සත්ත්ව ලෝකය යනු අරුම පුදුම ජීවීන්ගෙන් සැදුම්ලත් ඒකකයකි.විවිධත්වයෙන් යුතු ශරීර හැඩයන්,වර්ණ රටාවන් සේ ම විවිධාකාර හැසිරීම් රටා පැවතීම තුළ ඔවුනට ආවේණික සුවිශේෂීත්වයක් ඇති කරගැනීමට සෑම සත්ත්ව කොට්ඨාශයකටම හැකි වී තිබේ.ඒ අතරින් සියුම් නිර්මාණකරුවන් ද අපට හඳුනාගත හැක. ඒ අතරින් තම ගොදුරු වෙනුවෙන් දැල් වියන මකුළුවා සුවිශේෂි වේ.ජීව විද්‍යාත්මක ව වර්ගීකරණය කිරීමේදී මකුළුවන් කෘමීන්ට අයත් ලෙස සැලකුව ද මොවුන් කෘමීන් නොවේ.ආත්‍රපෝඩා වංශයේ Araneae ගෝත්‍රයට අයත්වන මකුළුවන් නැවත කුල 114කට බෙදා දක්වයි.මකුළු විශේෂ 45756 පමණ දැනට හඳුනාගෙන ඇති අතර මොවුහු ලෝකයේ සෑම පරිසර පද්ධතියකටම අනුගත වෙමින් එනම් ගෙවතුවල,වනාන්තරවල,කාන්තාරවල පමණක් නොව දියයට පවා වාසය කරනු ලැබේ.
මකුළුවා ද්විඛණ්ඩ ශරීරයක් හිමි සත්ත්වයෙකි.ශීර්ෂ උරිස සහ උදරය එම ඛණ්ඩ දෙක වේ.ඇස් අටකින් යුතු මකුළුවන්ගේ හිස සහ පපුව එකිනෙක බද්ධ වී පවතියි.ශ්‍රවණේන්ද්‍රියක් සහ නාසයක් නොමැති වුවත් එම අවයවයන්ගෙන් සිදු කෙරෙන කාර්යයන් ඉෂ්ට කරගැනීමට ශරීරය පුරා විහිදී යන කේශර පද්ධතියක් පවතියි.පෙනහැල්ලත් හෘදය වස්තුවත් උදරයේ පිහිටන අතර පාද හැසිරවීම සඳහා මාංශපේශී දායක වේ. මාංශභක්ෂකයෙකු වුවද මකුළුවන් මාංශ සපා ගිලීමක් සිදු කරන්නේ නැත.ඒ වෙනුවට කෙළවලින් විෂ ශ්‍රාවයන් ගොදුරු වෙත විඳ එමඟින් ගොදුර ජීරණය කරනු ලැබේ.පසුව මොවුහූ උන් සතුව පවතින් උපාංග ආශ්‍රයෙන් ගොදුර අඹරා යුෂ උරාබීම සුදු කරයි.
මකුළුවන් සේද නිෂ්පාදනයේ දක්ෂයින්ය.පර්යේෂණ ඇසුරෙන් දැනට වසර මිලියන 380කට පමණ පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මකුළු දැල් විවීම සිදුකර ඇතිබව හඳුනාගෙන තිබේ.මකුළුවා විසින් දැල වියනු ලබන්නේ යටිබඩෙහි පවතින කෝෂයකින් නිකුත් කරන ඇලෙනසුලු නූල් විශේෂය උපයෝගි කරගෙන ය.එම දැලෙහි පැටලෙන යම් කෘමියෙක් වේද බේරී පළායාමට වෙහෙසීමේදී තව දුටරත් එම දැලෙහිම පැටලී යනු ලැබේ.එසේම මෙම කෘමියාගේ දැඟලීම නිසා දැලෙහි ඇතිවන සෙලවීම් තුළින් මකුළුවා තමාට ගොදුරක් ලැබී ඇති බව හඳුනාගනියි.එවිට සැඟවී සිටින තැනින් එළියට පැමිණෙන මකුළුවා කෘමියා ගොදුරු කරගනියි. බොහෝ අවස්ථාවල දී විශාල කෘමීන්(ලොකු කුරුමිණියන් වැනි) දැලෙහි පැටලීම හේතුවෙන් දැල ඉරී යාම දැකගත හැක.එහෙත් මකුළුවෙකුට නැවත දැල විවීම හෝ අලුත්වැඩියා කිරීම බරපතල කරුණක් නොවේ.ඔවූහු ඉතා කෙටි කාලයක් තුළ එනම් විනාඩි තිහක් විනාඩි හතලිස් පහක් වැනි කාලයක් තුළ තම නිර්මාණ කාර්යය ඉටු කරගනු ලැබේ.
