සමකාලීන ස්වතන්ත්‍ර නාට්‍යයේ පෙරගමන්කරු, ආචාර්ය කේ.බී (800)

post-title

යමෙකු බාල වියේ සිට ලබන්නා වූ ජීවන අත්දැකීම් හේතුකොටගෙන තමන්ගේ ජීවිතය අවබෝධාත්මකව ගෙවීමටත් සිය නිර්මාණ ශක්‍යතාව පුබුදු කරගැනීමටත් උත්සුක වන බව මනෝ විද්‍යාත්මක සාධකයකි. 1941 වසරේ ජනවාරි 04 වන දින වාරියපොලට නුදුරු නවගත්ත පෙදෙසේ ජන්මලාභය ලත් කේ.බී හේරත් හෙවත් කපුරු බණ්ඩා හේරත් හට ද ඔහු කුඩා කළ සිට ගම් පියසින් ලැබුණු පාරිසරික බලපෑම පිටුවහලක් වී යැයි කිව හැකිය. එය සැළකිය යුතු මට්ටමකින් උද්දීපනය වන්නේ කේ.බී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමෙන් අනතුරුවය. ඒ සුන්දර අතීතය පිළිබඳව ඔහු මතකාවර්ජනය කරන්නේ මාහැගි තෘප්තිමත් භාවයකිනි. නාට්‍ය කලාව පිළිබඳව ආසාව ඔහු තුළ තව තවත් දළු ලන්නේ උසස්පෙළ කලා විෂයධාරාව ඔස්සේ සිංහල විෂය හැදෑරීමට පටන් ගත් දා සිට බව ඔහුගේ මතයයි. ඉන් අනතුරුව 1962 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ කේ.බී ශූරීන් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් එයින් ලැබුවේය. එකළ එම විශ්ව විද්‍යාලය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යමය සේවාව නිසා දීප්තිමත් ස්වභාවයකට නිතැතින්ම පත්ව තිබුණි. කේ.බී ශූරීන්ගේ නොවිධිමත් පුස්තකාලය වූයේද මහ ඇදුරු සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වැනි ශාස්ත්‍රීය නිර්මාණ ඇසුර යැයි වරෙක ඔහු විසින්ම පවසා තිබුණි. නාට්‍ය කලාව පිළිබඳ දැඩි පිපාසයක් මෙකළ ඔහු තුළ උත්පාදනය විය. එය මුල් වරට ඔහු මුදුන් පමුණුවා ගනු ලැබුවේ විශ්ව විද්‍යාලයෙන් පිට වී ගුරුවරයෙකු ලෙස 1966 දී ඔහු පත්වීම ලබා ගැනීමෙන් අනතුරුවය. නාට්‍ය කලාවට ඇති ඇල්ම නිසාවෙන්, ගම්පොළ ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග ඔහු නාට්‍ය එකමුතුවක් ද ගොඩනගා ගන්නට විය. අවුරුදු දහයක පමණ කලක් ගුරු සේවයේ නියතු ඔහු විසින් ප්‍රාදේශීය නාට්‍ය විස්සක් පමණ නිෂ්පාදනය කරවීමට හැකි වූ බව සදහන් වේ.

කේ.බී ශූරීන් නාට්‍යකරණයට ප්‍රසිද්ධියක් ලබමින් අවතීර්ණ වන්නේ 1979 වසරේ, ගම්පොළ තරුණ නාට්‍ය කණ්ඩායම සම්බන්ධ කරගනිමින් නිෂ්පාදනය කරන ලද "සුදු කරල්" නාට්‍යයෙනි. මෙම නාට්‍යයට 71 තරුණ කැරැල්ලට හේතු වූ සමාජ ඛේදවාචකය වස්තු විය. එය 1980 ජාතික නාට්‍ය උළෙලේ හොදම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය ලෙසින් සම්මානයට පාත්‍ර වීම ඔහුගේ නාට්‍ය දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකි. එබැවින් කේ.බී කිසිසේත්ම බොල් කරලක් නොවීය. ඔහු තම මුල්ම නාට්‍ය නිර්මාණය තුළින්ම එම ස්ථාවරය සකසා ගැනීම පැසසිය යුත්තකි. 

