ලොව ඉපැරණි ශිෂ්ටාචාර අතරින් එකක් වශයෙන් චීනය දක්වා ලිය හැකිය. වාර්තාගත තොරතුරු අනුව වසර 4000ක පමණ පැරණි ඉතිහාසයක් චීනය සතුව ඇත. මෙම ඉපැරණි ශිෂ්ටාචාරයේ ආරම්භය හා එහි පැවැත්ම පිළිබඳ විවිධ විවරණයන් දක්නට ලැබේ. ඒ අතරින් චීනයේ ආගමික ඉතිහාසය පිළිබඳව ද විවිධ අදහස් හා මතවාදයන් හඳුනාගත හැකිය. ඒ අනුව ආගමික අංශය තුළ දෙවියන් පිළිබඳ විශ්වාසයට වැදගත් තැනක් හිමිවිය. අධිරාජ්‍යයක පැවැත්ම,සමෘද්ධිය හෝ පරිහානිය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දෙවියන් වහන්සේ උදෙසා පවත්වනු ලබන ආගමික පුද පූජා අනුව බව චීන වැසියන් ගේ පිළිගැනීම විය. කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව 6 වැනි ශත වර්ෂය පමණ වන විට චීන ආගමික ඉතිහාසයෙහි නව යුගයක උදාව සනිටුහන් විය. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ චීන සංස්කෘතිය පෝෂණයෙහි ලා විශාල බලපෑමක් ඇති කළ දර්ශනවාද හා මහා දාර්ශනිකයන්ගේ බිහිවීම සිදුවූයේ මෙම අවධියේදී ය.
මෙලෙස බිහිවූ දර්ශනවාද අතරින් කොන්ෆියුසියස්වාදී දර්ශනට විශේෂ වැදගත්කමක් හිමි විය. මේ දර්ශනයෙහි ආරම්භකයා වශයෙන් සලකනු ලබන්නේ කොන්ෆියුසියස්තුමන් ය. කොන්ෆියුසියස්තුමන් ක්‍රිස්තු පූර්ව 551 සිට 479 දක්වා කාලපරිච්ඡේදය තුළ දී චීනයේ ජීවත් වූ බව සැලකේ. කොන්ෆියුසියස්තුමාට අවශ්‍ය වූයේ චීනයට නව ආගමික දර්ශනයක් ඉදිරිපත් කිරීම නොවේ. බිඳ වැටෙමින් පැවති දේශපාලන සමාජ සංස්ථා පුනරුත්ථාපනය කිරීම ඔහුගේ මූලික අභිප්‍රාය විය. ඔහුගේ ඉගැන්වීම් මූලික වශයෙන් කේන්ද්‍ර වූයේ පුද්ගල සදාචාරය ඔස්සේ සමාජ සදාචාරය ගොඩනැංවීමටයි. එම ප්‍රධාන අභිප්‍රාය පදනම් කොටගෙන කොන්ෆියුසියසතුමන් විසින් විවිධ ඉගැන්වීම් සිදු කරනු ලැබීය.
කොන්පියුසියස්තුමා සදාචාරය පිළිබඳ ඉදිරිපත් කළ අදහස් හා සංකල්ප පිළිබඳව අවධානය යොමු කිරීමේදී කරුණාව, ගුණගරුක බව, සත්‍යවාදී බව, සමානාත්මතාව ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. ඔහුගේ අදහස වන්නේ "තමා අකැමති දේ අන් අයට නොකරන නොකළ යුතු ය" යන්නයි. යමෙකුගේ කරුණාවන්ත බව මැනිය හැක්කේ එසේ සිතීමෙන් හා තීරණ ගැනීමෙන් බව ඔහු පෙන්වා දෙයි. ඒ වගේම සෑම මිනිසෙකුම තමාගේ හදවතට අනුව හානිකර දේ හා ප්‍රයෝජනවත් දේ තීරණය කළ යුතුය. තවද විශේෂයෙන්ම රාජ්‍ය පාලනය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන කොන්පියුසියස්තුමන් ඒ පිළිබඳව ද සදාචාරාත්මක දැක්මකට අනුව කරුණු ඉදිරිපත් කරයි. රාජ්‍ය පාලනය තුළ සාධාරණත්වය මෙන්ම ධර්මිෂ්ඨ බව ද අවධාරණය කළ කොන්ෆියුසියස්තුමා පරමාදර්ශී රාජ්‍ය පාලනය අගය කොට සලකනු ලැබීය.