මකුළු දැල් තන්තු ආකාරයට පැවතුණ ද මකුළුවා එය ශරීරයේ ගබඩා කරගෙන සිටිනුයේ ඉතාමත් උකු ද්‍රවයක් වශයෙනි.මකුළු දැල්වල ව්‍යුහය නිර්මාණය වී පවතින්නේ ඇමයිනෝ අම්ලවලින්ය.එනම් ග්ලයිසීන් සහ ඇලනීන් යන ඇමයිනෝ අම්ල මඟින් ය.මෙය ප්‍රෝටීනයක් වේ.මෙම ප්‍රෝටීන දාමවල සැකැස්ම අනුව දැල් වර්ග හතක් වෙනස් ග්‍රන්ථි හතකින් නිපදවන්නට මකුළුවන්ට හැකියාව පවතී.සෑම මකුළුවෙක්ට ම මෙම දැල් වර්ග හත නිර්මාණය කළ නොහැකි නමුත් පිරිමි සත්ත්වයෙකුට අවම වශයෙන් මෙලෙස දැල් විවීමට අවශ්‍ය ග්‍රන්ථි වර්ග එකත් හතරක් අතර ප්‍රමාණයක් පිහිටා ඇත.මකුළුවන් මෙවැනි මකුළුදැල් සැකසීම තුළින් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමෙන් පමණක් නොව අල්ලාගත් ගොදුරු ඔතාගැනීමටත්, බිත්තර කෝෂ සකසා ගැනීමටත්, ගල් හෝ පත්‍ර යට විවේකී ස්ථාන සාදාගැනීමටත් අලුතින් උපදින පැටවුන්, විලෝපිකයන්ගෙන් බේරාගැනීමටත් යොදාගනු ලැබේ.මෙම දැල් උපයෝගී කරගෙන බොහෝවිට එළිමහනේ මකුළුවන් පැරිෂුට්කරැවන් සේ පාව යනු දැකගත හැකිය.
මකුළු දැලක පැටලීමේ දී අපිට ඇලෙනසුළු බවක් දැනෙන අතර මකුළුවාගෙ උදරයේ තියෙන ග්‍රන්ථියකින් ස්‍රාවය වන ද්‍රව බිඳිති, සේද තන්තු දිගේ තැනින් තැන අතුරා ඇත.මේ විශේෂිත ඇලෙනසුලු ද්‍රවය සමන්විත වෙන්නේ ස්වභාවික බහුඅවයවිකයකින් ය.මෙලෙස සකසන මකුළු දැලේ පවතින සුවිශේෂත්වය වන්නේ ඇලෙනසුළු බවට වතුරෙන් බාධාවක් නැතිවීමයි.මකුළුවන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරනු ලැබේ.එහිදී මූලික වශයෙන් මකුළුදැල් නිර්මාණය කරන අතර ඊට හසුවන කෘමියෙකු පළායන්නේ ඉතා සීමිත අවස්ථාවකදී පමණි.එසේ ම කෘමීන් ගමන් කරනවිට හෝ පියඹායන විට සැඟවී සිට උන් මතට පනින මකුළුවන් ඔවුන්ව දඩයම් කරගනියි.ඊට අමතර දුර සිට කෘමීන්ගේ ශරීරය වෙත ඇලෙනසුලු දියර විඳ උන් එහි ඇලුණු විට ගොදුරු කරගැනීමද මකුළුවන්ගෙ සිරිතකි. කෘමීන්ගේ සාරය තුළින් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගනියි.
ලිංගික කාර්යය අවසානයේදී මකුළු පුරැෂයා ගැහැනු සත්වයාගේ ආහාරය බවට පත්වන අවස්ථා සුලබ වේ.මකුළුවන්ගේ ගැහැනු සත්ත්වයා එනම් මකුළුදෙන පැටවුන් රැකබලාගනු ලැබේ.තම ශරීරයේ පිටත විශේෂ කෝෂයක් සකසා ගන්නා මකුළුදෙන ඒ තුළ බිත්තර සුරක්ෂිත ව තබාගෙන රකිනු ලැබේ.එම බිජු බිඳී මකුළු පැටවු ජීවය ලද පසුවද එම පැටවුන් තම පිටෙහි තබාගෙන මකුළුදෙන ගමනු කරනු දැකගත හැකි ය.බොහෝවිට තම දරුවන් කෙරෙහි සෙසු සත්ත්ව කොට්ඨාශ මෙන් දයාර්ද්‍ර වන්නේ මකුළුදෙන විසිනි.සෙසු කෘමීන්ගෙන් තම පැටවුන් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන මකුළු මව තම බිත්තර හෝ පැටවුන් ගොදුරු කරගැනීමට එන සතුරු පාර්ශවයන්හට ඉඩක් නොතබා පහර දීමට තරම් දරුණු වන්නෙ මවකගේ සෙනෙහස පෙන්වාදෙමිනි.
මකුළුවන්හට සමහර අවස්ථාවල ගොදුරු නොලැබෙන අතර එවිට සති ගණනාවක් වුව නිරාහාර ව ජීවිතය රැක ගැනීමේ හැකියාව මොවුනට ඇත. කොඳුඇට රහිත ඇරක්නිඩා සත්ත්ව ගණයට අයත් මකුළුවන් පිළිබඳ සමීක්ෂණ සිදුකරන කීට විද්‍යාඥයන් දක්වන්නේ දිනපතා මකුළුවන් විසින් ලෝක ජනගහනයේ බරට සමාන කෘමීන් ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවයි.තවදුරටත් මකුළුවන් පිළිබඳ ව කරුණු දක්වන ඔවුන් පවසන්නේ කිසිදු පලිබෝධනාශකයකින් මර්දනය කළ නොහැකි තරම් කෘමීන් ප්‍රමාණයක් මකුළුවන් විසින් ආහාරයට ගෙන පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරන බවයි.
මකුළුවා සම්බන්ධ විවිධ කතාන්දර දැකගත හැක.ඒ අතර මකුළුවන් සම්බන්ධයෙන් ග්‍රීක පුරාවෘත්තයක් ද පවතියි.එක් කාලයකදී ඉතා දක්ෂ ලෙස ගෙතුම් කාර්යයෙහි නිරත වූ දැරියක් සිටි අතර ඇයගේ නම අරාක්නී නම් විය.ඇගේ ගෙත්තම්වල සුන්දරත්වය කෙතරම්ද යත් දිව්‍යාංගනාවන් පවා ඇගේ ගෙත්තම්කරණය දැකගැනීමට පැමිණ ඇත. මෙලෙස ප්‍රසිද්ධ වීම නිසා අරාක්නී නම් දැරිය තමා හා ගෙතීමේ තරඟයකට ඇතීනා දෙවඟනට ආරාධනා කළා ය. මේ තුළින් ඇතීනා දෙවඟන කෝපයට පත් විය.ඊට හේතු වූයේ ගෙතීමට සහ විවීමට අධිපති දෙවඟන ඇය වූ නිසාවෙනි.ඇයගේ විෂය පථය තුළ එම කාර්යයෙහි නියුතු දැරියක් ඇයට අභියෝග කිරීම ඇතීනා දෙවඟනට ලජ්ජාවට කරුණක් විය.විශේෂයෙන් මිනිස් දියණියක විසින් තමාට අභියෝග කිරීම තුළින් ඇය වැනි දෙවඟනකට ඇතිකරන හීනමානය සුලුපටු නොවී ය.තරඟය පැවැත්වුණු අතර ඇතීනා දෙවඟන පරදවමින් අරාක්නී ගෙතීමෙන් ජයග්‍රහණය හිමි කර ගත්තා ය.මෙයින් කෝපයට මෙන් ම ඊර්ෂ්‍යයාවට පත් වූ ඇතීනා දෙවඟන තම ගෙත්තමේ වැල් බුරුල් කළා ය.එවිට ගෙත්තම දැලක් වූ අතර අරාක්නී මකුළුවෙක් බවට පත් විය.එතැන් පටන් මකුළු පරපුර පැවතගෙන එන බව මෙලෙස ග්‍රීක විශ්වාසවල සඳහන් වේ.
