කොරෝනාව හමුවේ යළිත් පණ ගැන්වුණු, ජීවයට රැකවරණය සලසන ඕසෝන් ස්ථරය (599)

post-title

මිහිපිට ජීවත් වන සෑම පුද්ගලයෙකුගේ ම ජීවය රඳා පවතිනුයේ සොබාදහම මත ය. එකී සොබාදහමේ සමතුලිත බව, ජීවීන්ගේ පැවැත්ම ද සමතුලිතව පවත්වා ගැනීමට ඉවහල් වනු ඇත. එසේ වුවත් නිරෝගී මිනිසුන්ගෙන් යුත් නිරෝගී මිහිතලයක් පිළිබඳ අවශ්‍යතාව අද වන විට ලෝකයාට සිහිපත් කිරීමට අවශ්‍ය වී ඇත. ඒ ගෝලීය උණුසුමෙන් ඔබ්බට ගොස් අද වන විට මිහිතලය දැවෙමින් මුලුමහත් ලෝකයක් ම අසරණතාවයට පත්වී ඇති නිසාවෙනි. කාර්මික විප්ලවය හේතුවෙන් ඇති වූ ශීඝ්‍ර සංවර්ධනය සමඟ සීමිත මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා පෙළඹීමෙන්, දැවෙන මිහිතලය සිසිල් කරන්නේ කෙසේද යන්න වර්තමානයේ අද වන විට ලෝකය හමුවේ පවතින්නා වූ දැවැන්ත අභියෝගයකි. එය ජය ගැනීමට නම්, මිනිසා දරනු ලබන ප්‍රයත්නයේ දී ඕසෝන් වියන රැක ගැනීම ද ඉතාමත් වැදගත් වේ.

එහිදී සෑම වසරක ම සැප්තැම්බර් 16 වැනි දිනට ජගත් ඕසෝන් දිනය ලෙස, මේ සඳහා ම දිනයක් නම් කොට ඇත්තේ ද මෙකී කාරණය මුලුමහත් ලෝකයක් හමුවේ පවතින්නා වූ දැවැන්ත අභියෝගයක් වන නිසාවෙන්ම ය. 1987 සැප්තැම්බර් 16 වැනි දින මොන්ට්‍රියල් ප්‍රඥප්තියට අත්සන් තැබීම ත් සමඟ 1994 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මතය යටතේ සෑම වර්ෂයක ම සැප්තැම්බර් 16 වැනිදා ජගත් ඕසෝන් දිනය ලෙස නම් කෙරිණි.

සූර්යයාගෙන් නිකුත් වන අහිතකර පාරජම්බුල විකිරණ මිහිතලයට පතිතවීම වැළැක්වීම මෙන්ම මිහිතලය සුරකින වියනක් ලෙස ක්‍රියා කිරීම ද ඕසෝන් ස්ථරය මඟින් සිදු කරනු ලබයි. මෙම ඕසෝන් ස්ථරය පෘථිවි වායුගෝලය තුළ නොමැති නම්, මිනිසාට පමණක් නොව කිසිඳු ජීවියෙකුට මේ මිහිපිට ජීවත් වීමට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ තරමටම පෘථිවිය මත පවතින ජීවය සහ ඕසෝන් වියන අතර පවතින සම්බන්ධය අති ප්‍රබල ය. එසේ වුවද මීට වසර 50කටත් පෙර සිටම කාර්මීකරණය වූ ලෝකය තුළ සිදු කරන නොයෙකුත් නිෂ්පාදනයන් ද ඇතුළු ව විවිධ වූ මිනිස් ක්‍රියාකාරකම් ද හේතුවෙන් වායුගෝලයට නිදහස් වන ක්ලෝරොෆ්ලොරෝකාබන් ^ CFC & සහ හයිඩ්‍රොෆ්ලොරොකාබන් ^ HFC & මඟින් මෙම ඕසෝන් ස්ථරයට හානි සිදුවීම සිදු විය. එමෙන්ම 70 දශකයේ දී විද්‍යාඥයන් පළ කළ මතයක් වූයේ මේ ආකාරයෙන් ඕසෝන් වියන තවදුරටත් විනාශ වුවහොත් 2030 වන විට මේ මුලු පෘථිවියෙන් ම ජීවින් තුරන් වන බව යි. ඕසෝන් වියනේ විනාශය මිනිසාට මෙන්ම පෘථිවියේ වෙසෙන සෑම ජීවියෙකුට ම ඍජුව ම බලපාමින් ලොව පුරා සමේ පිළිකාවන්ට ගොදුරු වන ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාම, මිනිසාගේ ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යාම, ගහකොළවල ඵ්ලදාව ශීඝ්‍රයෙන් පහත වැටී ආහාර හිඟයක් ඇති වීම සහ කාලගුණය දරුණු ලෙස ආන්තික වෙනසකට ලක් වීම ද සිදුවනු ඇත. මේ අනුව පෘථිවියේ සෑම අංශයකට ම ඕසෝන් වියනේ විනාශය බලපෑම් එල්ල කරන්නට විය. ඒ හේතුවෙන් ම මොන්ට්‍රියල් ප්‍රඥප්තියේ පාර්ශ්වකාර රටවල් 2016 ඔක්තෝබර් 15 වැනිදා ඇති කරගත් “ කිගාලි සම්මුතිය ” සහ “ වියානා සම්මුතිය ” යනාදී වූ සම්මුතීන් ඔස්සේ ද මෙම ඕසෝන් ස්ථරය සුරැකීමෙහිලා කටයුතු කරන ලදී. 

