චීන ඉතිහාසය පිරික්සීමේදී රාජවංශ යුග ගණනාවක ම පහළ වීම හදුනා ගත හැකිය. ඒ අතරින් චෝව් (Zhou) යුගයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මේ යුගයේ දේශපාලනික වශයෙන් පැවති පසුබිම මෙකල ආගමික දර්ශනවාද බිහිවීම කෙරෙහි ද බලපා ඇති බවක් හඳුනාගත හැකිය. ඒ අතර පෙර අවස්ථාවකි දී තොරතුරු ඉදිරිපත් කරන ලද කොන්ෆියුසියස්වාදය මෙන් ම තාඕවාදය සහ නීතිවාදය ද වැදගත් දර්ශනවාදයන් වශයෙන් දැක්විය හැකිය.
ඒ අතරින් තාඕවාදී දර්ශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලාඕත්සතුමන් විසින් එම දහම හඳුන්වා දෙන ලද බව සැලකේ. චීන භාෂාවෙන් ඔහු Laozi නමින් හැඳින්විණ. 'තාඕ' නමින් ඉදිරිපත් කරන ලද තම දර්ශනය පැහැදිලි කිරීම සඳහා ලාඕත්සතුමන් විසින් 'තාඕ ත ජිං' නමින් ග්‍රන්ථයක් රචනා කරන ලදී. මෙම ග්‍රන්ථය තාඕ දහමේ මූල ග්‍රන්ථය වශයෙන් ද හඳුන්වනු ලැබේ. තාඕ දහම හැදෑරීමේදී පමණක් නොව චීන සංස්කෘතිය පෝෂණයෙහිලා ද විශාල බලපෑමක් කළ සම්භාව්‍ය කෘතියක් වශයෙන් සියවස් ගණනාවක් මුළුල්ලේ ම එය සම්භාවනාවට පාත්‍ර විය.
චීන දාර්ශනික ඉතිහාසය තුළ 'තාඕ' යන වචනයට ගැඹුරු අර්ථයක් හිමිවේ. එය යොදාගෙන ඇත්තේ ' මාර්ගය ' යන අර්ථයෙනි. විශේෂයෙන් ම තාඕ දහම විශ්ව ක්‍රියාකාරිත්වය සහ පුද්ගල චර්යාව පිළිබඳ මූලිකත්වයේ ලා සැලකීමෙන් එම වචනයෙහි අර්ථය මනාව ගම්‍ය වේ. පුද්ගල චර්යාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන මෙම දර්ශනය විශේෂයෙන ම පුද්ගලයාගේ කාර්යය විය යුත්තේ යථාර්ථය තේරුම් ගැනීම බව දක්වයි. එකල පැවති අනෙකුත් ආගම් හා දර්ශනවාදවල මෙන් පුද්ගලයා පසක් කරගත යුතු නිර්වාණය, මෝක්ෂය, ගැලවීම වැනි ඉලක්ක පිළිබඳ තාඕ දහම නිර්දේශ නොකරයි. එම ඉලක්ක සම්පූර්ණ කරගැනීම වෙනුවට පුද්ගලයා 'තාඕ' නමින් හැඳින්වෙන යථාර්ථය හා ඒකීයත්වයට පත්වීම පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් ඒ අනුව තම ජීවිතය සකසා ගත යුතු බව අවධාරණය කරනු ලබයි. ඒ වගේ ම පුද්ගලයා ආචාරධර්ම විධිවලට බලෙන් ඇතුළු කිරීමක් තාඕ දහම තුළ දක්නට නොවේ.
එමෙන්ම පුද්ගල චර්යාව සහ සොබාදහම අතර අන්‍යෝන්‍ය වශයෙන් සබඳතාවයක් ඇති බව තාඕ දහම දක්වයි. එහිදී පුද්ගලයෙකුට ස්වභාව ධර්මය අවබෝධ කරගත හැකිනම් ඔහුට ජීවිතය ද අවබෝධ කරගත හැකි බව ලාඕත්සතුමන්ගේ අදහසයි. එහිදී ස්වභාව ධර්මය තමාට අවශ්‍ය ලෙස සකසා ගැනීම නොව එහි ජීවත් වීමටත්, ස්වභාව ධර්මයෙන් තමා වෙන් කරගැනීමට නොව ස්වභාව ධර්මයෙහි ජීවත්වීමටත් තාඕ දහම මග පෙන්වයි. ඒ වගේම ස්වභාවධර්මයේ පවතින ධර්මතාවන් මිනිසාට වෙනස් කළ නොහැකි බවත් එම පවතින ධර්මතාවයන්ට අනුව පුද්ගලයා තම චර්යාව සකසා ගත යුතු බවත් ලාඕත්සතුමන්ගේ අදහස විය. එහිදී "සම්පත් විසින් සම්පත් විනාශ කරනු ලබයි" යන ඉගැන්වීම වැදගත් වේ. ඉන් අදහස් කරනු ලබන්නේ පුද්ගලයා ආශාවන්ට වහල් වීමෙන් රැස් කරගන්නා වූ භෞතික සම්පත් හේතුවෙන් ඔහු සහජයෙන් උරුම කරගත් ආධ්‍යාත්මික සම්පත් විනාශ කර ගන්නා බවයි. ලාඕත්සතුමන්ගේ අදහසට අනුව මිනිසුන්ට සම්පත් වැඩි වන විට දුක වැඩි වෙයි. සම්පත් ස්වල්පයක් ඇති විට මිනිසා පොහොසතෙකු වෙයි. බොහෝ සම්පත් අත් කර ගැනීමෙන් මිනිසා ව්‍යාකූලත්වයට පත් වෙයි. තාඕ දහම තුළ පුද්ගලයා ආශාවන්ගෙන් තොරව ජීවත් විය යුතු බව අවධාරණය කරන්නේ එබැවිනි. ආශාවන් වැඩි වූ විට විවිධ අපරාධ, ගැටුම්වලට පුද්ගලයා යොමු වන බවත් එනිසා ආශාවන්ගෙන් තොරව ගත කරන ජීවිතය වඩාත් උසස් ලෙසත් තාඕ දහම තුලින් අදහස් වේ.
තාඕ දහම තුළ දක්නට ලැබෙන තවත් වැදගත් අදහසක් වන්නේ දේශපාලන දර්ශනය පිළිබඳ ඔවුන් ඉදිරිපත් කර ඇති අදහසයි. එහිදී "කුඩා රට - අඩු ජනගහනය" තාඕ දර්ශනවාදීන්ගේ දේශපාලන දර්ශනයෙහි මූලික අදහසක් විය. ලාඕත්සතුමන් විසින් කිසිවක් පාලනය නොකොට සියල්ල වීමට ඉඩ හරින ලෙස දක්වන ලද ඉගැන්වීම චීන දේශපාලනයේ දී වැදගත් විය. එම ඉගැන්වීම චීන අධිරාජවරුන්ට ද රාජ්‍ය පාලනයේදී මාර්ගෝපදේශයක් විය. තාඕවාදීන්ට අනුව පුද්ගල ජීවිතයට ද රාජ්‍ය පාලනයටද හොඳම මාර්ගය හුදෙකලා වීමට ඉඩ හැරීමයි.
මේ අයුරින් චීනයේ එකල පැවති අනෙකුත් ආගමික දර්ශනයන්වලට වඩා වෙනස් මගක් ගැනීම තාඕ දහම තුළින් හඳුනාගත හැකිය. විශේෂයෙන් ම පුද්ගල චර්යාව සහ විශ්ව ක්‍රියාකාරිත්වයට වැදගත් තැනක් හිමි වූ නිසා ම චීනය තුළ නිදහස් චින්තනයක් ඇති කිරීමට තාඕ දහම බලපෑ බව බොහෝ දෙනාගේ අදහසයි.