සීතල වැස්සයි, උණු කිරි කෝපි එකයි, රෝල්ඩ් ඩාල් ගේ අපූරු ලෝකෙ යි! (366)

post-title

අඳුරු වළාකුළුවලින් මුළු අහසම පිරිලා. මුළු පරිසරයම ඒ අඳුරේ ගිළිලා. හීන් පොද වැස්ස නිසා පිටත පරිසරය හරිම සීතලයි. ඒ සීතල ජනෙල් වා කවුළුවලින් ඇතුළට එන්න පොරකනවා වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. දැන් නම් මගේ පුංචි කාමරයත් හරිම සීතලයි. හීන් පොද වැස්ස හරිම ලස්සනයි. ඒ සීතලට ඒ ලස්සනට කවදත් මම ලෝබයි. චිරි චිරි වැස්ස, ඒ තාලයටම පැද්දෙන ගස්, ඒ අතරින් හමන් එන සීතල සුළං, බිමට වැටි වැටි නටම පුංචි වතුර බිංදුත් එක්ක කීරී ගැහෙන සීතල මාව වෙනම ලෝකයකට අරන් ගියා වගේ. 

සීතල සීතල කියලා බලන්නේ නැතුව මද රස්නේ උණු වතුරෙන් වෙනදා තරම් පැය ගණන් නැතුවට හොරාට පොඩ්ඩක් නා ගත්තම හිතට තවත් සතුටුයි. වතුර බේරෙන කොන්ඩේ තෙත හොඳින් පිහිදාගෙන , විලුඹ ගාවටම දිග කලිසමක් ඇඳගෙන, ඒකටම ගැළපෙන අත් දිග ඝනකම් ලොකු ජර්සියක් ඇඳගෙන, කාමරයේ ජනේලයක් ගාව තියෙන පුංචි පුටුවකට ගුළි උනාම දැනෙන්නේ හිතයි ගතයි දෙකම සැහැල්ලු උනා වගේ. මේ වේලාවටම ගැළපෙන දුම් දමන උණු කිරි කෝපි කෝප්පයක් අතේ තියෙද්දී, ඒ සුවඳින් මුළු හිතම පිරිලා යනවා. හීන් පොද වැස්සෙන් මීදුම් පටලයක් බැඳුන ජනේලෙන් පිටත බලන ගමන් කියවන්න අපූරු පොතකුත් අතේ තියාගෙන ඉන්නකොට, මන් ගාවින්ම පුරු පුරු ගගා පූස් පැටව්ත් ගුළි වෙද්දී... ඔව්, ඇත්තටම ඒක වෙනමම රහක්! 

මම මේ ලිපියෙන් ලියන්නේ වැස්ස ගැන නම් නෙමෙයි. හැබැයි මේ වැස්සත් එක්කම ගැළපෙන ආත්මීය බැඳීමක් ගැනයි. කීරි ගැහෙන සීතල වැස්ස දවසක ඔයා කරන්න ආසම දේවල් මොනවද? මේ වගේ වෙලාවට හොඳ රසවත් පොතක් කියවන්න මන් ආසයි. තව ඇඳට වෙලා ඝනකම් පොරෝනයක් ඇතුළේ ගුළි වෙලා හොඳ සනීපෙට උණුසුම්ව නිදාගන්නත් මන් ආසයි. තවත් වෙලාවට ජනේලේ පොඩ්ඩක් ඇරගෙන එක දිගට පැය ගාණක් උනත් වැස්ස දිහා බලන් ඉන්න මන් ආසයි. ඒ ගමන් ආදරේ ගැන, ඉස්සරහට මන් කරන්න ඉන්න දේවල් ගැන, මගේ පුංචි කාලේ මතක ගැන කල්පනා කරන්න.. හිතන්න.. මන් ආසයි. හැරී පෝටර්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග් වගේ මායාකාරී කතා මාලාවන් එක දිගට බලන්න ආසයි. අම්මයි තාත්තයි එක්ක එකට වාඩිවෙලා එයාලගේ ඉස්සර කාලේ රසවත් සිද්ධි කතා කරන්න ආසයි. අපි විඳලා නැති ඒ සුන්දර සිදුවීම්වලට පුදුම වෙන්න ආසයි. ඇයි තව උණු උණු රස කෑම ජාති කන්නත් ආසයි. 

