පරිවර්තනයකැයි නොතේරෙන තරමට පරිවර්තනයට සාධාරණයක් කළ රැබසා (463)

post-title

පරිවර්තකයෝ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිහඬ කාර්‍යභාරයක් ඉටු කරනව. ඔවුන්, එකිනෙකෙන් වෙනස් සංස්කෘතීන් දෙකක් යාකරන සේතුවක් කීවොත් නිවැරදියි. ඔවුන් කාලයක් තිස්සෙම වැඩ කළේ තිරෙන් පිටිපස. අද පවා, ලොව ප්‍රකාශන ආයතන, සම්මතයක් හැටියට, පරිවර්තකයගෙ නම පිට කවරයෙ, නැත්නම් කංචුකයෙ සඳහන් කරන්නෙ නැහැ. එය සඳහන් කරන්නෙ ඇතුළු පිටුවල මුල. එයත් කුඩා අකුරින්. ( හැබැයි, මේ සම්මතය අප රටේ අනුගමනය කරන්නෙ විදර්ශන විතරයි. එය, අපේ සම්මතය පිළිබඳ ගැටළුවක්)

නමුත්, මේ වන විට පරිවර්තන කාර්‍යය, ඉහල මට්ටමේ වෘත්තීයමය සේවයක් බවට පත්වෙලා තියෙන්නෙ. ජාත්‍යන්තර පරිවර්තකයන්ගේ කොන්ග්‍රසයේ සභාපති Jean Paul Coty පවා පවසන්නෙ පරිවර්තනය, වෘත්තීයමය සේවයක් බවට පත්ව ඇති බව. අද බටහිර රටවල බොහොමයක් ඉන්නෙ පූර්ණ කාලීන පරිවර්තකයො. දැන් දැන් ලේඛකයා මෙන්ම පරිවර්තකයාත් එකම කාසියේ දෙපැත්ත වශයෙන් සැලකෙනව.

අඥාත තත්වයක ඉඳල, ක්‍රියාකාරී නිර්මාණකරුවකුගේ භූමිකාවට එන්න පරිවර්තකයන්ට පාර කපපු, අපේ කාලයේ විශිෂ්ටතම පරිවර්තකයා ගැනයි මේ සටහන.

ඒ මහාචාර්‍ය ග්‍රෙගරි රැබසා.

කියුබානු ප්‍රභවයක් සහිත රැබසා, 1922 දී උපන්නේ නිව්‍ යෝක් නගරයෙ. ඔහු, ස්ටැන්ෆඩ් සරසවියෙන් Romance languages (ලතින් භාෂාවෙන් බිඳී ආ ස්පාඤ්ඤ, පෘතුගීසි, ඉතාලියානු බඳු) පිළිබඳ මූලික උපාධිය ලබාගන්නව. පසුව, ඔහු ආචාර්‍ය උපාධිය ලබාගන්නෙ කොලම්බියා සරසවියෙන්. ඉන්පසු, එහි ම ආචාර්‍ය මණ්ඩලයට එක්වී මහාචාර්‍යවරයකු සේ කටයුතු කරනව.

රැබසා පරිවර්තකයකු වන්නේ අහම්බයකින්. කොලම්බියා සරසවියෙ උගන්වද්දි ඔහුට ලතින් අමෙරිකානු කෙටිකතා කිහිපයක් ඉංග්‍රිසියට පරිවර්තනය කරන්න ඇරයුමක් ලැබෙනව. ඒ, Odyssey Review කියන ප්‍රකාශනයෙන්. මේ කෙටිකතා එකතුව, එවකට නැගී එන ආජන්ටිනා ලේඛක හුලියෝ කෝටසාර්ගේ අවධානයට ලක් වෙනව. කෝටසාර්, රැබසාට සිය Hopscotch නම් නවකතාව දෙනව පරිවර්තනයට. සෙස්ස ඉතිහාසයට. එය, 1969 දී පරිවර්තනය සඳහා වන National Book Award සම්මානය දිනාගන්නව.

මේ සාර්ථකත්වයත් එක්ක රැබසා කාර්‍ය බහුල පරිවර්තකයකු වෙනව. ඔහු, ඉංග්‍රිසි බසට වැඩිම දායකත්වයක් දෙන ලතින් අමෙරිකානු සාහිත්‍යය හඳුන්වාදීමේ පුරෝගාමියෙක්. මේ දක්වා ඔහු, ස්පාඥ්ඤ හා පෘතුගීසි නව ප්‍රබන්ධ 30 කට දායකත්වය සපයලා තියෙනව. ඒ අතර, සාහිත්‍ය යෝධයින් වන, මාරියෝ වර්ගාස් යෝසා(පේරු) හෝජේ අමාඩෝ(බ්‍රසිල්) මිගෙල් ඒන්ජල් අස්තුරියාස්( මෙක්සිකෝ) ක්ලැරිස් ලිස්පෙක්ටර්( කියුබාව) හා අසමසම ගාර්ෂියා මාකේස් ද වෙනව.

