නොබෙල් සාම ත්‍යාගයෙන් පුද ලද රතු කුරුස සංවිධානය (342 )

post-title

වර්ෂ 1828 මැයි අට වන දින ස්විස්ටර්ලන්තයේ දී උපත ලද ෂෝන් හෙන්රි ඩූනන්ට් යනු ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වේ. 1859 ඉතාලියේ සොල්ෆෙරිනෝ වල ඇතිවූ යුද්ධයෙන් හතලිස් දහසකට අධික සොල්දාදුවන් පිරිසක් තුවාල විය. මෙම දුක් වේදනා දුටු හෙන්රි ඩුනන්ට් මෙම තුවාල කරුවන් සඳහා වෛද්‍ය පහසුකම් සැලසීමට ප්‍රමාණවත් තරම් ශ්‍රමය , ධනය , කාලය නොමැති වීම පිළිබඳව කම්පාවට පත්විය. මෙම සටන පිළිබඳව කෘතියක් රචනා කල හෙන්රි ඩුනන්ට් එම සටනට ගොදුරු වූවන් සඳහා සහයෝගයක් ලබා දීමේ අදහසින් ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැවීමේ අදහස ප්‍රකාශයට පත්කරන ලදි. ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී රටවල් දහසක නියෝජිතයන් ඒකරාශී වී බහු පාර්ශවීය සාකච්ඡා මාර්ගයෙන් 1863 ඔක්තොම්බර් මස ගිවිසුම් අත්සන් තබා ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංවිධානය ස්ථාපනය කරන ලදි. මෙම සංවිධානය නිර්මාණය වූයේ ස්විස්ටර්ලන්තයේ බැවින් එම රටට ගෞරව දැක්වීමක් වශයෙන් ස්විස්ටර්ලන්ත ජාතික කොඩියට සමාන ලෙස රතු කුරුස සංවිධානයේ ධජය නිර්මාණය කර ඇත. ඒ සුදු කැන්වසය මත රතු පැහැ කුරුස සලකුණ යෙදීමෙනි. එසේම, මුස්ලිම් රටවල්වල රතු කුරුස සංවිධානය පවතින්නේ රතු අඩසඳ සංවිධානය වශයෙනි. එහි ධජය සඳහා අඩසඳ හෙවත් චන්ද්‍රවංකය යොදා තිබේ. 

වර්තමානය වනවිට රටවල් එකසිය අනූවක් සාමාජිකත්වය දරන මෙම සංවිධානයේ වර්තමාන සභාපති ධූරය දරන්නේ ස්විස්ටර්ලන්ත ජාතික පීටර් මෝයර්ය. මොහු 2012 වර්ෂයේ ජූලි මස සභාපති ධූරය භාරගන්නා ලදි. රතු කුරුස සංවිධානයට වසර එකසිය අසූඅටක් වන අතර එහි නිර්මාතෘවරයාට මෙම සංවිධානය නිර්මාණය කිරීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි විය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මූලික පරමාර්ථය වන්නේ යම් ව්‍යසනයකට ගොදුරුවන පුද්ගල කණ්ඩායම් සඳහා සහන සැලසීමයි. ඒ අනුව, වර්තමානය වන විට ලෝකයේ ඇති වන මිලිටරි ගැටුම්වලට ගොදුරුවන්නන්ට උපකාර කිරීමටත් , අතුරුදහන් වූවන් සොයා දීමටත් , අන්තර් ක්‍රියාකාරී සංවිධානයක් ලෙස රතු කුරුස සංවිධානය කටයුතු කරනු ලබයි. මීට අමතරව, යුධකලාපවල පදිංචිකරුවන්ට අවශ්‍ය දෑ සපයා දීමත්, ස්වභාවික විපත්, යුද්ධ සහ ගැටුම්වලින් පුද්ගලයින් ආරක්ෂා කිරීමටත් මෙම සංවිධානය කටයුතු කරනු ලබයි. රතු කුරුස සංවිධානයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ , ජාතිකත්වය, ආගමික, සංස්කෘතික, සමාජ තත්ත්වයන් නොසලකා හරිමින් සමස්ත මානවයා කෙරෙහි අවශ්‍ය සුභසාධන කටයුතු සම්පාදනය කිරීමයි. 

