මිනිසාගේ මූලික අවශ්‍යතාවන් අතර ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ආහාර සඳහා ය.මිනිසාගේ තිරසාර ජීවන පැවැත්ම උදෙසා ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීම අතිශය වැදගත් කරුණක් වන්නේ එය සමස්ත මානව ක්‍රියාකාරකම් තීරණය වීම සඳහා බලපාන බැවිණි.අනාරක්ෂිත හෝ දූෂිත ආහාර තුළින් සෞඛ්‍යය පිරිහෙන අතර ඒ තුළින් රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යන අතර දූෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වසරකට ගෝලීය වශයෙන් මිනිසුන් 125000ක් පමණ මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත.අපිරිසිදු ,අනාරක්ෂිත ආහාර පරිභෝජනය තුළින් කෙටිකාලීන ව කුසගින්නට පිළියම් ලැබුණ ද ඉන් ඇතිවන දිගුකාලීන ප්‍රතිඵල භයානක විය හැකි ය.මේ තත්ත්වයන්සලකමින් ලෝකයේ විවිධ රටවල් ඒකරාශී වෙමින් විවිධ සංවිධාන ගොඩනංවාගෙන ආහාර සුරක්ෂිත කිරීමට කටයුතු ආරම්භ කර ඇත.අතීතයේ පටන් විවිධ රටවල්වල ආහාර සුරක්ෂිත කිරීමට විවිධ ක්‍රමවේද ඒ ඒ රටවල්වලට ආවේණික වශයෙන් සිදුකළත් මෙම සංකල්පය මුලින් ම ජාත්‍යන්තර තලයට පැමිණෙන්නේ 1970 ගණන්වල මැද භාගයේ දී ය.තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල දහස් ගණනක පිරිස කුසගින්නෙන් පෙළීම නිසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) විසින් 1974 රෝමයේ පැවති ලෝක ආහාර සමුළුවේ දී 'ආහාර සුරක්ෂිතතාවය' යන වචනය හඳුන්වා දෙන ලදි.
''ලෝකයේ රටක ජනගහනයේ සියලු පුද්ගලයින්ට සහ සමාජ කණ්ඩායම්වලට ක්‍රියාශීලි සහ සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන ආහාර අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් සහ ගුණාත්මක ආහාර සඳහා භෞතික සහ ආර්ථික ප්‍රවේශයක් ලබාදීම ආහාර සුරක්ෂිතතාවයයි.''
(ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය-USAID)
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විවිධ ආයතන විසින් විවිධ නිර්වචන ඉදිරිපත් කළ ද ඒ සියල්ලෙහි මුඛ්‍යාර්ථය වන්නේ ලෝක ජනයා වෙත වඩාත් ගුණදායක ආහාර වේලක් හිමි කර දීමයි.ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනුව ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රධාන අංග තුනක් පවතියි.එනම්
1.ආහාර ලබාගැනීමට ඇති හැකියාව:-ස්ථාවර පදනමකින් ප්‍රමාණවත් තරම් ආහාර සැපයීමක් ලබා ගැනීමට ඇති හැකියාව මෙයින් අදහස් කරයි.
2.ආහාර ප්‍රවේශය:-පෝෂ්‍යදායක සුදුසු ආහාර ලබාගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් සම්පත් පැවතීම.
3.ආහාර පරිභෝජනය හෝ පෝෂ්‍යදායී ආහාර ගැනීම.:- මිනිසාගේ පෝෂණ අවශ්‍යතාවන්ට සුදුසු පරිදි ආහාර පිළියෙල කිරීම.
ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය තුළ ද ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අංග තුනක් දක්වා ඇත.ඒවානම් දැරිය හැකි මිල,ලබාගත හැකි බව සහ ගුණාත්මකභාවය සහ ආරක්ෂාවයි.මෙම සාධක තුන අතරට 2019 දී ස්වභාවික සම්පත් සහ ඔරොත්තු දීම යන සාධකය ද ඇතුළත් වී ඇත.ආහාර සුරක්ෂිතතාවයට මානව ක්‍රියාකාරකම් සේ ම ස්වභාවික පරිසරයේ ක්‍රියාවලිද බාධාවන හේතුකාරක වේ.ජනගහන වර්ධනය,වගා කටයුතු සඳහා ඉඩම් අවම වීම,ජල සම්පත,කාලගුණික වෙනස්කම්,වනසත්ව උපද්‍රව යනාදිය මේ සඳහා නිදසුන් වේ.මෙම සාධකවලට යටපත් නොවී ආහාර සුරක්ෂිතතාවය ඇති කරගැනීම මිනිසාගේ වගකීම වේ.
ආහාර අනාරක්ෂිතතාවයට බොහෝවිට ගොදුරුවන්නේ,කාන්තා පාර්ශ්වයයි.එහිදී ගර්භනී හෝ කිරිදෙන කාන්තාවන් මෙහි වැඩි අවදානමට ලක් වේ.මීට අමතර ව අසනීප පුද්ගලයන්,සංක්‍රමණය වන කම්කරුවන්,වයෝවෘද්ධ පුද්ගලයන්,අඩු ආදායම්ලාභී නාගරික වැසියන්,ගැටුම්වලට ගොදුරුවූවන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් කෙරෙහි ද ආහාර අනාරක්ෂිතතාවය ප්‍රබල ව බලපානු ලැබේ.
ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් 1999 දී කළ ඇස්තමේන්තුගත කිරීමේ දී ලෝක ජනගහනයෙන් බිලියන 1.2ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන වග හඳුනාගත් අතර එකී අහාර අනාරක්ෂිත කලාප අතරට අයත් වූයේ ඉන්දියානු කලාපය සහඅප්‍රිකානු උප මහද්වීපය යි.මෙම සංවර්ධනය වෙමින් පවතින කලාපවල මන්ද පෝෂණයෙන් යුතු පිරිස මිලියන 642ක් විය.එසේ ම මෙහිදී සංවර්ධිත රටවල්වල ද මන්ද පෝෂණ තත්ත්වයන් හඳුනාගත් අතර එම පිරිස මිලියන 15ක් විය.2006 දී යුනිසෙෆ් සංවිධානය විසින් ඉදිරිපත් කළ ළමා මන්ද පෝෂණ වාර්තාවට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල්වල වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණවලින් 1/3කට හේතු වී ඇත්තේ ඌන පෝෂණ තත්ත්වයයි.එසේ ම 2009 දී ඉදිරිපත් වූ දේශගුණ විපර්යාස සහ කුසගින්න අර්බුදයට ප්‍රතිචාර දැක්වීම නම් වාර්තාවට අනුව දේශගුණ විපර්යාස සහ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2050 වනවිට ළමුන් මිලියන 24ක් පමණ කුසගින්නෙන් පෙළෙනු ඇත.වඩාත් ඛේදනීය තත්ත්වයනම් ඉන් අඩක් ම අයත් වන්නේ අප්‍රිකානු උප සහරා කලාපයටයි.2010 වනවිට සංවර්ධනය වෙමින් පවතින් රටවල්වල ජනගහනයෙන් 12.9%ක් ඌන පෝෂණයට ලක් විය.මෙම වසරේ එළිදැක් වූ UNAIDS වාර්තාවට අනුව ලෝකයේ ඒඩ්ස්,මැලේරියා සහ ක්ෂය රෝගය යන රෝගවලට වඩා කුසගින්න හේතුවෙන් මිනිසුන් මියයන බව දක්වා තිබේ.
2012 එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අනුව ලෝක ජනගහනයෙන් 1/7ක් කුසගින්නේ ගත කරන අතර ඉන් බහුතරයට අයත් වන්නෙ සංවර්ධිත රටවල් වේ.2016 වර්ෂයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉදිරි වසර පහළොව තුළ ගෝලීය ආහාර ඉල්ලුම 20%කින් ඉහළ යන බවයි.2050 වනවිට ලෝක ජනගහනය බිලියන නමයක් වනු ඇති බවට නීර්ණය කර ඇත.ඒ වනවිට ආහාර ඉල්ලුම 60% කින් ඉහළ ය.
