කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති පුරාණය - 2 (712)

post-title

1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි පිරිනමන ආයතනයක් ලෙස කොළඹ යුනිවර්සිටි කොලීජිය (University College, Colombo) පිහිටවන ලදී. නමුත් මෙහි අක්මුල් 1870 දී ලංකා වෛද්‍ය විද්‍යාලය (Ceylon Medical School) පිහිටුවීම තෙක් දිව යන අතර 1942 දී ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකෝට් ආණ්ඩුකාරවරයා විසින් යුනිවර්සිටි කොලීජියට විශ්වවිද්‍යාල තත්ත්වයක් පිරිනමමින් ලංකා විශ්වවිද්‍යාලය (University of Ceylon) පිහිටවූ අතර 1972 අංක 1 දරණ පනත මගින් එය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය (University of Sri Lanka) ලෙස හදුන්වන්නට විය. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යටතේ පැවති අනෙකුත් මණ්ඩප පහට ස්වාධීන විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනැමූ ලෙසින් ම කොළඹ මණ්ඩපය ද කොළඹ විශ්වවිද්‍යාලය ලෙස පිහිටවී ය. ඒ අනුව අද වන විට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය; කොළඹ විශ්වවිද්‍යාලය ලෙසින් ඇගේ ඓතිහාසික උරුමය රැකගෙන දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල දහය අතර මෙන් ම සෑම වසරක ම නැවත නැවත තහවුරු වන දිවයිනේ හොඳම විශ්වවිද්‍යාලය ලෙස අබිසෙස් නංවමින් විද්‍යාර්ථයින් බිහි කරන්නීය. 

ලංකා විශ්වවිද්‍යාලය පිහිට වූ 1942 සිට 1981 වසර දක්වා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ රාජ්‍ය නායකයා ය. ඔවුන් නම් වශයෙන් පිළිවෙලින් දක්වන්නේ නම්,

ලංකා විශ්වවිද්‍යාලය

  1. ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකෝට් [Sir Andrew Caldecott] (1942-44)
  2. ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් [Sir Henry Monck-Mason Moore] (1944-49)
  3. සෝල්බරි සාමි [Lord Soulbury] (1949-54)
  4. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක (1954-62)
  5. විලියම් ගොපල්ලව (1962-72)



ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය

  1. විලියම් ගොපල්ලව (1972-78)



කොළඹ විශ්වවිද්‍යාලය 

  1. ජේ.ආර්.ජයවර්ධන (1978-81)

අප පළමු ලිපියෙන් අවබෝධ කර ගත් පරිදි ලංකාවේ විශ්වවිද්‍යාල වල කුලපතිවරයා යනු චාරිත්‍රමය වගකීමක් ඉටු කරන සංකේතාත්මක පුද්ගලයෙක් පමණි. විශ්වවිද්‍යාලයේ කිසිදු පරිපාලනමය හෝ අධ්‍යයන ක්‍රියාවකට කුලපතිවරයා මැදිහත් නොවන නමුත් විශ්වවිද්‍යාලයීය අරමුණු සාධනය වන කේන්ද්‍රීය ම අවස්ථාව වන උපාධි ප්‍රදානෝත්සවයන්හි මූලාසනය දරන්නේ කුලපතිවරයා ය. මෙවැනි පසුබිමක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය අරමුණට මූලාසනයෙන් සිදු වන බලපෑම නොසලකා හැරිය නොහැකි ය. 1942-81 යුගයේ නිලබලයෙන් ම රාජ්‍ය නායකයා කුලපති ලෙස කටයුතු කළ ද ඔවුන්ගේ අධ්‍යයන සහ වෘත්තීය පරිසරය කෙටියෙන් විමසා බැලීමට මෙය අවස්ථාවක් කර ගත්තේ එබැවිනි. මෙමගින් කිසිසේත් ම ඔවුන්ගේ චරිතයට නිගරුවක් කිරීමට හෝ අවතක්සේරු කිරීමට හෝ අතිශයෝක්තියට නැංවීමට හෝ උත්සාහ නොකරන බව කිව යුතුම ය.



