1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරට ස්ථාපිත කරනු ලැබූ ජනාධිපති ධූරය වෙත අතිවිශාල බලතල ප්‍රමාණයක් කේන්ද්‍ර ගත කර තිබුණි. විශේෂයෙන්ම, අධිකරණය, රාජ්‍ය සේවය, පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම තමන්ට අභිමත ආකාරයට හැසිරවීමට හැකි වන අන්දමට කිසිදු ආකාරයකින් සංවරණයකට ලක් නොවූ පුළුල් බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයාට ලබා දී තිබුණි.
කෙසේ නමුත්, 2015 දී ගෙන ආ 19 වන සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධූරයේ ඇති අත්තනෝමතික බලතල සංවරණයට ලක් කරමින් ජනාධිපති ධූරය වඩාත් ප්‍රජාතාන්ත්‍රිකරණයට ලක් කල ද වර්ෂ 2020 දී පැන වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වන සංශෝධනය තුලින් ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා නැවත වතාවක් රාජ්‍ය සේවය, අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම තමන්ට අභිමත ආකාරයට පාලනය කිරීමට අවශ්‍ය නෛතික ඉඩ ප්‍රස්ථාව ජනාධිපතිවරයාට ලබා දුනි. මෙවැනි තත්ත්වයක් තුළ නැවතත් විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට සහ විධායක ජනාධිපති ධූරයේ බලතල සංවරණය කළ යුතු බවට දැඩි විවේචන දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉදිරිපත් විය.
2022 වසරේදී රටේ සිදු වූ ජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස 21 වන සහ 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ 21 වන සංශෝධනයේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අනුමැතියට අමතර ව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියත් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය. මේනිසා, සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අතරමග ඇනහිටුණි. ඉන්පසු ව එවක අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂගේ මූලිකත්වයෙන් කෙටුම්පත් කළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය 2022 අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි තෙවනවර කියවීම අවසානයේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 174ක් ලැබුණු අතර විපක්ෂ ව එක් ඡන්දයක් හිමි විය. ඒඅනුව, 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත විය. 2022 ඔක්තෝම්බර් 31 වන දින එය කථානායකවරයා විසින් සහතික කළ අතර කථානායක සහතිකයෙන් පසු ව එය 21 වන සංශෝධනය ලෙස මෙරට තුළ ක්‍රියාත්මක වීම ආරම්භ විය.
21 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ පත්කිරීම් සම්බන්ධ බලතල සංවරණයට ලක් කර කොමිසම් සභා යලි බලාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති පෙනේ. 20 වන සංදෝධනයට වඩා ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 21 වන සංශෝධනය හඳුන්වා දිය හැකිය. 21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පහත සඳහන් ආකාරයට විස්තර කළ හැකිය.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීම.
- 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කර එයින් ජනාධිපතිගේ අතැම් පත්කිරීම් සම්බන්ධ බලතල සංවරණය කර තිබුනි. නමුත්, 20 වන සංශෝධනය මගින් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා පාර්ලිමේන්තු සභාව නම් ආයතනයක් ස්ථාපිත කලේය. නමුත්, එම පාර්ලිමේන්තු සභාව තුලින් ජනාධිපතිගේ බලතල සංවරණයකට ලක් වූයේ නැත. 21 වන සංශෝධනයෙන් නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කර ඇත. කෙසේ නමුත්, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අන්තර්ගතය දෙස බැලීමේදී පෙනී යන්නේ එය 19 සංශෝධනයෙන් ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අන්තර්ගතයට වඩා තරමක් වෙනස් වන බව යි. 21 සංශෝධනයෙන් පිහිට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනෙකි. එම දහදෙනා පත් වන්නේ පහත සඳහන් ආකාරයට ය.
- අගමැති, කථානායක, විපක්ෂ නායක නිල බලයෙන් ම පත් වේ.
- ජනාධිපතිවරයා විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
- ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බහුතරයේ එකඟත්වයෙන් නාමයෝජනා
කරනු ලබන, ජනාධිපති විසින් පත් කරන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
- විපක්ෂ නායකවරයාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයේ එකඟත්වයෙන් නාමයෝජනා
කරනු ලබන, ජනාධිපති විසින් පත් කරන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
- අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් කථානායකවරයා විසින් නාමයෝජනා කරනු
ලබන, ජනාධිපති විසින් පත් කරන තැනැත්තන් තිදෙනෙක්.
- ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ විපක්ෂ නායකවරයා අයත් වන
දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ
එකඟත්වයෙන් නාමයෝජනා කොට ජනාධිපති විසින් පත් කරන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන්නේ කථානායකවරයා ය. අගමැතිවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් නම් කරන තැනැත්තන් පස්දෙනාගෙන් වෘත්තීය සහ සමාජයීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකිය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය සභාවෙන් පිළිබිඹු වන බවට සහතික විය යුතුය. අගමැති හා විපක්ෂ නායකගේ එකඟත්වයෙන් කථානායක විසින් නම් කරන තැනැත්තන් තිදෙනා කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවිය යුතු අතර ඔවුන් වෘත්තීය ජිවිතයේදී කීර්තියට පත් පුද්ගලයන් විය යුතුය. එම සිවිල් පුරවැසියන් තිදෙනාගේ නාමයන් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකදී ද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ධුර කාලය තුනක් වන අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිට බලය හිමි වේ. ජනාධිපති විසින් පත් කරන අනෙක් සාමාජිකයින් හයදෙනාගේ ධුර කාලය ද වසර තුනකි. මෙසේ ජනාධිපති විසින් සභාවට පත් කරන සාමාජිකයකු නැවත සභාවට පත් කළ නොහැකිය. සභාවට මහ ලේකම්වරයෙක් සිටින අතර වසර තුනක ධූර කාලයක් සඳහා පත් කරනු ලැබේ. සභාව විසින් මාසයකට දෙවරක් වත් රැස් විය යුතු අතර සභාපතිවරයාගේ විධානය මත සභාවේ මහ ලේකම්වරයා විසින් සභාවේ රැස්වීම් කැඳවිය යුතුය. සභාවේ රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේ සභාපති කථානායකවරයා ය. කථානායක නොමැති අවස්ථාවක අගමැතිවරයා ද, අගමැති නොමැති අවස්ථාවකදී විපක්ෂ නායකවරයා ද රැස්වීම්වල මුලසුන දැරිය යුතුය. මුලසුන දරන්නාට තීරක ඡන්දය හිමි වේ. සභාව විසින් ඒකමතික ව තීරණ ගැනීමට උත්සහ දැරිය යුතු අතර යම් හෙයකින් ඒකමතික තීරණයක් ගැනීමට නොහැකි වුවහොත් සභාවේ රැස්වීමට පැමිණ සිටින සාමාජිකයින් පස් දෙනෙකුගේ අනුමැතිය මත ඕනෑම තීරණයක් ගත හැකිය. සභාව පූර්ණ වශයෙන් ස්ථාපිත නොවුවද, පුරප්පාඩුවක් තිබුන ද එය නොතකා ක්‍රියා කිරීමට බලය ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සෑම මාස තුනකට වරක් ම එහි සිදුවන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. තවද, සභාව විසින් දරනු ලබන වියදම් රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතුය. සභාව විසින් ගනු ලබන තීරණයක් ප්‍රශ්න කිරීමට කිසිදු අධිකරණයකට බලයක් හිමි නොවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරහා ප්‍රධාන වශයෙන් ම සිදු වූයේ ජනාධිපතිගේ පත්කිරීම් සම්බන්ධ බලතල සංවරණයට ලක් කිරීම යි. 21 සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් කොමිසම් සභා සාමාජිකයින් සහ සභාපතිවරුන් පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ය. මේ අනුව,
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව
වැනි පත් කිරීමේදී ජනාධිපතිවරයාට අභිමත ආකාරයට කටයුතු කළ නොහැකිය. එමෙන්ම, උප ලේඛනයේ පළමු කොටසේ සඳහන් ,
- ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අනෙක් සාමාජිකයින් පත් කිරීමේදී මෙන් ම
- නීතිපති, විගණකාධිපති, මහ බැංකු අධිපති පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා
යන ධූර
පත් කිරීමේදී ජනාධිපතිවරයා වීසින් එම ධූර සඳහා නාමයන් නිර්දේශ කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම නිර්දේශ කරන නාමයන් අනුමත කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් තොර ව එම ධූර සඳහා කිසිදු පත් කිරීමක් සිදු කිරීමට ජනාධිපතිට බලයක් නොමැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීමට අනුමැතිය ලබා දීමේදී සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබා ගත යුතුය.
21 වන සංශෝධනයේ ඉතිරි කොටස දෙවෙනි ලිපියෙන් කියවන්න.