වැස්සත් එක්ක බැඳුනු ආසාවල් ගොඩක් තියෙන මම ඒ අතරින් මේ ලිපියේ ලියන්නේ අපූරු වැස්සටම පෑහුණු රසවත්ම පොත් කිහිපයක් ගැන හා ඒවා නිර්මාණය කරන ලද අපූරු ලේඛකයෙක් ගැනයි. වැස්සත් එක්ක අරුම පුදුම විශ්මය ජනක දේවල් කියවන්න මන් ආසයි. ඒ පොත් ඇතුළෙ තියෙන විශ්මයජනක මායා ලෝකවල ජීවත් වෙන එක ඇත්තටම අපූරු දෙයක්. වැස්සත් එක්කම අපිව පුදුමාකාර ලෝකයකට අරන් යන්න ඒ වගේ පොත්වලට පුළුවන්. 

වැසි සහිත දිනයකදී රෝල්ඩ් ඩාල් ගේ කෘතියක් කියවීමෙන් මා දැනුදු ඉහළ තෘප්තිමත් බවක් විඳිනවා. ඔබද එසේ වනවාට සැක නැහැ. මොහුගේ කෘති වෙනස්ම ආකාරයකට අපව ප්‍රමෝධයට පත් කරනවා. ඇත්තටම එය ඇබ්බැහි වෙන සුළු යි. ඔහුගේ සිතීමේ හැකියාව විශ්මිතයි. එදිනෙදා ලෝකයේදී අපිට හමු නොවන විශ්මිත ලෝකවලට ඔහුගේ කෘතිවලින් අපව රැගෙන යනවා. එය පුදුමාකාරයි. තවත් විටෙක මායාකාරියි. තවත් ආකාරයකට හාස්‍යජනකයි. 

කුඩා දරුවන්ගේ ලෝකය අපූර්වයෙන් පිරවූ රෝල්ඩ් ඩාල් උපත ලබා ඇත්තේ 1916 සැප්තැම්බර් 13 වෙනිදා යි. ඒ එංගලන්තයේදී ය. ඔහුගේ පියා හැරල්ඩ් ඩාල් වූ අතර මව සොෆී මැග්ඩලේන් විය. මොහු වයස අවුරුදු හතේ දී The Chathedral School, Llanddaff ට ඇතුළත් විය. පසුව මොහු St. Peters’s boarding School, Weston Super Mare හි අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙනු ලැබීය. ඒ ඉංග්‍රීසි රජයේ පාසලක අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමට වූ ඔහුගේ දෙමාපියන්ගේ බලපෑම මත ය. මෙම පාසලේ ගත කළ ජීවිතය ඩාල් ට අප්‍රසන්න එකක් විය. පසු කාලයේ ශාන්ත පීටර් පාසලේ ගත කළ කාලය පිළිබඳ ඔහුගේ ස්වයං චරිතාපදානය ‘Boy: Tales of childhood’ ලෙස නිර්මාණය කර තිබේ. 

