රසය ආත්මය කොටගත් වැකිය කාව්‍ය වේ. "වාක්‍යම් රසාත්මකං කාව්‍යම්" විශ්වනාථයන් පළ කළේ එසේය. යළිදු විශිෂ්ට වූ ශබ්ධයෙන් හා අර්ථයෙන් යුතු අලංකාර වාක්‍යය කවිය වෙතැයි "කවිකණ්ඨාභරණය" දක්වයි. "කාව්‍යං විශිෂ්ට ශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති."
කවියෙහි ආත්මය වන්නා වූ රසය, අර්ථයෙහි සහ ශබ්ධයෙහි ප්‍රතිඵලයක් බැව් අවිවාදිතය. අර්ථයෙන් තොරව කවියක පැවැත්මක් නැති බැව් ද, ඒ අනුව ගම්‍ය වේ. අපරදිග විචාරවදයහි වුව, කවිය වනාහි රසභාවයන්ගෙන් ඔද වැඩුණු සනීභූත වූ අර්ථ කැටියක් බැව් ප්‍රකාශිතය. "අර්ථය ද, ශබ්ධය ද, රිද්මය ද, ජනනය කිරීම උදෙසා තෝරාගත් වදන් මාලාවක් මගින් කිසියම් අනුභූතියක් - ඒකාත්මක සංකල්පයක් - සංජානනය කිරීම කවියක් වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් poetry, verse යන වදන් දෙක බොහෝ විට සමානාර්ථයෙන් යෙදෙන බව සලකනු යෙහෙකි.
කවිය වූ කලී, ලෝකයේ සියලු ම දියුණු සාහිත්‍යයන්හි පැරණිතම සාහිත්‍යයක් වෙයි. ආදිකාලීන නොදියුණු ගෝත්‍රික සමාජයන්හි පවා කවිය පැවති බවට සාධක ඉදිරිපත් වී ඇත. මේ ගෝත්‍රික ජන සමාජයන්හි ආගමික, ඓතිහාසික සහ සංස්කෘතිය සම්ප්‍රදායන් මතු පරම්පරා වෙත දායාද කරනු සදහා කිසියම් ආකාරයක කාව්‍ය නිර්මාණ විශේෂයක් පැවති බව පෙනී යයි. මේ අවධිය අක්ෂර භාවිතය හා ලේඛන කලාව බිහිවීමට පෙර අවධිය යි. එපරිදි යාතිකා හා ස්ත්‍රෝත්‍ර වැනි ගායනා විශේෂක් බිහිව ආ වග ද පැහැදිලි යි.
ගීතය සාහිත්‍යය සම්ප්‍රදායන්හි විශේෂ කරුණු කීපයක් හේතුකොට ගෙන කවියෙන් හෙවත් පද්‍යයෙන් වෙනස් ස්වරූපයක් ගනී. ගීතය යනු ගායනා කිරීමයි. මේ සදහා කිසියම් කටහඩක් යොදාගනී. ගීතය බිහිවන්නේ එකී කටහඩ හා සංගීතය හේතුවෙනි. එමගින් වචන මාලාවක කථනයේ දී භාවාත්මක ප්‍රකාශනයක් ගීතයෙන් ඉදිරිපත් කරයි. කවිය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙමින් ගේය පදයක් බිහි වන්නේ එකී අවස්ථාවේදී ය. ගේය පදය හුදු කවියක් නොවිය යුතු ය. එමෙන් ම එය හඩ නගා ගායනා කළ හැකි හුදු පද මාලාවක් ද නොවිය යුතුය.
වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි ගීතය, ගී පද රචනය, ගීත ප්‍රබන්ධය යන ලිහිල් යෙදුම් වලින් හැදින්වෙන ගේය පද ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වෙනුයේ "Lyric" යන වචනයෙනි. ඉංග්‍රීසි "lyric" යන වචනය ප්‍රභවය වන්නේ Lyre යන ග්‍රීක වචනයෙනි. "ලයර්" යනු තන්ත්‍රීන් සහිත වීණාවකට සමාන ප්‍රාථමික තත්ත්වයේ වූ සංගීත භාණ්ඩයකි. ඒ අනුව බැසගත යුතු නිගමනය වන්නේ, ගේය පදය යනු ගායනය උදෙසා ම ලියැවුණු පද රැසක් බව ය. "ජගන්නාථමල්ල" භාරතීය සංගීතවේදියා ගීතය පිළිබඳව අර්ථ දක්වන්නේ මෙසේ ය.