  1. ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකෝට් (1942-1944)

ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ලෙස පැවති කොළඹ යුනිවර්සිටි කොලීජියට විශ්වවිද්‍යාල තත්ත්වයක් ලබා දීමට කටයුතු කළේ ඇන්ඩෲ කැල්ඩිකෝට් ආණ්ඩුකාරවරයා ය. එනයින්, ලංකා විශ්වවිද්‍යාලයේ පළමු කුලපතිවරයා වූයේ ද ඔහු ම ය. 

Rutland හි Uppingham පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ කැල්ඩිකෝට් උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එක්ස්ටර් කොලීජියට (Exeter College of the University of Oxford) ඇතුළත් විය. එහිදී සම්භාව්‍ය නූතන උපචාරවාදයට (Classical honour Moderations) තෙවන පංතියේ සාමාර්ථයක් සහ සම්භාව්‍යවාදයට (Classics) දෙවන පංතියේ සාමාර්ථයක් සහිතව 1907 දී ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය. 1948 දී එක්ස්ටර් කොලීජිය මගින් කැල්ඩිකෝට් එහි ගෞරව අධි සාමාජිකයෙක් (Honorary fellow) ලෙස නම් කරන ලදී. උසස් අධ්‍යාපනය නිම කළ විගස යටත් විජිත කාර්‍යාලය හා සම්බන්ධ වූ ඔහු 1909 දී බ්‍රිතාන්‍ය මලයානු සමූහාණ්ඩුවේ Jelabu හි සහ Kuala Pilah හි වැඩ බලන දිසාපති ලෙස කටයුතු කර 1911 දී එම පළාත් දෙකෙහිම දිසාපති ලෙස උසස්වීම් ලැබීය. 1913 දී Kuala Lumpur හි නියෝජ්‍ය කම්කරු පාලක ලෙස පත්වීම් ලැබූ කැල්ඩිකෝට් මලයානු යටත් විජිතය තුළ තනතුරු රැසක් හොබවනු ලැබීය. ඊට අමතරව 1929 දී ක්වාලාලම්පූර් රොටරි සමාජයේ ප්‍රාරම්භක සභාපතිවරයා (Founder President of Rotary Club of Kuala Lumpur) වූ යේ ද කැල්ඩිකෝට් ය. 1935 දී හොංකොං හි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලැබූ ඔහු නොබෝ කලකින් ම ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වී ආයේ ය. හොංකොං Kai Tak ගුවන්තොටුපළට පළමු ගුවන්‍ යානා ආගමනය සිදු වූ යේ ද, Queen Mary රෝහල විවෘත කෙරුණේ ද ඔහුගේ පාලන සමයේ ය. එසේ ම, ඔහු ලංකාවේ පාලන ව්‍යුහය, සුළු ජාතික නියෝජනය හා ඡන්දබලය පිළිබඳව කළ නිරීක්ෂණ ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනයෙහි ලා සුවිශේෂී බලපෑමක් කරනු ලැබීය. එපමණක් නොව, 1938 දී ගාල්ලට ප්‍රථම ඩීසල් දුම්රිය ධාවනය කෙරුණේ ද, 1939 දී ලංකා බැංකුව ආරම්භ කළේ ද, 1942 දී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වූ යේ ද කැල්ඩිකෝට් ආණ්ඩුකාරවරයා ගේ අනුදැනුම මත ඔහුගේ පාලන සමයේ දී ය.

Oxon විශ්වවිද්‍යාලය මගින් MA උපාධියකින් පිදුම් ලැබූ ඔහු ලංකා විශ්වවිද්‍යාලය මගින් LL.D (Legum Doctor/Doctor of Laws) උපාධියෙන් පිදුම් ලැබී ය. එසේම රාජකීය ආසියාතික සංගමගේ සාමාජිකත්වය ද, රාජකීය කලා සංගමයේ අධි සාමාජිකත්වය ද, රාජකීය වාදක වෘන්ද සංගමයේ (Royal Philharmonic Society) ගෞරව අධි සාමාජිකත්වය ද ඔහුට හිමි විය. බ්‍රිතාන්‍ය කිරීටයට ඔහු කළ සේවය අගයනු වස් CMG (1932), KCMG (1937), GCMG (1941), CBE (1926), KBE (1935), KSt.J (1936) යන නම්බු නාමයන්ගෙන් පුදනු ලැබීය.

