වර්ෂ 1898 පෙබරවාරි මස දහවන දින සොෆී බ්‍රෙට්සින් සහ බ්‍රෙෂ්ට්ට දාව ඉයුජීන් බර්ටෝල්ට් ෆ්‍රෙඩ්රික් බ්‍රෙෂ්ට් උපත ලැබුවේය. ඒ ජර්මනියේ මියුනිච්හි Augusburgනම් උපනගරයේ ය. බ්‍රෙෂ්ට්ගේ මව ප්‍රොතෙස්තන්තවාදියෙක් වූ අතර පියා කඩදාසි කම්හලක සාමාන්‍ය සේවකයෙක් විය. 1920 වනවිට සොෆී බ්‍රෙට්සින් මිය ගිය අතර බ්‍රෙෂ්ට්ගේ පියා පසු කාලීන ව එම කම්හලේ අධ්‍යක්ෂ ධූරය දක්වා පියමං කළේ ය. උපතින් කතෝලිකයෙකු වූ බ්‍රෙෂ්ට් හට ළමා කාලය තුළ අඟහිඟකම්වලින් තොර වඩා යහපත් ජීවන තත්ත්වයක් පැවත ඇත. Augsburgහි භාෂා පාසලක ළමා අධ්‍යාපනය හැදෑරූ බ්‍රෙෂ්ට් තම සාහිත්‍ය දැනුම වර්ධනය කර ගැනීමට මූලාශ්‍ර කොට ගත්තේ තම මිත්‍රයන් සමඟ ඇති කරගත් සාකච්ඡාවන් වේ. පාසල් අධ්‍යාපනය නිම කළ බ්‍රෙෂ්ට් රිආල් ජම්නාසියුම් නැමැති ක්‍රීඩා පාසලකට ඇතුළත් ව ශරීර අභ්‍යාසවලට නැඹුරු විය. අසීමිත ව ශරීර අභ්‍යාසවල නියුතුවීම හේතුවෙන් හෘදය රෝගයට ගොදුරුවන බ්‍රෙෂ්ට් පසුව මියුනිච් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍ය විද්‍යාව හදාරන ලදි. වයස අවුරුදු දහහත වනවිට එනම් වර්ෂ 1917 දී ඔහු විසින් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලදි. තමා උපන් නගරයේ ම හමුදා රෝහලේ වෛද්‍යවරුන් යටතේ සේවය කළ බ්‍රෙෂ්ට් තුවාලවලට බෙහෙත් දැමීම ,බෙහෙත් එන්නත් කිරීම පමණක් නොව සැත්කම් සඳහාද සම්බන්ධ විය. වසර දෙකක සේවා කාලයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මියුනිච්හි ලුඩ්වින් මැක්සිමිලියන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන බ්‍රෙෂ්ට් එහි ස්වභාවික විද්‍යාවන් හැදෑරීම අරඹන ලදි.