පසුව 2011 වන විට මෙවැනි අහිතකර වායූන් හේතුවෙන් ආර්ක්ටික් කලාපයට ඉහළ වායුගෝලයේ හටගෙන තිබූ විශාල ප්‍රමාණයේ ඕසෝන් සිදුරක් සම්පූර්ණයෙන් ම වැසී යාමේ පුවතක් ද වාර්තා විය. කෙසේවෙතත් නොබෝදා පසු වූ සැප්තැම්බර් 16 වැනි දින වන විට වර්තමාන Covid 19 වසංගතයේ බලපෑම හමුවේ මිනිසාට නිදහසේ හුස්ම ගැනීමට වැට බැදුන ද ඒ තුළින් පරිසරයට පමණක් නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාවක් උදාවිය. එහිදී කොරෝනා වසංගතයේ බලපෑමෙන් සම්පූර්ණයෙන් ම හුදෙකලා කළ සමයේ දී මානව ක්‍රියාකාරකම් අතිශය අවම වීම හේතුවෙන් පරිසරයට ලැබුණු විවේකය නිසා පෙර පැවති ඕසෝන් ස්ථරයෙහි සිදුර යළි යථා තත්ත්වයට පත්ව ඇති බව විද්‍යාඥයන් ද පවසන ලදී. මේ සඳහා ලොව කර්මාන්තශාලා බොහෝමයක් ඇනහිටීම ත් සමඟ වායුගෝලයට පිටවන අහිතකර වායූන් ප්‍රමාණය අඩුවීම ත් ප්‍රධාන වශයෙන් බලපාන ලදී. පෙර වර්ෂයන්හි ජගත් ඕසෝන් දිනය වන විට ලොව පවතින ඛේදනීය තත්ත්වයෙන් වෙනස් වී මෙවර 2021 වර්ෂයේ සැප්තැම්බර් 16 වන විට ලොව සාධනීය ප්‍රවණතාවයක් කරා ගමන් කොට ඇති බැව් එමඟින් අපට වැටහෙනු ඇත. 

ලොවක් වශයෙන් තම ධරණීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට නම් ඕසෝන් ස්ථරයෙහි යහපැවැත්ම තහවුරු කිරීම මෙන්ම හිතකර දේශගුණික තත්ත්වයන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ම වන්නකි. එහෙයින් සමස්ත පෘථිවියේ පැවැත්ම තීරණය කරනු ලබන එකී ඕසෝන් වියනෙහි ආරක්ෂාව මිහිතලය මත සිටින ජීවී වර්ගයාගේ පැවැත්ම තීරණය කරන බව වටහා ගනිමින් එය සුරැකීමට කටයුතු කිරීම මානව සංහතියේ යුතුකමක් මෙන්ම වගකීමක් ම වන්නේ ය.

Top