  1. ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් (1944-1949)

විම්බල්ඩන් හි KCS පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙන්රි මුවර් විසි දෙහැවිරිදි වියේ දී එනම් 1909 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය. පළමුවන ලෝක යුද සමයේ 1916 සිට 1919 දක්වා Salonika හි බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු බලඝනයේ ලුතිනන්වරයකු ලෙස සේවය කළ අතර 1934-37 කාල වකවානුවේ දී සියෙරා ලියෝන් හි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. 1937-39 කාලයේ දී ලන්ඩන් හි යටත් විජිත දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය උප ලේකම්වරයා ලෙස ද, 1939-40 කාලයේ දී නියෝජ්‍ය රාජ්‍ය උප ලේකම්වරයා ලෙස ද කටයුතු කළේ ය. ඉන් අනතුරුව 1944 දක්වා කෙන්යාවේ ආණ්ඩුකාරවරයා ලෙස ද, 1944 සිට 1948 දක්වා ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස ද, '48 නිදහසින් පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේ ය. ඒ අනුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස 1944 සිට වසර පහක් කටයුතු කර ඇත.

ඔහු කළ සේවය අගයනු වස් බ්‍රිතාන්‍ය කිරීටය CMG (1931), KCMG (1935), GCMG (1943), KStJ යන නම්බු නාමයන්ගෙන් පුදනු ලැබීය.

  1. සෝල්බරි සාමි (1949-1954)

සෝල්බරි සාමි ලෙසින් ලෝ ප්‍රකට වූයේ Crowborough හි වොරන්වරයා වූ ජ්‍යෙෂ්ඨ හර්වල්ඩ් රාම්ස්බොතම් ගේ පුත් වූ ද, Buckinghamshire, Soulbury හි පළමු වංශාධිපතියා (1st Viscount of Soulbury) වූ ද GCMG, GCVO නාමධාරී කණිෂ්ඨ හර්වල්ඩ් රාම්ස්බොතම් ය. Rutland හි Uppingham පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ රාම්ස්බොතම් හමුදා සේවයට එක් වන අතර 1915 දී ලුතිනන්වරයෙකු ලෙස අධිකාරී ලබා එම වසරේ දී ම කපිතාන්වරයෙකු ලෙස උසස්වීම් ලැබීය. 1918 දී මේජර්වරයෙකු ලෙස පත් වන ඔහු වසරක් ඇවෑමෙන් හමුදා සේවය අත් හැරීය.

1929 දී ලැන්කැස්ටර් පළාත වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන රාම්ස්බොතම් 1931-35 කාලයේ දී අධ්‍යාපන මණ්ඩලයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස ද, 1935-36 කාලයේ දී කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස ද ක්‍රියා කළේ ය. 1936 දී ස්ටැන්ලි බෝල්ඩ්වින් අගමැතිවරයාගේ රජයේ විශ්‍රාම වැටුප් අමාත්‍යවරයා ලෙස පත් විය. නෙවිල් චෙම්බර්ලේන් අගමැතිවරයා යටතේ 1939 දී පළමු කර්මාන්ත/වැඩ කොමසාරිස් (1st Commissioner of Works) ලෙස පත්වීම් ලබන ඔහු එම වසරේ දී ම බ්‍රිතාන්‍ය රාජාධිකරණයේ (Privy Council) සාමාජිකයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය. අධ්‍යාපන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් 1940 දී බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයට එක් වන රාම්ස්බොතම් සහනාධාර මණ්ඩලයේ (Board of Assistance) සභාපති ලෙස ද, සෝල්බරි කෝරළයේ බැරන්වරයා ලෙස ද පත් වන ලදී. 1944-45 සෝල්බරි කොමිසමේ සභාපති ලෙසින් පත් වන ඔහු ලංකාවේ ආණ්ඩුක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින් එවකට ලංකා විශ්වවිද්‍යාලයේ උප කුලපති වූ සර් අයිවෝ ජෙනිංස්ගේ කෙටුම්පත්කරණය මත 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසින් අප හදුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ප්‍රදානය කිරීමට යෝජනා කරන ලදී. එසේම 1949-54 කාල වකවානුවේ දී ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් ද එනිසාම පැවරුණු බලය ප්‍රකාරව ලංකා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසින් ද කටයුතු කළේ ය.