ඒ වගේම එතුමා එකල චීනයේ සමාජයීය අංශය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. රාජ්‍යයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට නම් ආචාරධර්ම පද්ධතිය නිසි අයුරින් පවත්වාගත යුතු බව ඔහුගේ අදහසයි. ඒ වගේම 'යුතුකම' නම් වූ සංකල්පයට ඔහුගේ සමාජවාදී දර්ශනය තුළ විශේෂ තැනක් හිමි විය. ඒ වගේම කොන්ෆියුසියස්තුමා සමාජ සබඳතා ආකාර පහකට බෙදා දක්වයි. රජු සහ ඇමැති, පියා සහ පුතා, ස්වාමිපුරුෂයා සහ බිරිඳ වැඩිමහල් සොහොයුරා සහ බාල සොහොයුරා, මිත්‍රයන් ආදී වශයෙන් එම සමාජ බෙදීම ක්‍රියාත්මක විය. මේ සමාජ කණ්ඩායම් විසින් එකිනෙකාට යුතුකම් ඉටු කරගත යුතු බව ඔහුගේ අදහසයි. මේ අයුරින් කොන්ෆියුසියස්තුමන් ඔහුගේ සමාජවාදී දර්ශනය තුළින් සදාචාරාත්මක අංශයට ද විශේෂ අවධානයක් යොමු කර ඇති ආකාරයක් හඳුනාගත හැකිය.
කොන්ෆියුසියස්වාදය තුළ තවත් වැදගත් අංශයක් වූයේ දේශපාලනයයි. කොන්ෆියුසියස්වාදය තුළ රාජ්‍යයේ පෙර සිටි පාලකයනගේ ප්‍රතිපත්ති ඉතා ඉහළින් වර්ණනා කළ බවක් හඳුනාගත හැකිය. කොන්ෆියුසියස්තුමන්ගේ අදහස වූයේ පෙර පැවති රාජ්‍ය සමයන්හි ප්‍රතිපත්තිවලට ගැලපෙන අයුරින් වර්තමාන රාජ්‍යයන්හි ප්‍රතිපත්ති සකස් කරගත යුතු බවයි. ඒ අනුව රාජ්‍ය පාලකයා රටවැසියන්ට ආදරය දැක්විය යුතු බව ද තම වැසියන් ධනයෙන් පොහොසත් කරමින් අවශ්‍ය සුබසිද්ධිය සලසාදීම රජුගේ යුතුකමක් බව ද රජු කෙරෙහි මහජනයා තැබූ විශ්වාසය කඩ නොකළ යුතු බව ද ඔහුගේ අදහස විය. ඒ වගේම කොන්ෆියුසියස්තුමන්ගේ එක් පරමාර්ථයක් වූයේ දේශපාලනයට පිවිසීමට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට තම ශිෂ්‍යයන්ට උපකාර කිරීමයි. ඔහු විශ්වාස කළ එක් දෙයක් වූයේ මිනිසුන් ස්වභාවයෙන් ම එක හා සමාන බවයි. එනිසා දේශපාලනය තුළ හොඳ හා දක්ෂ පුද්ගලයන් නිතරම නිල තනතුරු සඳහා පත් කළ යුතු බව ඔහුගේ අදහස විය. ඒ වගේම රාජ්‍ය පාලනයේ දී අවංකවීම, නීතිගරුක වීම, සමානාත්මතාවයෙන් සැලකීම යන කරුණු ඔහු වැදගත් කොට දක්වයි. දේශපාලන දර්ශනවාදය තුළද ඔහුගේ අරමුණ වූයේ සදාචාරවත් සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය මඟ විවර කර ගැනීමයි. මේ අයුරින් එකල චීන සභ්‍යත්වයෙහි සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින් සදාචාරාත්මක බව ප්‍රමුඛ කොටගත් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිමක් ඇති කිරීමට ගත් උත්සාහයක් කොන්පියුසියස්වාදය තුළින් හඳුනාගත හැකිය.
#BBD0E0 »