මකුළු පවුල තුළ විවිධාකාර මකුළු විශේෂ හඳුනාගත හැක.අප නිරන්තරයෙන් දකින නිවාස ආශ්‍රීත මකුළුවන් බොහෝවිට ඉතා අවිහිංසක මකුළු විශේෂ වේ.එහෙත් ගෘහාශ්‍රිත ව වාසය කරන අහිංසක මකුළුවන් බොහෝ අවස්ථාවන්හී දී විෂ සහිත මකුළුවන් යැයි අනවබෝධයෙන් මරාදැමීම සිදුවේ.එහෙත් ඇතැම් මකුළු විශේෂ ඉතා විෂ සහිත වේ.ලෝකයේ විෂ අධික මකුළු විශේෂයන් වාසය කරනු ලබන්නේ ඌෂ්ණ දේශගුණ කලාපවල ය.ලැට්ට්‍රොඩෙක්ටස් මැක්ටන්ස් ලෙස හඳුන්වන මොවූහූ දීප්තිමත් කළු මකුළුවන් විශේෂයක් වේ.මොවුන්ගේ දෂ්ටනයෙන් මිනිසුන් මිය යාම පවා සිදු වී ඇත.උතුරු ඇමරිකානු ඌෂ්ණ වනාන්තරයේ දක්නට ලැබෙන මොවුන්ගේ යටි පැත්තේ ලපයක් දැකගත හැක.මොවුන්ගේ දෂ්ටනය නිසා මූලික ව රුධිර පීඩනය වැඩිවීමත් සිරුරේ මාංශපේශී පෙරළීමත් අප්‍රාණික බව ඇතිවීමත් සිදු වේ.
සමහර මකුළු විශේෂ වෙරළ ආශ්‍රිත ව වාසය කරනු දැකගත හැක.වෙරළේ ගල්පරවල පවතින් කුහර තුළ වාසස්ථාන සකස් කර ගනියි.එහිදී ජලය කාන්දු නොවන සේ ආවරණයක් සකසා ගන්නා මොවූහු වඩදිය අවස්ථාවේදී සැඟ වී සිටින අතර බාදිය අවස්ථාවේදී පිටතට පැමිණ ගොදුරු දඩයම් කරනු ලැබේ.සමහර මකුළුවන් දැල් විවීමෙන් වැළකී ගල් යට හේ සිදුරු ඇතුළත හෝ පට නූල්වලින් සකස් කරගන්නා ලද ආවරණ තුළ වාසය කරනු ලැබේ.එංගලන්තයේ එක් මකුළු විශේෂයක් සේද නළයක වාසය කරනු ලැබේ. ලෝකයේ විශාලම මකුළු විශේෂය වාසය කරනුයේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ය.අඩියකුත් අඟල් දෙකක් පමණ විශාල වන මෙම මකුළු විශේෂය අඩු විහාදාගත් විට පළල අඩි දෙකක් පමණ වේ.
පාද යුගල හතරක් හිමි දිවි මකුළුවන් නිශාචර සත්ත්ව කොටසක් ලෙස හැඳින්විය හැකි අතර විවිධ පරිසරවලට අනුවර්තනය වී ජීවත්වීමේ හැකියාව මොවුන් සතු වේ.දිවි මකුළුවන් රූස්‌ස වනාන්තරවල ශාක කඳන් මත, ගස් බෙනවල, පොළොවේ ගල් කුහරවල හා ගල්කුළු අතර වාසය කරයි.සතුරන්ගේ ආක්‍රමණවලින් වැළකී ගොදුරු අල්ලා ගැනීමේ අතිදක්‍ෂ දිවිමකුළුවන් තම ජීවන පැවැත්ම සඳහා උපකාරී කරගන්නේ තමන්ම සකස්‌කර ගන්නා මකුළුදැලයි. එහෙත් දැලක් නොවියාද සැඟවී සිට ගොදුර වෙත පැන විස දළවලින් පහර දී ගොදුර අකර්මණ්‍ය කර යුෂ උරා බීමට දිවි මකුළුවන් ඉතාම ශූරයන්ය. ගොදුරකට විෂ දළවලින් දෂ්ට කළ සැණින් දෂ්ට කළ තැන මාංශපේශී/ලිහිල්ව යන අතර ඉන් ගොදුරේ යුෂ උරා බීමට පහසු වේ. ගොදුර ස්‍රාවයක් ලෙස උරා බොන මොවුන් කුඩා පක්‌ෂීන්, ගෙම්බන්, පළඟැටියන්, කටුස්‌සන්, කැලෑ හූනන්, කැලෑ කැරපොත්තන්, පළගැටියන්, කුඩා කෘමීන් වානර කුලයේ කුඩා පැටවුන්ගෙන් පවා සාරය උරා බීමට තරම් දිවි මකුළුවන් දක්‍ෂයි.
