ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව ඇති වූ සංක්‍රමණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ප්‍රබල ම සහ වැදගත් ම සංක්‍රමණය වන්නේ 'මහින්දාගමනය'යි. ඒ තුළින් ලංකාවේ ගොඩනැගෙන බුදුදහම හා සබැඳි සමාජ ක්‍රමය තවදුරටත් වර්ධනය කරමින් 'දුමින්දාගමනය'ද සිදුවිය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සේවය සඳහා ඉන්දීය සමාජයෙන් විවිධ කුලවලට අයත් පිරිස් පැමිණි ඇත. මහාංවශයේ සහ සමන්තපාසාදිකාවේ දැක්වෙන ආකාරයට විවිධ වෘත්තීන්හී නියුතු පිරිස් එහිදී ලංකාවට සංක්‍රමණය වී ඇත. අනුරාධපුර යුගයේ පැවති නිර්මල බුදුදහම සහ සංඝයා වහන්සේලාගේ මාර්ගෝපදේශයන් හමුවේ ලංකාවේ කුල ක්‍රමය ප්‍රබල ව ක්‍රියාත්මක නොවූවද භාරතීය සමාජයේ පැවති දැඩි කුල ක්‍රමයට හුරු වූ එකී පිරිස් භෞතික සම්පත් සහ රැකියා අවස්ථාවන් පදනම් කරගෙන කුඩා කණ්ඩායම් වශයෙන් සංවිධානය විය.විද්වත්හු දක්වන ආකාරයට මෙලෙස සංවිධානය වූ කණ්ඩායම් තම වෘත්තීය සහ ජීවන ක්‍රමය සිංහලකරණය කරගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඇත.මෙලෙස නිර්මාණය යන ලංකාවේ කුල ක්‍රමය රාජකාරී ක්‍රමය සමඟ බද්ධ විය.පියාගෙන් පුත්‍රයාට රැකියාව ගලා යන රාජකාරී ක්‍රමය පසුකාලීන ව රජුට හෝ රජවාසලට කුලය අනුව සේවය කිරීම දක්වා ව්‍යාප්ත විය.
රජුට සේවය කිරීමේ වැඩවසම් ක්‍රමය තුළ යම් පුද්ගලයකුගේ රැකියාව තීරණය වීමේ සාධකය බවට කුලය පත් විය. ලංකාවේ කුල ක්‍රමය ප්‍රධාන වශයෙන් අරක්ගෙන තිබූයේ උඩරට සිංහලයන් තුළ ය.එහෙත් සමස්ත සිංහල ප්‍රජාව තුළ ම මෙම කුලවාදය අඩු වැඩි වශයෙන් පැවති බව හඳුනාගත හැක. දිගුකාලයක් පුරාවට පැවත ආ මෙම කුල ක්‍රමය බිඳී විසිරි යන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව ආක්‍රමණය කිරීමත් සමඟ ය. 1833 කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වී යටත්විජිතකරණය සිදුවීමත් සමඟ ම රාජකාරී ක්‍රමය අහෝසි වූ අතර ඒ තුළින් කුල ක්‍රමය ද බිඳ වැටුණි. කුල ක්‍රමය මත පදනම් වූ සමාජ සංවිධානය ද මෙයින් බිඳ වැටුණු අතර වර්තමානය වනවිට සිංහලයන් අතර ඉතා අවම වශයෙන් ක්‍රියාත්මක වන අතර කුල ක්‍රමය තව දුරටත් බහුල ව දැකගත හැක්කේ හින්දු ජනයා තුළ ය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිංහල ජන සමාජයේ දැකගත හැකි කුල ක්‍රමය තුළ ගොවි, කරාව, සලාගම, දුරාව, වාහුම්පුර, විශ්ව, බුත්ගම, රජක , කින්නර, රොඩී, යන කුලයන් හඳුනාගත හැක. සිංහල කුල ක්‍රමයේ ප්‍රධානත්වය හිමිවන්නේ ගොවි කුලයටයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතු මොවුන් රටට බත සපයනු ලැබේ. ලංකාවේ බහුතර සිංහලයන් ගොවි කුලය නියෝජනය කරනු ලැබේ. කරාව කුලය ධීවර කර්මාන්තයේ නියුතු වේ. සලාගම කුලය 'හාලි' වශයෙන් ද හඳුන්වන අතර මොවූහු පේෂ කර්මාන්තයේ නියුතු වෙති. දුරාව කුලයේ පිරිස සාම්ප්‍රදායික ව රා මැදීමේ කාර්යයේ නියුතු වන අතර දහදුරා කුලය දුරාව කුලයේ ම අනු කණ්ඩායමකි. වහුම්පුර කුලයේ ඇත්තෝ හකුරු කර්මාන්තයේ නියුතුවන්නෝ ය. විශ්ව කුලයේ ඇත්තෝ ආයුධ නිර්මාණයට සමර්ථයෝ වෙති. බත්ගම කුලයේ පිරිසගේ වෘත්තිය වන්නේ ගොවිගම කුලයට සේවය කිරීම වේ. රජක කුලය පවිත්‍රතා කටයුතුවල නියුතුවන අතර කුල ක්‍රමයේ පහළ ම කුල දෙක වන්නේ කින්නර කුලය සහ රොඩී කුලයයි.
කින්නර ජනයා සාම්ප්‍රදායික ව පැදුරු විවීමේ නියුතු වන අතර රොඩී ජනයා සිඟමන් යැදීමෙන් දිවි සරි කර ගනිති. සිංහල කුල ක්‍රමය තුළ ගොවිගම කුලය ඉහළ කුලය වූ අතර සෙසු කුල සියල්ලම පහළ කුල ලෙස සලකනු ලැබේ. එහිදී ගොවිගම කුලයේ ද ඉහළ කුලය වූ රදළයන් අත පාලන බලතල පැවතුණි. නිර්මාණශීලි හස්ත කර්මාන්තවල නියුතු වූ බෙහෝ පිරිස් පහළ කුල ලෙස හංවඩු ගසන ලදි. පහළ කුලවල ජනයා ඉහළ කුලවල පීඩනයට නිරතුරු ව ලක් වී ඇත. භාරතීය ජන සමාජයේ තරම් දැඩී පීඩනයක් ලාංකීය කුල ක්‍රමය තුළ දැකගත නොහැකි විය. එසේ වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බුදුදහම තුළින් ඇති වූ නම්‍යශීලිබවයි. එවැනි දර්ශනයක ආභාසය ලැබූවා වු ඉහළ කුලවල ජනයා විසින් පහළ කුලවල ජනතාව පීඩනයට ලක් කිරීමත්, අමානුෂිකත්වයට ලක් කිරීමත්, මානව හිමිකම් නොසලකා හැරීමත්, වරප්‍රසාද අහිමි කිරීමත් දැකගත හැකිය.
යටත්විජිත සමයේ ලංකාවේ කුල ක්‍රමය පිළිබඳ ආශක්ත වූ බොහෝ පිරිස් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කරමින් කෘති ගණනාවක් රචනා කර ඇත. එසේ රචිත බෙහෝ කෘතිවල 'කින්නර'ජනයා ඔවුන්ගේ අවධානයට ලක් වී ඇති බව පෙනෙයි. යුරෝපා ජාතීන් කින්නර ජනතාව හඳුනාගෙන ඇත්තේ පැදුරු විවීම ජීවන වෘත්තිය කරගත් ජන කොට්ඨාශයක් වශයෙනි.
''කින්නර බද්ද ඉතා කුඩා කුලයකි.කඹ සහ ලණු රාජකීය ගබඩාවට සැපයීම ඔවුන්ගේ සේවයයි.''
(ඩේව් දුටු ලංකාව)
ඒ අනුව මොවුන් පැදුරු විවීමේත් කඹ නිර්මාණය කිරීමෙත් දක්ෂයන් වග පැහැදිලි ය. රොබට් නොක්ස් විසින් රචිත කෘතියේ සිංහල අනුවාදය වන 'එදා හෙළදිව' කෘතියේ ද කින්නර ජනයා පිළිබඳ කියැවේ. එහිදී මොවුන් කළාල නිෂ්පාදනයේ යෙදෙන බව දැක්වේ.1909 ලියැවුණු 'Enciant Ceylon'නම් කෘතියේ කින්නර ජනයා ඉහත කාර්යයන්ට අමතර ව සහල් සහ මෙනේරි වගා කිරීම වැනි කෘෂිකාර්මික කටයුතුද සිදු කර ඇතිබව දැක්වේ. 1953 දී ලියැවුණ 'Castle in Modern Ceylon' කෘතියේ දැක්වෙන ආකාරයට කින්නර ජනයා ඉතා කුඩා ජන කණ්ඩායමක් වේ. එසේ ම මොවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ආකර්ෂණීය පැදුරු විවීම සහ කුලී වැඩකිරීමයි. අතීතයේ පමණක් නොව වර්තමානයේ ද කින්නර ජනයා කුලී වැඩවල නිරත වීම දැකගත හැකි වේ.
''දුම්බර පැදුරු වියන කින්නර යැයි ප්‍රකට ජනකායක් උඩුදුම්බර හා කුරුණෑගල අවට ගම්වල සිටී.අතරින් පතර වෙසෙන මොවුන්ගේ පවුල් කීපයක් වෙති.වැද්දන්ට සමාන හැඩහුරුකම් මේ ජනතාව කෙරෙන් යන්තමින් පෙනෙතත් ඔවුන් අමුතු වර්ගයකි.හැඩිදැඩි අඟපසඟ සහ දික් හිසකේ ඇති මිටි කින්නරයෝ පහත් කුලවලට අයත් සේ සලකනු ලබන්නාහු අඟහිඟකමින් පෙළෙමින් දුක්ඛිත ජීවිකාවක් ගත කරති.මේ පිරිස මෙලෙස නීචභාවයට පත් වූයේ කෙසේ ද ,එසේ වූ අතර ම මෙසේ වූ විනීත විවීමේ ශිල්පයක් රැකගත්තේ කෙසේ ද යන්න අභිරහසක් ව පවතියි.''
(ලංකා ජනතාව-නන්දදේව විජේසේකර)
මෙහි දැක්වෙන ආකාරයට මොවුන්ගේ ශරීර ස්වභාවය වෘත්තීයට උචිත පරිදිත් දුක්ඛිත ජීවිතයකට උරුම ලෙසත් නිර්මාණය වී ඇත.
අතීත ලංකාවේ කින්නර කුලයේ ප්‍රධාන වාසභූමිය වන්නේ කන්ද උඩරට ප්‍රදේශයන් ය. මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් කින්නර ජනයා ව්‍යාප්ත ව සිටි අතර දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ වෙරළ තීරය ආශ්‍රිත ව ද මෙම ව්‍යාප්තිය සිදුව තිබේ. 'ලංකා ජනතාව' කෘතියේ නන්දදේව විජේසේකර කින්නර ව්‍යාප්තිය පිළිබඳ ව දක්වන්නේ උඩුදුම්බර හා කුරුණෑගල ප්‍රදේශවල ද බස්නාහිර පළාත තුළ ද කින්නරයන් නිහඬ ව ජීවත් වන බවයි. කින්නර ජනයා උඩරට ප්‍රදේශවල දක්නට ලැබීමට මූලික වශයෙන් බලපාන්නේ භූගෝලීය සාධකයන්ය. ඔවුන්ගේ කර්මාන්තය සඳහා අවශ්‍ය පාරිසරික සාධක මෙම කලාපයේ සුලබ වීම ඊට හේතු වේ. 1951 වසර වනවිට ලංකාවේ කින්නර පවුල් 133ක් වූ අතර ජනගහනය 592ක් විය. 1995 වසරේදී සේපාල සමරසේකර මහතා විසින් කළ අධ්‍යයනයක දී කින්නර ජනගහනය 1620ක් විය. වර්තමානයේ දී ලංකාවේ කින්නර ජනයා සුළු වශයෙන් ජීවත් වේ. එනම් මහනුවර දිස්ත්‍රික්කයේ හේනාවල(කලාසිරිගම), මාතලේ දිස්ත්‍රික්කයේ මල්හෑව( ආලෝකගම), කුරුණෑගල දිස්ත්‍රික්කයේ හින්නපල්ල, දික්වැහැර ද ගම්පහ දිස්ත්‍රික්කයේ ආඳාගල කන්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ මුල් ඇඬියාවල යන ප්‍රදේශවල කින්නර ජනයා වාසය කරති. මෙම ප්‍රදේශ එකිනෙකට දුරින් පිහිටිය ද ඔවුනොවුන් අතර සබඳතාවයන් ඉතා හොඳින් පවත්වා ගනිමින් ඔවූහු ජීවත් වෙති.