වර්ෂ 1929 දී, එනම් ඩාල් ගේ දහතුන්වෙනි වියේදී මොහු Repton School, Derbyshire වෙත අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙනු ලැබී ය. මොහුගේ ජිවිතයේ අවසාන පාසල මෙය වූ අතර නමුත් එය ද ඔහුට මිහිරි අත්දැකීමක් නොවී ය. එම පාසලේදී වැඩිහිටි ළමුන්ගේ සේවකයින් මෙන් හැසිරීමට තරුණ නවක ළමුන්ට සිදු විය. එහිදී නිතර නිතර දරුණු පහරදීම්වලට ද ගොඳුරු වන්නටද සිදු වී ඇත. ඩාල් සිය ලේඛන සඳහා මෙසේ ඔහු ලත් අඳුරු අත්දැකීම් හා කෘරකම්වලින් සමහර සිදුවීම් ද ඇතුළත් කර තිබේ. 

කෙසේ වෙතත් පාසල් කාලයේදී මොහු දක්ෂ ලේඛකයෙකු ලෙස කිසිවෙක් හඳුනාගෙන නැත. වරෙක් ඉංග්‍රීසි ගුරුවරයෙක් ඩාල් ගේ පාසල් වාර්තාවේ සඳහන් කර ඇත්තේ, “I have never met anybody who so persistently writes words meaning the exact opposite of what is intended.” යනුවෙනි. තරුණ කාලයේදී ක්‍රිකට්, පාපන්දු සහ ගොල්ෆ් වැනි ක්‍රීඩාවන්හි නිරත වූ ඩාල් සාහිත්‍යය හා ඡායාරූපකරණය වැනි විෂයන්ට ප්‍රියතාවයක් දක්වනු ලැබී ය. 

1934 දී රෝල්ඩ් ඩාල් සිය පළමු රැකියාව ලෙස Shell Petroleum Company’ සමඟ එක් විය. පසුව නිරන්තර වික්‍රමයන් ගෙන් පිරි ජිවිතයක් අපේක්ෂා කල ඩාල් 1938 වසරේදී නෞකාවක නැඟී අප්‍රිකාවේ ෂෙල් සමාගම් රැකියාව වෙත ගමන් කළේ ය. අප්‍රිකාවේ ගත කළ ජීවිතය ඔහුට වඩාත් ප්‍රියජනක එකක් විය. නමුත් එම ප්‍රීතිජනක කාලය කෙටි කලකට සීමා විය. ඒ දෙවන ලෝක යුද්ධය හේතුවෙනි. බ්‍රිතාන්‍ය ජර්මනිය සමඟ ඇති වූ යුධමය වාතාවරණයේදී ඩාල් ද හමුදා සේවකයකු ලෙස සේවයට එක විය. 1939 දී රෝල්ඩ් ඩාල් ගුවන් නියමුවෙකු ලෙස බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාවට එක් විය. නමුත් එහිදී දරුණු ලෙස තුවාල ලැබූ මොහු හිස්කබලේ බිඳීයාමකට, දරුණු හිසේ කැක්කුමකට හා මාස හතරක් පමණ සම්පුර්ණයෙන් අන්ධභාවයට ද පත් වීමට ත් හේතු විය. මෙසේ ඔහු ලත් අත්දැකීම් සියල්ල ඔහු සිය ලේඛනයන් සඳහා පාදක කොටගෙන තිබේ. රෝල්ඩ් ඩාල් විසින් නිර්මාණය කල ‘Going Solo’ කෘතිය නිර්මාණයේදී ගුවන් හමුදා නිළධාරියකු වශයෙන් ඔහු ලත් අත්දැකීම් හි මතකයන් භාවිතා කර ඇත.

“Those who don’t believe in magic will never find it”