මේ තත්ත්වය හමුවේ 2018 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවේ දී ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ලෙස ජූනි මස හත්වනදා නම් කරන ලදි.එක්සත් ජාතීන්ගේ සංවිධානය 2030 වනවිට පූරණය කිරීමට බලාපොරොත්තු වන තිරසර සංවර්ධන අරමුණු අතර දෙවන අරමුණ වන්නේ, කුසගින්න තුරන් කිරීම,ආහාර සුරක්ෂිතතාවය,පෝෂණය වැඩිදියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීමයි.මේ සඳහා Global Food Security Index හඳුන්වා දී ඇත.රටවල් 113ක් මේ මඟින් ආවරණය කරමින් ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.මෙම වාර්තාවට අනුව 2019 වර්ෂයේ ආහාර සුරක්ෂිතතාවය ඉහළින් ම පවත්වාගෙන ඇත්තේ යුරෝපා රටවල් විසිනි.පිළිවෙලින් පින්ලන්තය,අයර්ලන්තය,නෙදර්ලන්තය,ඔස්ට්‍රියාව යන රටවල් ආහාර සුරක්ෂිතතාවය මනා සේ පවත්වා ගත්තද මෙම දර්ශකයේ අවසාන ස්ථාන නියෝජනය කරන්නේ අප්‍රිකානු රටවල් වේ.ඉතියෝපියාව(108),සියෙරා ලියෝන්(109),මලාවි(110),සැම්බියා(111),සූඩානය(112),යේමනය(113) දර්ශකයේ පහළින් ම පවතියි.අප්‍රිකානු කලාපයේ පවතින සමාජ,ආර්ථික,දේශපාලන සංස්කෘතික සහ කාලගුණික තත්ත්වයන් විසින් මෙම තත්ත්වය නිර්මාණය කර ඇත.ආසියානු කලාපයේ ඉන්දියාව 71වන ස්ථානයත්,ශ්‍රී ලංකාව 75 වන ස්ථානයෙත් නේපාලය 77 වන ස්ථානයත්පකිස්ථානය 80 ස්ථානයත් හිමි කර ගෙන ඇත.
මෙවැනි තත්ත්වයක් හමු වේ 2020 වර්ෂය අවසන් වනවිට කොවිඩ් වසංගත තත්ත්වය චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ විය.වසර දෙකක කාලයක් පුරා දිනෙන් දින වර්ධනය වෙමින් නව ප්‍රභේද නිර්මාණය වෙමින් ව්‍යාප්ත වන මෙම වසංගත තත්ත්වය හමුවේ සමස්ත මානව ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.ජාත්‍යන්තර සංවිධාන දක්වන ආකාරයට මෙම කොවිඩ්-19 ව්‍යසනයට වඩා වැඩි බලපෑමක් ආහාර හේතුවෙන් ඇති විය හැක.ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා වන ඩේවිඩ් බිස්ලි දක්වන්නේ කොවිඩ්-19 හේතුවෙන් ඇතිවන ආහාර අර්බුදයක දී මිලියන 135-250ත් අතර පිරිසක් කුසගින්නට ගොදුරු විය හැකි බවයි.කොවිඩ් ව්‍යසනය ඇරඹීමට පෙර සිට දකුණු ආසියාව සහ නැගෙනහිර අප්‍රිකාව ආහාර අර්බුදයක ගිලී සිටියේ පළඟැටි උවදුර සහ නියඟ තත්ත්වයන් හමුවේ ය.
ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන්නේ කොවිඩ් ව්‍යසනය හේතුවෙන් ඇතිවන ආහාර අර්බුදයට වැඩි වශයෙන් පාත්‍ර වන්නේ යුධ ගැටුම්,ආර්ථික අර්බුද,දේශගුණ විපර්යාසවලට බහුල ව ලක්වන රටවල් බවයි.එහිදී ප්‍රධාන වශයෙන් රටවල් දහයක් නම් කරන අතර ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින අප්‍රිකානු කලාපයට අයත් වේ. ඒ අනුව 2020 වර්ෂයේ දකුණු සූඩානයේ ජනතාවගෙන් 61% ආහාර අර්බුදයට මුහුණ දී ඇත.
