ලක්දිව කුරුඳු ඒකාධිකාරයට උරුමකම් කී යුරෝපීයයන් (718)

post-title

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝකය පුරා ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විශාල ඉල්ලුමක් පැවතුණි. ලකදිව කුරුඳු සඳහා මග විවර වීමට යුරෝපයේ පුනරුදයක් සමග ඇති වූ දේශ ගවේෂණ ක්‍රියාවලිය ඉවහල් විය. එහි දී සුවිශේෂී අවස්ථාවක් වූයේ යුරෝපා ජාතීන් ආසියාවට සම්ප්‍රාප්ත වීමයි. විශේෂයෙන් මේ අතර පෘතුගීසින් කුළුබඩු සොයා ආසියාකරයට පැමිණි ගමනේ දී ලංකාවට ද ගොඩබටහ. එකල ආසියානු රාජ්‍යයන් අතරින් උසස් ම තත්ත්වයේ කුරුඳුවලට හිමිකම් කී රට වූයේ ශ්‍රී ලංකාවයි. පෘතුගීසීන්ගේ පැමිණීමටත් පෙර සිටම මෙරට කුරුඳු ඒකාධිකාරියක් පැවතියද එය වැවිලි බෝගයක් ලෙස ක්‍රියාත්මක නොවීය. සිංහල රාජ්‍ය පාලනය තුළ කුරුඳු කර්මාන්තයේ දී සිදු කරනු ලබන එක් කාර්යයක් වූ කුරුඳු තැලීම සලාගම කුලයේ ජනයා යටතේ සිදු වූ බව බොහෝ මූලාශ්‍රයන්හි දැක්වෙන කරුණකි.



 ඒ අයුරින් ලක්දිව රජු යටතේ පැවති කුරුඳු ඒකාධිකාරය පෘතුගීසීන්ගේ ආගමනයත් සමඟ ඔවුන්ගේ බලපෑමට හසු වන අතර මුහුදුබඩ ප්‍රදේශ සිය පාලනයට නතු කර ගනිමින් කුරුඳු ඒකාධිකාරය තමන් යටතේ තබා ගැනීමට පෘතුගීසීන්ට අවශ්‍ය විය. කුරුඳු නිෂ්පාදනය ඔස්සේ ලාභ ඉපයීම අරමුණු කරගත් පෘතුගීසීන් මෙරට එතෙක් පැවති කුරුඳු නිෂ්පාදන රටාව වෙනස් කිරීමට ද පියවර ගනු ලැබී. ක්‍රි.ව. 1518 පමණ වන විට මෙරට රජු සතුව පැවති කුරුඳු ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටීමත් සමඟ පෘතුගීසීන්ට මෙරට කුරුඳු නිෂ්පාදනයෙන් විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව උදාවිය. එලෙස වෙළඳ ඒකාධිකාරය පවත්වාගැනීම සඳහා පෘතුගීසීන් ඇතැම් අවස්ථාවල දී කෲර වූ ක්‍රමෝපායන් අනුගමනය කළ අවස්ථාවන් පවා තිබී ඇත.



