post-title

සංකීර්ණ සමාජපද්ධතියක් තූළ ජීවත්වන මිනිසාට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන විවිධ දුෂ්කරතා, විවිධ ගැටලුවලින් මිදීම සඳහා තවත් අයෙකුගේ පිහිටක්අවශ්‍ය කෙරේ. එකී අවශ්‍යතාවය ඉටුකරනු ලබන ක්‍රියාවලියක් ලෙස මනෝවිද්‍යාත්මක උපදේශනය හැදින්විය හැකිය. මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි ව්‍යවහාරික මනෝවිද්‍යාවට අයත් විෂය ශාඛාවක් ලෙස උපදේශන මනෝවිද්‍යාව පෙන්වාදිය හැකිය. උපදේශනය යන වචනයෙහි නිරුක්තිය පිළිබඳ විමසීමෙදී, ලතින් භාෂාවේ වචනයක් වන consilium යන වචනයෙන්, උපදේශනය සඳහා භාවිත ඉංග්‍රීසි වචනය වන counseling යන්න බිහි වී තිබේ. මුල්කාලීනව මෙම වචනය භාවිතා කොට ඇත්තේ උපදෙස්දීම යන අර්ථයෙනි.

නමුත් counselling යන ඉංග්‍රීසි වචනයෙන් අදහස්වන්නේ , සෘඡු උපදෙස්දීමක් නොවේ. සරල අර්ථයෙන් විමසා බලන කල උපදේශනය යනු යම් කිසි මානසික ගැටළුවක් සහිත පුද්ගලයෙකුට ඔහු හෝ ඇය සතුව පවතින කුසලතා උපයෝගිකොට ගනිමින් , ඔහුගේ හෝ ඇයගේ ගැටළුව ඔහු විසින් හෝ ඇය විසින් විසඳා ගැනීමේ ක්‍රියාදාමයට උපදේශකවරයා විසින් මග පෙන්වීමයි. උපදේශනය යන්න උපදෙස් දීමක් ද මග පෙනවීමක් ද යන ව්‍යාකූලත්වය ඒ සම්බන්දයෙන් විමසීමේ දි ඇතිවේ. උපදේශනය යන්නට නිශ්චිත අර්ථකථනයක් ලබාදීම අසීරුවන නමුත් විවිධ පුද්ගලයන්ගේ මත පිළිබඳව විමසීමෙන් ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිවනු ඇත. ඒ අනූව මනෝවිද්‍යාත්මක උපදේශනය සඳහා ඉදිරිපත් කර ඇති අර්ථකථන පහත දැක්වේ.

උපදේශනය යනු පුද්ගලයන්ගේ හෝ පවුල් වල හෝ පුද්ගල කණ්ඩායම් වල මානසික සෞඛ්‍ය , සුභසාධනය අධ්‍යාපනය හා වෘත්තීය අරමුණු සවිබල ගැන්වීම සඳහා වන වෘතීය සබඳතාවයකි

(ඇමරිකානු උපදේශන සංගමය)

විශේෂයෙන් පුද්ගල , සමාඡ හෝ මනෝවිද්‍යාත්මක ගැටළු සහ අසීරුතා සහිත උපදේශනලාභියෙකූට එම ගැටළුව විසඳා ගැනීමට , විශේෂයෙන් පුහුණු වූ පුද්ගලයෙකු විසින් වෘතීය පදනමක් මත පිහිටා සහය වීමේ සහ මග පෙන්වීමේ ක්‍රියාවලිය උපදේශනයි.

(ඔක්ස්ෆර්ඩ් lX වන සැකසුම)

උපදේශනය යනු ගැටළුවක් හෝ ප්‍රශ්නයක් ඇති පුද්ගලයෙකුට හෝ කණ්ඩාමකට හෝ ප්‍රජාවකට ගුණාත්මක අතින් උසස් මෙන්ම සතුටුදායක තීරණ ඔවුන් විසින් ම ගැනීමට උදව් කිරීමේ එක්තරා සාරවත් ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකි අතර එය ගතට හා සිතට හදවත ද එකතු කිරීමේ ක්‍රියාවලියකි. 

සමස්ථයක් වශයෙන් ගත් විට උපදේශනය යනු උපදෙස් දීමක් නොවේ. උපදේශන ලාභියාගේ ගැටළුව කෙටිකිරීමක්ද නොවේ. උපදේශන ලාභියාටඇතිවූ ගැටළුව තමාට ද මීට පෙර ඇති වී ඇත්නම්, එම අවස්ථාවේදි තමා කළ කී දෑ කිරීමට උපදේශන ලාභියාට පවසන්නේ නැත. තමාගේ වටිනාකම් පද්ධතීන් මත පදනම්ව උපදේශනලාභියාගේ ගැටළුව තමාගේ දෘෂ්ඨිකෝණයෙන් දකින්නේද නැත. සෑම විටම ගැටළුවක් දෙස බැලිය යුත්තේ, උපදේශන ලාභියාගේ දෘෂ්ඨිකෝණයෙනි. උපදේශන ලාභියා චිත්ත වේගාත්මක වන විට උපදේශකවරයා චිත්තවේගාත්මක වන්නේද නැත. 

උපදේශනය පිළිබඳ විමසීමේදී උපදේශනයෙහි මාදිලිදෙකක්හඳුනා ගත හැකිය. 

(1) සෘඡු උපදේශනය - උපදේශකවරයා සජීවීව කතා කතාකරයි. මේ තුළදී යම් භූමිකාවක් නිරූපනය කරයි. ප්‍රශ්න අසමින් යම් යම් ක්‍රියාවන් යෝඡනා කරයි.