" ගීතං ගාතංච ගීතශ්ච - ගේය ගාන්ධර්වමිතායපි "
එපරිදි ගාථා, ගාන, ගේය ආදී වශයෙන් පර්‍යාය වදන්වලින් හැදින්වෙන "ගීත" යන සංස්කෘත පදයෙහි අර්ථය ගායනා යන්න යි.
"සුවරේන පද සංයුක්තං - චන්දසාච සුසංයුතං
සුමානංච සුතලාංච - සුගීතං තේන භාෂ්‍යතේ "
ස්වරවල ද පද වල ද කිසි සංයුතිය ද මනාව පිහිටුවන ලද චන්දස නිසි මානය නිසි තාලය යන මේ කරුණු හේතු කොට ගෙන ගීතය සුගීතයක් හෙවත් විශිෂ්ටතර ගීතයක් බවට පත් වෙයි.
ගේය පදය කවියෙන් වෙනස් වූ සාහිත්‍යය නිර්මාණයක් ලෙස විකාශනය වන්නේ බොහෝ ඈත කාලයක සිට ය. පැරණි භාරතයේ, ගායනය උදෙසා ලියැවුණු ගේය පදය කවියෙන් වෙන් වූ මාර්ගයක් ගත් බව "ජයදේවයන්ගේ ගීතගෝවින්දය" නම් අතිශය රාසාලිප්ත ප්‍රේම ගීත කාව්‍ය නිර්මාණයෙනි. මෙහි සදහන් වනුයේ ශ්‍රී ක්‍රිෂ්ණයන් හා රාධාවගේ ප්‍රේමය හා රමණීය ජීවිතය පිළිබඳ තොරතුරු ය.
"ලලිත ලවංග ලතා පරිශීලන කෝල ලෙස සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කූජ කුටීරේ
විහරති හරිරිහ සරස වසන්තේ නෘත්‍යති
යුවති ජනේන සමග සඪි විරහි ජනස්‍ය දුරන්තේ
උන්මද මදන මනෝරථ පඪිකවධුජන ජනිත විලාපේ
අලිකුල සාකුල කුසුම සමූහ නිරාකුල බකුල කලාපේ
පීත පයෝධර භාර භරේන හරිං පරිරභ සරාගම්
ගෝපවධුර නුගායති කාවිදු දාවිත පංචම රාගම්"
ඇතම් පාලි රචනයන් පවා අතිශය ම ගීතාත්මක ස්වරූපයෙන් රචිත ව පරිපූර්ණ ගේය පදයක් වූ අවස්ථාද දැකිය හැකිය. ඉතා සුප්‍රකට නරසීහ ගාථා දෙස විමසිල්ලෙන් බැලුවහොත් මෙය කදිම් ගේය පද රචනයක් ලෙස ඔබට පෙනී යනු නිසැකය.
චක්කවරංකිත රත්නසුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පන්හී
චාමර චත්ත විභූෂිත පාදෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
සක්‍ය කුමාරවරෝ සිකුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ් සරීරෝ
ලෝකහිතාය ගතෝ නරවීරෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
නරසීහ ගාථා ගේය පද බවට පත් ව ඇත්තේ අර්ථ ව්‍යක්තිය මෙන් ම පද සංඝටනාව නිසා ය. මේ ගාථා හුදෙක් ම ගායනය සදහා ම නිර්මිත බැව් ඉතා පැහැදිලි කරුණකි. අතිශය සාර්ථක ගේය පද රචනා පාලි කාව්‍යයෙන් උපුටා දැක්විය හැකිය. ඒ අතර රසවාහිනිය, ජින චරිත, සමන්තකූට වණ්ණනා, ධාඨාවංශය, සොතම්බමාලිනී වැනි පාලි බසින් රචිත කෘතීන් රැසක එන නිර්මාණ දැක්වීමට පුළුවන.
