වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ කැස්බෑ සම්පත (417)

post-title

'' ඔබේ උරහිස් ඇටසැකිල්ල ඇතුළට ඔබාගන්න පුළුවන් කියා සිතා බැලුවොත් ඔබ යමක සිර වී ඇති ලෙස හැගෙයි. එහෙත් කැස්බෑවන් හරි පුදුම සත්තු ජාතියක්. ඔවුන්ට අතපය සියල්ල ඇතුළට දමාගත හැකි ජැකට්ටුවක් වැනි කටුවක් තිබෙනවා.''

ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා අංශයේ භාරකරු ආචාර්ය නිකොලස් ෆ්‍රේසර් දක්වන ආකාරයට කැස්බෑවුන් පැවත එන්නේ වසර මිලියන දෙසියයකට එහා අතීතයේ සිට ය. සාගර විද්‍යාඥයින්ගේ මතය වන්නෙ ඩයිනෝසර් ජීවීන් ජීවත් වූ ජුරාසික යුගය තුළ කැස්බෑවන්ගේ ප්‍රභවය ලැබූ බවය. මෙතෙක් හමු වූ අංග සම්පූර්ණ කැස්බෑ පොසිලය චීනයේ Guizhouපළාතෙන් සොයාගෙන ඇති අරත එය වසර මිලියන දෙසිය විසි අටක් පැරණි බව හඳුනාගෙන ඇත. මෙය 'චීනයෙන් හෙළිදරව් වූ හොටක් සහිත කැස්බෑවා'(Eorhynchochelyssinensis) යනුවෙන් හඳුන්වනු ලැබේ. ෆ්‍රේසර් දක්වන ආකාරයට මෙම කැස්බෑ පොසිලයේ 'කටුව පිහිටීමට අවශ්‍ය කොටස් පෙනෙන්නට තිබූ නමුත් කටුවක් නොවන අතර මෙම සත්ත්වයාගේ ඉදිරිපස සුවිශේෂි හොටක් පිහිටා තිබේ.' 

යුගල ඇඳක ප්‍රමාණයට වඩා විශාල වන මෙම පොසිලය විශේෂත්වය වන්නෙ කටුව නිර්මාණය වීමට අවශ්‍ය ලෙස කැස්බෑවාගේ ශරීරයේ කටු විහිදීමට ආරම්භ වී තිබීමයි. මෙයට පෙර හමු වී ඇති කැස්බෑ පොසිලවල කටුව පිහිටා තිබී ඇත. දීර්ඝායුෂ සහිත සත්ත්වයෙක් වන කැස්බෑවෝ අවුරුදු අසූවත් එකසිය විස්සත් අතර කාලයක් ජීවත් වේ. දිගුකාලයක් පුරාවට පරිණාමය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇති බැවින් පරිසරවේදීන් මොවුන් හඳුන්වන්නේ පෘථිවිය මත ජීවත්වන සාර්ථක ම ජීවි විශේෂය වශයෙනි. කැස්බෑවන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට අනුව වෙනස් වීමයි. උදෑසන සාගර දිය මතුපිටට පැමිණෙන කැස්බෑවෝ සූර්ය කිරණ මඟින් තම ශරීර උෂ්ණත්වය වැඩි කරගනු ලැබේ. පෙනහලු මඟින් ආශ්වාස ප්‍රශ්වාස කරන කැස්බෑවන් රාත්‍රිය අක්‍රීය ගෙවා දමන අතර ඒ සඳහා සාගර පත්ලේ පවතින පැලුම් හෝ ගුහා තෝරා ගනියි.