එවකට සම්භාව්‍යය, සම්මත යැයි සලකන ලද බොහෝ දෑ බ්‍රෙෂ්ට් විසින් ප්‍රතික්ෂේප කළ අතර ආදි අසම්මත ප්‍රංශ කවීන් ලෙස සැලකූ Villon,Rimaud,Verlaineයනාදීන් වෙත නැඹුරු විය. ජර්මනිය තුළ අසභ්‍ය යැයි සලකන ලද ගීත නිතර ඔහුගේ දෙතොලතර ගැයුණු අතර ම ගිටාරය ඔහුගේ සමීපතම මිතුරෙක් බවට පත්විය. බ්‍රෙෂ්ට් නාට්‍ය කලාව වෙත නැඹුරුවීම ආරම්භ වන්නේ විශ්ව විද්‍යාල ජීවිතයත් සමඟ ය. මහාචාර්ය Arthur Kutsherගේ නාට්‍ය සම්මන්ත්‍රණ කෙරෙහි වැඩි ඇල්මක් සහිත මෙම තරුණයා එම සම්මන්ත්‍රණ සඳහා නිරතුරුව සහභාගි විය. 1919 දී රෝසලෙක්සම්බර්ග් සහ කාල් ලිඛීත්නෙවිට් ඝාතනයට ලක් විය.එම ඝාතනවලට විරුද්ධ ව ඇති වූ විරෝධතාවලට බ්‍රෙෂ්ට්ද සම්බන්ධ විය. 1926 කාලය වනවිට බ්‍රෙෂ්ට් මාක්ස්වාදී චින්තනය කෙරෙහි දැඩි ලෙස ආකර්ෂණය වූවද ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේ නැත. එහෙත් බ්‍රෙෂ්ට්ගේ සිතැඟිවලට අනුව සාමාජීය ගැටලු රාශියකට මාක්ස්වාදය පිහිට වන වග ඔහු විස්වාස කළේය. මෙම වසරේ ම කුර්ට් අයිස්නර්ගේ මරණයට එරෙහි ව ඇරඹුණු විරෝධතාවලට දැඩි මර්දනයක් ඇතිවීමත් සමඟ බ්‍රෙෂ්ට් නැවතත් අධ්‍යාපනය වෙත අවධානය යොමු කරන ලදී.
1919 වර්ෂයේදී paulaBanhoolzerට දාව Frank නම් පුතෙක් විවාහයකින් තොර ව ලබන බ්‍රෙෂ්ට් 1922දී ඔපෙරා ගායිකාවක් වූ Marianne Zoffiසමඟ විවහා වී දියණියක ලැබුවේය. 1927දී Zoffiගෙන් දික්කසාද වන බ්‍රෙෂ්ට් 1929 දී Helen Weigelසමඟ විවහා විය. බ්‍රෙෂ්ට් විසින් රචනා කරන ලද [The Mother (Die Mutter)] නම් නාට්‍යයේ 1932දී ප්‍රධාන චරිතය ලෙස රඟපානෙ ලද්දේ හෙලන් විසිනි. මෙය මක්සිම් ගෝර්කි විසින් රචනා කළ 'අම්මා' නම් නවකතාව ඇසුරු කරගෙන නිර්මාණය විය. 1923දී බ්‍රෙෂ්ට් විසින් රචනා කළ 'මැරුණු සෙබළාගේ කතාව'නම් කාව්‍ය හේතුවෙන් ඔහුව හිට්ලර්ගේ කළු ලැයිස්තුවට ඇතුළත් විය. නාසි පාලනය තුළ බ්‍රෙෂ්ට්ගේ මතවාද බොහෝවිට එයට ප්‍රතිවිරුද්ධ වීම නිසා ඔහුට බොහෝ කරදර සිදුවිය. Dia Mutter නාට්‍යය 1932 දී ෂිප් බච්වර්ඩම් රඟහලේ රඟ දැක්වූ අතර පසුව මෝ ආබිටර් ගෙෂෙල් ෂාෆ්ට් රඟහල තුළද රඟ දැක්වීමට කටයුතු යෙදුණි. එහෙත් එය පොලිසිය විසින් තහනම් කළ ද කම්කරුවන් ඉඳිරියේ එහි දෙබස් කියවීම සිදු කෙරුණි. 1933දී රයිෂ්ටාග් පාර්ලිමේන්තුව ගිනි තැබීමේ වරද හිට්ලර් විසින් කොමියුනිස්ට්වාදීන් වෙත බැර කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කොමියුනිස්ට්වාදීන් අත්අඩංගුවට ගැනීමත්, ඝාතනය කිරීමත් සිදුවිය. ජර්මනිය එම වකවානුව වනවිට බ්‍රෙෂ්ට්හට අනාරක්ෂිත වීම හේතුවෙන් 1933 පෙබරවාරි 28 වනදා තම බිරිඳ සහ දරු දෙදෙනා සමඟින් මොහු රට හැර ගිය අතර එම වසරේ මැයි මස 10වනදා හිට්ලර්ගේ පාලනය විසින් බ්‍රෙෂ්ට්ගේ පොත් ගිනි තබා විනාශ කරන ලදි.