කින්නර ජනතාවගේ ප්‍රභවය පිළිබඳ ජනප්‍රවාද රාශියක් දැකගත හැකි ය. මෙහිදී ඔවූහු වාසය කරන ප්‍රදේශයන් අනුව එම ජනප්‍රවාදවල වෙනස්කම් දැකගත හැකි වේ.ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස තරම් අතීතයේ භාතිය රජු යුද්ධයට ගොස් ඔහුගේ බිසව කම්මලකදී දරුවකු ප්‍රසූත කර ඇති බවත් එම දරුවා එහි දමා පළා ගිය බවත් එම දරුවාගෙන් කින්නරයන් පවතින බවත් සඳහන් වේ.
''මහ සම්මත කාලේ සිට පවතින
දහ අට වන්නම් ඇත්තේ වෙන වෙන
සිව් පද පද බැන්ඳේ එකලයි දැන
එම කළ ඉපදුණි අපගේ වියමන''
(කින්නර ගීතය)
තවත් ජනප්‍රවාදයක් වන්නේ මහාසම්මත රජුගේ බෑනා වූ කුරුමුදලියා දිව්‍ය කන්‍යාවක් වන කින්නරදේවතාවිය සමඟ විවහා වීම නිසා ඔහුව රජවංශයෙන් නෙරපූ බවත් ඔවුනගෙන් කින්නරයන් පැවත එන බවත් දැක්වේ.මේ ආකාරයට මොවුන්ගේ ප්‍රභවය පිළිබඳ ජනප්‍රවාද රාශියක් පවතින අතර ඒ සියල්ල තුළින් බොහෝවිට තම කින්නර ජනතාව රජ පෙළපතින් හෝ දේව පෙළපතින් පැවත එන බව මොවුන් දැක්වීමට උත්සහ කරයි.ඒ තුළින් ඔවුහූ කෙරෙහි පවතින්නා වූ පහත් යැයි සම්මත බවින් මිඳී තමන්ද රජ,දෙව් කුලවලට නෑකම් කියන වග දැක්වීමට උත්සහ දරයි.
''කින්නර කුලයේ පිරිමින් හට හිස්වැසුම් පැළඳීමත් ස්ත්‍රීන්හට හැට්ට ඇඳීමත් තහනම් විය.''
(එදා හෙළදිව)
මෙම ජනතාවගෙන් කාන්තාවන්ට හැට්ටය ඇඳීම තහනම් වූ අතර පිරිමින්හට හිස්වැසුම් පැළඳීම තහනම් විය. මේ ඇඳුම් පැළඳුම් ක්‍රමවේදය තුළින් සමාජයට කින්නර ජනයා පහසුවෙන් හඳුනාගත හැකි වන අතර ඔවුන් කුලහීනයන් වග නිරූපණය වේ.
