චීනය ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාර අතරින් එකකි. ඒ වගේම චීනය අද ලෝකයේ ද සුවිශේෂී රාජ්‍යයකි. ඒ රටේ ඉතිහාසය අවබෝධ කර ගැනීම වර්තමාන චීනය පිළිබඳ හඳුනා ගැනීමෙහිලා වැදගත් වේ. චීනයේ භූගෝලීය පිහිටීම, යුගකරණය, මානව වර්ගීකරණය චීන ඉතිහාසය අධ්‍යයනයෙහිලා මූලිකවම බලපාන සාධකයන් ය. ඒ අතරින් චීනයේ ජීවත් වූ ආදි මානවයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ සඳහා භාවිත කළ හැකි මූලාශ්‍රය වන්නේ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ලබා ගන්නා තොරතුරුය. ආදි මානවයන් සම්බන්ධ නවමු මතවාද ගොඩනගා ගැනීමේදී පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ලැබෙනුයේ මහඟු පිටුබලයකි.
පුරාවිද්‍යාත්මක කැණීම්වලින් චීනයේ පැරණි මානවයන් සම්බන්ධව ලැබෙන සාධක අධ්‍යයනය කිරීමේදී පැරණිතම මානවයා ලෙස සලකනු ලබන්නේ Yuan mou ( යුඈන් මෝ ) මානවයා ය. ඔහුගෙන් පසුව Lantian man චීනයේ පැරණිතම මානවයා බව සලකනු ලබයි. ඉන් අනතුරුව චීන මානව ඉතිහාසයෙහි කාල නිර්ණයට අනුව වැදගත් ම හා ප්‍රමුඛම මානවයා ලෙසින් peaking man (පීකිං මානවයා ) සැලකේ.
චීන සභ්‍යත්වය නිරන්තරයෙන් පෝෂණය ලද කහ ගංගා මිටියාවත කේන්ද්‍ර කර ගනිමින් මීට අවුරුදු ලක්ෂ හතරකට හෝ පහකට ප්‍රථමයෙන් පීකිං මානවයා ජීවත් වූ බවට සාධක 1920 ගණන්වලදී පමණ අනාවරණය කර ගෙන ඇත. ඔහු පිළිබඳ සාධක අද චීනයේ අගනුවර වශයෙන් සැලකෙන බීජිං ( Beijing ) නගරයට අයත්ව තිබූ Zhoukoudian නම් ගල් ගුහා ප්‍රදේශවලින් සොයා ගනු ලැබීය. විටින් විට කරන ලද පර්යේෂණවලින් Shaanxi, Hunan, Hubei යන ප්‍රදේශවලින් ද සාධක අනාවරණය කර ගෙන ඇත.
පීකිං මානවයාගේ ස්වරූපය පිළිබඳව අවධානය යොමු කිරීමේදී 1966 දී කරන ලද කැණීමකින් සොයා ගන්නා ලද ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම අයත් 40ක් පමණ වූ පොසිල සාධක වැදගත් වේ. හමුවන පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් පීකිං මානවයාගේ ශරීර ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කිරීමද වැදගත්ය. ඒ අනුව තරමක් දුරට මානව ලක්ෂණත්, ක්‍රමයෙන් මානව තත්ත්වයට පත් වීමේ ලක්ෂණත් පැහැදිලි වේ. පීකිං මානවයාට සාපේක්ෂ වශයෙන් කෙටි මිටි සිරුරක් තිබුණු බව සැලකේ. මුහුණ නූතන මානවයාට වඩා කෙටි වූ අතර තොල් ඉදිරියට නෙරා තිබීම දැකගත හැකිය. නළල් ප්‍රදේශය පසුපසට නැඹුරු වූ සමතලා ස්වභාවයක් ගත් අතර නිකටක් පැහැදිලිව දැකගත නොහැකිය. මොළයේ ධාරිතාව පෙර සිටි මානවයින්ට වඩා වැඩි වූ නිසාම පීකිං මානවයා දියුණු තත්ත්වයට පත් මානවයෙකු වශයෙන් ද දැක්විය හැකිය.
පීකිං මානවයාගේ ජීවන චර්යාව පිළිබඳ සාධක විමසා බැලීමේදී පුරාවිද්‍යාත්මක කැණීම්වලින් යම් යම් සාධක අනාවරණය කර ගෙන ඇත. ඒ අතර ගල් ආයුධ වැදගත් වේ. ගල් ආයුධ භාවිතයේදී වැඩි වශයෙන් දකුණු අත භාවිත කළ බව විශ්වාසයයි. පීකිං මානවයා උපකරණ සකසා ගැනීමේදී ලීවලින්, ඇටකටුවලින්, ශිලා මෙවලම්වලින් නිර්මාණය කරගත් බව දැකගත හැකිය. පීකිං මානවයා භාවිත කළ උපකරණ පිළිබඳ වරින් වර සොයා ගත් සාධක ඔස්සේ ඔහුගේ දින චර්යාව, දඩයම් කරමින් ආහාර සපයා ගත් ආකාරය පිළිබඳ යම් අදහසක් ලබා ගත් හැකිය.
පීකිං මානවයා සම්බන්ධව කතා කිරීමේදී තවත් වැදගත් කරුණක් වන්නේ ඔහුට ගින්දර සම්බන්ධයෙන් අවබෝධයක් තිබූ බවට පවතින විශ්වාසයයි. අළු ස්ථරවල සාධක zhoukoudian හි කරන ලද කැණීම්වලින් සොයා ගැනිම එහිදී වැදගත් වේ. මොහු ගල් ගුහා ආශ්‍රිතව වෙසෙමින් දඩයම ජීවනෝපාය කරගත් මානවයෙකි. මුවන් වැනි සතුන්ගේ පිළිස්සී ගිය ඇටසැකිලිවල සාධක සොයා ගැනීම එහිදී වැදගත් වේ. ඒ වගේම මෙම මානවයාට තම ජීවිතය පවත්වාගෙන යාමේදී විවිධ වන සතුන්ගේ හිරිහැර එල්ල වූ බවට ද සාධක අනාවරණය වී ඇත. ඒ වගේම පීකිං මානවයාගේ ආයු කාලය එතරම් දීර්ඝ වූ බවක් දක්නට නොවේ. මේ අවධියේ සිටි මානවයින්ගෙන් 1/3ක් පමණ අවුරුදු 14ක් පමණ කාලයක් වන්නට ප්‍රථමව මිය යන්නට ඇති බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් චීන මානව ඉතිහාසය අධ්‍යයනයෙහිලා පීකිං මානවයාට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි.