කෝව්ඩි වසංගතය හමුවේ ලෝක භූදේශපාලනය හා ශ්‍රී ලංකාව (383)

post-title

ඔබ අප සෑම දෙනාම අද වන විට මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගය වන්නේ කෝවිඩ් (covid) වසංගත තත්ත්වයයි. මෙය හුදෙක් සෞඛ්‍යමය වසංගතයක් පමණක් නොවන අතර එමගින් සියලූ සමාජ, ආර්ථික හා දේශපාලනික පරිසරයන් අභියෝගයට ලක් කරමින් සිටී. එහි අනෙකුත් වැදගත් ම බලපෑමක් වන්නේ අද වන විට මෙය සෞඛ්‍යමය වසංගත තත්ත්වයකින් ඔබ්බට යමින් ලෝක බල භූ දේශපාලනය තුළ ද ක්‍රියාකාරී බලවේගයක් ලෙස කටයුතු කිරීමයි. මෙම ගතවන කාලසීමාව තුළ ලෝක භූ දේශපාලනයේ ප්‍රධානතම ගාමක බලවේගය බවට පත්ව ඇත්තේ මෙම කෝවිඩ් වසංගතයයි. ඒ හමුවේ මෙතෙක් පැවති ලෝක භූ දේශපාලනයේ ස්වභාවය හා එහි රාමුව අභියෝගයට ලක් වෙමින් තිබේ. මන්ද, එමගින් ලෝක භූ දේශපාලන සන්දර්භය තුළ යම් යම් කැපී පෙනෙන ප්‍රවණතාවන් ඇතිකරලීමට හැකි වී තිබීම නිසාවෙනි. ඉන් ප්‍රධානතම ප්‍රවණතාව වන්නේ ලෝක භූ දේශපාලනයේ නායකත්වය අභියෝගයට ලක් කරමින් සිටීමයි. එමෙන් ම ගෝලීයකරණ ක්‍රියාවලියේ මන්දනයට ද එමඟින් විශාල බලපෑමක් ඇතිව තිබේ. 

මෙහිදී පළමුවෙන්ම භූ දේශපාලනය යනු කුමක්ද? යන්න නිරුක්ති සහිතව පැහැදිලි කරගත යුතු ය. මෙම සංකල්පය මුල්වරට ඉදිරිපත් කළ ස්වීඩන් (Sweden) ජාතික දේශපාලන විද්‍යාඥයෙකු වූ කේලන් (Rudolf Kjellen)  පෙන්වා දෙන අන්දමට භූ දේශපාලනය යනුභූගෝලීය සාධක මත පදනම්ව ඊට අනුරූපව විදේශ සබඳතා හා ප්‍රතිපත්ති තීරණය වන්නා වූ ක්‍රියාවලියයි අද වන විට මෙම සංකල්පය ඉතා පුළුල්ව ව්‍යාප්ත වූ එකක් වුවද ආරම්භක සමයේදී භූදේශපාලනය වශයෙන් හඳුනාගනු ලැබුවේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලිය කෙරෙහි එහි භූගෝලීය සාධක බලපාන ආකාරය පිළිබඳ හැදෑරීමට ය. නමුත් පසුව ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීමත් ම සමඟ පුළුල් වී ඇති අන්තර්ජාතික දේශපාලනය හේතුකොටගෙන භූ දේශපාලනය නමැති සංකල්පයට ප්‍රතිපත්තිමය කාරණා හැරුණු විට ජාත්‍යන්තර සබඳතා අධ්‍යනය ද අඩංගු විය. 

මේ පිළිබඳ සාකච්ඡා කිරීමේදී භූ දේශපාලනය ආකාර දෙකකින් ක්‍රියාත්මක වන ආකාරය අපට හඳුනාගත හැකි ය. එනම්,

1 ජාතික භූ දේශපාලනය(National Geopolitics)

2 අන්තර්ජාතික භූ දේශපාලනය(International Geopolitics)