(2) වක්‍ර උපදේශනය - මෙය උපදේශනලාභී කේන්ද්රිය ප්‍රවේශය සහ පුද්ගල කේන්ද්රිය යන නම් වලින් ද හඳුන්වනු ලබයි. මෙහිදී යම් කිසි පුද්ගලයෙක් ගැටළුවකට මුහුණ දී ඇතිවිට ඔහු හෝ ඇය ස්වේච්ඡාවෙන් ම ගැටළුවට උපකාරයක් අපේක්ෂාවෙන් පැමිණේ. එහිදී උපදේශකවරයා එම ගැටළුව විසදා ගැනීමට , උපදේශන ලාභියා සතුව පවතින සහඡ වටිනාකම, එම ගැටළුව විසදා ගැනීමට පවතින ස්වභාවික ශක්‍යතාවය සංවර්ධනය සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔහු සතුව පවතින ශක්‍යතාව පෙන්වාදෙයි. එවිට උපදේශන ලාභියා විසින්ම සිය ගැටළුව විසඳාගනී. 

මේ ආකාරයට උපදේශන ක්‍රියාවලිය තුළ පවතින උපදේශන මාදිලි පිළිබඳ කෙටියෙන් විඟ්‍රහ කළ හැකිය.

උපදේශනයේ අරමුණු

උපදේශන ක්‍රියාවළිය තුළ උපදේශනයේ අරමුණු පිළිබඳ විමසීමේදී මෙය ප්‍රධාන වශයෙන් ආකාර තුනකට පෙන්වා දිය හැකිය. 

සංවර්ධනය (development)

වැලැක්වීම (prevention)

ප්‍රතිකාරය (treatment)

මෙකී ප්‍රධාන අරමුණු තුනට අමතරව උපදේශනයේ ඇති අනෙකුත් අරමුණු ලෙස, 

  • අන්තර්ඥානය ලබාදීම.
  • සබඳතා ගොඩනඟා ගැනීමට උපකාර කිරීම.
  • ස්වයං අවබෝධය ලබාදීම.
  • ආත්ම සාක්ශාත්කරණය සහ පුද්ගලකරණය.
  • ගැටුම් විසදීම.
  • මනෝඅධ්‍යාපන ලබාදීම.
  • සමාඡ කුසලතා සාක්ශාත්කරණය.
  • ප්‍රථිස්ථාපනය ආදිය හදුනා ගත හැකි ය 

උපදේශනයේපියවර

කිසියම් මානසික අක්‍රමතාවයකින් පෙළන පුද්ගලයෙකුට උපදේශනය සිදු කළ යුතු පියවර පිළිබඳ කථා බහ කිරීමේදී පොදුවේ පිළිගත් පියවරයන්ගේ එකතුවක් පහත පරිදි පෙළ ගැස්විය හැකිය. එහිදී මූලිකව සබඳතා ගොඩනගා ගැනීම සුවිශේෂි වේ. ඒ තුළ උපදේශකවරයාට ඔහුට හෝ ඇයට ඇති මානසික අක්‍රමතා තත්වය හඳුනාගෙන එය තක්සේරුකරණය කළ හැකිවේ. මෙය පියවර වශයෙන් මෙසේ දැක්විය හැකි ය. 

අවසන්කරණය හා පසුවිපරම

මැදිහත්කරණය

අරමුණු පිහිට වීම

තක්සේරුකරණය

සබඳතා ගොඩනැගීම

පසුව එම අක්‍රමතා තත්වයට අනූව අරමුණු පිහිටවීම සිඳු කළ යුතු වේ. එනම් ඔහුට හෝ ඇයට කුමන මානසික අක්‍රමතාවයක් පවතීදැයි මනෝ උපදේශකයා විසින් තේරුම් ගනු ලබයි. පසුව මනෝ උපදේශකයා විසින් එම ගැටළුව විසදීමට මැදිහත්වනු ලබයි. 

එහිදී ඇතිවන්නාවූ සුවිශේෂි කාරණාව නම් අදාල සිද්ධියට අනූව තීන්දු තීරණ ගැනීමේ පූර්ණ අයිතිය උපදේශන ලාභියාට ලබාදෙනු ලබයි. එනම් ඒ මොහොතේ මනෝඋපදේශකයා අපක්ෂපාතී බේරුම් කරුවෙකු ලෙස ක්‍රියාකරනු ලැබේ. මෙකී සමස්ථ ක්‍රියවලිය අවසානය හා පසු විපරම මනෝඋපදේශකයා විසින් සිදුකරනු ලබයි. මෙහිදී විශේෂ අවධානයක් උපදේශන ආචාරධර්ම පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එනම් මෙම තත්වය නැවත ඇතිවීමට ඉඩ කඩ ඇතිදැයි සොයා බලා ඊට පිළියම් යෙදීම සිදුකරයි. අවසාන වශයෙන් සඳහන් කළ යුතු සුවිශේෂී කරුණ නම් උපදේශන ක්‍රියාවලියට යාමට මත්තෙන් ඒ සම්බන්ධ අධ්‍යාපනික සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වේ. එනම් මනෝවිද්‍යාව, (සමාජවිද්‍යාව, අපරාධවිද්‍යාව) පිළිබඳ මූලිකඋපාධියක්, මනෝඋපදේශනය සම්බන්ධයෙන් පශ්චාත්උපාධියක් හෝ අවම වශයෙන් ඩිප්ලෝමාවක් (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් අනුමත) සහ සුදුසුකම්ලත් උපදේශකයෙකු යටතේ අවම වසරක හෝ පුහුණුවක් ලබාගෙන තිබීම අතිශය වැදගත් වේ.

Top