පීඩිතයන්ගේ රංග කලාව හා ඔගොස්ටෝ බොවාල් (826)

post-title

1931 මාර්තු 16 වන දින බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ ඔගස්ටෝ බොවාල් උපත ලබයි. නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ මොහු නාට්‍ය කලාවට ඇති කැමැත්ත නිසාම බ්‍රසීලය ට පැමිණ සාඕ පෝලෝහි ඇරීනා නාට්‍ය කණ්ඩායමට බැදුනේය. ඉන් ලැබූ පන්නරයෙන් හා ගවේෂණයෙන් 1970 ගණන්වලදී බොවාල් විසින් පීඩිතයන්ගේ රංග කලාව හදුන්වා දුනි. නමුත් 1990 දශකයේ දී මෙම රංග ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වන්නට විය. එමගින් රංග කලාව විප්ලවීය වෙනසකට බඳුන් කෙරුණු අන්තර් ක්‍රියාකාරී රංග ස්වරූප වලට මඟ පෑදුණි. මෙමගින් ප්‍රේක්ෂකයා හුදු බලා සිටින්නකු නොව, "ප්‍රේක්ෂක නළුවකු" බවට පත් කරන ලදී. ප්‍රේක්ෂකයන්ට වේදිකාවට පැමිණ ඔවුන්ගේ අදහස් එහිදී ඉදිරිපත් කිරීමට ඔහු අවස්ථාව ලබා දුනි. ඔවුන් සිදු කිරීමට අදහස් කරන වෙනස ක්‍රියාවට නැංවීමට එයින් අවස්ථාව ලැබිණි. තවද වෙනත් ප්‍රේක්ෂකයන්ගේ යෝජනා ද සාමූහිකව සාකච්ඡා වීමත් සමඟම සමාජ ක්‍රියාමාර්ග මුලපිරීම දිරිගැන්විණි. මෙහිදී බොවාල් විසින් රංග කලාව එය විසින්ම විප්ලවීය නොවන බව ද, එය විප්ලවය සඳහා සඳහා පෙර පුහුණුවක් බව ද පැවසීය. රියෝ ද ජැනයිරෝ නගර සභාව වෙත තේරී පත්වීමෙන් පසු ඔහු මහජනතාව වෙත දේශපාලන වෙනස රැගෙන යාමට රංග කලාව භාවිතා කළේය.  

ආරම්භයේ දී බොවාල් ප්‍රතිබිම්බ රංග කලාව භාවිතා කරමින් අවාචික ප්‍රකාශනයක් හෝ රූපයක් හෝ භාවිතා කරන ලදී. ඉන්පසු ඔහු පීඩිතයන්ගේ රංග කලාවේ හරය ලෙස සැලකිය හැකි සංසඳ රංගය හඳුන්වා දුන්නේ ය. 

ඇත්තෙන්ම පීඩිතයන්ගේ රංග කලාවේ හරය වන්නේ ප්‍රජාවක් පීඩාවට පත් කරන සැබෑ ජීවිතයේ සමාජ ප්‍රශ්න උදෙසා උත්තේජනාත්මක ආකාරයේ නාට්‍යානුසාරී පෙර පුහුණුවකි. එය නිර්මාණය කරනු ලැබුවේ නිර්මාණාත්මක ක්‍රම ශිල්ප, ක්‍රීඩා සහ භාවිතාවන් සමූහයකිනි. එමගින් නාට්‍යකරුවන්ට, ගුරුවරුන්ට සිසුන්ට, උනන්දුවක් දක්වන පුද්ගලයන්ට හා ප්‍රජාවට සිය ක්‍රියාවන් සම කාලීන තත්ත්වයන්ට අනුරූපීව පරිවර්තනය කර ගැනීමට මඟ සැලසිණි. 

මොහු විසින් පීඩිතයන්ගේ රංග කලාව, දේශපාලනික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා භාවිත කළ මුත්, එය දරිද්‍රතාව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට , මත්ද්‍රව්‍ය අවභාවිතය, ළමා අපයෝජනය, පරිසර දූෂණය වැනි වෙනත් සමාජ පීඩනයන් වෙනුවෙන් ද භාවිතා කළ හැකි ලෙස ගොඩ නැංවීය. එබැවින් පුළුල්ව සලකා බැලූ කල එය ඕනෑම දෙයක් ඇමතිය හැකි නම්‍යශීලී මෙවලමකි. පීඩිතයන්ගේ රංග කලාව යනු එකිනෙකට ප්‍රතිවාදාත්මක වන විනය සහ නිදහස අතර පරිපූර්ණ සංවාදයක් හෙවත් පරම සංස්ලේෂණයකි. මෙහි විනය යනු සෑම දෙනෙකුටම ගෞරවනීය ලෙස එකට පැවතීම සඳහා තිබෙන අයිතිය ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ විශ්වාසයයි. මෙහි නිදහස යනු මානව වර්ගයා මානුෂීය කිරීම සඳහා ක්‍රම සොයා ගැනීම පිණිස උපකාර කිරීමයි. මෙම පීඩිතයන්ගේ රංග කලාව සංවර්ධනය කරන අතරතුර බොවාල් විසින් විවිධ ප්‍රජාවන්, විවිධ ප්‍රශ්න ආමන්ත්‍රණය කරවීමට යෙදවිය. එහිදී ඔහුට බොහෝ රංග තාක්ෂණික විධි ක්‍රම භාවිතා කිරීමට සිදුවිය. පීඩිතයන්ගේ රංග කලාව තහවුරු කර සිටින්නේ බල රහිත බව හෝ ප්‍රජා ප්‍රශ්න සඳහා විසඳුම් වල පදනම තීරණය වන්නේ, මතු කෙරුණු ලබන තීරණාත්මක ප්‍රශ්න මත බවයි. 