මාකේස්, CienAnos de Soledad නම් මහා නවකතාව ලියල ඒ සඳහා පරිවර්තකයෙක් ගැන විපරම් කරනව. කෝටසාර්, මාකේස්ගෙ මිතුරෙක්. ඔහු තමයි රැබසාව නිර්දේශ කරන්නෙ. නමුත්, රැබසා ඒ වෙනවිට වෙනත් වැඩ බාරගෙන තිබි නිසා පරිවර්තනය වසර තුනක් පමා වෙනව. නමුත් One hundred years of Solitude පාඨකයන් ආදරයෙන් වැළඳගත් නිර්මාණයක් වෙද්දි, ඉංග්‍රිසි බසත් මැනවින් දැන උන් මාකේස් කියනව, රැබසාගේ පරිවර්තනය, මුල් ස්පාඤ්ඤ නවකතාව ඉක්මවන බව. එය තමයි පරිවර්තකයකුට ලබා ගත හැකි ඉහළම සම්මානය. මේ පොත 20 සියවසේ හොඳම පරිවර්තනය නොවේ නම්, හොඳම පරිවර්තන වලින් එකක් බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණක්.

පරිවර්තකයකුට මුහුණ දෙන්න වෙන අභියෝග බොහොමයි. නවකතා, කෙටිකතා ගද්‍ය කාව්‍යනෙ. ඒ ට පස්සෙ බී බී ට පස්සෙ සී. ඔය විදිහට කතාව ගලායන්නෙ නැහැනෙ ළමා කතාවල හැර. අනික තියෙන ශානර තුළ විවිධත්වය. ඒ අතරෙ මුල් භාෂාවට ආවේණික, භාෂා ප්‍රයෝග, සියුම් යෙදුම් හා ඇතැම් සංස්කෘතික සාධක. ඒ සියළු ගැටළු නිරාකරණය කරමින්, කතාවේ ගලායාම එලෙමින්ම පරිවර්තනය. හැබැයි. රැබසා මේ අභියෝග ජයග්‍රහනය කරන අතරේ නව පරිවර්තකයන්ට සැබෑ ගුරුවරයෙක් වෙනව. ඒ නිසාම තමයි, කීර්තිමත් ප්‍රකාශකයකු වන Alfred Knoffඔහු, පරිවර්තකයන්ගේ පාප් තුමා කියල හැඳින්වූවෙ.

පරිවර්තන තුළ දැකිය හැකි සුලබම දුර්වලකම වශයෙන් විචාරකයන් දකින්නෙ Translatorese නමින් හඳුන්වන බස. කොහොමද සිංහලට පරිවර්තනය කරන්නෙ? අපි කියමු කෘතිම පරිවර්තන බස කියල. පොදුවේ පිළිගැනෙන සාධකය තමයි රැබසා මේ කෘතිම බස අභියෝගය සාර්ථකව ජයගත්තෙක් බව.

රැබසා, තමන්නෙ මේ කටයුතු, මේ ලත් පිළිගැනීම ගැන කතා කරන්නේ සිනාමුසු මුහුණින්. ඔහු, ලේඛකයන් මේ විදිහට වර්ග කරනව. කෝටසාර් ලියන්නෙ ආජන්ටිනාවෙ එක්තරා පෙදෙසකට ආවේණික slang එකකින්. මාකේස් සම්ප්‍රදායික, සර්වන්ටේස් පන්නයේ ස්පාඤ්ඤ බස, මායා යථාර්තය හා මුසු කරන්නෙක්. මාකේස්ගෙ අසීරුම නවකතාව වන Autumn of the Patriarch පවා තමන්ට ඒ හැටි අභියෝගයක් නොවුණු බව කියනව. පරිවර්තනය කරන්න අසීරු පොතක් තිබේදැයි විමසුවාම, ඔහු කියනව බ්‍රසීල ලේඛිකාවක් වන NeliaPinonගෙ Fundadorනැමති පොත ගැන. නීලියාගෙ බ්‍රසීල ජනවහර හා කැටිවූ පෘතුගීසිය, එලෙසින්ම පරිවර්තනය අසීරු බව පවසනව. ඇය, පෘතුගීසි බස බුරුල්ල මිරිකා කිරි දොවා ගන්නාක් සේ පෙරා ඉදිරිපත් කරන බව ඔහු කියනව.

රැබසාගෙ පරිවර්තන කියවන අයෙකුට මෙය පරිවර්තනයකැයි තේරෙන්නෙ නැහැ. හරියට නව නිර්මාණයක් කියවනව වගේ. ඒ.පී. ගුණරත්න මහතාගේ සිංහල පරිවර්තන තුලත් මේ ගුණය නොඅඩුව තිබුණා. බැද්දෙගම, මැකී ගිය දඩමං හෙම.

Top