  1. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක (1954-1962)

1892 දී ත්‍රිකුණාමලයේ දී උපත ලද ඔලිවර් අර්නස්ට් ගුණතිලක කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් මූලික හා ද්විතියීක අධ්‍යාපනය ලැබූ අතර එහි දී හිල් පදක්කම (Hill medal) සහ ගොගර්ලි ශිෂ්‍යත්වය (Gogerly Scholarship) දිනා ගැනීමට සමත් වන ඔහු වෙස්ලි විද්‍යාලයේ ම උප ගුරුවරයෙකු ලෙස සේවයට එක් විය. ඒ අතරතුර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙකු ලෙසින් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගනු ලැබීය. ඉන් අනතුරුව කොළඹ බැංකුවේ (Bank of Colombo) උප ගණකාධිකාරිවරයෙක් ලෙස සේවයට එක් වන අතර නොබෝ කලකින් Ceylon Daily News හි කළමනාකරු ලෙස පත් වන ලදී. එසේම ඔහුව ලංකා ශිෂ්‍ය භට බලඇණියේ ගෞරව ලුතිනන්වරයෙක් ලෙස ද පත් කරන ලදී. 

1921 දී ලංකා දුම්‍රිය දෙපාර්තමේන්තුවේ සහකාර ගණකාධිකාරිවරයෙක් ලෙස පත් වන ගුණතිලකයන් කෙටි කලකින් සහකාර යටත් විජිත විගණකවරයා ලෙස පත්වීම් ලැබීය. 1931 දී බ්‍රිතාන්‍ය ලංකාවේ පළමු ලාංකික යටත් විජිත විගණකවරයා (Colonial Auditor) ලෙස පත්වීම් ලබන අතර 1931-33 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ අනුව ලංකාවේ පළමු විගණකාධිපති ලෙස පත් විය. යටත් විජිත විගණකාධිපති ලෙස විධායක මණ්ඩලයේ (Executive Council of Ceylon) සාමාජිකත්වය ද නිරායාසයෙන් ම දැරූ අතර ඊට අමතරව සේවක හා වේතන කොමිෂන් සභාවේ (Salaries & Cadres Commission) සභාපති ලෙස ද, මහජන ආරක්ෂක කොමසාරිස් (Civil defense Commissioner) ලෙස ද, ආහාර කොමසාරිස් (Food Commissioner) ලෙස ද කටයුතු කළේය. දෙවන ලෝක යුද සමයේ දී මහජන ආරක්ෂක කොමසාරිස්/කාරක සභාපති ලෙස ඔහු කළ සේවය අගයනු වස් නයිට් නාමයකින් පුදනු ලැබීය. 1944 දී සෝල්බරි කොමිසම ලංකාවට පැමිණි පසු එහි නිල නොලත් ලේකම්වරයා ලෙස ද ක්‍රියා කළේ ඔලිවර් ගුණතිලකයන් ය. 1946 දී පළමු ලාංකික මුදල් ලේකම්වරයා ලෙස පත් වන ඔහු සෝල්බරි සාමිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ලංකාවේ දෙවන (පළමු ලාංකික) අග්‍රාණ්ඩුකාරවරයා ලෙස 1954-62 කාලයේ කටයුතු කළේ ය. ඒ සමකාලීනව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