ජීවිත කාලය ම සාගර ජලයේ ජීවත්වන කැස්බෑවන් සංසර්ගයේ යෙදෙන්නේද සාගරයේ දී ය. එහෙත් බිජු ලෑමට පමණක් ගැහැනු කැස්බෑවන් වෙරළට පැමිණෙයි. මෙහිදී ගැහැනු කැස්බෑවකු පිරිමි කැස්බෑවන් කිහිපදෙනෙක් සමඟ සංසර්ගයේ යෙදෙනු ලැබේ. තමා සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමි කැස්බෑවන්ගේ ශුක්‍රාණු තම සිරුරේ ම ගබඩා කරගැනීමට ගැහැනු කැස්බෑවන්ට හැකියාව පවතියි.ගැහැනු කැස්බෑවන්ට ඩිම්බ සංසේචනය කිරීමට අවශ්‍ය විට එම ශුක්‍රාණු භාවිතයට ගනු ලැබේ. මෙහිදී ගැහරනු කැස්බෑවන්ගේ සිරුරේ සංසේචනය නොවූ බිත්තර දහසක් පමණ තිබිය හැක. ගැහැනු කැස්බෑවෝ සාගරයේ ඈත ඉමක සිටිය ද තමා උපන් වෙරළ සොයාගෙන තම බිජුලෑම සඳහා පැමිණෙති.මෙහි විශේෂත්වය වන්නේ මව් කැස්බෑවා උපන් වෙරළෙහි ම ඇයගේ කැස්බෑ පැටවුන් ද ජීවය ලැබීමයි. සාමාන්‍යයෙන් මාර්තු ඔක්තෝම්බර් මාසවල කැස්බෑවන් අතර සංසර්ග ක්‍රියිවලාය සිදුවන අතර ගැබ්ගත් ගැහැනු කැස්බෑවන් උපන් වෙරළට රාත්‍රී කාලයේ පැමිණ සෙන්ටිමීටර හතලිහක් පනහක් පමණ ගැඹුරු සිදුරක් ඔවුන්ගේ කවාකාර අත් මඟින් සාරනු ලැබේ.එක් එක් විශේෂයේ බිජු ගණනින් වෙනස් වුවද සාමාන්‍යයෙන් බිජු පනහත් තුන්සිය පනහත් අතර ප්‍රමාණයක් මෙම සිදුර තුළ ප්‍රසූත කරන කැස්බෑ මව්වරු පසුව එය වැලිවලින් වසා දමනු ලැබේ. මෙම ත්‍රියාවලිය සඳහා විනාඩි තිස්හයක පමණ වේලාවක් ගත වන අතර ඉන් පසු ගැහැනු කැස්බෑවන් බිත්තර තනිකර සාගරයට යනු ලැබේ. බිජුලන ගැහැනු කැස්බෑවෙක් සතුව පියවරු කීපදෙනෙක්ගේ පැටවුන් සිටීම තවත් විශේෂත්වයකි.