දිවිමකුළු පවුලක පිරිමි සතාට වඩා ගැහැනු සතා ශරීර ප්‍රමාණයෙන් විශාලවේ.වරකට එක බැගින් බිත්තර දමන ගැහැණු මකුළුවා වසරකට 50-200 පමණ වන බිත්තර ප්‍රමාණයක් බිහිකරනු ලැබේ.මේ සියලුම බිත්තර තැන්පත් කරන්නේ කෝෂයක් තුළයි. මෙම ප්‍රජනන ක්‍රියාවලියේ දී බොහෝ දිවිමකුළු විශේෂවල ගැහැනු මකුළුවන් විසින් පිරිමි දිවිමකුළුවන් ආහාරයට ගැනීම ද සිදු කරයි.මේ අතර දිවිමකුළු පැටවුන් ද තම මවගේම ගොදුරු බවට පත්වන අවස්‌ථා ද හඳුනාගත හැකිය.දිවිමකුළුවා ද හැව අරින සත්ත්ව කොට්ඨාශයකි.මසකින් පමණ පැටවුන් වර්ධනය වී තනිවම ගොදුරු සොයා ගතහැකි තත්ත්වයට පත්වේ.ශරීරය නිසි පරිදි වර්ධනය වූ පසු මෙම හැව ඇරීම සිදුවන අතර ඒ සඳහා දින පහක පමණ කාලයක් ගත වේ.මෙම කාලයට උරස් ප්‍රදේශයට වඩා උදර ප්‍රදේශය විශාල වන අතර හැව ඇරීමෙන් පසු ශරීරයේ දුර්වර්ණ වූ ලොම් හැලී ගොස් ශරීරය ඉතා වර්ණවත් පැහැයෙන් දැකගත හැකිය.ලොව වෙසෙන උග්‍රම විෂ ඇති දිවිමකුළුවා වන්නේ බ්‍රසීලයේ වනාන්තරවල වෙසෙන වොන්ඩරීන් දිවිමකුළුවාය.මෙම වර්ගයේ දිවිමකුළුවකු දෂ්ට කළ අයෙකුට ප්‍රතිඖෂධ ලබා දුන්න ද දෂ්ට කළ තැනැත්තා මරණයට පත්වීමේ අවදානම බහුලයි. විශාල කැලෑ මීයන්ගේ යුෂ උරාබීමෙන් ජීවත්වන මොවුන් " ඉක්‌මන් කේන්තිකාරයා" ලෙස වාර්තා පොත් අතර ද ජනප්‍රියයි.