මෙහි දී ජාතික භූ දේශපාලනය නමින් අදහස් වන්නේ ස්වාධීන රාජ්‍යයක් තම භූගෝලීය සාධකයන් මත පදනම්ව ස්වකීය සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හා ක්‍රියාවට නැංවීමආදිය සලකා බලන්නා වූ අංශයයි. මෙහිදී භූගෝලීය සාධක යනුවෙන් අදහස් කරනු ලබන්නේ කිසියම් රාජ්‍යයක භූගෝලීය පිහිටීම, විශාලත්වය, ජනගහන ප්‍රමාණය, දේශපාලනික ස්ථාවරත්වය හා ස්වභාවය, දේශගුණික ස්වභාවය හා ස්වභාවික සම්පත් යනාදියයි. මේ අනුව යම්කිසි රාජ්‍යයක් ජාතික මට්ටමින් තම රටෙහි භූගෝලීය තත්ත්වය පිළිබඳ සලකා බලා ඊටඅනුරූපව ප්‍රතිපත්ති නිර්මාණය කරමින් ඒවා ක්‍රියාවට නැංවීම ජාතික භූ දේශපාලනය යනුවෙන් පෙන්වා දිය හැකිය. එමෙන් ම එක් එක් රාජ්‍යයන්ගේ භූගෝලීය සාධකයන්ගේ ස්වභාවය මත එහි ජාතික භූ දේශපාලනයෙහි ස්වභාවය ද එකිනෙකින් වෙනස්ව සකස් වන බව ද මෙහි දී අප අමතක නො කළ යුතු ය.

මෙහි අනෙක් ප්‍රභේදය ලෙස ජාතික මට්ටමෙන් ඔබ්බට ගිය අන්තර්ජාතික තලයෙහි ක්‍රියාත්මක වන භූ දේශපාලනය හෙවත් අන්තර්ජාතික භූ දේශපාලනය ලෙස හැඳින්විය හැකි ය. එනම් කිසියම් රාජ්‍යකට මේ වන විටත් තම භූ භූගෝලීය සාධක මත පදනම්ව ලෝක දේශපාලනය තුළ හිමි වී ඇති බලය මගින් තවත් ස්වාධීන රාජ්‍යයක රාජ්‍ය ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සම්බන්ධතාවල ස්වරූපය තීරණය වීම කෙරෙහි බලපෑම් කිරීමට ඇති හැකියාවයි. මේ අනුව අවසාන විග්‍රහයේ දී ලෝක බල භූ දේශපාලනය තුළ ජාතික භූ දේශපාලන සන්දර්භය හා අන්තර්ජාතික භූ දේශපාලන සන්දර්භය වශයෙන් අංශ දෙකක් පවතින බව පෙන්වා දිය හැකිය. නමුත් නූතනයේ මෙහි කැපී පෙණෙන ප්‍රවණතාවක් වන්නේ අන්තර්ජාතික භූ දේශපාලනයේ පථය දිනෙන් දින ප්‍රසාරණය වන බවත් ජාතික භූ දේශපාලනය අභිබවා අන්තර්ජාතික භූදේශපාලනය ඉස්මතු වෙමින් පවතින බවත්ය. වර්තමානය වන විට ලෝකයේ රාජ්‍යයන් තම ජාතික භූ දේශපාලනය කෙතරම් වර්ධනය කරගැනීමට උත්සාහ කළද නූතන ලෝක බල දේශපාලන ව්‍යුහය තුළ අන්තර්ජාතික භූදේශපාලනික ක්‍රියාවලිය විසින් ජාතික භූදේශපාලනය ආක්‍රමණය කරන ආකාරය කැපී පෙනෙයි. කෙසේ වෙතත් ලෝක බල භූ දේශපාලනය තුළ ප්‍රධාන රැගුම්කරුවන් කොටස් දෙකකි. එනම්,

1 භූදේශපාලනික දඩයක්කරුවන් (Geopolitical Hunters)

2 භූ දේශපාලනික වින්දිතයන්(Geopolitical Victims)

ආදී වශයෙන් ලෝක බල භූ දේශපාලනය තුළ සියලුම රාජ්‍යයන් ඉහත දැක්වූ චරිත දෙකෙන් එකක් රඟ දක්වනු ලබයි.