  1. විලියම් ගොපල්ලව (1962-1978)

මාතලේ, අලුවිහාරේ, දුල්ලෑව වලව්වේ උපත ලද විලියම් ගොපල්ලව මහනුවර ශාන්ත ජෝන් විද්‍යාලයෙන්, ධර්මරාජ විද්‍යාලයෙන් සහ ශාන්ත ඇන්තනීස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1917 දී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ සහතිකපත්‍ර විභාගයට මුහුණ දීමෙන් අනතුරුව මාතලේ බෞද්ධ ඉංග්‍රීසි පාසලේ (Buddhist English School) අධ්‍යයන කාර්‍යමණ්ඩලයට එක් වූ ගොපල්ලව එහි පුස්තකාලයක් සහ බාලදක්ෂ සමූහයක් පිහිටුවීමට මූලික විය. 1920 දී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වන ගොපල්ලව 1924 දී මහනුවර, මාතලේ ප්‍රදේශවල ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු හා ප්‍රොක්ටර්වරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය. 1939 දී මහනුවර නාගරික කොමසාරිස් වූ ඔහු අනතුරුව කොළඹ නාගරික කොමසාරිස් තනතුරට පත් විය. මහජන චීනයේ (1958) සහ ඇමරිකා එක්සත් ජනපදයේ (1962) ලංකා තානාපතිවරයා ලෙස සේවය කළ විලියම් ගොපල්ලව මහතාව 1962 දී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නාමකරණය මත ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදී. 1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමග පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව විලියම් ගොපල්ලව නාමමාත්‍ර ජනාධිපති තනතුරට පත් විය. දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම නිසා අග්‍රාමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන විධායක ජනාධිපති ධූරයට පත් වීමත් සමග 1978 පෙබරවාරි මස දී ගොපල්ලවයන් සිය තනතුරට සමුදුන්නේ ය. ඒත් සමග ඔහු ලංකා/ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය කුලපති ලෙස දැරූ තනතුරත් අවසන් විය. 

කෙසේ නමුත් විලියම් ගොපල්ලවයන් කළ සේවය අගයනු වස් ලංකා විශ්වවිද්‍යාලය මගින් LL.D(Honoris Causa), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මගින් LL.D, විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් D.Litt. යන උපාධි මගින් පුදනු ලැබීය. බ්‍රිතාන්‍ය කිරීටය මගින් MBE නාමය ද නේපාලයේ බිරේන්ද්‍ර රජු විසින් අභිෂේක පදක්කමකින් ද අබිසෙස් නංවනු ලැබීය.

  1. ජේ.ආර්.ජයවර්ධන (1978-1981)

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ජූනියස් රිචඩ් ජයවර්ධන ද්විතීයික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ලැබීය. රාජකීයයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ඔහු රාජකීය ක්‍රීඩා පිටියේ විශිෂ්ට ක්‍රීඩා පෞරුෂයක් ද විය. පසුකාලීනව රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ද ක්‍රියා කළේ ය. 

1926 දී කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළත් වූ ජයවර්ධන ඉංග්‍රීසි හා ලතින් භාෂා, තර්ක ශාස්ත්‍රය සහ ආර්ථික විද්‍යාව හැදෑරීය. 1928 දී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වන ජයවර්ධනයන්; එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ සහාය ඇතිව නීති විද්‍යාල ශිෂ්‍ය සංගමය, ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ආකෘතියට සකස් කළේය. නීති විද්‍යාලයේ හෙක්ටර් ජයවර්ධන රන් පදක්කම සහ වෝල්ටර් පෙරෙයිරා ත්‍යාගය දිනා ගත් ඔහු 1931 දී අද්වකාත් විභාගය සමත් විය.

