නවීන නිමැවුම් රැසකට මග විවර කළ කාර්මික විප්ලවය (657)

post-title

18 වන ශත වර්ෂයේ දී එංගලන්තයේ ඇරඹි කාර්මික විප්ලවය ඉන්පසු යුරෝපයේ ද අනතුරුව කාලයත් සමග ලෝකයේ අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත විය. කාර්මික විප්ලවය තුළ දී එතෙක් කල් ශ්‍රමය උපයෝගී කර ගනිමින් සිදු කළ කාර්යයන් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදු කිරීම දැකිය හැකි විය. ඒ අනුව නිෂ්පාදනය, ආකර කැනීම්, භාණ්ඩ හුවමාරුව, ගමනාගමනය, කෘෂිකර්මාන්තය, නවීන විද්‍යාව උපයෝගී කරගැනීම කාර්මික විප්ලවයේ ඉතාම ප්‍රකට අංශයන් වූ අතර එහිදී පැරණි ක්‍රම ශීඝ්‍රයෙන් අභාවයට ගිය අතර නව ක්‍රම හේතු කොටගෙන කාර්මික, සමාජ, දේශපාලන, ආර්ථික, බුද්ධිමය ආදී අංශ රාශියක වෙනස්කම් එංගලන්තයේත් යුරෝපයේත් ඉන්පසුව කාලයත් සමග මුළු ලෝකයේත් ව්‍යාප්ත විය.

 කාර්මික විප්ලවයත් සමග කැපී පෙනුණු ලක්ෂණයක් වූයේ යන්ත්‍ර සූත්‍ර භාවිතය යි. ඒ අතරින් වැදගත් වූයේ රෙදිපිළි කර්මාන්තය ආශ්‍රිත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වීමයි. බ්‍රිතාන්‍ය රෙදිපිළි සඳහා විශාල ඉල්ලුමක් පැවැති බැවින් රෙදි පිළි නිෂ්පාදනය ශීඝ්‍ර කිරීමේ අවශ්‍යතාවයක් මතුවිය. එයට පිළියම් වශයෙන් 1733 දී ජොන් කේ විසිනි දුවන නඩාව නිපදවීමත් සමග රෙදි විවීම තරමක් දුරට වේගවත් විය. එහෙත් රෙදි පිළි නිෂ්පාදනයේ දී රෙදි විවීමට අවශ්‍ය නූල් වීවීම වේගවත් නොවීමද තවත් ගැටලුවක් විය. ජේම්ස් හාග්‍රීව්ස් විසින් 1764 දී කපු කැටීම සඳහා කටින ජෙනිය නමැති යන්ත්‍රය නිපදවන ලැබූයේ එයට පිළියම් වශයෙනි. එම යන්ත්‍රය දැතේ ශක්තියෙන් ක්‍රියා කරවන්නක් විය. 1769 වර්ෂයේදී රිචඩ් අර්ක්‍ රයිට් විසින් ජල බලයෙන් ක්‍රියා කරවන පෙර නිපද වූ යන්ත්‍රවලට වඩා කාර්යක්ෂම නූල් කටින යන්ත්‍රයක් නිපදවනු ලැබීය. එහෙත් එය කිරීමට හැකිවූයේ ජලය ඇති ස්ථාන වල පමණකි. සැමුවෙල් කොම්ප්ටන් විසින් 1776 දී මියුල් යන්ත්‍රය නමින් නව යන්ත්‍රයක් නූල් සැකසීම සඳහා නිෂ්පාදන කරනු ලැබීය. එම යන්ත්‍රය ආධාරයෙන් වඩාත් සියුම් හා ශක්තිමත් නූල් සකස් කර ගැනීමට හැකියාව ලැබුණු අතර 1785 දී මියුල් යන්ත්‍රය වැඩි දියුණු කරමින් වාෂ්ප බලයෙන් එය ක්‍රියා කරවීමට ක්‍රමයක් සොයා ගනු ලැබීය.

කාර්මික විප්ලව‍යත් සමග මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර නිපදවීමට යකඩ හා වානේ වැඩි වශයෙන් අවශ්‍ය විය. මුල් කාලයේ දී ඒ සඳහා දර භාවිත කළ ද කල් යත්ම විකල්ප කෙරෙහි යොමු විය. ඒ අනුව ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අඟුරු යොදා ගනිමින් යපස් උණු කිරීමේ ක්‍රමයක් සොයා ගනු ලැබීය. ඒ වගේම 1784 දී හෙන්රිකෝට් රෝලර් යන්‍ත්‍රය නිපදවීමෙන් පදම් කළ යකඩ නිපදවීමට හැකි විය. ඒ වගේම 1860 වර්ෂයේදී උදුන් ක්‍රමය සොයා ගැනීමත්, 1870 දී යපස් උණු කිරීමට විදුලි උදුනක් සකස් කිරීමත් යකඩ හා වානේ කර්මාන්තයේ දියුණුවක් සනිටුහන් කරනු ලැබීය.

ඒ වගේම කාර්මික විප්ලවය ත් සමග ගමනාගමනයට අතිශයින් උපකාරී වන යන්ත්‍ර රාශියක් නිපදවනු ලැබීය. 1763 දී ජේම්ස් වොට්ගේ වාෂ්ප යන්ත්‍ර නිෂ්පාදනයත්, රොබට් ෆුල්ටන්ගේ වාෂ්ප බල බෝට්ටුවත්, ජෝර්ජ් ස්ටීවන්සන්ගේ " ලොකෝමෝටිවි" නමැති දුම්‍ රිය එන්ජිමත් සොයා ගැනීම ප්‍රවාහනයේ දී වැදගත් විය.

ඒ වගේම කාර්මික විප්ලවය සමයේ පණිවුඩ හුවමාරුව සඳහා ද නවීන තාක්ෂණය යොදා ගනු ලැබීය. 1837 දී සැමුවෙල් මෝස් විසින් විදුලි පණිවුඩ ක්‍රමය සොයා ගැනීම, 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් විසින් දුරකථනය සොයා ගැනීම, 1896 දී මාකෝනි විසින් ගුවන් විදුලි යන්ත්‍රය නිපදවීම එහිදී වැදගත් විය.

ඒ වගේ ම කෘෂිකර්මික අංශය සලකා බැලූ විට 1834 දී මැක්කොමික් විසින් අස්වැන්න එක්‍ රැස් කිරීමේ යන්ත්‍රය ද , 1850 දී වාෂ්ප බලයෙන් වැඩ කරන නගුල ද නිපදවනු ලැබීය. ඒ වගේම ආර්ථිකමය වශයෙන් වෙළදාම සඳහා ද විවිධ මාදිලියේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන කිරීම දැකිය හැකි විය. විශේෂයෙන් ම 1830 න් පමණ පසු අලුත් දෑ සොයා ගැනීමේ උද්‍යෝගයක් තවත් වැඩි වන්නට විය.මේ අයුරින් කාර්මික විප්ලවයත් සමග නවීන තාක්ෂණය භාවිතයෙන් යන්ත්‍ර සූත්‍ර ගණනාවක බිහි වීම හඳුනාගත හැකි විය.

Top