කලාව පිළිබඳව විවිධ විදියේ අර්ථ නිර්වචනයන් ඉදිරිපත් වී ඇත. එහෙයින් පොදු අර්ථකථනයක් දැක්වීම උගහට කරුණකි. එසේ වුවද 'කලාව' යන සංකල්පය විවිධ ඓතිහාසික යුගවලදී විවිධ අරුත්හි යෙදෙමින් සංකීර්ණ අදහස් පළකරණු ලැබූ බව කලා ඉතිහාසය විමසිල්ලට ලක්කරන විට පසක් වේ. කලාව පිළිබඳව "සිංහල විශ්වකෝෂයේ" මෙසේ අර්ථ විග්‍රහ කරණු ලබයි.
"කලාව යනු ගීත වාද්‍යාදී බාහිර ක්‍රියා හා වැළඳ ගැනීම්, සිප ගැනීම් ආදී ක්‍රියා ලෙස කාමසූත්‍රයේ සදහන් වේ. අක්ෂර ලිඛිත ආදී ශිල්ප හැට හතර ලෙස සාහිත්‍යයේ සදහන් වේ. නෘත්‍යගීතාදිය කලාශිල්ප ලෙස හදුන්වා ඇත. පෙරදිග වාසීන්ගේ කලාව පිළිබඳ සංකල්ප කෞශල්‍යය හා සම්බන්ධ බව මින් පෙනේ. ඔවුන් කලාව හා ශිල්ප අතර වෙනසක් නොදැක්කා යැයි හැගේ. චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, සංගීත ශාස්ත්‍ර, නෘත්‍ය කලා ආදී යෙදුම් වලින් පෙනෙන්නේ ශිල්ප ශාස්ත්‍ර කලායන වචන සමාන අර්ථයෙන් යෙදුණු බවයි. කලාව යන්නට ඉංග්‍රීසි, ලතින්, ජර්මන් භාෂාවල අනුපිළිවෙළින් යෙදෙන Art, Ars, Kunst යන වචන වලින් දෙන මූලික අර්ථය කුශලතාවයි. යම් කාර්යයක කුසලතාවක් ලබන්නා ශිල්පියෙකු නැතහොත් කලාකරුවෙකු ලෙස හදුන්වනු ලැබේ."
ඇත්ත වශයෙන්ම කලාව යනු රසිකයා පිනවන අපූර්වත්වයෙන් යුත් සෞන්දර්යාත්මක නිර්මාණයකි. ඒ අනුව කලාව වනාහි රමණීයත්වය ඇතිකරවන්නා වූ කාර්යයකි. එසේ වුවද කලාව යනු රමණීයත්වය ප්‍රකට කිරීමය සංකල්පය පෙනෙන තරම් සරල එකක් නොවේ. මන්ද ස්පර්ශ රසය සුවද වැනි පංචේන්ද්‍රියන් හා එය සම්බන්ධ වන හෙයිනි. එක් අයෙකු දකින රමණීයත්වය තවත් කෙනෙකුට එසේම විය යුතුයැයි නියමයක්ද නැත. සමහර දෙනෙකු පිළිගන්නා ආකාරයට රමණීයතාව ගැබ්ව ඇත්තේ විෂය බද්ධ තත්ත්වය තුළය. කලාකරුවාගේ කාර්යය වන්නේ එය වාර්තා කිරීමය. තවත් අදහසකට අනුව රමණීයතාව ගැබ්ව ඇත්තේ ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීමේදී කලාකරුවා තුළ ඇති ශක්‍යතාව, ශෛලිය හෝ ශිල්පධර්ම තුළය. සමහර විචාරකයෙකු ප්‍රකාශ කරන ආකාරයට රමණීයත්වය යනු විවිධත්ව තුළ ඇති ඒකීයත්වය හෙවත් කලාකරුවා විසින් තම නිර්මාණයෙහි තේමාව හෝ මූලික අදහස ඉදිරිපත් කිරීමට දායකවන හැම අංගෝපාංගයකම සුසංයෝගයයි.
ඇතැම් කලා විචාරකයෙකු කලාව යනු රමණීයත්වය ඉක්මවා ගිය සාධුත්වය ලෙස හදුන්වනු ලබයි. තවත් විචාරක පිරිසකගේ අදහස වූයේ ආගමික හැගීම්වල එකමුතුවෙන් රමණීයත්වය උපදින බවයි. ජෝන් කිට් සහ ඔහුගේ අනුගාමිකයන් සිතූ අන්දමට රමණීයත්වය නම් සත්‍යයි. සත්‍ය නම් රමණීයත්වයයි. කලාවේ අරමුණ රස ජනනය කිරීම බව භරතමුනිගේ ප්‍රකාශනයයි. කලාව පිළිබඳව යථාර්ථවාදී විශ්ලේෂකයන් මෙන්ම මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාග්නයින් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු අදහස් ද මෙහිලා වැදගත් වේ. "කලාව වනාහි සංස්කෘතියේ සංකේතාත්මක ප්‍රකාශනයකි." යන්න ඉන් එක් උපුටනයකි. එය මාක්ස්ට අනුව, බුද්ධිමය ජීවිතයේ ක්‍රියාදාමය සකස් කරනු ලබන්නේ ද්‍රව්‍යමය ජීවිතයේ නිෂ්පාදන විධිය විසිනි. ඒ අනුව කලාවේ ප්‍රභවය ද හදුනාගත හැක්කේ ද්‍රව්‍යාත්මක සාධක වලිනි. අවසාන විග්‍රහයේදී කලාව වනාහි භෞතික ලෝකය පිළිබඳ සමාජ යථාර්ථවාදී ප්‍රකාශනයකි.