ඉන් නොනැවතුණු නාට්‍ය පිපාසිත කේ.බී ගේ දෙවනි නාට්‍ය නිර්මාණය වූයේ 1981 වසරේ නිර්මාණය කරන ලද "සිරිබෝ තට්ටුව" නාට්‍යයයි. විවෘත ආර්ථිකය තුළින් පැන නැගි සමාජ සංකීර්ණත්වය හේතුවෙන් සිදු වූ පාරම්පරික කලාවේ හා කලාකරුවාගේ ඛේදනීය ස්වභාවය මෙම නාට්‍යයට තේමා විය. නාට්‍ය නැරඹීමට පැමිණි ප්‍රධාන ආරාධිතයා මහාචාර්ය සරච්චන්ද්‍රයන් වූ අතර කේ.බී ගේ නාට්‍ය ගමන පිළිබඳ අනාගත අනාවැකි එතුමා එම නාට්‍යය නරඹා ප්‍රකාශ කර තිබුණි. එය කේ.බී ශූරීන් ගේ නාට්‍ය ගමනට ඉමහත් ආශීර්වාදයක් එක්කළ බව පසු කළෙක ඔහු විසින්ම ප්‍රකාශ කර තිබුණි.

නාට්‍ය ප්‍රේක්ෂකයාට වඩා සමීප වූ, ඔහුගේ තෙවැනි නාට්‍ය නිර්මාණය වූයේ "මායාදේවි" නාට්‍යයයි.එය 1984 වසරේ වේදිකාගත කරන ලද නාට්‍යයකි. කේ.බී නාට්‍යකරුවෙකු ලෙස ප්‍රේක්ෂකයා තුළ ස්ථාවරයට පත් වන්නේ මෙම නාට්‍ය තුළින් යැයි පැවසීම නිරවද්‍යය. විවෘත ආර්ථිකයෙන් පසුව ධනය පසුපස හඹායන පාරම්පරික සමාජයක මිනිස් සබදතාවල බිද වැටීම මායාදේවි නාට්‍යය තුළ තේමාවට ලක් විය. මෙම නාට්‍යය තුළින් ඔහු, 1984 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම ස්වතන්ත්‍ර නාට්‍ය රචනය දෙවන ස්ථානයට හිමි රාජ්‍ය සම්මානය දිනාගත්තේය. ඒ අතර සෙසු සම්මාන කිහිපයක්මද එම නාට්‍යයට ලැබීම විශේෂත්වයකි. තවද 1985 වසරේ පැවති සාම නාට්‍ය උළෙලේ හොදම අධ්‍යක්ෂණය, හොදම රචනය, හොදම නිළිය, හොදම නළුවා, හොදම සහය නිළිය, හොදම අංගරචනය වැනි සම්මාන රාශියකට මෙම නාට්‍ය පාත්‍ර වීම සුවිශේෂී කොට සැලකිය හැකිය. 

මායාදේවි නාට්‍යය නරඹා, කේ.බී ශූරීන් පිළිබඳව මහාචාර්ය සරච්චන්ද්‍රයන් 1985 දී දිවයින ඉරිදා සංග්‍රහයට සපයා තිබූ ලිපියක් උපුටාගෙන මෙහි පළ කිරීම වටිනේ යැයි හගිමි.

"ඊයේ රාත්‍රියෙහි මා ලුම්බිණි රගහලට ගොස් ආපසු ගෙදර ආවේ වෙන බොහෝ දවස්වල මෙන් මා විසින් දල්වන ලද පොල්තෙල් පහනින් නාට්‍ය ලෝකය අදුරු දුරු වූ බව නොපෙනී සිත් තුළ ජනිත වූ කනස්සල්ලෙන් නොව, උදම් වූ සිතකින් ය. කලකට පසු නාට්‍ය සන්දර්භය පිළිබඳව අවබෝධයකින් පැහැදිලි තේමාවක් ප්‍රේක්ෂකයන් තුළට කාවැද්දීමට සමත් රචකයෙකු බිහි වී ඇති බව මට පෙනුණි. කේ.බී හේරත් නාට්‍ය කලාව ඇලුම් කරන, තමාගේ කාර්යයේ වගකීම් සිතට ගෙන නාට්‍ය ක්ෂේත්‍රයට පිවිස ඇති නාට්‍යකරුවෙකුයි යන හැගීම මට ඇති විය......"