සිංහල ජන සමාජය තුළ පැදුරු විවීම සාමාන්‍ය කටයුත්තක් වුවද කින්නර ජනතාව සතු පැදුරු විවීමේ ශිල්පය අතිශය රමණීය කටයුත්තකි. ප්‍රාථමික අර්ථ ක්‍රමය ස්වභාවික පරිසරය සමඟ දැඩි ව බැඳී පවතින බැවින් ඔවූහූ තම වාසස්ථාන ස්ථීර කරගනු ලබන්නේ තම වෘත්තීය පවත්වා ගැනීමට අවශ්‍ය පරිසර සාධක පදනම් කරගෙන ය. කින්නර ජනතාව වාසය කරන ප්‍රදේශවල භූගෝලීය ලක්ෂණ සමානතාවයකින් යුක්ත වේ. හණ පඳුරු බහුල ප්‍රදේශ ඔවුන්ගේ වාසස්ථාන වන්නේ නිතැතිණි. හණ පඳුරු වගා නොකරන අතර ඒවා ස්වභාවික වැඩෙයි. හණ ශාක ගල්තලාවන්හි අතර පවතින පස්වල වර්ධනය වෙයි.කලාසිරිගමේ වර්තමානය වනවිට බහුල ව හණ ශාක නොමැති නිසා හුන්නස්ගිරිය, හේවාහැට, පදියපැලැල්ල යන ප්‍රදේශවලින් හණ පත්‍ර ගෙනෙනු ලැබේ. මේවා නියඳ පත්‍ර වශයෙන් ද හඳුන්වයි. මෙලෙස ගෙනෙන හණ පත්‍ර කොටාගෙන හණ කෙඳි ලබාගනු ලැබේ. එම කෙඳි මඟින් හණ නූල් සකසන අතර ඒවා වර්ණ ගනුවනු ලැබේ.අනතුරු ව කළාල වියන අතර එම වියූ කළාල කපා නිර්මාණ සකසනු ලැබේ. වර්තමානයේ ප්ලාස්ටික් පැදුරු බහුල වීමත් වැඩි කාලයක් භාවිත කළ හැකි වීමත් නිසා හණ පැදුරුවලට ඇති ඉල්ලුම අවම වන බැවින් කින්නර ජනයා ඊට පිළියමක් ලෙස විවිධ විසිතුරු භාණ්ඩ සහ සැරසිලි නිර්මාණය කරනු ලැබේ. සෙසු කර්මාන්තවලට මෙන් ම කළාල කර්මාන්තයට ම ආවේණික වූ වදන් මාලාවක් සහ ඊට ආවේණික උපකරණ පවතියි.
කින්නර ජනයා පරම්පරාවෙන් උරුම වූ සංස්කෘතික දැනුමකින් හෙබි කලාත්මක රටා තම පැදුරුවල නිර්මාණය කරන අතර ඒ සඳහා සරල යන්ත්‍ර භාවිත කරනු ලැබේ. ‘හැවන් පැදුරු කර්මාන්තයත් නියධ පැදුරු’ කර්මාන්තයත් මොවූහු සිදු කරන අතර ගෘහාශ්‍රිත ව කර්මාන්තය පවත්වාගෙන යනු ලැබේ. එලෙස කලාත්මක නිර්මාණයන් සිදු කළ ද කින්නරයන්හට ඊට සරිලන මිලක් නියම නොවීම නිසා ඔවුහූ ආර්ථික මට්ටමෙන් ඉතා පහළ තත්ත්වයක වර්තමානයේ වුව ජීවත් වේ.අතීතයේ දී තම නිෂ්පාදන සෙසු පිරිස් අතර හුවමාරු කරගනිමින් කටයුතු කළ අතර එහි දී රජවාසලට හා නිලධාරීන්ට පැදුරු ලබා දී ආහාර ද්‍රව්‍ය ලබාගෙන ඇත. එහෙත් වර්තමාන තත්ත්වය අතිශය දුක්බර වේ.තවමත් සම්ප්‍රදායික වශයෙන් පැදුරු විවීම සිදු වන්නේ කලාසිරිගම සහ මල්හෑව යන ප්‍රදේශවල පමණි. මෙම ප්‍රදේශවල පවා මෙලෙස සම්ප්‍රදායික කර්මාන්තය ශේෂ වී පවතින්නේ එම ප්‍රදේශ කලා ගම්මාන වශයෙන් සංස්කෘතික වශයෙන් වටිනාකම් ලබා දීම හේතුවෙනි.