ගැහැනු කැස්බෑවන් බිත්තර දැමීමේ දී බිත්තරය තුළ වැඩෙන ජීවියාගේ ස්ත්‍රී පුරුෂ අනුපාතය සමතුලිත වන අයුරින් බිජුලෑමට අවශ්‍ය පාරිසරික සාධක කෙරෙහි අවධානය යොමු කරමින් බිජුලෑම සිදු කරයි. එහිදී බිත්තර දැමීමට සුදුසු ස්ථානයක් තෝරාගන්නා කැස්බෑ මව බිත්තර දැමීම සඳහා සාරන සිදුරේ ගැඹුරත් එහි හැඩයත් බිත්තර දමන ආනතියත් මත ස්ත්‍රී පුරුෂ බව තීරණය වේ.එසේ ම වැල්ලේ පවතින උෂ්ණත්වය මෙම ස්ත්‍රී පුරුෂ බව සඳහා තීරණාත්මක සාධකය වේ.පිරිමිකැස්බෑ පැටවෙකු බිහිවීමට වැල්ලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක විසිනමයට වඩා අඩු විය යුතු අතර ගැහැනු කැස්බෑ පැටවුන් බිහිවීමට එම උෂ්ණත්වය ඉක්මවිය යුතුය.කැස්බෑ මව්වරු මෙම විෂයෙහි ප්‍රාමාණිකයන් වන බැවින් ඔවුන්ගේ බිජු ලෑමේ ප්‍රතිඵල මත ස්ත්‍රී පුරුෂ අනුපාතය 1:1 ලෙස නිර්මාණය වේ.කැස්බෑ බිත්තර බිඳීමට මාස දෙකක් පමණ ගත වන අතර ඉන් ජීවය ලබන පැටවුන් සිදුරෙන් මතුපිටට පැමිණ සාගරය දෙසට ගමන් කරනු ලැබේ.මෙලෙස වෙරළින් සාගරයට යන කැස්බෑ පැටවුන් පැය හතලිස් අටක් පමණ එකදිගට පිහිනනු ලැබේ.මෙය 'බාලක උන්මාදය'(Juvenille frenzy) යනුවෙන් හඳුන්වනු ලැබේ.මෙහිදී සිදුවන්නේ ස්වභාවික පරිසරය විසින් ම දුර්වලයන් විනාශ කර ශක්තිවන්තයන් ඉතිරි කිරීමයි. විලෝපිකයන්ගේ ආහාර බවට පත්වීමෙන් ද වෙනත් පරිසර සාධක හේතුවෙන් ද කැස්බෑ පැටවුන් මෙම කාලය තුළ මිය යා හැක.මෙම පැය ගණන පිහිනා අවසන් කර ජීවත් වන කැස්බෑ පැටවුන් ඉන්පසු ආහාර සොයායාම ආරම්භ කරයි.මෙම කාලය තුළ කැස්බෑ පැටවුන් තම ජෛව පද්ධතියට ජීවිත කාලය පුරා සංචරණය සඳහා අවශ්‍ය වන පෘථිවියේ චුම්භක පද්ධතිය ග්‍රහණය කරගැනීම සිදු කරගනු ලැබේ.මෙම සාධක සියල්ල සපුරමින් සාගරයේ ජීවත්වන කැස්බෑ පැටවුන්ගෙන් දහසකින් එක් පැටවෙක් පමණ ලිංගික පරිණතභාවයට පත්වන අතර ඔහු දීර්ඝායුෂ භුක්ති විඳියි.

ලෝකයේ කැස්බෑ විශේෂ ප්‍රධාන වශයෙන් හතක් හඳුනාගෙන ඇත.

1.ගල් කැස්බෑවා 

කළු මුහුදු කැස්බෑවා,හරිත කැස්බෑවා වශයෙන් හඳුන්වන මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Cheloniamydasවේ.

2.දාර කැස්බෑවා

මොවුන් උතුරු ඇලස්කාවේ,නෝර්වේ මුහුදු අවට,අප්‍රිකානු කලාපයේ,නවසීලන්තයේ සහ ඉන්දියානු කලාපයේ දැකගත හැකිය.මොවුන් Dermochelyscoriaceaයන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ.

3.පොතු කැස්බෑවා

Eretmochelysimbricate යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මොවූහු අත්ලාන්තික් ,ඉන්දීය සහ පැසිෆික් සාගර කලාපවප ජීවත් වේ.

4.ඔළුගෙඩි කැස්බෑවා

Carettacarettaයන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම කැස්බෑ විශේෂය දැකගත හැක්කේ අත්ලන්තික් කලාපයේත්,මධ්‍යධරණී කලාපයේත් ඉන්දියානු කලාපයේත් ය.නවසීලන්තය ඕස්ට්‍රේලියාව යන රටවල් ආශ්‍රිතව ද මොවුන් දැකගත හැකිය.

5.බටු කැස්බෑවා

ඉන්දියානු කලාපයෙත්,පැසිෆික් කලාපයෙත්,අරාබිය,දකුණු අප්‍රිකාව,ජපානය ආශ්‍රිතවත් දැකගත හැකි මෙම කැස්බෑවන් Lepidochelysolivaceaයන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.

6.ෆ්ලැට්බ්ලැක් කැස්බෑවා 

මොවුන් ඕස්ට්‍රේලියාවට ආවේණික කැස්බෑ විශේෂයක් වන අතර පැපුවා නිව්ගිනියා වෙරළ කලාපවල දැකගත හැකි ය.

