රහ කළ නොහැකි බව අවබෝධ කරගත් බ්‍රෙෂ්ට් නාට්‍ය රචනයේදීත් අධ්‍යක්ෂණයේදීත් සම්මත ආකෘතියෙන් බැහැරව නාට්‍ය නිර්මාණකරණයේ නිරත වුණි. කුසීත වූ සිහින ලොවක නිද්‍රාශීලී ව සිටින ප්‍රේක්ෂකයා තුළ බුද්ධි කලම්බනයක්, සිදු කරමින් සිහින ලොවින් මුදවා ඔවුන්ගේ විචාරාත්මක චින්තනය පුළුල් කිරීම බ්‍රෙෂ්ට් ගේ අරමුණ විය.

1923-27 අතර කාලය තුළ මාක්ස්වාදය හැදෑරීමට බ්‍රෙෂ්ට් පෙළඹිණි. මාක්ස්වාදයේ නිර්මාතෘ වන කාල් මාක්ස් විසින් ලෝකය විස්තර කිරීමට නොව ලෝකය නැවුම්භාවයකට පත් කිරීම සදහා සංකල්ප ගණනාවක් ඉදිරිපත් පත් කර ඇත. කලාකරුවෝ විසින් වරින්වර අඩු වැඩි වශයෙන් තම කලා ක්ෂේත්‍රයන්ට මෙම මාක්ස්වාදී අදහස් යොදාගනු ලැබූහ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ද මාක්ස්වාදී සංකල්පනයන් කිහිපයක්ම තම නිර්මාණයන් සදහා යොදා ගන්නා ලදී. ඒ තම එපික් රංගයට විප්ලවකාරී අර්ථයක් සැපයීම සදහාත් ඒ අනුව සාම්ප්‍රදායික නාට්‍යය සංකල්පයට නවමු නිර්වචනයක් සැපයීම සදහාත් ය. බ්‍රෙෂ්ට්, එපික් රංග සංකල්පය සදහා මාක්ස්වාදී අදහස් දක්ෂ ලෙස භාවිතා කළ නමුත් බ්‍රෙෂ්ට් ගේ මාක්ස්වාදී සංකල්ප භාවිතය ගුණාත්මක වශයෙන් වඩා ඉහළ මට්ටමකින් භාවිතා වනුයේ, කැපී පෙනෙනුයේ ඔහුගේ ආඛ්‍යාන නාට්‍ය සංකල්පයට වඩා ඔහුගේම උපදේශන නාට්‍ය (Learning Plays) සංකල්පය තුළය. එනම් ඔහු මාක්ස්වාදී එපික් රංගයෙන්, මාක්ස්වාදී උපදේශන නාටකයන්ට මාරු වීම තුළින් ය. (මෙය මාක්ස්වාදී එළඹුමෙන් බ්‍රෙෂ්ට් වියුක්ත වීමක් නොව, මාක්ස්වාදී සංකල්ප භාවිත රංග විධික්‍රමයේම අත්‍යාවශ්‍ය වූ ගුණාත්මක දියුණුවකි. බ්‍රෙෂ්ට් ගේ අභිප්‍රාය වූයේ එපික් රංග රීතිය සහ භාවිතය තුළ ප්‍රේක්ෂකයා කොටු නොකර මාක්ස්වාදය සජීවී අධ්‍යාපනික සුභාවිතයක් ලෙස ප්‍රේක්ෂකයාට රැගෙන යාමකි.

පළමුව "මාක්ස්වාදය" (විද්‍යාත්මක සමාජවාදය) යන්න කුමක්දැයි මෙහිදී වටහා ගැනීම සාධනීය වේයැයි හගිමි. 