අතීතයේ දී මෙම ජනයා විසූ ගම් හඳුන්වනු ලැබූයේ කර්මාන්ත ගම් වශයෙනි. ඉන් බිඳී ආ 'කර්මාන්තකරුවන්' යන්නෙන් එම ජනතාව හඳුන්වන ලදි.වර්තමානයේ දී වෘත්තීය වශයෙන් පැදුරු විවීමෙන් කින්නර ජනයා ඈත් වී ඇති අතර ඒ සඳහා යොදාගත් අත්යන්ත්‍ර නිවෙස්හි පවතියි. තම ගෘහ අවශ්‍යතා සඳහා පමණක් පැදුරක් වියාගන්නා මොවූහු එහිදී ද වියනු ලබන්නේ හැවන් පැදුරු මිස නියධ පැදුරු නොවේ.
ආඳාගලකන්ද ප්‍රදේශයේ වියනු ලබන්නේ හැවන් පැදුරු වේ.ඒ සඳහා කාන්තාවන් දායක වේ. මෙහි වර්තමාන පරපුර කළාල විවීමෙන් මිඳී වෙනත් රැකියාවලට යොමු වී ඇත. විශේෂයෙන් මොවුන්ගෙන් තරුණ පිරිස තමන් කින්නර ජනයා ලෙස හැඳින්වීමෙන් පවා මඟ හැරීමට කටයුතු කරයි. මෙහි ගස් කැපීම, කම්කරු රැකියා, ඇඟලුම් හල්වල රැකියා කිරීමට යොමු වන තරුණ පිරිස බහුල වේ. දරිද්‍රතාවයෙන් පීඩිත මොවුන්ගේ පවුල් විසි තුනෙන් 18ක් ම සමෘද්ධිලාභින් වේ.
ලංකාවේ කින්නර වාසභූමි අතරින් මහනුවර මැණික්හින්න කලාසිරි ග්‍රාමය අතිශය වැදගත් වේ. අතීතයේදී හේනාගම ලෙස හැඳින් වූ මෙම ප්‍රදේශය උදාගම් ව්‍යාපාරය යටතේ උදාගමක් ලෙස නම් කර ඇත. උක්ත දැක් වූ ප්‍රදේශවාසීන් ආර්ථික මට්ටමෙන් පහළ වුවද කලාසිරි ගම්වාසීන් තම ශිල්පය වර්තමාන තත්ත්වයන් සමඟ යාවත්කාලීන කරගනිමින් ජීවන වෘත්තිය යහපත් මට්ටමකට ළඟා කරගෙන ඇත. නියඳ පැදුරු විවීම මූලික කරගන්නා මෙහි ඒ සඳහා දායක කරගෙන ඇත්තේ පිරිමින් ය.
කින්නර ජනයා වර්තමානය වනවිට බෞද්ධාගම අදහනු ලැබේ. අතීතයේ දී නිසි ආගමක් මොවුනට නොවූ අතර ඔවුනට ආවේණික වූ අභිචාර විධි පැවත ඇත. බුදුදහම තුළ කුලවාදය බිඳ තිබීම තුළත් සිංහල මහ සමාජය බෞද්ධ පදනමක් දැරීමත් නිසා සමාජය තුළින් කොන්වන කින්නර ජනයා බුදුදහමට නැඹුරු වී ඇත. සෙසු පහත් කුලවලට ඔවුනට ආවේණික වූ දෙවිවරු සිටිය ද මොවුනට එලෙස දෙවියෙකු නොසිටීම විශේෂිත ය. මොවූහු සතුව හඳි හූනියම් පවති. තම සතුරන්ගේ රුව වැනි මැටි රූපවලට කටුවලින් ඇන විපත් ඇති කිරීම, කාසි කහ වතුරෙන් සෝදා උදෑසන පොරොවෙන් තලා වස්දොස් දුරු කරගැනීම වැනි දෑ කරනු ලැබේ. කින්නර ජන සමාජය විෂයෙහි ද ජනශ්‍රැති බිහි වී ඇත.එහිදී හණ පත්‍ර නෙළීමේ සිට කළාල විවීම දක්වා දැක්වෙන 'කින්නර ගීතය' නම් වූ ජනකවි විශේෂයක් පවතියි.