7.කෙම්ප්ලි රිඩ්ලි කැස්බෑවා 

අත්ලන්තික් මුහුදු කැස්බෑවා යනුවෙන් හඳුන්වන මෙම කැස්බෑ විශේෂය දැඩි වඳවීමේ තර්ජනයට ලක් වී ඇත.අඩි දෙකක් පමණ දිගට වැඩෙන මෙම කැස්බෑ විශේෂයේ බර පවුම් සියයක් පමණ වේ.මොවුන්ගේ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර මොවුන් නොගැඹුරු ජලයේ ජීවත් වෙමින් කකුළුවන් ආහාරයට ගනියි.

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය සාගර කැස්බෑවන් සඳහා ඉතා වටිනා පරිසරයක් වේ.ලෝකයේ වාසය කරන කැස්බෑ විශේෂ හතෙන් පහක් ම ලංකාවේ වෙරළ කලාපයේ බිජුලෑමට පැමිණෙන්නේ මේ පරිසර කලාපවල සුවිශේෂි බව හේතුවෙනි.ඒ අනුව ලංකාවේ 

දාර කැස්බෑවා

ගල් කැස්බෑවා

ඔළුගෙඩි කැස්බෑවා

පොතු කැස්බෑවා

බටු කැස්බෑවා

යන විශේෂ පහ හඳුනාගත හැකි ය.ලංකාවේ දකුණු වෙරළ තීරයේ මිරිස්ස, වැලිගම, හබරාදූව, හම්බන්තොට, අංගොඩ, රැකව, බූන්දල ජාතික උද්‍යානයේ දකුණු සීමාව, ඉඳුරුව, කොස්ගොඩ, බලපිටිය යන ප්‍රදේශවල ද මන්නාරම වෙරළ තීරය ද නැගෙනහිර කුච්චවේලි සිට කෝකිලායි දක්වා ද කච්චතිව් වෙරළ කලාපය ද යාපනය අර්ධද්වීපය තුළ ද කැස්බෑවන් බිජුලෑම සිදු කරයි.

දාර කැස්බෑවා ( Leather-Back turtle)

 දකුණු පළාතේ 'නැව් කැස්බෑවා' වශයෙන් හඳුන්වන මොවුහූ තෙල් කැස්බෑවා,වවුල් කැස්බෑවා ලෙස ද හඳුන්වයි.2.5m පමණ දිගින් යුතු මොවූහු පිටෙහි දාර වැනි ස්වභාවයක් දැරීම හේතුවෙන් දාර කැස්බෑවා ලෙස හඳුන්වයි.මොවුන්ගේ පිටත කටුව ඝනකමින් වැඩි සමකින් වැසී ඇත.බර 600Kg පමණ වන මෙම කැස්බෑවන් කැස්බෑ විශේෂ අතර විශලෙ ම වර්ගය ලෙස දැකගත හැක.මොවුන්ගේ ප්‍රධාන ආහාරය සාගරයේ සිටින ජෙලෆිෂ් වේ.මේ හේතුවෙන් සාගරයේ ජෙලිෆිෂ් ගහනය පාලනය වේ.ඊට අමතර ව මාළු,ඉස්සන්,කකුළුවන්,පොකිරිස්සන්,මුහුදු බෙල්ලන්,දැල්ලන් සහ ඇල්ගී විශේෂ ද ආහාරයට ගනියි.මොවුන්ගේ ගැහැනු කැස්බෑවන් බිජුලෑම සඳහා ඉතා ගැඹුරට සාරන අතර එහි බිජු එකසිය තිහක් පමණ ප්‍රසූත කරනු ලැබේ.එක් බිත්තරයක් 5cm ක් පමණ වේ.ලොව වේගවත් ම කැස්බෑ විශේෂය වන මොවූහූ ආහාර සඳහා ගොදුරු සොයමින් සාගර කලාපවල කිලෝමීටර දහස් ගණනක් දුර ගමන් කරනු ලැබේ.ශරීර උෂ්ණත්වය පාලනය කළ හැකි නිසා සීතල සාගරවල පවා මොවුන් ගමන් කරනු ලැබේ.එසේ ම 1200m ක් තරම් සාගර ගැඹුරට ගමන් කළ හැකි අතර ලංකාව ආශ්‍රිත ව සියයක පමණ ජීවි ප්‍රමාණයක් වාසය කරයි.

