හිම කුමාරි, තම්බලීනා, කැත තාරාවා වැනි සුරංගනා කතන්දර නමින්වත් අසා නැති අයෙකු නැති තරමට ඒවා අපේ ළමාවිය වර්ණවත් කර ඇතුවා සේම අදට ද සුවහසක් දරුවන්ගේ ජීවිතවලට අපූර්වත්වයක් එක්කරයි. මෙම සුරංගනා කතන්දර ලියූ ලේඛකයා වන්නේ ඩෙන්මාර්ක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් බව රහසක් නොවේ. කෙසේ වුවද හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ ජීවිතය ඔහුගේ සුරංගනා කතන්දර තරම් සුන්දර එකක් නො වීය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරට ආසන්නව පිහිටි ඩෙන්ස් වල දුප්පත් දෙමව්පියන් ට දාව 1805 වසරේදී උපත ලද ඔහුට සිය ජීවිත කාලය පුරාම පන්ති භේදය සමඟ සටන් කරන්නට සිදුවිය. ඔහුගේ පියා සපතේරුවෙකි. ඇන්ඩර්සන්ට වයස අවුරුදු එකොලහේදී ඔහු මෙලොව හැරදා ගියේ ය. අඩු අධ්‍යාපනයක් සහිත ගෙවිලියක වූ ඇන්ඩර්සන්ගේ මව ඔහුට මිළ කළ නොහැකි ත්‍යාගයන් දෙකක් ලබාදුන්නා ය. එනම්, ඔවුන් උපන් ප්‍රදේශයේ ජනප්‍රවාද කතා සහ නොසැලෙන විශ්වාසයයි. කුඩා වියේ සිටම ඇන්ඩර්සන් පෙනුමෙන් පවා සමාජයේ මිනුම්වලට අනුව අවලක්ෂණ අයෙකු විය. අස්වාභාවික උස, අවලස්සන පෙනුමට අමතරව ඔහු තුළ ස්ත්‍රී ලක්ෂණ ද බහුලව තිබී ඇත. අනෙක් පිරිමි ළමුන් පිට්ටනිවල ක්‍රීඩාකරන විට ඔහු නිවසේ හිඳ බෝනික්කන්ට ඇඳුම් අන්දවමින් රූකඩ සමඟ ඔහුගේම රඟහලේ පුහුණුවීම්වල යෙදුණේ ය. ඉවසිලිවන්ත වූ ඔහුගේ මව කලාව පිලිබඳව තම දරුවාට ඇති ඇල්ම වර්ධනය වන්නට සහ මූලික අධ්‍යාපනය සඳහා ඉඩ දුන්නා ය. Ugly Duckling හෙවත් කැත තාරාවා නම් සුරංගනා කතාව ලියැවී ඇත්තේ ඔහුගේ මේ ළමා විය පාදක කරගෙන බව විචාරකයෝ පෙන්වා දෙති.
තරුණ වියට එළඹෙන විට ද ඇන්ඩර්සන් අඩු අධ්‍යාපනයක් ලද අයෙකු විය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ රාජකීය කලා පාසලට ඇතුළත් ව නර්තන ශිල්පියෙකු වීම ය. කෙසේ වුවද ඔහු තුළ අනර්ග සොප්‍රානෝ ස්වරයක් තිබූ අතර ප්‍රදේශයේ ධනේශ්වර නිවාසවලට ගොස් ගීත ගැයීමෙන් මුදලක් උපයා ගැනීමට ඇන්ඩර්සන් ට ඉන් හැකියාව ලැබිණි. කුඩා කළ සිට රෙදි කර්මාන්තශාලාවක සේවය කළ ඔහුව එහි සේවකයන් පිනවීම සඳහා යොදවනු ලැබී ය. ඔහුගේ ස්ත්‍රීමය කටහඬ නිසා ඔහු සැබවින්ම කාන්තාවක්දැයි ඇන්ඩර්සන්ගේ මිත්‍රයන්ට ගැටලුවක් ඇතිවූ අතර ඔවුහු එකතුව ඇන්ඩර්සන්ගේ ඇඳුම් ගලවා ඔහු කාන්තාවක්දැයි පරීක්ෂා කළහ. පසුකාලීනව ඔහු වැඩකළ දුම්කොළ කර්මාන්තශාලාවේදී ද මෙම අවමානයට පත්වූ ඔහු සියදිවි නසාගන්නට ද උත්සාහ කර ඇත.
ඔහුගේ සමහර සුරංගනා කතා සැබවින්ම සුරංගනා කතා නොව ඔහුගේ ම ජීවන අත්දැකීම් සුරංගනා කතා ශෛලියෙන් ලියන ලද ඒවා වීම ඔහුගේ ලේඛනයේ විශේෂත්වයයි. ඔහුගේ සපත්තුවට බැස සැතපුම් ගණන් දුර පාඨකයන්ට යාමට ඉඩ ලබාදුන් ඇන්ඩර්සන්ගේ කතා යුරෝපය පුරා බොහෝ පාඨකයන්ගේ සිත් ඇද බැඳ තබාගත්තේ ය. ඔහුගේ කෘති විචාරය කළ විචාරකයන් සේම ඔහු ද එම කතන්දර තමන්ගේ පුද්ගලික අත්දැකීම් ඇසුරින් ලියන ලද ඒවා බව පිළිගෙන ඇත. ඉහතදී සඳහන් කළ කුඩා වියේ ඔහු මුහුණ දුන් ගැටලු Ugly Duckling, The Little Mermaid, සහ The Steadfast Tin Soldier යන කතන්දර තුළින් නිරූපණය කර තිබේ.