තව දුරටත් කලාව පිළිබඳ මාක්ස්ගේ විග්‍රහය අනුව අදහස් වලට පමණක් තනිව සමාජය වෙනස් කළ නොහැකිය. මිනිසා සොබාදහමේ, ද්‍රව්‍යමය ලෝකයේ කොටසකි. කලාව පිළිබඳ මාක්ස්වාදී නිර්වචනයේදී, එය කලාවේ ප්‍රධාන ගුණයන් හා ජාති ලක්ෂණ සංයුක්ත කොට ඉතාම කෙටියෙන් ඉදිරිපත් කර ඇත.
"ප්‍රකෘතිය, සෞන්දර්යාත්මක ලෙසින් මිනිස් මනසේ පිළිබිඹු වීම කලාව වේ"
මෙයින් කියවෙනුයේ, කලාව යනු මිනිස් මනසේ ඇති හැකියාවක් හෙවත් ගුණයක් බවය. රුසියානු මහා ගත්කතුවර ලියෝ ටෝලස්ටෝයි (1828-1910) ද, කලාව පිළිබඳ ව පුළුල් විග්‍රහයක් ඔහුගේ "කලාව යනු කුමක්ද" ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරයි.
"කලාව වූ කලී, එක් අයෙකු සිතාමතා ම යම් යම් බාහිර සලකුණු උපයෝගී කරගෙන, අන්‍යයන් ආසාදනය වන සේ, ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ජනිත කරවන මානව ක්‍රියාවලියකි....."
මහාචාර්ය ඒ. වී සුරවීරයන් පවසන පරිදි කලාව යනු කුමක්දැයි තේරුම් ගැනීම සදහා කලාව නොවන්නේ කුමක්දැයි දැන ගැනීම ප්‍රයොජනවන් වේ.
"......කලාව යන්න ශිල්පය, විද්‍යාව, ප්‍රචාරය, විනොදය යනාදී වචන හා අනුරූප නොවන බව නම් පිළිගත හැකිය. යම් සෞන්දර්යාත්මක හෝ විනෝදාත්මක ගුණයකින් යුක්ත නිර්මාණයෙහි කලාත්මක අගයක් ඇති බව නම් පිළිගැනේ. පරිකල්පනය මගින් ආස්වාදනය කළ හැකි හෝ වින්දනයක් බවට පත්කරගත හැකි හෝ යම් නිර්මාණයක් වේද, එය කලාව බව සාමාන්‍ය පිළිගැනීමයි...."
කලාව පිළිබඳ බොහෝ සාවද්‍ය අදහස් ඇති වී තිබෙන්නේ 'කලාව', 'රමණීයත්වය' යන වචන භාවිතයේදී පවතින විෂමතා හේතු කොට ගෙනය. අපි බොහෝ විට රමණීය හැමදේම කලාව ලෙස සැලකීමට පුරුදු වී සිටිමු. එසේම, කලාව හැම කල්හි රමණීය බවත්, රමණීය නොවන හැමදේම කලාව නොවන බවත්, රමණීයත්වය කලාවෙන් පරිබාහිර දෙයක් බවත් අපි සලකමු. කලා රසග්නතාව පිළිබඳ සියලු ගැටුම්වලට පසුබිම් වී ඇත්තේ මේ කලාව රමණීයත්වය ලෙසම හදුනාගැනීමයි. රමණීයත්වයෙන් තොර වස්තු පවා කලා ගණයට අයත්වන බව බොහෝ විට දක්නට ලැබේ.
කලාව පිළිබඳව පෙර අපර දෙදිගම පුරාණයේ පටන් විවිධ මත පළ වී ඇත. කලාව කලාව සදහා යන සංකල්පය, සෞන්දර්යවාදය අරඹයා දහනව වැනි සියවසේ යුරෝපයේ ව්‍යාප්ත වූවකි. මෙය බොහෝ විට මුලින්ම ප්‍රංශ සාහිත්‍යධරයන් විසින් වහරනු ලැබූවකි., "Art for Arts sake" යනුවෙන් ඉංග්‍රීසියෙහි වැහැරෙන මේ සංකල්පය ප්‍රංශ භාෂාවේ ව්‍යාවහාර වූයේ "art pour art" යනුවෙනි. කලා නිර්මාණ සෞන්දර්යමය හෝ සෞන්දර්යය උදෙසා හෝ විය යුතු බවයි මෙයින් පැවසෙන්නේ.
මේ හැරෙන්නට…
කලාව ජීවනය සදහාය.
කලාව ජීවනයේ කම්කටොලු වලින් ගැලවී සිටීම සදහාය.
කලාව ජීවනයේ කම්කටොලු වලින් නොසැලී සිටීම සදහාය.
කලාව සේවය සදහාය.
කලාව ආත්මානුභූතිය සදහාය.
කලාව ප්‍රීතිය ලබනු සදහාය.
කලාව විනෝදය සදහාය.
කලාව ඉන්ද්‍රියන් පිනවීම සදහාය.
යනුවෙන් පළවන අපරදිග මත රාශියකි. පෙරදිග මතද රාශියකි.
කලාව වූ කලී එකම වේදිතයක් තුළින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යක් පමණක් නොව, පුද්ගලයන්ගේ සහ මිනිස් සංහතියේ පැවැත්ම සහ අභිවෘද්ධිය සදහා අත්‍යාවශ්‍ය මාධ්‍යක් වන්නේය.....