මකුළුදැල් අපිට හිරිහැරයක් අනවශ්‍ය කරදරයක් ලෙස හැඟුණද ඒ මඟින් පරිසරයට ඇතිවන ප්‍රයෝජනය ගිණිය නොහැකි තරම් ය.ඇමරිකාවේ ටෙක්සාස්හි ඒ ඇන්ඩ් ඇම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මර්වින් හැරිස් දක්වන්නේ ගොවියාගේ හොඳ ම මිතුරා මකුළුවා බවයි. ඔහු දක්වන පරිදි ඒ බව ගොවියන් බහුතරය නොදන්නා කරුණක් වන අතර නිකරුණේ මකුළුවන් විනාශයට පත් කරන බවයි.එහෙත් අතිවිශාල වනාන්තරවල වාසය කරන මකුළුවන් විසින් එම ශාක විනාස කරමින් ආහාරයට ගන්නා පණුවන් තම ආහාරය ලෙස යොදාගැනීම නිසා ශාක ප්‍රජාව ආරක්ෂා වීම ස්වභාවිකව ම සිදුවේ. මෙම මකුළුවන් ගස් අතර බඳින් මකුළුදැල්වලට මෙම පණුවන් හසුවන අතර මකුළුවන් විසින් දිනකට පණුවන් හතරක් පහක ප්‍රමාණයක් දඩයම් කරනු ලැබේ. නිවාසවල නොපිපෙන එහෙත් වනාන්තර තුළ වැඩෙන විවිධ විචිත්‍රවත් මල් වර්ග පවතින අතර ඒ අතරින් ද ඕකිඩ් සුවිශේෂ වේ.මෙම පණුවන්ගේ ප්‍රධාන ආහාරයබවට පත්වන්නේ මෙම මල්වන අතර එම මල් සුරැකීමට හේතු වී ඇත්තේ මකුළුවන් වනාන්තර බහුල ව විසීම නිසා පණුවන් ඔවුනගේ ගොදුරුබවට පත්වීම නිසාවෙනි. චීන ගොවියන් තම වගාවන් කෘමීන්ගෙන් ආරක්ෂා කරගැනීමට මකුළුවන් වගාවන් තුළ වර්ධනය වීමට ඉඩ හැර ඇත.ඔවූහූ එය දිගුකලක් පවත්වාගෙන ආ ක්‍රියාවක් වන අතර එමඟින් තම වගාවන් සාර්ථක කරගැනීමට ඔවුනට හැකි වී ඇත. ඔවුන් දක්වන්නේ මේ මකුළුවන් නිසා වගාවන්ට රසායනික පලිබෝධනාශක අනවශ්‍ය බවයි. දක්වන්නේ මේ මකුළුවන් නිසා වගාවන්ට රසායනික පලිබෝධනාශක අනවශ්‍ය බවයි
මකුළුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින සාමාන්‍ය ජන මතය වන්නේ ඔවුන් විෂ සහිත සතුන් බවයි.විවිධ මිථ්‍යා මත හේතුවෙන් මකුළුවන් කෙරෙහි මිනිසා තුළ පවතින්නේ අනිසි බියක්ය.විශේෂයෙන් මකුළුවන්ගේ,ශරීර වර්ණ සහ ස්වභාවය මීට බෙහෙවින් බලපා තිබේ. ලාංකීය සමාජය තුළ ද මකුළුවන් විෂයෙහි විවිධ කතා පවතින බව දැකගත හැක.රාත්‍රී කාලයේ මකුළුදැල් කැඩීම නුසුදුසු බව දක්වන පැරැන්නන් ගැබිනි කාන්තාවන් හට මකුළුදැල් කැඩීමට අවසර නොදෙයි.
ලංකාවෙන් හමුවන මකුළු විශේෂවලින් කිසිවෙකු මාරාන්තික විෂ සහිත මකුළුවන් නොවන අතර යම් තරමකට හෝ විෂ පවතින්නේ දිවි මකුළුවාගේ පමණි.ලංකාවෙන් දිවි මකුළු විශේෂ නවයක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ අටක් ලංකාවට ආවේණික දිවි මකුළු විශේෂ වේ.නිසි පරිදි මකුළු විශේෂ හඳුනා ගැනීමට තරම් මෙම විෂය ක්ෂේත්‍රය පුළුල් ලෙස වයාප්ත නොවීම හේතුවෙන් මකුළු ගහනය අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වියහැක.පරිසර තුලිතතාවයට අතහිත දෙන මකුළු සම්පත රැකගැනීම සෑම පුද්ගලයකුගේම වගකීමකි.මකුළුවෙක් දුටු විගස ඌ මරාදැමීමට උත්සාහකිරීම වෙනුවට අප කළ යුත්තේ තමා සතු අනියත බිය තවත් ජීවියෙකුගේ ජීවිතය විනාශයට හේතුවක් නොකර ආරක්ෂාකාරී ලෙස එම සත්ත්වයා සුදුසු පරිසරයක් වෙත යොමු කිරීමයි.