Billy and the Minpins

රෝල්ඩ් ඩාල් ලේඛන කටයුතු සඳහා යොමු වූයේ 1943 වර්ෂයේදී ය. ළමුන්ට හා වැඩිහිටියන්ට අපූරු ලෝකයක් නිර්මාණය කර දුන් මොහුගේ නිර්මාණයන් බිහි වූයේ එතැන් පටන් ය. මොහු අපට කියන්නේ අරුම පුදුම දේවල් විශ්වාස කරන්න කියලයි. ඇත්තටම ඔබට එවැනි හැකියාවක් නැතිනම් කෙසේද ඔබට අරුම පුදුම දේවල් මුණ ගැසෙන්නේ? කුඩා කාලයේදී මා විශ්මයෙන් පිරවූ අපූරු ලේඛකයන් අතර සැබවින්ම මොහුත් සිටිනවා. ඔහුගේ කෘතිවල ළමා වැඩිහිටි යයි භේදයක් මන් දකින්නේ නැහැ. ඩාල් ගේ ළමා කෘති සියල්ලම වාගේ යෞවන යෞවනියන්ටද, වැඩිහිටියන්ට ද එක හුස්මට කියවන්න පුළුවන් තරම් රසවත් බවින් අනූන යි. ඔබ රෝල්ඩ් ඩාල් ගේ කෘති කියවා නැතිනම් ඔබට අපූරු විශ්මිත ලෝකයක් මඟ හැරී ඇති බව නිසැක යි. ඔහුගේ රසවත් ළමා කෘතීන්ගෙන් කිහිපයක් මෙසේ ගෙන එමි.

රෝල්ඩ් ඩාල් විසින් රචනා කරන ලද මුල්ම ළමා කෘතිය වන්නේ ‘James and The Giant Peach’ ය. ඒ 1961 වර්ෂයේදී ය. වයස අවුරුදු හතරක් වන විට අවාසනාවන්ත ලෙස දෙමාපියන් අහිමි වන ජේම්ස් හෙන්රි ට්‍රෝටර් නම් කුඩා පිරිමි ළමයෙක් සහ විශාල පීච් ගෙඩියක් වටා මෙම අපූරු ඉන්ද්‍රජාලික කතාව මොහු නිර්මාණය කර තිබේ. ස්පීකර් සහ ස්පොන්ජ් නම් කුරිරු නැන්දනියන් දෙදෙනා සමඟ ජිවත් වන ජේම්ස් හට හමුවෙන අත්භූත මිනිසෙක් හමුවී ඔහුගේ ජීවිතය යහපත් බවට පත්කළ හැකි යැයි පවසන ඉන්ද්‍රජාලික මල්ලක් ලබා දෙයි. නමුත් නිවස වෙත යන කුඩා ජේම්ස් අතින් එම මල්ල බිම වැටී අසළ ඇති පීච් ගසේ නිවස තරම් වූ විශාල පීච් ගෙඩියක් වැඩෙයි. එතැන් පටන් අපූරු සිද්ධි මාලාවන් ඔස්සේ එකින් එක ගලායන මෙය ඉතාමත් රසවත් ය. 

“We are now about to visit the most marvellous places and see the most wonderful things.”

James and The Giant Peach

එවක 1920 කාල වකවානුවේදී එංගලන්තයේ විශාලතම චොකලට් නිෂ්පාදන සමාගම් දෙකක් ලෙස Cadbury සහ Rowntree’s ජනප්‍රිය තත්ත්වයේ පැවතිණි. මොවුන් සේවකයන් ලෙස පෙනී සිටි ඔත්තුකරුවන් අනෙකාගේ චොකලට් කර්මාන්තශාලා වෙත යවා වෙළඳ රහස් හොරකම් කිරීමට උත්සාහ කළහ. මේ නිසාම මෙම සමාගම් දෙකම සිය චොකලට් නිෂ්පාදනයට උපරිම ආරක්ෂාවක් සහ රහස්‍යභාවයක් ලබා දෙනු ලැබී ය. එමෙන්ම එම චොකලට් පරීක්ෂා කිරීමට ඒවායේ එහි නිපදවූ චොකලට් පාසලේ සිසුන් වෙත එවන අතර දිනෙක කැඩ්බරි මහතාගේ ප්‍රශංසාව දිනා ගන්න චොකලට් බාර් එකක් නිර්මාණය කිරීමට කුඩා ඩාල් සිහින මැවී ය. මෙම ආශාවන් සහ අත්දැකීම් පසුකාලයේ (1964) ඔහු ‘Charlie and the Chocolate Factory’ වැනි රසවත් ළමා කෘතිය මෙන්ම අනෙක් ළමා කෘතීන් හි චොකලට් ගැන සඳහන් කිරීමට ඔහු පෙළඹීමට හේතු විය.

දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක එකොළොස් වයසැති චාලි නම් කුඩා පිරිමි දරුවෙකු වටා මෙම කතන්දරය ගෙතෙයි. දිනක් ජෝ නමැති චාලිගේ සීයා විසින් අපූරු ඉතාම රසවත් චොකලට් නිර්මාණය කරන විලී වොන්කා සහ ඔහුගේ චොකලට් කම්හල ගැන විස්තර චාලි සමඟ කියයි. වොන්කා ගේ රහස් වට්ටෝරු සොරකම් කිරීම සඳහා ඔත්තුකරුවන් උත්සාහ කිරීම නිසා ඔහු කර්මාන්තශාලාව පිටස්තරයින් ගෙන් සම්පුර්ණයෙන් වසා දමයි. නමුත් නොසිතූ ලෙස කර්මාන්තශාලාව නැවත පිටස්තර පුද්ගලයින් වෙනුවෙන් විවර කරන අතර, ඒ වොන්කා විසින් චොකලට් හි සඟවන ලද රන් ටිකට් පත් පහකින් අවස්ථාවක් උදාවෙන වාසනාවන්ත දරුවන් පස් දෙනෙකු සඳහා ය. ඉන් එක අවස්ථාවක් දුප්පත් චාලිට ද හිමි වේ. ඉන්පසු ඔවුන් කම්හලේ සිදුකරන අපූරු සංචාරයන්ගෙන් කතාව ඉදිරියට දිග හැරෙයි. ඒ කිසිඳා විඳ නැති එවැනි අපූරු චොකලට් ලෝකය ළමා මනසෙහි සිත්තම් කරමිනි. 

“Never do anything by halves if you want to get away with it. Be outrageous. Go the whole hog.”

Matilda

1988 දී නිර්මාණය කරන ලද රෝල්ඩ් ඩාල්ගේ ‘Matilda’ කෘතිය අන් ළමා කෘතීන්ට වඩා වෙනස්ව යමින් යථාර්තවාදී ශෛලියෙන් නිර්මාණය කර ඇත. එහි පොත් කියවීමට කැමති දැරියක් මුහුණ දෙන අපූරු සිදුවීම් පෙළක් හාස්‍යජනක අයුරින් විස්තර කරමින් ලියා ඇත. මෙය 2012 දී සර්වකාලීන ළමා නවකතා අතර තිස්වෙනි ස්ථානයට පත්ව තිබේ. ඩාල් ගේ අනෙකුත් කෘතිවලට වඩා විශාල වශයෙන් ‘Matilda’ කෘතියෙහි විකුණුම් ප්‍රමාණය වැඩි වී ඇත. එය ලෝක ව්‍යාප්ත විකුණුම් මිලියන 17 තෙක්ම ළගා වී ඇත.

