තාක්ෂණය මිනිසාගේ අනාගතය වනසයිද?

post-title

සත්ත්ව ලෝකයේ සංකීර්ණතම ජීවියා මිනිසාය. සමාජ සහ භෞතික ලෝකයෙහි පරිණාමීය ක්‍රියාවලියත් සමඟ මිනිසාගේ සංකීර්ණ බව පරිණාමයට පත්වෙමින් හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයා හෝමෝ ටෙක්නිකස් හෙවත් තාක්ෂණික මිනිසෙකු බවට පත්වී තිබේ. මෙම තාක්ෂණීකරණයත් සමඟ මානව සහ සමාජීය ස්වරූපයන් මිනිසාට නොගැළපෙන අයුරින් තාක්ෂණය හා සබැඳෙමින් තාක්ෂණයට අනුගත චින්තනයක් පමණක් නොව චර්යාවක් ද නිර්මාණය කොටගෙන තිබේ. මෙය මිනිසාගේ සරල කාරණාවක් නොවන අතර සංකීර්ණත්වය යන්න මිනිසාගේ අනාගත චර්යාවන් වෙනස් කිරීමට අදාළ පසුබිම නිර්මාණය කරන්නක් ද වේ. මිනිසාට මිනිසා විසින් තාක්ෂණය හිමිකර දෙන විට මිනිසාට මිනිසා අහිමි කොට ඇති බව තේරුම්ගත නොහැකි වන්නේ ද මිනිසාටමය. මෙසේ මිනිසා තාක්ෂණය සොයන විට මිනිසාට මිනිසා ව සොයාගැනීමට නොහැකි වී ඇත. තාක්ෂණය නිවැරදිව කළමනාකරණය කරගත නොහැකිවීම සහ ඒ පිළිබඳ ව නිවැරදි චින්තනයක් ගොඩනඟාගත නොහැකිවීම තුළින් මිනිසාට මිනිසා අහිමි කිරීම පමණක් නොව මිනිසාට තමා විසින් නිර්මාණය කරනු ලබන චින්තනය ද අහිමි කිරීමක් සිදුවේ. මෙකී තාක්ෂණයත් සමඟ මානව සංහතිය අනාගතයේදී විනාශ වී යාමට ඉහළම ප්‍රවණතාවක් පවතී. ඒ සඳහා සාධක කිහිපයක්ම බලපානු ලබයි. 

තාක්ෂණයත් සමඟ වර්තමානයේ තාක්ෂණික වූ මිනිසා මේ වනවිට කෘත්‍රීම බුද්ධිය සහිත නිර්මාණ එළි දක්වන්නට සමත් ව ඇත. ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ මෙන්ම මිනිසාගේ විවිධ කටයුතුවලට සහාය ලබාදෙන රොබෝ යන්ත්‍ර නිර්මාණයට ද මිනිසා යොමුවී ඇත. මිනිසාගේ තනි නොතනිය මකන්නට සමත් රොබෝ යන්ත්‍ර මෙන්ම මිනිසාට තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පවා සපුරාගත හැකි රොබෝ යන්ත්‍රත් දැන් දැන් එළිබසිමින් ඇත. එපමණක් නොව අනාගතයේදී රොබෝ යන්ත්‍ර සමඟ විවාහ වන්නට අපේක්ෂාවෙන් සිටින අය ගැනත්, රොබෝ යන්ත්‍ර සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟාගෙන ජීවත් වන්නවුන් ගැනත් තොරතුරු වාර්තා වේ. මෙලෙස කෘත්‍රීම බුද්ධිය දියුණු කර මිනිස් කටයුතුවලට මැදිහත් කර ගැනීම අනාගතයේ භයානක විපතක් ගෙනදෙන බව ද විද්‍යාඥයන් පෙන්වා දෙනු ලබයි. කෙසේ නමුත් දැනට පවතින ප්‍රවණතාවයට අනුව 2075 වනවිට මිනිස් බුද්ධියෙන් කෙරෙන කටයුතුවලින් 90% ක් පමණම යන්ත්‍ර සූත්‍ර හරහා සිදුවනු ඇති බව පර්යේෂකයින්ගේ මතයයි. ප්‍රකට විද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හැව්කින්ග් පවසනුයේ කෘත්‍රීම බුද්ධිය දිනෙක අනුකම්පා විරහිතව මිනිසාට එරෙහිව නැඟී සිටින බවයී. මෙලෙස රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට මිනිසා සිදුකරන කැපවීම දෙස බලන කල දිනෙක මිනිසුන් මරා දැමිය යුතු යැයි තීරණය කරනු ලබන රොබෝ යන්ත්‍ර ද මිහිමත බිහිවනු ඇත. එවැනි රොබෝ යන්ත්‍ර විද්‍යාඥයින් නම් කරනුයේ “ කිලර් රොබොට් ” යනුවෙනි. මෙසේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍ර මඟින් කිනම් පුද්ගලයා මරා දැමිය යුතුද යන්න තීරණය කරනුයේ රොබෝ යන්ත්‍රයේ කෘත්‍රීම බුද්ධිය මඟින් ය. මෙසේ පුද්ගලයෙකු මරා දැමිය යුතුද යන්න තීරණය ගැනීමේ ක්‍රියාවලියෙන් මිනිසා ඈත් වී එතැනට යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය යෙදවීම කෙතරම් භයානක ද? මෙවැනි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කළ නිර්මාණකරුවා වුව මරා දමන්නට යන්ත්‍රය තුළ හැකියාවක් පැවතීමම මෙහි ඇති අරුමයක් නොවේද? තවමත් විද්‍යා ප්‍රබන්ධ අතර පවතින මෙම “ කිලර් රොබොට් ” නැමැති සංකල්පය ඉතා ඉක්මනින් නුදුරු කාලයේදී ම යථාර්ථයක් වනු ඇත. 