මාක්ස්වාදය හැඳින්වෙන්නේ දාර්ශනික, දෘෂ්ටිවාදාත්මක, දේශපාලන හා ආර්ථික ස්වභාවයේ අදහස්, සංකල්ප, න්‍යායන් සහ යෝජනා මෙන්ම ලෝකය, සමාජ හා දේශපාලන ජීවිතය පිළිබඳ වූ සංකල්පයක් ලෙසින් ය. මේ අනුව, මාක්ස්වාදය යනු චින්තනයේ ධාරාවකි. ඓතිහාසික භෞතිකවාදය, අපෝහක භෞතිකවාදය, යථාර්ථයේ ගතිකය, කොමියුනිස්ට්වාදය සහ විවිධ වර්ගයේ සමාජවාදයන්ගේ දෘෂ්ටිවාදාත්මක පදනම ලෙස සේවය කර ඇති මානව යථාර්ථයේ න්‍යායාත්මක-පැහැදිලි කිරීමේ ආකෘතියකි. මෙම ලක්ෂණ බ්‍රෙෂ්ට් ගේ සාහිත්‍ය කෘති ඇසුරේද ගම්‍යමාන වේ.

එය මූලික වශයෙන් සංලක්ෂිත වන්නේ ධනවාදය සහ එහි ආර්ථික ක්‍රමය විවේචනාත්මකව ප්‍රතික්ෂේප කිරීම, පන්ති අරගලයේ නිබන්ධනය, සමානාත්මතා, පංති රහිත, එනම් කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීමේ යෝජනාවෙනි. මාක්ස්වාදී දර්ශනය පදනම් වී ඇත්තේ සාමූහික ශ්‍රමයේ මූලධර්ම සහ සමාජ ධූරාවලියේ ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම මත ය. මාක්ස්වාදයේ ලෝක ඉතිහාසය ධනවාදයට එරෙහිව සටන් කිරීම ඉලක්ක කරගත් සමාජ-දේශපාලනික මූලධර්මයක් වන ලෙනින්වාදය සමග අවියෝජනීය ලෙස බැඳී පවතී.

සරලව ම කාල් මාක්ස්ගේ සමාජ, දේශපාලන, ආර්ථික දර්ශනය මාක්ස්වාදය ලෙස හදුනාගත හැකිය.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් , සොෆොක්ලීස් ගෙන් ආරම්භ වූ දේශපාලන ආඛ්‍යාන නාට්‍ය කලාව නව අංගයන් එක් කරමින් ඉදිරියට ගෙන ගියේය. එයට මාක්ස්වාදී න්‍යායක් එක් කරගනිමින් ඔහු නිර්මාණකරණයේ නිරත විය.මාක්ස්වාදය අධිපති ධනවාදී සමාජය හා කලාවද ඇතුළු සියලු නිෂ්පාදන මාර්ගයක් ම දෘඪ විචාරයකට ලක් කරනු ලැබුවේ සමස්ත සමාජයේ වෙනස් වීමක් අරභයා ය. එබැවින් බ්‍රෙෂ්ට්, ස්වකීය නාට්‍යවලට මාක්ස්වාදී අදහස් එක් කරගනු ලැබුවේ සමාජ වෙනස්වීම උපකල්පනය කළ හෙයිනි. 

"බ්‍රෙෂ්ට් සුවිශේෂී නාට්‍යකරුවෙකු වන්නේ ඔහු මාක්ස්වාදය තුළ නිර්භීතව හා අවංකව ජීවත් වූ හෙයිනි."

මොහු විසින් පුරෝගාමීව ගොඩනගන ලද එපික් රංගය විශේෂයෙන් ගොඩනගා ඇත්තේ ඓතිහාසික භෞතිකවාදී විස්තරය හා සමාජය පිළිබඳ විචාරාත්මක දෘෂ්ටිකෝණය මතය. බ්‍රෙෂ්ට් එපික් රංගයෙන් උත්සාහ කළේ මානව පරිසරයක ඓතිහාසික වශයෙන් විශේෂිත කරන ලද ලක්ෂණයන් වෙන් කරගෙන ඒ සදහා ආලෝකය සැපයීමට ය. නැතිනම්, එන චරිතයන් හැඩ ගැස්වීමට සහ බොහෝ විට විනාශ කිරීමටය. බොහෝ නාට්‍ය කරුවන් මානවවාදයක විශ්වීය මූලධර්ම ගැන අවධානය යොමු කළද, බ්‍රෙෂ්ට් උනන්දු වූයේ සුවිශේෂ ඓතිහාසික සංසිද්ධීන් පිළිබඳ දරන ආකල්ප හැසිරීම් පිළිබඳවය. බ්‍රෙෂ්ට් ගේ මෙම ආස්ථානය ඔහුගේ ම නාට්‍යයකින් තේරුම් ගැනීම මෙහිලා වැදගත් වේ. 