ඔගස්ටෝ බොවාල් විසින් පීඩිතයන්ගේ රංගය, එහි අනු කොටස් කිහිපයකට බෙදා දක්වයි

* ව්‍යවස්ථාදායක රංගය (Legislative Theatre)

*විවාද රංගය (Debate Theatre)

*ප්‍රතිබිම්බ රංගය (Image Theatre)

*අදිසි රංගය/සැගවුණු වේදිකාව (Invisible Theatre)

*පිළිවැයුම් රංගය (Playback Theatre)

*පුවත් පත් රංගය (Newspaper Theatre)

ව්‍යවහාරික රංග කලාවට නව මානයක් ලබාදුන් බොවාල් ගේ රංග ක්‍රමවේදය අද වන විට බොහෝ රටවල විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ. මූලිකව මාක්ස්වාදී දෘෂ්ටියකින් ගොඩනංවන ලද වේදිකා භාවිතයක් ඔහු විසින් පුහුණු කළේය. සරලවම, බොවාල් විසින් පීඩිතයන්ගේ රංගය හඳුන්වා දෙනු ලැබුවේ සමාජය හා සමාජය ගැටලු කේන්ද්‍රකරගත් මිනිසුන් සමග සිදු කෙරෙන සංවාදාත්මක රංගයක් ලෙසටය. රංගය අවසානයේ යහපත් සමාජයක් සංවිධානය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන සවිඥානිකත්වය සපයන බලවේගයක් දක්වා වර්ධනය කළ හැකි රංග කලා භාවිතයක් බව මොහු විශ්වාස කළේය. 

මේ තුළින් නළු ප්‍රේක්ෂකයා ගැටළුවට බොහෝවිට බොහෝ විට සාම්ප්‍රදායික නොවන විසදුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි. මන්ද එම ගැටලුව සමග ඓතිහාසික සම්බන්ධයක් ඔවුනට තිබිය හැකි සේම බොහෝ සාම්ප්‍රදායික විසඳුම් ඒ වන විට අසාර්ථක වීමට ඇති ඉඩකඩ ද වැඩි නිසා මෙහෙයවන්නා කිසිවිටකත් නොසිතූ ආකාරයක මැදිහත්වීමක් මෙම සංවාද මණ්ඩප වේදිකාවේ දී සිදුවිය හැකිය. මේවා බොහෝ විට පැය භාගයකට අඩුවෙන් ක්‍රියාත්මක වන නාට්‍ය කොටස් වේ. එය බොහෝ විට තීරණය වන්නේ ප්‍රේක්ෂකයාගේ ක්‍රියාකාරිත්වය මත ය. එලෙසම ශූර රංගන ශිල්පියකුට හා මෙම ක්‍රමවේදයේ අත්දැකීම් ඇති අයෙකුට එය මනාව හැසිර වීමේ හැකියාවක් තිබීම වැදගත්ය. ඔගොස්ටෝ බොවාල් ගේ රංග කලා භාවිතය තුළ පවතින කේන්ද්‍රිය දාර්ශනික අදහස් මාක්ස්වාදී දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කිරීම වඩාත් උචිත වේ. එහෙත් බොවාල් බොහෝ සෙයින් උනන්දු වන අදහසක් ලෙස සහානුභූතිය පිළිබඳ අදහස මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. සහානුභූතිය පිළිබඳ අදහස බ්‍රෙෂ්ට් ගෙන් පසු විවේචනයට ලක්වීම හා එහි පවතින පසුගාමී දේශපාලන බලපෑම බොවාල් තම රංග කලා න්‍යාය තුළ වැඩි අවධානයක් යොමුකරයි. සහානුභූතිය විසින් අපට අහිමි කරන්නේ විචාරශීලීත්වයයි. බොවාල් ගේ සියලුම රංග කලා මාදිලි වල දී ඔහු උනන්දු වන්නේ විචාරශීලි, වගකීම් සහගත සහ නිර්මාණාත්මක ප්‍රේක්ෂකයෙකු බිහිකිරීමයි. (මනුප්‍රිය,2021,පි51)

2008 වසරේ ඔගොස්ටෝ බොවාල් විසින් ඔහුගේ Theatre of the Oppressed කෘතිය යළි පළ කිරීමේදී කිරීමේ දී ලියන ලද පෙරවදනෙහි මෙසේ සදහන්‍ වේ.

