ගැමි ජනවහරෙහි එන පරිසරය හා බැඳි කියමන් (456)

post-title

කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කොටගත් වැව්බැඳි සංස්කෘතියෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකේය ජන ජීවිතය තුළ වෙසෙසින්ම දැකගත හැකි කරුණක් වූයේ පරිසරය හා බැඳුණු අවියෝජනීය සබඳතාවයයි. වත්මන වන විට ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණ ක්‍රියවලිය හමුවේ අපට සරල ගැමි දිවියත් ඒ හා බැඳුණු සොබාදහමේ අපූර්ව සබඳතාවයත් අහිමි වී ගියද පැරැන්නෝ එය ඉතා අපූරුවට භුක්ති වින්දහ. පරිසරය අනුව වෙසෙමින් පරිසරයට ගරු බුහුමන් දක්වමින් පැවති ගැමි ජන ජීවිතයට පරිසරය කෙතරම් ළංවුවද යන්න පැහැදිලි වන්නේ හෙළ ජනවහර සමඟ එය අපූර්වාකාරයෙන් බැඳී පැවතුණු හෙයිනි. විටෙක උපමා ලෙසත් විටෙක ප්‍රස්ථාව පිරුළු ලෙසත් විටෙක සාම්ප්‍රදායික යෙදුම් ලෙසත් හරි අපූර්වාකාරයෙන් පරිසරය හා ගැළපුණු බස්වහරක් අප සතුව ඇත. හුදෙක් එය අපේ පැරණි මුතුන්මිත්තන් පරිසරයට දැක්වූ මහත් ළබැඳියාව ගම්‍ය කරන තවත් එක් අවස්ථාවකි. මේ එයට කදිම නිදසුන්‍ ය.

කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ 

කොහොඹ යනු තිත්ත රසයෙන් යුතු ශාකයකි. කරවිල ද ඒ හා සමානය. මේ දෙකෙහිම ගුණ එක හා සමාන වනවා සේ එක හා සමාන ගතිගුණ සහිත දෙදෙනෙකු එක්ව සිටින විට මේ යෙදුම භාවිත කරයි.

කරත්තෙට අහුවුණු කජු ලෙල්ල වගේ 

කජු ලෙල්ලක් කරත්ත රෝදයකට හසු වූ විට සිදුවන දේ අප කවුරුත් දනී. එලෙස කජු ලෙල්ල විකෘති වී යනවා සේ යම් කරුණක් නිසා ඇතිවන අප්‍රසන්න බව යමෙකුගේ මුහුණෙන් පිළිඹිබු වන අවස්ථාවලදී මෙම යෙදුම භාවිත කරයි.

ඉඟුරු දී මිරිස් ගත්තා වගේ 

මේ ප්‍රස්ථාව පිරුළ කියූ සැණින් මතකයට නැගෙනුයේ ලක් ඉතිහාසයේ වූ සිදුවීමකි. අතීතයේ දෙවන රාජසිංහ රජු මෙරට සිටි පෘතුගීසින් පලවා හැරීමේ අරමුණින් තවත් යුරෝපා ජාතියක් වූ ලන්දේසීන්ගේ සහාය පැතූ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ පෘතුගීසින් පලවා හැර ලන්දේසීන් මෙරට පාලන බලය ලබා ගැනීමයි. ඒ සිදුවීම එක් කරදරයකින් අත්මිදීමට ගොස් ඊට වඩා කරදරයක් ළංකර ගැනීමයි. එනිසා රජ අවධියේ සිටම මේ කියමන ජනවහරේ පැවතී ඇත.

පැණි වරකා ගහටත් හෙන වදිනවා වගේ

පැණි වරකා ඉතාමත් රසවත් පලතුරකි. ඒ වගේම පැණි වරකා නිතර කෑමට නොලැබෙන පලතුරකි. ගැමි ජනයා එය වාසනාවන්ත ගසක් ලෙසද සලකයි. එහෙත් හෙණ ගසන අවස්ථාවලදී පැණි වරකා ගසට වුවද හෙන වදින අවස්ථා ඇත. ගැමි වහරේ නිතර මේ යෙදුම භාවිත කරන්නේ කෙතරම් හොඳ යහපත් අයෙකුට වුවද කරදරයක් විය හැකි බව දැක්වීමටය.

නයාට අඳුකොළ වගේ

අඳුකොළවලින් නික්මෙන ගන්ධය නයාට අප්‍රිය බවට අතීතයේ සිට ගැමියන් අතර විශ්වාසයක් පැවතුණි. නයා අඳුකොළවලට අකමැති සේ එකිනෙකාට අකමැති දෙදෙනෙකු හැඳින්වීම සඳහා ද මේ යෙදුම ජනවහරේ භාවිත වේ.

මාන කැලේට ගිනි ගත්තා වගේ 

මාන ඇතැම් කලාපවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තෘණ ශාකයකි. ඒවා වියළි කාලවලදී පහසුවෙන්ම ගිනි ගැනීමට ලක් වේ. ගිනි ගත් විට පාලනය කිරීමද අසීරුය. ගැමි ජනයා අතර ඕපාදූප, කේලම් වැනි දේ ද පැතිර යන්නේ එලෙසිනි. එවන් අවස්ථාවලදී ගැමියන් මේ යෙදුම භාවිතයට ගනී.