1940 දී නිව් බසාර් කොට්ඨාසය නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත් වන ජයවර්ධනයන් 1943 දී නීති වෘත්තීය අතහැර ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් විය. එම වසරේ දී ම කැලනිය ආසනය ජය ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන ඔහු සෝල්බරි පාර්ලිමේන්තුව යටතේ ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා විය. ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ජෝන් එක්ස්ටර් සමග එක් වී ලංකාවේ මහ බැංකුව පිහිටුවීමට ද කටයුතු කළ ජේ.ආර්. ලංකාවේ ජාතික ගීය තේරීමේ කමිටුවේ ද සාමාජිකයෙක් විය. කොතලාවල රජයේ ව්‍යවස්ථාදායකයේ සභානායක සහ කෘෂිකර්ම ඇමතිවරයා වූ ඔහු 1965 දී නැවතත් මුදල් ඇමති ලෙස පත් විය. එහිදී ලංකාවට සංචාරක කර්මාන්තයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳ ඉදිරි දැක්මකින් යුක්ත වූ ඔහු 1966 අංක 10 දරණ සංචාරක මණ්ඩල පනත හා 1966 අංක 14 දරණ ලංකා හෝටල් සංස්ථා පනත ගෙන ඒමට මූලික විය. ක්‍රමයෙන් දේශපාලන හිණිමගේ ඉහළට ගමන් කරන ජේ.ආර්., 1977 ජාතික රාජ්‍ය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් දිනා ගැනීමට නායකත්වය දුන් අතර ඔහු අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. ඊළඟ වසරේ දී ප්‍රංශයේ ආණ්ඩුක්‍රමයට සෑහෙන දුරට සමාන මිශ්‍ර විධායකයක් සහිතව දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ඔහු ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. ශ්‍රී ලංකාවේ එතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය ආනයන-අපනයන කේන්ද්‍රීය විවෘත ආර්ථික ක්‍රමයක් බවට පරිවර්තනය කළ ඔහු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, අපනයන සැකසුම් කලාප, මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය යනාදිය පිටුපස සිටි නායකත්වය විය. 1978 විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව ආචාර්ය පී.ආර්.ඇන්තනීස් මහතා කුලපති ලෙස පත් කරන තෙක් එනම්, 1981 වසර වනතෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද නිල බලයෙන් පැවරුණු වගකීම ජයවර්ධන ජනාධිපතිතුමා ඉටු කළේ ය. 

මේ ආකාරයට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස රාජ්‍ය නායකයා ක්‍රියා කළ කාලය හදුනා ගැනීමට හැකි අතර ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම සහ වෘත්තීය අත්දැකීම් පරාසය මෙලෙස කෙටියෙන් විමසා බැලුවේ නිල බලයෙන් සෘජුව පත් වූ දේශපාලන තනතුරකට සමාන වූ එකල කුලපති තනතුර නිසා විශ්වවිද්‍යාලය හෑල්ලු වී ඇත් දැ යි දැන ගැනීමට වූ කුතුහලය නිසා ම ය. අවසානයේ, ඇන්ඩෲ කැල්ඩිකෝට් ගේ පටන් ජේ.ආර්.ජයවර්ධනයන් දක්වා වූ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරුන් ලෙස කටයුතු කළ රාජ්‍ය නායකයන් ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පමණක් නිර්ණායක ලෙස ගෙන කුලපති තනතුරට පත් කළ ද කිසිදු ගැටලුවක් නොවන බව මාගේ පෞද්ගලික විශ්වාසයයි.

මීළඟ ලිපියෙන්:

කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති පුරාණය - 3 (ආචාර්ය පී.ආර්.ඇන්තනිස් කුලපතිතුමා)

මූලාශ්‍ර:

  1. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත
  2. de Siva K.M., J.R.Jayawardene of Sri Lanka, Quartet Books Ltd (1988)
  3. https://www.webometrics.info/en/asia_pacifico/south%20asia
  4. https://en.m.wikipedia.org
  5. https://cmb.ac.lk/history/
  6. https://www.themorning.lk/centenary-of-the-university-of-colombo-sri-lankas-western-university-system-turns-100/
  7. https://www.jstor.org/stable/23728470
Top