බ්‍රෙෂ්ට් මාක්ස්වාදය හැදෑරීමෙන් පසුව නිර්මාණය කරන ලද මුල්ම නාට්‍ය නිර්මාණය ලෙස සැල්කෙන්නේ "Three Penny Opera" නාට්‍යයයි. මේ නාට්‍යයෙන් ධනවාදී සමාජය තුළ පුද්ගලයින් එකිනෙකා සමග පවත්වන සම්බන්ධතාවන්ගේ ස්වභාවය පෙන්වා දෙයි. මෙහි, ලන්ඩන් නුවර දාමරිකයෙකුගේ (මැක්හිත් හෙවත් පිහිමැකී) නැගීම හා වැටීම පිළිබඳ තේමා වේ. මෙම නිර්මාණය අධ්‍යයනය කරන විට අපට මැක්හිත් පිළිබඳ ද්වේශයක් හෝ අනුකම්පාවක් හට නොගනී. නමුත් එය චරිතය ප්‍රේක්ෂකයා ගේ විචාරාත්මක බුද්ධිය පුබුදුවාලයි. මුළු මහත් සමාජයක් තුළ අටවා ඇති ධනවාදී සමාජ පදනමක ජන පීඩිත බැම්ම හා එහි ඇති සහසබැදියාව මේ නාට්‍ය තුළින් ප්‍රේක්ෂක චින්තනයට හසු වේ.

තවද, බ්‍රෙෂ්ට් තම නාට්‍යයන්ට මාක්ස්වාදී සංකල්ප හරහා නවතම ශිල්පක්‍රම කිහිපයක් නිර්මාණය කරන ලදී. Alienation Effect , Didacticism, Gestus, Dialectics ආදී මේ සියල්ලම ඔහු හදුන්වාදුන්නේ හා භාවිතා කළේ මාක්ස්වාදී පණිවිඩය සමාජ ගත කිරීම සදහාය. බ්‍රෙෂ්ට් ගේ එපික් රංගය තදාත්මවිඝටන රීතිය (verferemdung seftekt/Alienation Effect) ඔස්සේ පදනම් වී ඇත. එනම්, සිද්ධි,චරිත හෝ සමස්තය කෙරෙහි විශ්වාසයක් හෝ බැදීමක් ප්‍රේක්ෂකයාට හෝ නළුවාට ඇති කිරීමට බ්‍රෙෂ්ට් කිසිවිටක උත්සාහ නොදරයි. ස්ටැනිස්ලාවුස්කි අනුදත් රංග විධික්‍රමයට අනන්‍ය වීම බ්‍රෙෂ්ට් ප්‍රතික්ෂේප කළේය. ඉන් ඔහු වියුක්ත විය. එසේම බ්‍රෙෂ්ට් පැවසුවේ තම රංගය ප්‍රති-ඇරිස්ටෝටලියන් නාට්‍ය ලෙසටය. නාට්‍ය තුළ පූරක (Narrator) කෙනෙක් කතාව විස්තර කිරීමට මෙම රංගයේ විශේෂත්වයකි. තවද නළුවා හුදු අනුකාරකයෙක් නොවී කතා කියා පෙන්වන්නෙකු බවට පත් විය යුතු යැයි ඔහුගේ මතය විය. ප්‍රේක්ෂකයා බුද්ධිමත්ව නැරඹූ නාට්‍යමය මොහොත නැවත සිතා බලන බවත්, එම මොහොත නූතනයට ගැලපිනි නම් කෙසේ වේ දැයි සිතීමට අවශ්‍ය ඉඩ සැලසෙන බවත් බ්‍රෙෂ්ට් තම නාට්‍ය නිර්මාණයන් තුළින් පෙන්වා දෙන ලදී.රංගය යනු ප්‍රේක්ෂකයා නරඹා රසවිදින්නක් හෝ ප්‍රේක්ෂකයා පිනවන මාධයක් නොවිය යුතු බවත්, රංගය මගින් ප්‍රේක්ෂකයා සමාජය කියවිය යුතු බවත් බ්‍රෙෂ්ට් විශ්වාස කළේය. මොහුගේ අභිප්‍රාය වූයේ සදාචාරාත්මක ගැටලු ඉදිරිපත් කිරීම සහ වේදිකාවේ සමකාලීන යථාර්ථයන් පිළිඹිබු කිරීම සදහා ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමයි. ඒ සදහා ඔහු තම නාට්‍යමය ආඛ්‍යානය ප්‍රේක්ෂකයාගේ භාවයන්ට සමීප නොකළේය.(දුරස්ථකරණ ඵලය)