රතු කුරුස සංවිධානයේ ප්‍රධාන නීති රීති කිහිපයක් දැකගත හැකිය . ඒවානම් , 

■ මිතුරකු වේවා සතුරෙකු වේවා තුවාල වූයේ නම් සියලු දෙනාටම එක හා සමානව සැලකිය යුතුයි.

■ පුද්ගලයන්ගේ ගරුත්වයට, අයිතිවාසිකම්වලට හා ආගමික අනන්‍යතාවයන්ට ගරුකල යුතුයි.

■ සාධාරණ නඩු විභාගයකින් තොරව කිසිවෙක් හට දඩුවම් කළ නොහැක. 

■ රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් හට සිරකඳවුරුවලට ඇතුළත් වීමට නිදහස හිමි විය යුතුයි.

■ පිටුවහල් කිරීම, ප්‍රාණඇපකරුවන් ලෙස තබා ගැනීම්වලදී රතු කුරුස සංවිධානයයට මැදිහත් වීමේ හැකියාව පැවතීම. 

මෙම සංවිධානය මගින් බරපතල තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරිම, රටවල් අතර යුධ සිරකරුවන් හුවමාරු කිරීම , සිරකරුවන් මුදා හැරීම , එක් එක් රටවල්වලට අයත් රෝගී වූ පුද්ගලයන් එම රටවල්වල ට භාර දීම සිදුකරයි. 

“සියලු මිනිසුන් සහෝදරයෝය”

මෙම ආදර්ශ පාඨය මත ක්‍රියාත්මක වන රතු කුරුස සංවිධානය ලොව මානුෂ ආධාර සපයන විශාලතම සංවිධානය වේ. එදා මෙදා තුර දශක ගණනාවක් පුරා මෙම සංවිධානය ලෝකයේ බිලියන ගණනක ජනතාවට සේවය සපයා ඇත. මෙම සංවිධානයේ මෙහෙවර ඇගයීමට 1917 වර්ෂයේ දී සහ 1944 වර්ෂයේ දී නොබෙල්සාම ත්‍යාගය ප්‍රධානය කරන ලදි. 

ලෝක රතුකුරුස සහ ලෝක අඩසඳ දිනය ලෙස නම් කර ඇත්තේ මැයි මස අටවන දිනයයි. මෙම සංවිධානය නිර්මාණය කළ හෙන්රි ඩුනන්ට් ට ගෞරවයක් වශයෙන් ඔහුගේ උපන් දවස මෙලෙස ජාත්‍යන්තර දිනයක් ලෙස නම්කර ඇත. රතුකුරුස සංවිධානයේ මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරපිහිටුවා ඇත. ශ්‍රී ලංකාවේද 1959 වසරේ පෙබරවාරි විසි අටවන දින රතුකුරුස සංවිධානය පිහිටුවන ලදි . ඒ තුළින් ලංකාවේ තිස් වසරක් පුරා පැවතුන යුධ තත්ත්වයේදී ද , 2004 වසරේ ඇතිවූ සුනාමි තත්ත්වයන්හිදී ද ඇතුළු බොහෝ ස්වභාවික ආපදා තත්ත්වයන්හිදී ලංකාවට සුභසාධන කටයුතු ක්‍රියාත්මක කරන ලදි. 

ලෝකය වෙනස් වන්නේ සමස්ථය එකවර වෙනස්වීමෙන් නොව තනි පුද්ගලයන් වශයෙන් වෙනස්වීම තුළයි. එක් පුද්ගලයෙක් විසින් ගොඩනංවන යහපත් සිතුවිලි ලෝකයක් සුවපත් කරන්නේය. හෙන්රි ඩුනන්ට් රතු කුරුස සංවිධානය නිර්මාණය කිරීම තුළින් ලොවට ලබාදෙන ආදර්ශය වන්නේ එයයි. 

Top