ගල් කැස්බෑවා(Green Sea turtle) 

වැලි කැස්බෑවා,මස් කැස්බෑවා යන නාමවන්ගෙන්ද හඳුන්වන මෙම කැස්බෑ විශේෂය රතු දත්ත පොතට අනුව වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇත.නිවර්තන කලාපයේ දූපත් ආශ්‍රිත ව බහුල ව දැකගත හැකි අතර වසර පුරා ම බිජුලෑම සිදු කරයි.වරකට බිත්තර 100-175 අතර ප්‍රමාණයක් ප්‍රසූත කරන අතර මොවූහු ඔලිව් කොළ,දුඹුරු වර්ණ මිශ්‍ර කටුවකින් සමන්විත වී ඇත.180Kg පමණ බරකින් යුතු මොවූහු මීටරයක් පමණ දිගට වැඩෙයි.කුඩා කළ මාංශ භක්ෂකයන් වුව ද වැඩෙන විට ඇල්ගී වැනි ශාක මත යැපෙමින් ශාකභක්ෂකයන් වේ.මොවුන්ගේ ගැහැනු සත්ත්වයා පිරිමි සත්ත්වයාට වඩා විශාල වේ.මොවුනට සෙසු කැස්බෑවන්ට මෙන් වකුටු හොටයක් නැත.මොවුන්ගේ කටුවට යටින් කොළ පැහැ මේද ස්ථරයක් පවතින අතර එය සුප් වර්ග සැකසීමට යොදාගැනීම මොවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වී ඇත.

ඔළුගෙඩි කැස්බෑවා (Logger-head turtle)

 විශාල හිස සහ රතු දුඹුරු පැහැය හේතුවෙන් කැපී පෙනෙන මෙම කැස්බෑ විශේෂය 1.2m තරම් දිගට වැඩෙයි.ඉතා දුර්ලභ විශේෂවක් වන මොවුන් ලංකාවේ දකුණු සහ ගිනිකොණදිග වෙරළ කලාපයේ දැකගත හැක.වරකට බිත්තර 175ක් පමණ ප්‍රසූත කරයි.කලපු,මෝය,මුහුදු බොකු ආශ්‍රිත ව ජීවත් වන මොවූහු මොලුස්කාවන් ආහාරයට ගනියි.මොවුන්ගේ හිස විශාල වීම නිසා ඔළුගෙඩි කැස්බෑවා ලෙස ද අතීතයේ කණ්ණාඩි රාමු සැකසීමට මොවුන්ගේ කටු යොදාගැනීම නිසා කණ්ණාඩි කැස්බෑවා ලෙස ද හඳුන්වනු ලැබේ.180Kg බරකින් යුතු මොවුන් අවුරුදු 17ත් 33ත් අතරදි ලිංගික ව පරිණත වන අතර අවුරුදු 47-67 අතර කාලයක් ජීවත් වේ

පොතු කැස්බෑවා (Hawksbill turtle) 

ආකර්ෂණීය ම කැස්බෑ විශේෂයක් වන මොවූහු ගල්පර,මෝය,කලපු ආශ්‍රිත ව ජීවත් වේ.ගල්මාලු,ඇල්ගී,ආහාරයට ගන්නා අතර මොවුන්ගේ මාංශ විෂ සහිත වේ.මුඛයේ යටි ඇන්ද ඉදිරියට නෙරා ගොස් උකුස්සකුගේ හොටය සේ පැවතීම නිසා උකුසු හොට කැස්බෑවා ලෙස ද හඳුන්වයි.මොවුන්ගේ කටුව ආභරණ සහ පනා සඳහා යොදා ගැනීම නිසා වඳවීමේ තර්ජනයට ලක් වී ඇත.අතීතයේ ලංකාවෙන් රෝම අධිරාජ්‍යය වෙත යැවූ ප්‍රධාන ම වෙළඳ භාණ්ඩය ලෙස කැස්බෑ ලෙලි දැක්විය හැක.