එමෙන්ම ඇතැම් රටවල් තරගයට මෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයෙහි ද නියැලී සිටී. එක්දහස් නවසිය අසූ ගණන් මුල් භාගයේ සිට පැවති “ න්‍යෂ්ටික වසන්තය ” නැමැති සංකල්පය ඔස්සේ සිදුවනුයේ න්‍යෂ්ටික අවි සිය ගණනක් පුපුරා යෑමයි. මෙවැනි න්‍යෂ්ටික අවි සිය ගණනක් එකාසන්නයේ පුපුරා ගියවිට සිදුවන හානිය කෙතරම් දැයිවත් සිතා ගැනීමටවත් අපහසුය. මෙහිදී අපවර්තී ගෝලයට කාබන් අංශු ගමන් කිරීම හේතුවෙන් එම කාබන් අංශු මඟින් හිරු කිරණ අවශෝෂණය කරගනු ලබයි. එවිට පෘථිවි උෂ්ණත්වය මුලුමනින්ම වෙනස්වී යා හැකිය. එමෙන්ම ඕසෝන් ස්ථරයට ද හානි සිදු වී පාරජම්බුල කිරණ පොළොවට ළඟා වීම ද වැළැක්විය නොහැකි වනු ඇත. එවැනි පිපිරීම් මාලාවකට පසුව වුවත් මිනිසුන් පෘථිවිය මත ඉතිරිවීමට හැකි බව ඇතැම් විද්‍යාඥයින්ගේ මතයයි. නමුත් එසේ පෘථිවිය මත ඉතිරි වන පිරිසට අන්තගාමී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව ද ඔවුන්ගේ අදහසයි.

කාර්මික විප්ලවය සිදුවූ අවධියේ සිටම පෘථිවි වායුගෝලයට එකතුවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙමින් පවතී. මේ හේතුවෙන් පාරිසරික උෂ්ණත්වය නොසිතන ලෙස ඉහළ යමින් පවතින බව ත් විද්‍යාඥයින් පවසයි. ඒ නිසා ඇතිවන ගැටලු හේතුවෙන් අනාගතයේදී ඇතැම් දූපත් රාජ්‍යයන් මුහුදුබත් වී යෑමේ අවධානමක් පවා මතුවී ඇත. සීඝ්‍රයෙන් සිදුවන පාරිසරික දූෂණය ත් ඒ හරහා සිදුවන කාලගුණ විපර්යාස යනාදී කාරණාත් හේතුවෙන් මිනිස් සංහතිය අනාගතයේදී මහ පොළොවෙන් අතු ගෑවී යනු ඇතී බවට දැනටමත් ඉඟි පහළ වී ඇත.