"නාග ගුරුළා" නාට්‍යයත් සමග කේ.බී ශූරීන් නැවත වේදිකාවතීර්ණය වන්නේ 1991 වසරේදී ය.නාට්‍යයට පසුබිම් වන්නේ චිලි දේශයේ ඉන්කා ගෝත්‍ර කතාවක් වුවද නාට්‍ය රචක වූ කේ.බී විසින් එය අපේ ප්‍රශ්නයක් බවට පත් කරවමින් නවමු ආකාරයකට නාට්‍ය ආකෘතිය සකස් කරයි.ඒ සදහා ඔහු පෙර අපර දෙදිග රංග කලාවන් මෙන්ම ලාංකීය ජන නාට්‍ය කලාවේ ද,තොවිල් වැනි ආභාෂයන්ද ගෙන ඇත. මෙම නාට්‍යය ලාංකීය සංස්කෘතික,සමාජ,ආර්ථික, දේශපාලනික පැතිකඩයන් මනාව විවරණය කරන ලද ස්වතන්ත්‍ර නාට්‍යයක් ලෙස සැලකිය හැකිය. මෙම නාට්‍යය ද 1991 වසරේ හොදම ස්වතන්ත්‍ර රචනය , හොදම ස්වතන්ත්‍ර නිෂ්පාදනය , හොදම සංගීතය , හොදම අංග රචනය, හොදම ඇදුම් නිර්මාණය , හොදම රංගාලෝකකරණය වැනි රාජ්‍ය සම්මාන රාශියකින් පිදුම් ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ද ඉතා සාධනිය ලෙස ලැබූ අග්‍රගන්‍ය නාට්‍ය නිර්මාණයකි. 

ඉන් අනතුරුව කේ.බී ශූරීන් විසින් නිර්මාණය කරන ලද නාට්‍ය නිර්මාණය වන්නේ "දෝන කතිරිනා" නාට්‍යයයි. ඒ 1995 වසරේදී ය. මේ නාට්‍ය සදහා සිංහල රාජ වංශ කතාවේ එක් යුගයක ඛේදවාචකයට ගොදුරු වූ දෝන කතිරිනා රැජිණිය පිළිබඳ වස්තු වී ඇත. ඇයව අහිංසකාවියක් ලෙස කේ.බී ශූරීන්ගේ දෘෂ්ටියට ලක් වන ආකාරයෙන් මැනවින් නාට්‍යය රචනා කර ඇත. එය ප්‍රබල සමාජ විවරණයක් සේ අපට ගත හැකිය. ඒ පුරුෂාධිපත්‍ය නිසා ස්ත්‍රිය මුහුණ දෙන ඛේදණීය ඉරණමයි. මෙය එකළ නාට්‍ය විචාරකයන්ගේ ද දැඩි අවධානයට පාත්‍ර වූ නාට්‍යයක් ලෙස සදහන්‍ කළ හැකිය. අධිතාත්විකවාදී (surrealistic) රීතියක් ඔස්සේ මෙම නාට්‍ය නිෂ්පාදනය වීමද ප්‍රේක්ෂක ප්‍රතිචාර ගුණාත්මක අන්දමින් ගලා ඒමට හේතු වූ බව කිව හැකිය. 

ඉන් අනතුරුව 1998 කාල සීමාව තුළ වේදිකා ගත කරන ලද කේ.බී ශූරීන්ගේ ඊළග නාට්‍ය නිර්මාණය වන්නේ "දෙවන මහින්ද" නම් නාට්‍යයයි. මේ නාට්‍ය සමග කේ.බී වඩාත් නිර්මාණශීලි ස්වතන්ත්‍ර නාට්‍ය කරුවා බවට පත්විණි යැයි කීම නිවැරදිය. මෙම නාට්‍යයද දෝන කතිරිනා නාට්‍යය මෙන් සිංහල රාජවංශ කතාවේ තවත් පැතිකඩක් දෙස පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලූ නාට්‍යයක් ලෙස සදහන්‍ කළ හැකිය. එය ද ඉතිහාසයේ එන සිද්ධි මාලාවේ පුනරුච්චාරණයක් නොවේ. අනුරාධපුර රාජධානියේ අවසන් රජු වූ දෙවනි මහින්ද ගේ අවිචාරවත්, අදූරදර්ශී, අත්තනෝමතික පාලනය සමකාලීන සමාජ,ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න සමග ගළපා නිර්මාණය කරන ලද ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයකි. 