බටු කැස්බෑවා (Olive ridley turtle) 

බරින් සහ ප්‍රමාණයෙන් කුඩා ම කැස්බෑ ජීවියා වන මොවුන් ප්‍රමාණයෙන් 80cm පමණ වේ.මොවුනට ආවේණික වූ වකුටු වූ උඩු ඇන්දක් පිහිටා ඇත.40Kg පමණ බරින් යුතු අතර මුහුදට ඉතා ආසන්නව බිජුලෑම නිසා සාගරයට බිත්තර ගසාගෙන යාමෙන් බිත්තර රැකගැනීම අපහසුය.

ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද කැස්බෑවන් සංරක්ෂණයට කටයුතු සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් සංවිධාන බිහිවීමත් නීතිරීති පැනවීමත් සිදු වී ඇත.ජාත්‍යන්තර කැස්බෑ සංරක්ෂණ ප්‍රඥප්තියට ලංකාව අත්සන් තබා ඇති අතර ලංකාව තුළ කැස්බෑවන් මැරීම නීතියෙන් තහනම් වේ.කැස්බෑ ගහනය බහුල කලාප ආශ්‍රිත ව ලංකාවේ සංරක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර ඒවායෙන් ආබාධිත කැස්බෑවන් සංරක්ෂණය,පුනරුත්තාපනය සහ සුව කිරීම සිදු කරනු ලැබේ.එහෙත් නීතිවිරෝධී වශයෙන් පවත්වාගෙන යන සංරක්ෂණ මධ්‍යස්ථාන ද පවතින අතර මේවා සංචාරක ව්‍යාපාරය අරමුණු කරන බැවින් කැස්බෑවන් මේවා තුළ දැඩි හිරිහැරවලට ලක්වනු දැකගත හැක.විශේෂයෙන් ගැහැනු කැස්බෑවන් බිජූලෑ පසුව මොවුන් එම බිජු ගෙනැවිත් නැවත සංරක්ෂණය කිරීමට යාම නිසා 1:1 අනුපාත විය යුතු ස්ත්‍රී පුරුෂ බව වෙනස් වී 97% පිරිමි කැස්බෑවන් නිර්මාණය වේ.මෙය කැස්බෑවන් වඳවීමට බෙහෙවින් බලපා ඇත.එසේ ම ධීවර කර්මාන්තය,අනිසි කසළ බැහැර කිරීම්,සංවර්ධන කටයුතු වැනි මානව ක්‍රියාවන් හේතුවෙන් කැස්බෑවන් වඳ වීම ශීඝ්‍ර වී ඇත.ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් දැඩි ව ක්‍රියාත්මක කළ යුතුය.


ලියන්න අපිට

ඔබට ලිවීම සම්බන්ධව හීනයක් තිබේ ද? ඒ හීනය විකසිත කර ගන්නට ඉඩක් අවශ්‍ය ද? තාක්ෂණය දියුණු ලෝකයක මුද්‍රිත පත්තර පිටුවලට වඩා දැන් ඩිජිටල් මාධ්‍යය වේගයෙන් දියුණුව ඇත. එබැවින් මෙතැන් සිට අපි ඔබට, ඔබේ හරබර සංස්කෘතික - කලා ලියැවිලි උදෙසා ඩිජිටල් අවකාශයේ ඉඩක් තනා දෙන්නට සූදානම් ය. ඉතින්, රහට ලියන ඔබ ට අපේ ඩිජිටල් අවකාශයේ ඒ ලියමන් පළකර ගන්නට අවැසි නම් පහත විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ අපට එවන්න. ඔබේ ලියමන් පිළිගන්නට වචන.lk කාර්‍ය මණ්ඩලයත් මේ ඩිජිටල් අවකාශයත් මගබලමින් ය.

Top