අකුරු, සංකේත ආදිය කියවීම අපහසු වන ඩිස්ලෙක්සියා නම් රෝගයෙන් ඔහු කුඩා කළ පීඩා වින්ද ද ඉගෙනගැනීමට ඔහුට හැකියාව ලැබී තිබිණි. කෙසේ වුවද, ඔහුගේ කෘතිවල අත්පිටත් වැරදි අක්ෂර වින්‍යාසයන්ගෙන් පිරී පැවති බව පසුකාලීනව හෙලිදරව් විණි. ඔහුගේ ප්‍රකාශකයෝ මෙම අක්ෂර වින්‍යාස නිවැරදි කළ ද කථන භාෂාවට සමීප බසකින් ලියන ලද ඔහුගේ ලේඛන ශෛලියට කිසිදු බලපෑමක් නොකළහ. ඔහුගේ කෘතිවලට නැවුම්බව සහ දීර්ඝායුෂ ලබාදුන්නේ එම භාෂාව ය.
ෆෝබියාව හෙවත් භීතිකා ඇන්ඩර්සන්ට අලුත් ඒවා නොවී ය. ඔහුට තිබූ බරපතළම භීතිකාව වූයේ අහම්බෙන් තමාව පණපිටින් වළලනු ඇතැයි යන බියයි. එය Taphophobia( නිඛාති භීතිකාව) ලෙස හඳුන්වන අතර මෙවැනි බියකින් පෙළුණ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර නිකොලායි ගොගොල් සහ ජෝර්ජ් වොෂින්ටන් ද සිටිති. මීට අමතරව ඇන්ඩර්සන් බල්ලන් කෙරෙහි බියක් දැක්විය. ගින්නක් ඇතිවුවහොත් එයින් ගැලවීම සඳහා ඔහු යන යන තැන කඹයක් රැගෙන ගොස් ඇත.
ඇන්ඩර්සන්ගේ කෘති පිළිබඳ ඔහුගේ විවේචනයේ දී, ප්‍රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය සාහිත්‍ය විචාරකයෙකු, නවකතාකරුවෙකු සහ ස්කැන්ඩිනේවියානු සාහිත්‍යයේ කීර්තිමත් විශේෂඥයෙකු වන පෝල් අදහස් කළේ ඇන්ඩර්සන් ළමයින් සඳහා වන ලේඛන කාණ්ඩයට සීමා කළ නොහැකි බව සහ ඔහුගේ කෘති ප්‍රධාන ධාරාවේ යුරෝපීය සාහිත්‍යයේ හදවතෙහිම පවතින බව ය. ඇන්ඩර්සන්ගේ කෘතිවල වැඩිහිටි තේමාවන් ඇතුළත් නොවුණ ද, සුරංගනා කතා ද ඇතුළත් ඔහුගේ ලේඛනය වැඩිහිටියන් වෙනුවෙන් ම නොලියවුණ ද, නැපෝලියානු යුද්ධ අවසන් වීමත් සමඟ යුරෝපීයන් තුළ ඇතිවුණ සංකීර්න තත්වය ඇන්ඩර්සන්ට විශාල පාඨක ප්‍රමාණයක් ලබාදුන්නේ ය. තම සංචාර ඇසුරින් ඔහු සංචාරක සටහන් කෘති කිහිපයක් ද ප්‍රකාහයට පත් කර තිබේ. කෙසේ වුවද ලෝකයම ඔහු හඳුනාගන්නේ සුරංගනා කතාකරුවෙකු ලෙස බැවින් ඔහුගේ අනෙක් සාහිත්‍යයට යම් පමණක අසාධාරණයක් සිදුව ඇත.
සිය ජීවිතය සමඟ නොනවතින අරගලයක යෙදෙමින් සිය ජීවිතය ලේඛන කාර්යයට යොමු කළ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අදටත් ලොව පුරා සුවහසක් දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ සිත් තුළ පවා ආදරණීය චරිතයක් ලෙස විද්‍යාමානව වැජඹේ. ඔහුගේ කතාව අපට කියාපාන්නේ බාධක තරණය කරමින් ජීවිතය ට අරුතක් ළඟාකරගැනීමේ ඒ ධෛර්යය පිළිබඳවයි.
ඔහුගේම වචනයෙන් කියන්නේ නම්, "මම කැත තාරා පැටියෙක් වෙලා ඉද්දී කවදාවත් මේ වගේ සතුටක් ගැන හිතුවේ නැහැ."
"දුක් සහ කරදර විඳීම ගැන දැන් ඔහුට සතුටක් දැනෙන්නේ, තමා වටා වන ලොකු කුඩා සෑම සතුටක්ම දැන් ඔහුට හොඳින් භුක්ති විඳීමට හැකි නිසා ය"
ඔහු විසින් සිය කතන්දරවල ලියන ලද ඉහත වැකි දෙකම අපට කියාපාන්නේ ඔහුගේම ජීවිතය නොවේද?