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් රචිත නාට්‍ය නිර්මාණයන් කිහිපයක් ලෙස,

  • බාල් (Baal) 
  • ඩ්‍රම්ස් ඉන් ද නයිට් (Drums in the night)
  • මෑන් ඊකුවලස් මෑන් (Man Equals Man)
  • ද ත්‍රී පෙනි ඔපෙරා (The Three Penny Opera)
  • ද ලයිෆ් ඔෆ් එඩ්වඩ් ටූ ඔෆ් ඉන්ග්ලන්ඩ් (The life of edward II of England)
  • ද රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද සිටි ඔෆ් මැහෝගනී (The Rice and fall of the City of mahoganny)
  • සෙයින්ට් ජෝන් ඔෆ් ද ස්ටොක්‍යාඩ් (saint jhoan of the stocyards)
  • ද මදර් (The Mother)
  • ද ගුඩ් වුමන් ඔෆ් සෙට්ෂුවාන් (The good women of Setzuan)
  • ලයිෆ් ඔෆ් ගැලීලියෝ (life of Galileo)
  • මදර් කරේජ් අන්ඩ් හ(ර්) චිල්රන්ඩ්ස් (Mother Courage And her Childrens)
  • ද මේෂර් ටේකන් (the Measure Taken)
  • හී සෙයිඩ් යර්ස්, හී සෙයිඩ් නෝ (He said yes, He said No)
  • ද කොකේෂියන් චෝල්ක් සර්කල් (The Caucasian Chalk Circle) සදහන්‍ කළ හැකිය.

"ලොව දිළිදුය, දන දුදනය." (Three Penny Opera නාට්‍යයෙන්)

මාක්ස්වාදී අදහස් ඔස්සේ තම නිර්මාණ පථය පුළුල් කරගත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දර්ශනය වූයේ, තම නාට්‍ය ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් විය යුතු බවයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය වල කතා නායකයන් වූයේ රජවරු, කුමාරවරු , සිටුවරු, ප්‍රභූවරු වැනු සමාජයේ ඉහළ පැලැන්තිය නොව, සොරුන්, ගණිකාවන්, පාදඩයින්, හිගන්නන්, මහළු ස්ත්‍රීන්, සුරාලෝලීන්, මිනීමරුවන්, පීඩිතයන් වැනි සමාජයේ ආගාධයේ ජීවත් වූවන් ය. මේ සෑම චරිතයක් න විශ්ව සාධාරණ බවකින් යුතුව ගොඩ නැගීමට බ්‍රෙෂ්ට් සමත් විය.

"ලෝකය වෙනස් විය යුතුය. වෙනස් කළ යුතුය."

යන්න බ්‍රෙෂ්ට්ගේ සදාතනික දහමයි.




වැඩිදුර කියවීම් සදහා,

*රංජිත් ධර්මකීර්ති - නාට්‍ය ප්‍රවේශය

*ඩ්‍රාමා සගරාව- පළමු වෙළුම, දෙවන කලාපය - 'බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ එපික් රංගය සහ උපදේශන නාටක සංකල්පද්වය තුළ අන්තර්ගත මාක්ස්වාදී සංකල්පය සොයා යාම' - මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි. 

*සුචරිත ගම්ලත් - බටහිර නාට්‍ය හා රංග කලාව 

*නාට්‍ය කලාවේ මූලිකාංග -සී.එම් තරිඳු බණ්ඩාර

*මාක්ස්වාදයේ දරිද්‍රතාවය - නලින් ද සිල්වා 

*ලොව සුපතළ නාට්‍යකරුවෝ - (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්), ශිරාන් පොල්ගම්පළ 

Top