අව්වේ තිබ්බ උක් රඹ වගේ

උක් ගස්වලින් කපා වෙන්කර ගන්නා දඬු අව්වට හසුවූ විට වියළී යයි. ඒ නිසා ගැමියන් වෙහෙසට පත් වූ අයෙකුගේ ස්වභාවය දැක්වීමට මේ යෙදුම භාවිත කරයි.

අට්ටික්කා ගසේ මල් පිපෙන තුරු බලා සිටීම 

සපුෂ්ප ශාකයක් වුවද අනෙක් ශාකවල ලෙසින් අට්ටික්කා ගසේ මල් හට නොගනී. එහි ඇත්තේ විශේෂ ව්‍යුහයක් තුළ හටගන්නා පුෂ්පයන් ය. අතීත ගැමියන් මේ විද්‍යාත්මක හේතුව හරි හැටි නොදැන සිටියද අට්ටික්කා ගසේ මල් හට නොගන්නා බව දැන සිටියහ. ඒ නිසා මේ යෙදුම ඉටු නොවන දෙයක් පිළිබඳව බලා සිට එම බලපොරොත්තුව බිඳගත් අය ගැන කීමට යොදාගෙන ඇත.

කොස්නැටි පෙනෙන නොපෙනෙන ගානට

දවසේ එක් අවස්ථාවක් පිළිබඳ දැක්වීම සඳහා ගැමියන් භාවිත කළ අපූරු යෙදුමකි. පාන්දර හිරු උදාවීමට ආසන්න කාලය මෙලෙස හඳුන්වයි. මේ කාලය තුළ පවතින සිහින් එළියෙන් කොස් කොළවල නැටි යන්තමින් දැකගත හැකි නිසා මේ කියමන ගැමි ජනවහරේ භාවිත විය. 

තෝර පෙති හැකිලෙන බිං කරුවලේ

දවසේ තවත් එක් අවස්ථාවක් සොබාදහම හා බද්ධ වෙමින් ඉදිරිපත් වේ. තෝර නමින් හැඳින්වෙන ශාකයේ පත්‍ර සවස් යාමය වන විට හැකිලී යයි. ඇතැම් ප්‍රදේශවල ගැමි ජනයා ඇඳිරිවැටෙන ගොම්මන් කාලය හැඳින්වීමට මේ යෙදුම භාවිත කරන්නේ සවස් යාමය පැමිණ ඇති බව පැහැදිලි කිරීම සඳහාය.

මොර සූරන වැස්ස 

මොර යනු නටුව ශක්තිමත් ගෙඩි විශේෂයකි. සාමාන්‍ය වැස්සකදී අනෙක් ගස්වල ගෙඩි, මල් ඉදී වැටුණත් මොර ගෙඩි එලෙස වැටෙන්නේ නැත. මොර ගෙඩිත් ඒ විදියට වැටෙන තරමට අධික වර්ෂවක් පැමිණි විට ජනයා එයට මොරසූරන වැස්ස යැයි කියනු ලැබේ.

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ

අබුද්දස්ස කාලය යනු බුදු කෙනෙකුන් ලොව පහල නොවන කාලයයි. මේ කාලය ඉතා දුක්ඛිදායක කාලයක් ලෙස සලකන ගැමියන් මේ කාලයේ හටගන්නා ලබු ද තිත්ත රසයෙන් යුක්ත බව දක්වයි. එහි සත්‍ය අසත්‍යතාවය කුමක් වුවද මේ කියමනෙන් දැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ නරක කාලයක බොහෝ අවැඩදායක සිදුවීම් විය හැකි බවයි.

ඇහැළ කණුව දළුලන තුරු බලා සිටීම 

සිටුවා ඇති ඇහැළ කණුවක් දළුලන්නේ නැත. එලෙස දළුලන තෙක් බලා සිටියහොත් එය නිශ්ඵල ක්‍රියාවකි. යමෙක් කිසිදා ඉටු නොවන කරුණක් වෙනුවෙන් නිකරුණේ බලා සිටින අයුරු දුටු විට එය දැක්වීමට මෙම කියමන යොදා ගනී. 

මේ අයුරින් හෙළ ගැමි ජනවහර තුළ පරිසරය හා බැඳි කියමන් රාශියකි. ඒ සියල්ලෙන්ම ඔප් නැංවෙන්නේ ක්‍රමයෙන් අප අතරින් වියැකී යන සරල ගැමි දිවි පෙවෙතයි. ඒ වගේම පැරැන්නන් පරිසරයේ පැවති සියුම් සංසිද්ධීන් පවා තම එදිනෙදා දිවිය හා මනාව ගලපා ගත් ආකාරයයි. සරල දිවි පෙවෙත අප අතරින් ඈත්ව යන බව සැබෑවකි. එහෙත් අපුරු පරිසරය අපගෙන් ඉවත් කර තබා ගත් යුතු නැත. පරිසරය ජීවිතය හා ගලපා ගැනීමට අපට එදා මෙන් අදටත් හැකිය.

එකතු වෙන්න අපේ wachana.lk Whatsapp සමුහය වෙත

Top