මේ ආකාරයට ලෝකයේ සියලුම රාජ්‍යයන් ඉහත සඳහන් කරන ලද කාණ්ඩ දෙකින් එකකට අනිවාර්යෙන්ම අයත් වේ. මෙම ස්වභාවය අපවිසින් “ලෝක භූ දේශපාලනික පද්ධති න්‍යාය” (World Geopolitical System Theory) ලෙස නම් කිරීමට කැමැත්තේ ය. ඉහත දැක්වෙන රූප සටහන මගින් තවදුරටත් එම න්‍යායේ ස්වභාවය පිළිබඳ පැහැදිලි කෙරෙයි.(මාතෘකාව යොදා ඇති කොටසේ මෙම රූප සටහන් යොදා ඇත)

මීට අනුව ලෝකයේ රාජ්‍යයන් එක්කෝ භූ දේශපාලනික දඩයක්කරුවන්ගේ භූමිකාවක් රඟ දක්වන අතර එහෙමත් නැතිනම් භූ දේශපාලනික වින්දිතයන් යන භූමිකාව රඟ දක්වනු ලබයි. මෙහිදී සෑම විටම භූ දේශපාලනික දඩයක්කරුවන් වන රාජ්‍යයන් ස්වකීය ආධිපත්‍යය භූ දේශපාලනිකව වින්දිත රාජ්‍යයන් වෙත පතුරවනු ලබයි. එය බොහෝ දුරට සිදු කරනු ලබන්නේ ගිවිසුම් මගින් මිලිටරි හා ආර්ථික ප්‍රදානයන් හරහා වන අතර ඊට ප්‍රතිචාර ලෙස වින්දිත රාජ්‍යයන් වෙතින් ඔවුන්අපේක්ෂා කරනු ලබන්නේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම හා ආර්ථික වාසි ළඟා කර ගැනීමයි. මෙසේ සිදු කරනු ලබන ආර්ථික සූරා කෑම සූක්ෂ්ම ආර්ථික සූරා කෑම ලෙස හැඳින්විය හැකිය. කෙසේ හෝ මෙම ක්‍රියාවලිය මගින් භූ දේශපාලනික දඩයක්කරුවන් වන රාජ්‍යයන් ස්වකීය ආර්ථික සංවර්ධනය තවතවත් වර්ධනය කර ගන්නා අතර ම තම බලපෑම් ප්‍රදේශයද (Sphere of Influence) ප්‍රසාරණය කර ගනී. වින්දිත රාජ්‍යන්ට හිමිවන්නේ ණය බර, දිළිඳුකම හා දේශපාලනික අස්ථාවරභාවය ආදියයි. මෙම න්‍යාය ප්‍රායෝගික දේශපාලනය තුළින් උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ නම් ඇමරිකාව හා චීනය වැනි රටවල් ලෝක භූ දේශපාලනය තුළ භූ දේශපාලනික දඩයක්කරුවන්ගේ භූමිකාව රඟ දක්වන අතර ඔවුන්ගේ බලපෑම් ප්‍රදේශය තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව, පකිස්ථානය වැනි රටවල්වලට ව්‍යාප්ත කරමින් සිටී. එම නිසා එම රාජ්‍යයන් භූ දේශපාලනික වින්දිතයන් බවට පත්වී ඇත. මෙහිදී ඇමරිකාව මිලිටරි ප්‍රදානයන් ද, චීනය ණය ලබාදීම හා විදේශ ආයෝජන වැනි ආර්ථික ප්‍රදානයන් ද භූදේශපාලනික උපක්‍රම ලෙස යොදා ගනිමින් සූක්ෂ්ම ලෙස තුන්වන ලෝකයේ රටවල් ස්වකීය ගොදුරු බවට පත් කර ගනිමින් සූරා කමින් සිටියි. භූ දේශපාලනික දඩයක්කරුවන් වන රටවල් ස්වකීය ආර්ථික සංවර්ධනය තවත් තවත් පුළුල් කර ගන්නා අතරම ඔවුන්ගේ බලපෑම් ප්‍රදේශය ද ප්‍රසාරණය කරගනී. අප වැනි භූදේශපාලනික ගොදුරු බවට පත්වී ඇති වින්දිත රටවලට හිමි වන්නේ අධික ණය බර දිළිඳුකම හා අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය ආදියයි. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජාතික භූ දේශපාලනයේ වැදගත්කම පවා අද වන විට අන්තර්ජාතික භූ දේශපාලනය මගින් ගිල ගනිමින් සිටී

කෝවිඩ් හමුවේ ලෝක භූ දේශපාලනයේ නායකත්වය 

මීට ඉහත දී ද හඳුන්වා දුන් පරිදි භූ දේශපාලනික දඩයක්කරුවන් ඔවුන්ගේ භූ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම වසංගත තත්ත්වය උපාය මාර්ගයක් බවට පත් කර ගනිමින් සිටී. ප්‍රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය මේ වන විටත් මෙම වසංගත තත්ත්වය හමුවේ විවිධ අංශ තුළ තම දේශපාලනික තරඟය දියත් කරමින් සිටින අතරතුර එහිදී වෙළඳාම, තාක්ෂණය දේශපාලනික දෘෂ්ටිවාදයන්, උපායමාර්ග, මිලිටරි හෙවත් ආරක්ෂාව හා ආසියානු කලාපය මත සිදුකරන බලපෑම් යන අංශ කැපී පෙනෙයි. නමුත් මෙහිදී චීනයට සාපේක්ෂව ඇමරිකාව තමන් මෙතෙක් අන්තර්ජාතික භූ දේශපාලනය තුළ දැරූ නායකත්ව භූමිකාවෙන් ලිස්සා යමින් හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආකාරයක් දැකගත හැකිවීමද සුවිශේෂී වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ^donald trump& විසින් මෙම වසංගත තත්ත්වය හමුවේ ගත් ඇතැම් තීරණ හරහා එය මනාව පැහැදිලි වේ. විශේෂයෙන් ම ඔහු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් එය පැහැදිලි වේ. පැරිස් දේශගුණික ගිවිසුම, ඉරානය මඟ පැවැති පැවති න්‍යෂ්ටික ගිවිසුම, WTO, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙලෙස ඇමරිකාව මෙම වසංගත තත්වය තුළ ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඉවත් වූ ජාත්‍යන්තර සංවිධාන සහ ගිවිසුම් කිහිපයකි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර ලබා දීමෙන් වැළකීම ද කැපී පෙනෙන කරුණකි. මෙලෙස බැලීමේදී පෙනී යන්නේ මෙතෙක් ලෝක දේශපාලනය තුළ ඇමරිකාව හිමිකරගෙන සිටි නායකත්වය අභියෝගයට ලක් වෙමින් පවතින බවයි.

චීනයේ භූ දේශපාලනික අපේක්ෂාව

කල දුටු කල වල ඉහ ගන්නාක් මෙන් මෙම වසංගත තත්ත්වය හමුවේ චීනයට ලෝක බලවතා වීමට භූ දේශපාලනික අවස්ථාවක් ලැබී ඇතැයි චීනය කල්පනා කරමින් සිටී. ලෝක බල භූ දේශපාලනය තුළ ඇමරිකානු හුදකලා ප්‍රතිපත්තිය හමුවේ ඇමරිකාවෙන් ගිලිහී යන නායකත්වය තමන්ට ලෝක බලවතාවීමට අවස්ථාවක් ලෙස චීනය සිතයි. එමෙන්ම ඔවුන් මෙය තම බලපෑම් ප්‍රදේශය පුළුල් කර ගැනීමට මහඟු අවස්ථාවක් ලෙස ද කල්පනා කරයි. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මා කලින් සඳහන් කළ පරිදි ජාත්‍යන්තර සහයෝගීතාවයන්ගෙන් ඉවත්ව හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ලෝක භූ දේශපාලනය තුළ තම නායකත්වය හකුළුවා ගනිමින් සිටින අවස්ථාවක චීනය වසංගතයෙන් බැට කමින් සිටින රටවලට (විශේෂයෙන් ම තුන්වන ලෝකයේ රටවලට) ගුවන් යානා මගින් මුහුණු ආවරණ (Protective Masks), වෛද්‍ය ඇඳුම් කට්ටල (Test Kits)" සංවාතකයන්, (Ventilators), ස්වසන උපකරණ (Respirators), සහ වෛද්‍යය කාර්යමණ්ඩල(Medicak Staff) ලබාදෙමින් කටයුතු කරයි. එමෙන්ම ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර ලබා දීමෙන් වැළකී සිටින මෙවන් අවස්ථාවක එම අවස්ථාව ද ප්‍රයෝජනයට ගනිමින් චීනය විසින් ඩොලර් මිලියන 50 ක ආධාර ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීම මගින්ද ඇමරිකාවෙන් ගිලිහෙන ජාත්‍යන්තර නායකත්වය චීනය වෙතට ළඟා කර ගැනීමට අපේක්ෂා කරමින් සිටින බව නො රහසකි. කෙසේ නමුත් අවසන් වශයෙන් කිව හැකි වන්නේ මෙම රැඟුම්කරුවන් දෙදෙනාටම අභ්‍යන්තරික වශයෙන් තම රටවල් මුහුණ දී ඇති ගැටලු සහගත තත්ත්වයන් හමුවේ ලෝක භූ දේශපාලනය තුළ වගකීම් සහිත සෘජු නායකත්වය ගැනීම්ට තරම් මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි.

චීනය හා ශ්‍රී ලංකාව

 අද වන විට බොහොමයක් දෙනා චීනය හා ලංකාව අතර පවතින දේශපාලන හා ආර්ථික සම්බන්ධතාව පිළිබඳ නොයෙකුත් ආකාරයේ මති මතාන්තර දක්වමින් සිටින කාලයක් වන බැවින් මෙම කලාපය තුළ මෙම රටවල් දෙක අතර පවතින්නා වූ සම්බන්ධතාව භූ දේශපාලනික වශයෙන් කෙසේ වැදගත්වේ ද? යන්න පිළිබඳව කෙටි අදහසක් හෝ දැක්වීම සුදුසු යයි සිතමු. ඉහතදී මා විසින් පෙන්වාදුන් පරිදි ලෝක භූ දේශපාලන පද්ධති න්‍යායට අනුව මෙහි චීනය යනු භූදේශපාලනික දඩයක්කරුවෙකු වන අතර එහි ග්‍රාහක පාර්ශවය වන අප භූ දේශපාලනික වශයෙන් ගොදුරක් බවට පත් වී ඇත .

චීනය විසින් තම භූ දේශපාලනික උපක්‍රමය ලෙස භාවිත කරන්නේ ගිවිසුම් හරහා ණය ලබාදීම සහ විදේශ ආයෝජන සිදු කිරීමආදියයි. ඒ හරහා කුඩා ආර්ථිකයන් හිමි රටවල් ඉතා සූක්ෂ්මව සූරාකෑමට ලක් කෙරේ. අද වන විට පකිස්ථානය, මියන්මාරය, කෙන්යාව, ග්‍රීසිය හා මැලේසියාව වැනි රටවල් චීනයෙහි ණය උගුලට හසු වී අවසන්ය. ශ්‍රී ලංකාව ද නුදුරු අනාගතයේදී එම ඉරණමට ලක් වීමට ඉඩ ප්‍රස්ථාවක් පවතින බව කිව හැකිය. එබැවින් ශ්‍රී ලංකාව චීනය සමග සම්බන්ධතා පැවැත්වීමේදී භූ දේශපාලනය පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්දයත් එය වටහා නොගත් ග්‍රීසිය වැනි රටවලට අවසානයේදී සිදු වූයේ චීනයෙහි ණය උගුලෙන් ගැලවීමට නොහැකි ව තම පෞරාණික වරායක් වූ පිරාවුස් චීනයට සින්නක්කරව ලියා දීමටය. චීනයෙහි නවතම හා දැවැන්තම ආර්ථික ප්‍රතිපත්තියක් නැතිනම් ව්‍යාපෘතියක් වන්නේ නව සේද මාවත (Belt and Road) සැලසුමයි. එමගින් ඔවුන් ලෝකය පුරාවට තම දේශපාලනල ආර්ථික හා සංස්කෘතික අරමුණු කැටිකරගත් බලපෑම් ප්‍රදේශය ප්‍රසාරණය කරමින් පවතී. ශ්‍රී ලංකාව ද එහි ප්‍රධානතම ඉලක්කගත වූ ගෝලීය ඒකකයක් බවට පත් වී ඇති හෙයින් අප මෙහිදී වඩාත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු ය. එමෙන්ම චීනය මේ වන විට ශ්‍රී ලංකාව සමග භූ දේශපාලනික ගනුදෙණුව සිදු කිරීමේදී ප්‍රධාන භූ දේශපාලනික උපාය මාර්ගය ලෙස කෝවිඩ් වසංගතය ඉතා සූක්ෂ්මව භාවිත කරන බවද අප සිහියේ තබා තබාගත යුතුය.

Top