වර්තමානය වන විට ජෛව තාක්ෂණ ක්ෂේත්‍රය ද ඉතා වේගයෙන් දියුණු වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජීවය විද්‍යාගාර තුළ නිර්මාණය කිරීමට පවා මිනිසා නැඹුරු වී ඇත. මෙහිදී වඩාත් බරපතලම කාරණය වනුයේ ජාන ඉංජිනේරු ශිල්පය හරහා වික්‍රම පාන්නට මිනිසා පෙළඹීමයි. මෙසේ විද්‍යාඥයින් විද්‍යාගාර තුළ ජාන වෙනස්කර නිර්මාණය කරන ලද නව ජෛව නිර්මාණ තුළින් ද අනාගතයේ මිනිස්කම වැනසී යාමට මඟ පෑදෙනු ඇත. එසේම ග්‍රහ වස්තුවක් පෘථිවියේ ගැටීමෙන් ඇතිවන බලපෑම හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බයෙන් ඇතිවුණු විනාශය මෙන් මිලියන වාර ගණනක ප්‍රබල විනාශයක් ඇතිකරනු ලබයි. මෙවැනි විශාල ග්‍රහ වස්තුවක් පෘථිවිය දෙසට ගමන් ගෙන පෘථිවියට බලපෑමක් එල්ල කරන තත්ත්වයට පැමිණියහොත් සිදුකරනුයේ කුමක්ද යන ගැටලුවට විසඳුමක් නොමැති බවත් ඇතැමුන් ප්‍රකාශකර ඇත. එබැවින් ග්‍රාහකයක බලපෑම පෘථිවිය මත වාසය කරන මානවයින් විනාශ කර දමන්නට හේතුවක් වනු ඇති බව ඇතැම් විද්‍යාඥයින්ගේ මතයයි. 

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ජලය පිළිබඳ ගැටලුවකට ද වර්තමානය වනවිට මිනිසා මුහුණ දීමට සිදුවී ඇත. ලොව ඇතැම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පානයට අවශ්‍ය ජලය සොයා ගැනීමත් බොහෝ දුෂ්කර කාර්යයකි. 2025 වනවිට ලෝක ජනගහනයෙන් බිලියන 2.8 කට ආසන්න පිරිසක් ජීවත් වනු ඇත්තේ ජලය හිඟ ප්‍රදේශවල බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී ඇත. එමෙන්ම මෙහි පවතින තවත් ගැටලුවක් වනුයේ වර්තමානයේ බිලියන 7.3ක් වන ජනගහනය 2050 වනවිට බිලියන 9 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබීමයි. එකී ජනගහනයට අවශ්‍ය ආහාර සපයන්නට නම් ආහාර නිෂ්පාදනය 60% කින් පමණ ඉහළනංවා ගැනීමට සිදුවේ. පානීය ජලයත් හිඟවෙමින් පවතින මෙවන් කාල වකවානුවක කෘෂිකාර්මික කටයුතු මෙපමණ ප්‍රමාණයකින් ඉහළනංවා ගැනීමට අවශ්‍ය ජලය සොයාගැනීමට හැකිවේද යන්න කාගේත් සිත් තුළ අනාගතයේ දැවටෙන ප්‍රබල ප්‍රශ්නයක් විය හැකිය. 

ගල් යුගයේ සිට වර්තමානයේ අප ජීවත්වන මෙම ඉලෙක්ට්‍රොනික තාක්ෂණික යුගය දක්වා පැමිණි මිනිසා වර්තමානයේ යෝධ පිම්මක් ඉදිරියට තබා ඇතත් එකී තාක්ෂණයම මිනිස් වර්ගයා නැසීමට අනාගතයේදී අවි අතට ගන්නා බව අප සියලුදෙනාටම අද වනවිට පසක් වී හමාරය. මෙකී තත්ත්වය හමුවේ මිනිස් වර්ගයාට අනාගතයක් තිබේද? එහෙයින් මිනිස් සංහතියේ අනාගතය තීරණය කරන්නට තාක්ෂණයට ඉඩනොදී මිනිස්කම රැකගැනීමට කටයුතු කිරීම සැමදෙනා සතු යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේ ය.

Top