වොර්ම්වුඩ් දෙපළ ගාව ඉපදෙන මැටිල්ඩා පුදුමාකාර දැරියකි. ඇය වයස අවුරුදු එකහමාරේදී කතා කිරීමට සහ අවුරුදු තුනහමාරේදී කියවීමට ඉගෙන ගනියි. වයස අවුරුදු හතර වනවිට පුස්තකාලයේ සියලුම ළමා පොත් කියවා අවසන් කරයි. එතැනින් නතර නොවන ඇය ජේන් අයර් වැනි සම්භාව්‍ය කෘති කියවීමට ද යොමු වෙයි. නමුත් ඇගේ දෙමාපියන් ඇයව නොසළකා හරින අතර ඇගේ හැකියාවන් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි. එමනිසාම මැටිල්ඩා තම නිවැසියන් වෙත මෘදු විහිළු ආදිය සිදු කරයි. රෝල්ඩ් ඩාල් එම ක්‍රියා හාස්‍යජනක අයුරින් විස්තර කරයි. වයස අවුරුදු පහමාරක් වන විට පාසලට ඇතුළත් වන මැටිල්ඩා ජෙනිෆර් හනී නම් ඇගේ ගුරුවරිය සමඟ මිතුරු වෙයි. ඇගේ පාසලේ සිද්ධි මාලාවන් හාස්‍යජනක ලෙස මින් ඉදිරියට දිග හැරෙයි. ළමුන් තුළ පොත් කියවීමට ඇති උනන්දුව වැඩි කිරීමට හා ළමුන් තුළ ස්වයං ස්වාධීනබව ගොඩනඟන අයුරෙන් මැටිල්ඩා චරිතය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. කුඩා කාලයේදී මැටිල්ඩා කෘතිය කියවූ මම ද මැටිල්ඩා මෙන් වීමට නිරන්තරයෙන් ළමා පොත් කියවීමේ උනන්දුවකින් පෙලුණ සැටි තවමත් මතක ය.

මිට අමතරව The Twits, The Witches, George’s Marvellous Medicine, Danny The Champion of the World, Billy and The Minpins, The Magic Finger, The Giraffe and The Pelly and Me, Esio Trot, The BFG, Fantastic Mr. Fox, My Year, Boy: Tales of Childhood, The Enormous Crocodile, The Collected Short Stories Of Roald Dhal, The Best Of Roald Dhal, The Gremlins, Dirty Beasts, Kiss Kiss, Tales Of The Unexpected, Someone Like You, The Vicar of Nibbleswicke, Switch Bitch, The Landlady, Two Fables ආදී වශයෙන් කෘති ගණනාවක් මොහු විසින් රචනා කර ඇත.

රෝල්ඩ් ඩාල් විසින් නිර්මාණය කරන ලද ශ්‍රේෂ්ඨ නිර්මාණ කෘති ලෝකය පුරාම ප්‍රචලිත වූ අතර ඒවායෙන් චිත්‍රපට පවා නිර්මාණය කර තිබේ. තවමත්, මේ මොහොත වන විටත් ඔහුගේ කෘති පාඨකයන් අතර එකසේ ජනප්‍රිය ය. ඒ ඔහුගේ කෘතීන්හි ඇති රසවත් රචනා ශෛලිය සහ අපූර්ව සිදුවීම් සහ වස්තු නිසා ය. ක්වොන්ටිම් බ්ලේක් නම් ඩාල්ගේ කෘතිහි සිතුවම් නිර්මාණ ශිල්පියාගේ හැකියාවද මොහුගේ කෘති පාඨකයන් අතර ජනප්‍රිය වීමට හේතුවක් වී ඇත. මා ඉපදෙන්නටත් පෙර එනම් 1990 වසරේදී ඔහු මෙලොවින් සමුගෙන ඇතත්, මම ඔහුගේ කෘතිවලට සැබවින්ම ප්‍රිය වෙමි. රෝල්ඩ් ඩාල් ගේ කෘතියක් එකවරක් හෝ නොකියවූ අයෙක් සිටිය නොහැකි ය. නමුත් ඔබ එවැනි අයෙක් නම් ඔහුගේ කෘතියක් කියවා බලන්න. එහි අපූර්ව බවට ඔබ ඇබ්බැහි වෙන බව නිසැකයි. ඉතින් සීතල වැසි දිනයක දී උණුසුම් කිරි කෝපි එකක රස විඳින ගමන් රෝල්ඩ් ඩාල්ගේ අරුම පුදුම දේවල් මුණ ගැහෙන්න.. ඒවා රස විඳින්න.. අපිත් යමුද? 

Top