ජර්මනිය හැර යන බ්‍රෙෂ්ට් ප්‍රාග්, සූරිච්හි යන නගරවල නවාතැන් ගෙන ඩෙන්මාර්කයේ නැවතුණි. එහිදී නාසිවාදයටත්,ෆැසිස්ට්වාදයටත් විරුද්ධ ව ක්‍රියාත්මක වූ බ්‍රෙෂ්ට් The Seven Deadly Sins නම් බැලේ නාට්‍යය රචනා කළේ ය. 1935 වනවිට හිට්ලර්ගේ පරිපාලනය විසින් බ්‍රෙෂ්ට්ට ජර්මන් පුරවැසිකම අහිමිකරන ලදි. රටින් රට යමින් මෙම කාලය තුළ මොහු විවිධ කලා කටයුතුවල නිරත වූ අතර 1938දී Life of Galileo නාටකය රචනා කළේය. එම වසරේ ම අගභාගයේදී 'Mother Courage and Her children' නාටකය ද රචනා කළේය. අනතුරුව පින්ලන්තයට ගිය බ්‍රෙෂ්ට් එහිදී 'පුන්තිලා' නාට්‍යය නිර්මාණය කළේ ය.1941 දී තම පවුලේ පිරිස සමඟ ඇමරිකාවට සංක්‍රමණය වූ මොහු එහි වූ නළුනිළියන් සමඟින් රංගන කටයුතුවල නිරත විය.1945 දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුවද බ්‍රෙෂ්ට් ජර්මනිය වෙත නොගියේ ය. ඇමරිකාවෙ ම විසූ ඔහුට ඇමරිකාව තුළ කොමියුනිස්ට්වාදීන් මර්දනය කිරීමේ ව්‍යාපාර යටතේ පැවති දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නට සිදුවිය. එහිදී උපක්‍රමශීලී ලෙස කටයුතු කළ බ්‍රෙෂ්ට් තමාට එල්ල වූ චෝදනාවලින් නිදහස් විය. 1947 දී ඇමරිකාව හැරයන බ්‍රෙෂ්ට් ස්විට්සර්ලන්තයට ද පසු ව බර්ලිනයට ද පැමිණෙන අතර ඒ වනවිට බර්ලිනය බටහිර නැගෙනහිර වශයෙන් බෙදා තිබුණි. බ්‍රෙෂ්ට් එහි දී කොමියුනිස්ට් පාලනයක් සහිත නැගෙනහිර බර්ලීනය වාසයට තෝරාගත් අතර එහි පාලනය විසින් බ්‍රෙෂ්ට්ට අවශ්‍ය පහසුකම් සපයන ලදි. 1949 දී 'Berliner Ensemble' නමින් නාට්‍ය සමාගමක් අරඹන බ්‍රෙෂ්ට් 1954දීනව රංග ශාලාවක් ද පිහිටුවන ලදි. මෙම යුගය වනවිට බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය අන්තර්ජාතික වශයෙන් ජනප්‍රියත්වය ලබා තිබුණි. එංගලන්තය විසින් ඔහුව අගයනු ලැබූ අතර 1956 ලන්ඩන්හි නාට්‍ය දර්ශන පැවැත්වීමේ අරමුණින් කටයුතු කරමින් සිටි බ්‍රෙෂ්ට් එම වසරේ අගෝස්තු 14 දින හෘදයාබාධයකින් මිය ගියේ ය.
බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට්ට අනුව ඔහු තම රංග රීතිය හඳුන්වනු ලැබූයේ 'එපික් රංග කලාව' වශයෙනි. එපික් නැත්නම් වීර කාව්‍ය වශයෙන් හඳුන්වන්නේ එක් ජාතියක් පිළිබඳ හෝ එක් වීරයෙක් හෝ වීරවරියක් පිළිබඳ ව දිගු වර්ණනාවන් සහිත ව සිදුකරන ඓතිහාසික කාව්‍ය විශේෂයකි.ඔහු වේදිකාව සැලකූවේ ජනයාට සුව පහසුව සලසන ප්‍රදර්ශන භූමියක් වශයෙනි.ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ දක්වන නාට්‍ය සිද්ධාන්තවලට එරෙහිවන බ්‍රෙෂ්ට් දක්වන්නේ තම එපික් රංග කලාව ඇරිස්ටෝටලියානු නොවන රංගනයක් වශයෙනි.ජර්මනිය තුළ පළමු ලෝක යුද්ධය ඇරඹෙන විට කුඩා කොලුවකු වන බ්‍රෙෂ්ට් රුසියන් බොල්ෂෙවික් විප්ලවය වනවිට නාඹර තරුණයෙකි.ජර්මනිය තුළ weimarජනරජය ඇතිවන විට වැඩුණු මිනිසෙකු වූ මොහු හිට්ලර්ගේ පාලන කාලය වනවිට පරිණත විචාරශීලී පුද්ගලයෙක් බවට පත් වී සිටියේ ය.ලෝක යුද්ධ දෙකකට මැදි වූ සමාජ,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික සංසිද්ධීන්හි කොටස්කරුවෙක් වීම මත බ්‍රෙෂ්ට් තුළින් කවියෙක්,නාට්‍යකරුවෙක් නිරිමාණය විය.ඔහු නිර්මාණය කළ Die Mutter නාට්‍යය තුළින් බ්‍රෙෂ්ට්ගේ දේශපාලන දෘෂ්ටිය වඩාත් හොඳින් විද්‍යමාන වේ.මෙම නාට්‍යය තුළින් කම්කරුවාගේ විනය,විප්ලවය හමුවේ කම්කරුවාගේ කාර්යභාරයක් මනාව විශ්ලේෂණය කළ හැක.Life of Galileo නාට්‍යය තුළින් ඓතිහාසික පසුබිමක් සහ තේමාවක් නිරූපණය වූ අතර අත්තනෝමතික රජයකින් ආරක්ෂා වෙන විධික්‍රම පිළිබඳ ව මොහු ජර්මන් බුද්ධිමතුන්ට කරුණු කියා පෑවේය.Mother Courage and Her Children නාට්‍යය ද ඓතිහාසික පසුබිමක් යටතේ කාලීන ගැටලු සාකච්ඡා කරන අතර මෙය දෙවන ලෝක යුද්ධය පිළිබඳ අනාවැකියක් ලෙස ද සලකන ලදි.
බ්‍රෙෂ්ට් තමාට පෙර නාට්‍ය කලාව පිළිබඳ ව ලෝකය තුළ බිහි වූ දෘෂ්ටිවාද බොහෝ ප්‍රමාණයක් විචාරයට ලක් කළ අතරනව දර්ශනයක් ඉදිරිපත් කළේ ය.එසේ ම තමා හඳුන්වාදුන් දර්ශනයට අනුව නාට්‍ය රචනයටත් ,එම නාට්‍යයන් නිෂ්පාදනය කිරීමටත්, එම නාට්‍යයන් සඳහා නව රංග ක්‍රම නිර්මාණය කිරීමටත් දක්ෂයෙක් විය.නාට්‍යය පිළිබඳ කෘති රචනා කළ ඇරිස්ටෝටල් ප්‍රායෝගික ව නාට්‍ය කලාවේ නොයෙදුණි.ඇන්ටන් චෙකොෆ් ද හෙන්රික් ඉබ්සන් ද ස්ටැනිස්ලව්ස්කි ද ඒ ඒ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වූවා මිස බ්‍රෙෂ්ට් මෙන් සමස්තය එක්ව ගෙන කටයුතු කළේ නැත.එබැවින් විසිවන සියවසේ ප්‍රබල ම නාට්‍යකරුවා ලෙස බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් හැඳින්වීමේ වරදක් නැත.
''විසිවන සියවසේ ජර්මානු රජය කලාවේ වඩාත් බලවත් රංගවේදියා බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ය.''
( Encarta-Delux- 2004)