අපරදිග සාහිත්‍යය සම්ප්‍රදායෙහි පවා ගේය පද රචනයට දීර්ඝ ඉතිහාසයක් ඇත. ක්‍රි.පූ 7 වන සියවසේ දේවස්ථාන ගීතිකා සදහා ගේය පද රචනා කළ අය අතර ඇල්ක්මන්, ඒරියන්, ස්ටෙසිකෝරස්, සිමෝනිඩේස්, බකිලිඩේස්, ජින්ඩාර් වැනි ග්‍රීක රචකයන් හැදින්විය හැකිය. ලතින් බසින් රචනා කල කැටුලස් හා හොරේන් ද ඒ අතර ප්‍රධාන වේ. පුනර්ජීවන සමයේ බිහිවූ මහා කවි විලියම් ශේක්ෂ්පියර්, පෙට්‍රාක්, එඩ්මන් ස්පෙන්සර්, ජෝන් මිල්ටන් වැන්නවුන්ගේ දායකත්වය අතිමහත් ය.19 සියවසේ ගේය පදය තුලින් කාව්‍ය නිර්මාණ බිහිවිය. එහිදී රොබට් බර්න්ස්, විලියම් බ්ලේක්, විලියම් වර්ඩ්ස්වර්ත්, ජෝන් කීට්ස් හා ගතේ වැනි කවීන්ගේ නම් සදහන් කිරීම වටී.
වර්තමානයේ කවිය තුල ඇත්තේ ප්‍රතිභාහීන වූ ද ශබ්ධාලංකාරයෙන් දුර්මුඛ වූ ගීත වේ. ඉතා වේගයෙන් එම ගීත ජනප්‍රියත්වයට ද පත් වේ. ඇතැම් මේ ගීත තුල ඇත්තේ හුදු දේශපාලන පාඨය. තවත් ගීත විත්ති කියන බොල් වාක්‍ය රචනා ය. සංගීතය යෙදීමේ දී පවා භාණ්ඩ භාවිතයේ ද ආශ්චර්‍යයෙන් ශ්‍රාවකයාට ව්‍යාජත්වයක් ලබා දෙයි. ගීතයක් සදහා අවශ්‍ය වන්නේ නිසි පරිදි ලියනු ලැබූ ගේය පදයකි. එවැනි විශිෂ්ට ගේය පද රචනය විරලය. මහගම සේකරයන් අතින් ලියැවුණු මෙම නල - දමයන්ති මුද්‍රා නාට්‍යයේ ගීතය ඔබට ඉදිරිපත් කිරීම උචිතය.
ඈත කදුකර හිමවු අරණේ
සීත චන්දන ළපළු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ
සැදැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළද ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ලමැදේ මුසු කරන්නේ
හදේ මෝරන ආදරේ
සදේ සොමිගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් අතරේ
නුරා ඉතිරෙන්නේ
මහගම සේකරයන්ගේ මේ නිර්මාණය තුළ ඇත්තේ නල කුමරුන්ගේ නාමය සුළං රැල්ලේ පාව එන බවත්, තරුණ කාන්තාවන්ගේ සිහින තුළ ඔහුගේ රුව මැවෙන බවත් ය. මෙය කවි කල්පනාවකි. කවි කල්පනය ආත්මය කොටගත් මේ නිර්මාණය තුලින් බිහිවන්නේ ශබ්ධ රසය මුඛ්‍ය වන පද රචනාවකි. එය කියවා පද අරුත් විමසීමට නොව අසා රසවිද හැනීම සදහා රචනය වී ඇත. එවිට මෙම නිර්මාණයන් ගේය පදයක් ම වන්නේය. ගේය පදයක ඇති වෙනස මේ බව ඔබට පසක් වීමට මේ කරුණු හොදින් ම ප්‍රමාණවත් බව කීම උචිතය.