 ලන්දේසින්ගෙන් පසුව මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගන්නා යුරෝපා ජාතිය වන්නේ ලන්දේසීන්ය. වර්ෂ 1658 පමණ වන විට පෘතුගීසීන් සතුව මෙරට මුහුදුබඩ ප්‍රදේශවල පැවැති බලය සම්පූර්ණ වනු පාහේ බිඳ දමන ලද ලන්දේසීන් විසින් පෘතුගීසීන් යටතේ එතෙක් පැවති කුරුඳු නිෂ්පාදනයේ හා වෙළදාමේ ඒකාධිකාරය ලබා ගැනීමට සමත්විය. පෘතුගීසින් යටතේ වතු වගාවක් ලෙසින් කුරුඳු වගාව සිදු නොවූව ද ලන්දේසින් යටතේ කුරුඳු වගාවක් ලෙසින් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර ගනු ලැබීය. ඒ අනුව ලංකාවේ කොළඹ, කදිරාන, ඇවරිවත්ත, කුරුඳුවත්ත ආදී මුහුදුබඩ කලාපයේ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ලන්දේසීන් කුරුඳු වගාව වගා කටයුතු සිදුකරනු ලැබීය. එහෙත් කල් ගතවෙත්ම වෙනත් රටවලින් කුරුඳු සැපයීමත් සමග යුරෝපා වෙළෙඳපොළේ කුරුඳුවලට පැවති ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටීමක් දක්නට ලැබුණු අතර එය ලංකාවේ කුරුඳු සඳහා ද බලපානු ලැබීය. මේ තත්ත්වය හමුවේ ලන්දේසීන් විසින් තමන් සතුව පැවති කුරුඳු තොග ගිනි තබා විනාශ කිරීමටත් කුරුඳු ගෙන යන නැව් ප්‍රමාද කිරීමටත් පියවර ගනු ලැබීය. ඒ අයුරින් ගත් ක්‍රියාමාර්ග තුළින් පෙර පැවති කුරුඳු ඒකාධිකාරිය දිගින් දිගටම පවත්වාගෙන යාමට ලන්දේසීන් කටයුතු කරනු ලැබීය.



 ඉන් අනතුරුව වර්ෂ 1796 වන විට ලන්දේසීන් සතුව පැවති මුහුදුබඩ ප්‍රදේශවල බලය ඉංග්‍රීසින් සතු වීමත් සමඟ එතෙක් ලන්දේසීන් සතුව පැවැති කුරුඳු ඒකාධිකාරය ද සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටුණි. ඉංග්‍රීසි ට පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ පාලනය බිඳ වැටීමත් සමග ඇතිව තිබූ ආර්ථික පසුබෑම සමනය කර ගැනීමෙහිලා මෙරට කුරුඳු ඒකාධිකාරය හිමිවීම බලපානු ලැබීය. විශේෂයෙන් ම ඉංග්‍රීසි පාලන සමය වන විට එනම් 19 වන සියවස වන විට යුරෝපා වෙළඳපලේ කුරුඳු සඳහා වාසිදායක මිලක් පැවති අතර ඒ කාලය වන විට මෙරට කුරුඳු නිෂ්පාදනය ද ඉහළ මට්ටමක පැවතුනි. එහෙත් ලන්දේසි සමයේ මෙන්ම ඉංග්‍රීසි සමය තුළ ද කලක් ගතවන විට වෙනත් රටවල් කුරුඳු වෙළෙඳපොළ සඳහා ප්‍රවිෂ්ට වීමත් සමඟ යුරෝපා වෙළෙඳ පොළේ පැවති කුරුඳු ඉල්ලුම සීඝ්‍රයෙන් පහත යනු දක්නට ලැබුණි. ඒ වගේම කැෂියා වැනි වෙනත් ආදේශකයන් කෙරෙහි ජනයා යොමු වීමත් සමගම කුරුඳුවලට පැවති ඉල්ලුම තවදුරටත් පහත වැටුණි. දිගින් දිගටම පැවති මෙම අයහපත් තත්ත්වය හේතු කොටගෙන බ්‍රිතාන්‍යයන් විසින් ඒකාධිකාරයක් ලෙසින් පැවති කුරුඳු වගාව අතහැර දැමීමට කටයුතු කරනු ලැබීය. කෝල්බෲක් - කැමරන් ආර්ථික ප්‍රතිසංස්කරණ වල දී කුරුඳු වගාවන් පෞද්ගලික අංශයට විකුණා දැමීම සඳහා කටයුතු කරනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. දහනවවන සියවස අග භාගය වන විට යුරෝපයේ පැවති ආර්ථික පරිහාණිය ද කුරුඳුවලට තිබූ ඉල්ලම පහත වැටීමට හේතු විය. ඒ තුළින් ලංකාවේ කුරුඳු සඳහා පැවති ඉල්ලුම ද යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමින් බිඳ වැටුණි. කෙසේ වෙතත් මේ අයුරින් වසර ගණනාවක් යන තෙක්ම යුරෝපීයයන් යටතේ මෙරට කුරුඳු ඒකාධිකාරය ක්‍රියාත්මක විය.

Top