"අපි ශේක්ෂ්පියර් කියවන විට කිසිවිටක රංග රංග කලාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරන්නේ නැහැ. එහෙත් ඉතිහාසය තුළ මනුෂ්‍යත්වය පිහිටි ආකාරය අපි ඉගෙන ගන්නවා. අපි හොයාගන්නෙ අපිව. අපි අපිව හොයා ගත්තොත් අපිට පුළුවන් අපිව වෙනස් කරගන්න. අවසානයේ මුළු ලෝකෙම වෙනස් කරන්න."

ඔහුගේ සමස්ත ක්‍රියාවලිය අප ජීවත්වන ලෝකය වඩාත් යහපත් ලෝකයක් දක්වා පරිවර්තනය කිරීමට අවශ්‍ය මානුෂීය මැදිහත්වීම වෙත දිශානත වී තිබේ. (එම,2021,පි52)

බොවාල් ගේ සංසද රංග කලාව තුළ ප්‍රේක්ෂකයන්ට හා වේදිකාවේ නළුවන් අතර මැදිහත්වීම පවත්වාගෙන යන්නේ ජෝකර් (joker) ලෙස නම් කරන ලද චරිතයක් විසිනි. ප්‍රේක්ෂකාගාරයේ සාමාජිකයන්ට මැදිහත්විය හැකි ආකාරය ඔහු විසින් කළමනාකරණය කරනු ලැබේ. joker චරිතය පරිණාමය වන ස්වරූපය සැලකිල්ලට ගත් විට, වත්මනේ එම නම "පහසුකාරකවරයා/උපපරිපාලක" (facilitator / moderator) ලෙස නම් කිරීම වඩාත් යෝග්‍ය වේ. ප්‍රේක්ෂක නළුවන් බවට පත් වීම සඳහා ප්‍රේක්ෂකාගාරයට උපදෙස් දී ඇති අතර මැදිහත්විය හැකි අවස්ථාවක අත් ඔසවා නවත්වන්න යැයි කීම ඔහුට යෝජනා කළ හැකිය. ඔහු හෝ ඔවුන් (moderators) මැදිහත්වීම් පිළිබඳ අපක්ෂපාතී දෘෂ්ටියක් දැරීම, මැදිහත්වීමක් අවසානයේ සිදුවූයේ කුමක්ද යන්න ඇගයීමට ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටීම, එක් එක් ප්‍රේක්ෂක නළුවෙකුට තම මැදිහත්වීම ක්‍රියාත්මක කිරීමට තවත් කෙනෙකුට නිදහස ලැබීමට පෙර තම මැදිහත්වීම සම්පූර්ණ කිරීමට හැකි වන පරිදි මැදිහත්වීම් සඳහා පහසුකම් සැලසිය යුතුය.

සංසද රංග කලාවේ ලක්ෂණ කිහිපයක් පහත සදහන්‍ ආකාරයට පෙළගැස්විය හැකිය,

* ප්‍රකාශනයේ නිදහස දිරිගැන්වීම

* අයුක්තිය ආමන්ත්‍රණය කිරීම

* විකල්ප ක්‍රියා මාර්ග සෙවීමට තිබෙන සාමූහික ආශාව කුළු ගැන්වීම

* විසඳුම් දිරිගැන්වීම

* මහජනයා වෙත යළි බලය හුවමාරු කිරීම

* මහජන සහභාගිත්වයෙන් පැවතීම

* නම්‍යශීලීත්වය භාවිතය

මෙතුළින් අපට තේරුම් ගත හැක්කේ ඔගොස්ටෝ බොවාල් විසින් සමාජ ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න වැනි සියලු මාර්ග නිරීක්ෂණය කිරීමට සහ ප්‍රේක්ෂකයන් බලසතු කිරීම හරහා සහභාගිත්ව යෙහි ප්‍රතිඵල ගවේෂණය කිරීමට යොමු කරවිය හැකි බවයි. එබැවින්, බොවාල් විසින් හදුන්වා දෙන ලද මෙම රංග කලාවට ආවේණික ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වීම හා ක්‍රියාවට නැංවීම මෙරට වේදිකා නාට්‍ය කලාවේ අනාගත ස්ථාවරත්වයට බෙහෙවින් වැදගත් වනු ඇතැයි කිව හැකිය.

මුලාශ්‍ර අධ්‍යයනයන්,

* මනුප්‍රිය.රංග, ජනකරළිය කාර්යසාධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යනයක්, 2021, ජනකරළිය ප්‍රකාශන, කෝට්ටේ.

* සංසඳ රංගකලාව ඉගෙනුම් අත් පොත (එම්.සී. රස්මින්/ රම්සි සයිනුඩීන්) සිං.පරි: අජිත් පැරකුම් ජයසිංහ (ශ්‍රී ලංකා ජනමාධ්‍ය සංසදය| SDJF)

Top