''පළමුව පැදුරට පන්නම් දමනා
තොරන්පෙත්ත ඒ ළඟ කළු සුදෙනා
දෙපට ලණුව දෙල්ගැට ලණු සොබනා
ගිරි කොබෙයියන් පැදුරේ වියනා''
කින්නර ජන සමාජයේ මඟුල් කටයුතුවලදී ද අතීත සිංහල ජන සමාජයේ පැවති මඟුල් තහංචි කවි කීම සිදු කරනු ලැබේ. මොවූහූ විවාහා වන්නේ තම කුලය ඇතුළත පමණි. ඒවා අන්තර්ජන්‍ය විවාහා ලෙස හඳුන්වයි.වි ශේෂයෙන් ඇවැස්ස නෑනා විවාහා බහුල වේ. 'අවුල් මුද්ද' සහ 'කැටපෝරුව' වශයෙන් මංගල කටයුතුවල සංස්කෘතිකාංග පවතියි. පෝරුවේ චාරිත්‍ර කින්නර ජනයාට හිමි නැත. ඔවුන්ගේ කුලය ඊට හරස් වී ඇත. එසේ වුවද මංගල අවස්ථාවේ දී කාන්තාවගේ නිවසේ භෝජන සංග්‍රහයක් පවත්වන අතර ඇයව කැඳවාගෙන යාමෙන් පසු එදින හවස ඔහුගෙ නිවසේ සංග්‍රහයක් පවත්වයි. 'දෑවැද්ද' නොතකන අතර සමහර කින්නර සමාජවල කන්‍යාභාවය පිළි නොගත්තද සමහර කින්නර සමාජවල කන්‍යාභාවය තොර වූ කාන්තාවක්නම් පසුදින නැවත දෙමව්පියන්ට භාරදෙනු ලැබේ.
කාන්තාවක් ගැබ් ගත් විට ඇයගේ දකුණු අතේ හෝ ගෙලේ මතුරන ලද නූලක් ගැට ගැසීම එම ගමේ ම වෙද මහතා විසින් කරනු ලැබේ. දරු ප්‍රසූතියේ දී මවගේත් දරුවාගේත් ජීවිතය වෙනුවෙන් පිටියේ දෙවියන්ට බාරහාර වීම සිදු කරන අතර දරු ප්‍රසූතියෙන් දින නවයකට පසු ඖෂධ යෙදූ දියෙන් මව නාවනු ලැබේ.
අවමංගල කටයුතුවල දී මරණ කිල්ල පිළිබඳ සැළකිලිමත් වන මොවූහු මරණය තනි නොකරති. මරණය නිවසින් පිට කළ පසු කහ වතුරින් එම ස්ථානය පිරිසිදු කරන අතර ගම්වල කින්නර ජනයා සඳහා කනත්තක වෙනම ප්‍රදේශයක් වෙන් කර ඇත. සොහොන් කොත් බැඳීම් තහනම් වන අතර මළ බෙරය පමණක් වාදනය කරනු ලැබේ.
අතීතයේ සිට පැවත ආ කුල ක්‍රමය හේතුවෙන් වර්තමානයේ දියුණු සමාජයක මිනිසා ජීවත් වුවද කින්නර ජනයා සමාජීය වශයෙන් මුළුගැන්වෙන ස්වභාවයක් තවමත් දැකගත හැකිය. තාක්ෂණික දියුණුවත් සමඟ හස්ත කර්මාන්ත අභාවයට යාමත් නිර්මාණශීලි හැකියාවන් සහිත කින්නර ජනයා තව දුරටත් සමාජ වශයෙන් කොන්වීමත් සෝචනීය තත්ත්වයකි.
මූලාශ්‍ර -
ඔවුන් ඔබ මෙන් නොවේ එහෙත්, ඔවුන් එහෙත් ඔවුන් ඔබ මෙන් ය - තක්ෂිලා ස්වර්ණමාලි