ලෝක ආහාර වැඩසටහනේ ආර්ථික විශේෂඥයෙක් වන අරීෆ් හුසේන් දක්වන්නේ සමස්ත ලෝකය ම ආවෘත වී පවතින සමයක මිනිසා ඉතිරි කරගත් මුදල් ද අවශ්‍යතා වෙනුවෙන් ක්ෂය වී යන මොහොතකබොහෝ ගැටලු අතිවිය හැකි බැවින්මෙම අර්බුදය සඳහා එකමුතු වී කටයුතු කළ යුතු බවයි.එහෙත් තුන්වන ලෝකයේ රටවල්වලට මෙතෙක් කල් සහනාධාර සැපයූ සංවර්ධිත රටවල් පවා තම රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වෙහෙසෙන මොහොතක බොහෝ ගැටලු අතිවිය හැකි බැවින් මෙය ඉතා අසීරු වී තිබේ.යාන්ත්‍රික නිෂ්පාදනයට සාපේක්ෂ ව කෘෂි නිෂ්පාදනය අත්‍යවශ්‍ය සාධකයකි.වසංගත තත්ත්වයක් හමුවේ මිනිසාගේ ආහාර අවශ්‍යතාවයන් තව දුරටත් පෘථුල වනවා මිස අවම වන්නේ නැත.එවැනි තත්ත්වයක ලෝකයේ කෘෂිකාර්මික කටයුතු සංචරණ සීමාවන් හේතුවෙන් අඩපණ වී ඇත.යම් තරමකට එම කටයුතු සිදු වූ වද එය පෙර පරිදි වේගවත් ව සිදු නොවීම බරපතල අර්බුදයකි.ආනයනය තුළින් ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්වීම ද පවතින තත්ත්වය හමුවේ අසීරු කරුණකි.අපනයනය සඳහා කෘෂි කටයුතු සිදු කරන රටවල් ද එම කටයුතු සිදු කරගෙන යන්නේ බොහෝ අපහසුතා මධ්‍යයේ ය. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කෘෂි කටයුතු පවත්වාගෙන ගිය ද වගාවන් සිදු කිරීම ආරම්භයේ සිට එය පරිභෝජනය දක්වා යන ගමන් මාර්ගයේ ඇති අසීරුතා ගිණිය නොහැකි තරම් ය.එසේ ම වර්තමානයේ පවතින පොහොර ගැටලු,ශ්‍රමික ගැටලු,අස්වනු විකුණා ගැනීමේ ගැටලු යනාදී සියල්ල ම සමස්ත ලෝකයේ ම අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.
වසංගත තත්ත්වයක දී ජනතාව වෙත වැඩි වශයෙන් ලබාදිය යුත්තේ වඩාත් ගුණාත්මක ආහාර ද්‍රව්‍යයන් ය.එහෙත් පවතින තත්ත්වය හමුවේ දවසේ තුන්වේල සපයා ගැනීමම ගැටලුවක් වී ඇත.එවැනි තත්ත්වයක දී කිසිවෙකු ආහාරයේ ගුණාත්මකභාවය පිළිබඳ නොසළකන අතර එය ම තව දුරටත් විවිධ රෝග ඇතිවීමට හේතු වේ.
කොවිඩ් ව්‍යසනය ආරම්භ වීමටත් පෙර පටන් පැවති ආහාර අනාරක්ෂිතතාවය 2020න් පසුව තව දුරටත් වර්ධනය වී ඇත.එයට පවතින එක ම විසඳුම රට තුළ හැකි අයුරින් ආහාර නිෂ්පාදනය කිරීමයි.පවතින් නිෂ්පාදන නිසි ලෙස පරිභෝජනය කිරීමත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් නිසි ලෙස සලසා දීමත් වැදගත් වේ.එසේ සිදු නොවුණනහොත් කොවිඩ් ව්‍යසනය අවසන් වන විට සමස්ත ලෝකයටම ආහාර හිඟයකටද මුහුණ දීමට සිදුවනු ඇත.