කේ.බී ශූරීන් නාට්‍ය ප්‍රේක්ෂකයාව විචාරවත් චින්තනයකින් පිබිද වූ නාට්‍යකරුවෙක් ලෙස නිතර්කයෙන් පැවසිය හැකිය.

ඉන් අනතුරුව කේ.බී නිර්මාණය කරන ලද නාට්‍යය වූයේ වාසුදේව නාට්‍යය යි. ඒ 1999 වසරේ දී ය. මෙම නාට්‍ය සදහා ජන පීඩක යුද්ධයේ කුරිරු ආස්තානයන් වස්තු විෂය විය. මෙයද ඔහුගේ සම්මානනීය ස්වතන්ත්‍ර නාට්‍ය රචනයකි.

කේ.බී හේරත් ශූරීන්ගේ නාට්‍ය පෙළගැස්මක් ලෙස,

*දෙලොවක කතාවක්-1968

*සුදු කරල්-1979

*සිරිබෝ තට්ටුව -1981 

*මායාදේවී-1984

*නාග ගුරුළා-1991

*දෝන කතිරිනා -1995 

*දෙවෙනි මහින්ද -1998 

*වාසුදේව -1999 

වේදිකා නාට්‍ය පමණක්ම නොව ප්‍රාසාංගික හා ඒකාංගික වැනි ටෙලි නාට්‍ය පිටපත් තුන්සියයකට අධික සංඛ්‍යාවක් මොහු විසින් රචනා කොට ඇත.

අභිනය 3 සගරාවේ බන්දුල ජයවර්ධනයන් කේ.බී ගේ නාට්‍යමය අගය ගැන වටිනා සටහනක් දක් වා ඇත. එය මෙහිලා උපුටා ගැනීම වටීනේ යැයි සිතමි.

"කේ.බී හේරත් නාට්‍ය ලිවීම ආරම්භ කළ දා පටන් ලියා ඇත්තේ ස්වීය නිර්මාණයන් ය. එහි වැදගත්කම පමණක්ම නොවේ. එම කෘතීන් මෙරට සමාජ ජීවිතයට අනන්‍ය වූ නාට්‍යමය අනුභූතීන් හේතු කර ගැනීමයි. මෙම රචකයා ලංකා ඉතිහාසයේ ඉතාම අර්බුදකාරී, අසහනකාරී යුගයකින් අමුද්‍රව්‍ය තෝරාගෙන අප සැමට හදුනාගත හැකි ප්‍රබල චරිත නිර්මාණය කරයි........"

ඔහු විසින් කලා ක්‍ෂේත්‍රයට ඉටු කළ අනුපමේය මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් කේ.බී හේරත් ශූරීන් වෙත "ආචාර්ය" උපාධියක් ද පිරිනමන ලදී..

නිර්මාණශීලී චින්තනය පුබුදුවාලූ ඒ මහා ස්වතන්ත්‍ර නාට්‍ය රචකයා 2023 ජනවාරි 29 වන දින දිවි ගමනින් සමුගත්තේය. මිය යන විට එතුමා 81 වන වියේ පසුවිය. පුරා වසර ගණනාවක් මුළුල්ලේම නාට්‍යකාමී සහෘදයන් ගේ රස නහර පින වූ,ඔවුන්ගේ විචක්ෂණශීලී චින්තනය අවධි කිරීනට උත්සාහ දැරූ, ආචාර්ය කේ.බී හේරත් ශූරීන් නාට්‍ය කලාවේ මෙන්ම ප්‍රාසාංගික කලා ඉතිහාසයේ ද නොමැකෙන කලාකරුවෙක් ලෙසට ඉතිහාස පොතට එක් වී හමාරය.

Top