මූලික අයිතිවාසිකම් හා ස්වදේශික ප්‍රජාව (පළමු කොටස) (797)

post-title

හැඳින්වීම.

“Human rights are special sort of an inalienable moral entitlement. They attach to all persons equally, by virtue of their humanity, irrespective of any race, nationality or membership of any particular social group.”

මානව හිමිකම් යන්න ඉහත ලෙස සරලව හඳුනාගත හැකි අතරම, මෙම මානව හිමිකම් වර්ථමාන සමාජ සන්දර්භය තුළ වඩාත්ම කතිකාවට ලක්වන්නාවූ විෂය ක්ෂේත්‍රයක් වී ඇතිබවද පසක් කරගත යුතුය. එවැනි පසුබිමක් තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සමාජයකට කෙතරම් වැදගත්ද යන්න තුලනාත්මකව අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත්වේ. 

මානව හිමිකම් තුළ පවතින බොහෝ ප්‍රතිපාදනයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නෛතිකව පිළිගෙන ඇත. මෙම අයිතීන් පිළිගැනීමත් ඒවාට නෛතික බලාධිකාරියක් ලබාදීමත් හරහා මෙරට ‘මූලික අයිතිවාසිකම්’ බලාත්මක වීම දැකිය හැකිය. එසේ නෛතිකව බලාත්මක වන මූලික අයිතිවාසිකම් යන්න තවදුරටත් හඳුනාගන්නා කළ මෙසේ අර්ථගන්වා ගත හැක.

“Human rights become ‘fundamental’ when they are enshrined in a constitution. When incorporated into a constitution, they can be altered only in the special manner applicable to constitution amendments…”

මෙම සන්දර්භය තුළ මූලික අයිතිවාසිකම් රාජ්‍යයක පුරවැසියන්ගේ නිදහසත්, අයිතීනූත් තහවුරු කිරීමට පවතින ප්‍රධාන නෛතික ප්‍රවේශය ලෙස හඳුනාගත හැක. එය තවත් ආකාරයකින් පවසන කළ මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හදවත බදුය. මක්නිසාදයත් හදවත නතර වූ කළ මනුෂ්‍ය ජීවිතයෙහි අවසානය ළඟාවනවා සේම මූලික අයිතිවාසිකම් ආරක්ෂා නොවන කළ පුද්ගලයන්ගේ නිදහස, ගරුත්වය මෙන්ම මනුෂ්‍යකු ලෙස ඇති අයිතීන් අහිමිව අශිෂ්ඨ සමාජයකට පිවිසීමක් බැවිනි. 

එසේම ඒ ඔස්සේ යමින් මෙරට පුරාතණයේ සිට පැවත එන ජනකණ්ඩායමක් වන ස්වදේශික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. මක්නිසාදයත් වර්ථමාන සමාජ සන්දර්හය තුළ ඔවුන්ගේ සංස්කෘතිය, විශ්වාසයන්, ඇදහිලි ඇතුළත් අයිතීන් සුරක්ෂා කර ගැනීමටත් රාජ්‍ය මෙන්ම ගෝලීයවද පැනනගින නව ප්‍රවණතාවයන් සමඟ ඒකාබද්ධව ඔවුන්ගේ ජීවිතය වඩාත් සාර්ථක කරගැනීමත් යන්න පෙරදැරිව එයට අදාළ නෛතික තත්ත්වයන් හඳුනාගැනීම වැදගත්වන නිසාවෙනි.

ස්වදේශික ප්‍රජාව හා ඔවුන්ගේ අනන්‍යයතාවය

විවිධ ඓතිහාසික මූලාශ්‍රයන් වාර්ථා කරන අන්දමට මෙරට ස්වදේශීය ප්‍රජාවගේ බිහිවීම සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. එම මතයන් කුමක් වූවත් මෙරට භූමිය තුළ ඔවුන් ඓතිහාසිකව මෙන්ම වර්ථමාන සන්දර්භය දක්වා පවත්වාගෙන එනු ලැබූ විවිධත්වයක් සහිත සංස්කෘතියක්, අනන්‍යතාවයක් පවතී. එය කුමන ආකාරයකින්වත් වර්ථමානයේදී ප්‍රතික්ෂේප කළ නොහැක. මක්නිසාදයත් එම ප්‍රජාව යනු සංඛ්‍යාවෙන් සුළුතරයක් වූවත් මෙරට භූමියේ පුරාණ හිමිකරුවන්ගේ වර්ථමාන පරම්පරාවන් බැවිනි. එසේම ඔවුන් පුරාණ සංස්කෘතිය හා අනන්‍යතාවය, සමාජීය වෙනස්කම් රැසක් වෙමින් පවතින්නාවූවද සමාජයක රැකගනිමින් ඉදිරියට යාමට කටයුතු කරනා බැව්ද දැකගත හැක. 

මෙරට තුළ මෙම ආදීවාසි ප්‍රජාවගේ අයිතීන් සම්බන්ධව සාකච්ඡා කිරීම ඉතාමත්ම වැදගත්වේ. මක්නිසාදයත් ඔවුන් මෙරට පුරවැසියන් බැවින් ඔවුන්ගේ අයිතින් සම්බන්ධව අවදානයයොමුකළ යුතු බැවිනි. තවද වර්ථමාන දේශපාලන, සමාජීය සන්දර්භය තුළ ඔවුන්ට සිඳුවන නිරන්තර ගැටළු නිරාකරණයට වගකීමක් හා වගවීමක් රාජ්‍ය පාර්ශවය සතු බැවිනි. කෙසේනමුත් මෙහිඳී විශේෂයෙන්ම දැක්විය යුත්ත නම් මෙකී ආදීවාසි ප්‍රජාව ඔවුන්ගේ සංස්කෘතිය ඇතුළුව අනන්‍යතාවය ඉදිරියට රැගෙන යාමටත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හා ඒවා භුක්තිවිදීමටත් ඔවුන්ට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සම්බන්ධව සමාජයක් ලෙස අවදානයයොමු කිරීමය.

මූලික අයිතිවාසිකම් හා ස්වදේශිය ප්‍රජාව.

මූලික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන කල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ඡේදය ප්‍රකාරව දක්වනු ලබයි. ඒ හරහා රාජ්‍යයේ ජනතාවගේ නිදහස, ගෞරවය ආරක්ෂා කිරීමට රාජ්‍ය පාර්ශවය විසින් සුරැකිය යුතු හා ප්‍රවර්ධනය කල යුත්තක් ලෙසද එහි මූලික හරය හඳුනාගත හැකිය. 

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පූර්විකාවෙ සඳහන් නිදහස, සමානාත්මතාවය, අධිකරණ ස්වාධීනතාවය මෙන්ම මූලික අයිතිවාසිකම් සහතික කිරීම තුළින් රාජ්‍යයේ ජනතාවගේ ගෞරවය හා යහපැවැත්ම තහවුරු කල හැකිය..."

එසේම මෙම වපසරිය තුළ මෙරට ස්වදේශීය ප්‍රජාවගේ අයිතීන් සම්බන්ධව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ප්‍රකාරව සාකච්ඡා කල යුතුය. එහිඳී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.(1) ව්‍යවස්ථාව නීතිය ඉදිරියේ සමානබව තහවුරු කරන අතර එය ඔස්සේ තර්ක කල හැකිවන්නේ මෙකී ආදීවාසි ජනයාද නීතිය ඉදිරියේත්, නීතියේ රැකවරණයත් සමානව ලැබිය යුතු බවය.12.(2) ව්‍යවස්ථව ප්‍රකාරව තවදුරටත් වෙනස්කොට සැලකීම තුරන් කරමින් සෑම පුරවැසියකුම විශේෂයෙන් ආගම, භාෂව, ජාතිය, වර්ගය, කුලය, ස්ත්‍රි පුරුෂභාවය මත වෙනස්කමකට ලක්නොවිය යුතුබව නෛතිකව පිළිගැනීම හඳුනාගත හැකිය. එබැවින් තර්ක කල හැකිවන්නේ ආදීවාසි ප්‍රජාව වෙත ඔවුන්ගේ භාවිතයන් හෝ වර්ගය හෝ කුමක්හෝ මත වෙනස්කමකට ලක්නොවී රාජ්‍යයේ සියළු පුරවැසියන්ට හිමි, අහිමි කල නොහැකි අයිතීන් ලැබිය යුතුබවය. 

තවදුරටත් සලකන කල 14.(1) (ආ) ප්‍රකාරව ඇති සාමකාමීම රැස්වීමේ නිදහස, 14.(1)(ඉ) ප්‍රකාරව ආගම, ලබ්ධිය විශ්වාසයන් ඇදහීම, පිළිපැදීම, ප්‍රගුණ කිරීම හා ඉගැන්වීමෙහි නිදහසද, 14.(1)(ඊ) ඇසුරෙන් ස්වකීය සංස්කෘතිය භුක්තිවිදීම හා වැඩිදියුණු කිරීමෙහි නිදහසද මූලිකවම පිළිගෙන ඇත. ඒපමණක් නොව 14.(1)(උ) ඔස්සේ නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරතවීමේ නිදහසද, 14.(1)(ඌ) මඟින් යාමේ ඊම් නිදහසත් තහවුරු කර තිබේ. ඒ ඔස්සේ තර්ක කරන කල ස්වදේශීය ප්‍රජාවගේ අයිතිවාසිකම්ද ඒ ප්‍රකාරව දැක්වෙන බවට තර්ක කල හැක.

විවිධ සංස්කෘති, විශ්වාසයන් හරහාරටපුරා විසිරි සිටින ස්වදේශීය ප්‍රජාවගේ යාමේ ඊමේ නිදහසත්, නීත්‍යානුකූල වෘත්තීයක නිරත වීමේ නිදහසත් ඒහරහා තහවුරු කලහැක. ඒ අනුව ගත්කල මෙම මූලික අයිතිවාසිකම් ප්‍රකාරව නෛතිකව ආදීවාසි ප්‍රජාව වෙතද ඔවුන්ගේ අයිතීන් තහවුරු කරඇතිබවට තර්ක කලහැක හා ඒවා භුක්තිවිදිය හැක.

රාජ්‍ය පාර්ශවය හා අයිතීන්හී සුරක්ෂිතබව.

විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් මූලික අයිතිවාසිකම් කඩවූ කල ගතහැකි ප්‍රතිකර්මයන් 17 හා 126 ව්‍යවස්ථාවන් ප්‍රකාරව දක්වනු ලබයි. කෙසේවෙතත් මෙහිදී දැක්විය යුත්තේ රාජ්‍ය පාර්ශවය වෙතින් මෙම ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කිරීම එනයින්ම වන්නේද යන්නයි. විශේෂයෙන්ම වර්ථමාන සමාජයත්සමඟ ආදීවාසි ප්‍රජාවට ඇති ඉඩම්, සංස්කෘතිය භුක්තිවිදීමේ මෙන්ම වෙනත් සියළුම ආකාරයේ 

පැතිකඩ ඔස්සේ සිඳුවන ගැටලු නිරාකරණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය විසින් ක්‍රියාකල යුතුබවය.

තවදුරටත් විග්‍රහ කරන කල මෙකී ස්වදේශීය ප්‍රජාවගේ දරුවන්ට මෙන්ම අනෙකුත් සියල්ලන්ටම අවශ්‍ය කරන්නාවූ අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කල යුතුය. එයට රාජ්‍යය පාර්ශවයට වගකීමක්ද වගවීමක්ද ඇත. ඒ ඇතුළුව ස්වදේශීය ප්‍රජාවට සිඳුවන්නවූ සියලු ආකාරයේ ආර්ථික, සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන්ද ඇති වෙනස්කොට සැළකීම් තුරන් කිරීමට අවශ්‍ය ලෙස රාජ්‍ය යාන්ත්‍රණය සකස්විය යුතුය.

එය විටෙක නිවාස, ඉඩම්, රැකියා, අධ්‍යාපනය, වෘත්තිය අධ්‍යාපනය, සනීපාරක්ෂක පහසුකම්, සංස්කෘතිය භුක්තිවිදිම මෙන්ම ආර්ථික වශයෙන් ඔවුන්ගේ ජීවිත ඉහළ නැංවිමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක විය යුතුය. ඒසේම එම ප්‍රතිපත්තීමය තීරණ ගෙන ක්‍රියාත්මක කරනා කල ඒ ඔස්සේ ආදීවාසි ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කිසිවකට බලපෑමක් හෝ කඩවීමක් නොවී ක්‍රියාත්මක විය යුතුබවට අවධාරණය කල යුතුය.

උපුටාගැනීම්

1. Iain McLean and Alistair McMillan (eds), The Concise Oxford Dictionary of Politics (second edition, Oxford University Press 2003) 251. 

2. JayampathyWickramaratne, Fundamental Rights in Sri Lanka (second edition, A Stamford Lake Publication 2006) 03.

3. SasniAmarasekara, ‘Research Proposal: The Veddas’, the Indigenous people of Sri Lanka, attitude on cultural heritage identification after relocation from their forest homeland’ (2017)Int J Sci Res Publ 7(4) <http://www.ijsrp.org/research-paper-0417.php?rp=P646308> accessed 17 March 2022. 

4. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

5. RathnayakeTharangaLakmali v. NiroshanAbeykoon and Others SC/FR Application 577/2010එස්. තුරෙයිරාජා විනිශ්චයකාරතුමා.

6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 12. (1) ව්‍යවස්ථාව.

7. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 12. (2) ව්‍යවස්ථාව.

8. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 14. (1) (අ)ව්‍යවස්ථාව.

9. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 14. (1) (ඉ)ව්‍යවස්ථාව.

10. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 14. (1) (ඊ)ව්‍යවස්ථාව.

11. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 14. (1) (උ)ව්‍යවස්ථාව.

12. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 14. (1) (ඌ)ව්‍යවස්ථාව.

13. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 17, 126 ව්‍යවස්ථාව.

14.BBC News සිංහල, ‘Sinhala’ (bbc.com,16 February 2016) <https://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160228_smbp_lanka_new_constitution_aborigines> accessed 18 March 2022. 

  • නෙවිශ්ක රුද්‍රිගු
Top