ජනගහන වයස්ගත වීම හමුවේ ශ්‍රී ලංකාව (486)

post-title

ජනගහන වයස්ගත වීම ( Population Ageing ) කාලීන වශයෙන් සමස්ත ලෝක ප්‍රජාව හමුවේම පවතින ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත් වී හමාරය. ගෝලීය වශයෙන් වුවද කලාපීය වශයෙන් වුවද දේශීය වශයෙන් වුවද එය සුළුවෙන් සැලකිය නොහැකිය. මේ ජනගහන වයස්ගත වීම එසේත් නැත්නම් වියපත්බව යනු ජන සංඛ්‍යාවක වයස්ගත වූවන්ගේ ප්‍රතිශතය රටක සමස්ත ජන සංඛ්‍යාවට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමයි. ගෝලීය වශයෙන් සලකා බැලීමේදී ප්‍රධාන වර්ගීකරණයන් ද්විත්වයක් යටතේ වැඩිහිටි ජනගහනය හඳුනාගත හැකිය.
▪️ තරුණ වැඩිහිටි - වයස අවුරුදු 60 - 74 අතර
▪️වයස්ගත වැඩිහිටි - වයස අවුරුදු 74 සහ ඊට වැඩි
එමෙන්ම රටක වියපත් ජන සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී
සාඵල්‍යතාව ( Fertility )
මාර්ථ්‍යතාව ( Mortality )
සංක්‍රමණ ( Migration )
යන නිර්ණායකයන් ත්‍රිත්වය ප්‍රධාන වශයෙන් වැදගත් වේ.


මෙහිදී ජනගහන වයස්ගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් ය. අනෙකුත් දකුණු ආසියානු රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන සංඛ්‍යාවේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවක් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන සංඛ්‍යාව ඉහළ යාම ජපානය, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටවල් වැඩිහිටි ජනගහනය නිසා වර්තමානයේ අත්විඳින වේගවත් රටාවට ආසන්න වෙමින් පවතී. එයට හේතුව ඉහළ ආයු අපේක්ෂාව හේතු කොටගෙන අවුරුදු 80 වඩා වැඩි ආයු කාලයක් ජීවත්වීමට අවස්ථාව සැලසී තිබීමයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක ආයු අපේක්ෂාව එලෙස ඉහළ අගයක් ගන්නා බැවින් වැඩිහිටි ජන සංඛ්‍යාව කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කොට දැක්විය හැකිය.
▪️අවුරුදු 60 - 70 අතර - වයස්ගත තරුණ (young old)
▪️අවුරුදු 70 - 85 අතර - වයස්ගත මහලු (Old old)
▪️ අවුරුදු 85ට වැඩි - වයස්ගතම මහලු (Oldest old)

වියපත් ජනගහනය සම්බන්ධ සංඛ්‍යාලේඛන හා වාර්තා අධ්‍යයනයේදී 1971 වන විට 6.3%ක් ලෙස පැවති වයස අවුරුදු 60 වැඩි ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය 2001 වර්ෂය වන විට 9.2% කින් වර්ධනය වී පැවතුණි. එමෙන්ම 2011 වර්ෂය වන විට එම ප්‍රතිශතය 12.5% ක් විය. එය 2041 වර්ෂය වන විට 24.8% ක පමණ ඉහළ අගයක් ගනු ඇතැයි එනම් එම වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 1/4 ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වනු ඇතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ වැඩිහිටි ජනගහනක් සහිත රටක් වී හමාරය.

තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව ජනගහන වයස්ගත වීම නම් වූ සමාජ ප්‍රශ්නය හමුවේ සමාජ ,ආර්ථික ප්‍රශ්න රාශියකටම දැනටමත් මුහුණපාමින් සිටී. ඒ අතර ප්‍රධාන ගැටලුවක් වන්නේ වයස්ගත පුද්ගලයින් උදෙසා සමාජීය හා ආර්ථික ආධාර කොතෙක් දුරට සාර්ථකව සැපයිය හැකිද යන්නයි. සංවර්ධන ඉහළ මට්ටමක පවතින රටක් නොවන නිසාම මේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් දැකිය හැකිය. එසේම නිෂ්පාදන පිරිසට වඩා පරිභෝජනය කරන්නන් ප්‍රමාණය වැඩි වීම නිසා රටෙහි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කර ගැනීම අපහසුය. ශ්‍රී ලංකාවේ උද්ධමනය සම්බන්ධයෙන් වයස්ගත ජන සංඛ්‍යාවේ ඉහළ යාම වැඩි වශයෙන් බලපෑම් කරන සාධකයක් වන්නේ එහෙයිනි. ඒ වගේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තුළ වුවද වැඩිහිටි ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් නිශ්චිත සැලසුමක් ක්‍රියාත්මක නොවේ ( විශ්‍රාම වැටුප් , අර්ථසාධක ). තවද රටක වැඩිහිටි ජන සංඛ්‍යාව අතර බොහෝ දෙනා සේවා වියුක්තිකයන් වේ. ශ්‍රී ලංකාව තුළ විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 - 60 අතර වන නිසා එම වයසින් විශ්‍රාම යන පිරිස් රටට තම ශ්‍රමය ලබා දීමට මැලිකමක් දක්වයි. ඇතැම් වැඩිහිටියන් කල් ඇතිව විශ්‍රාම යාම මගින් ද ශ්‍රම වෙළදපොළ තුළ යම් හිඟයක් ඇති වේ. ඒ වගේම සෞඛ්‍යමය වශයෙන් සලකා බැලූ විට ආයු කාලය ඉහළ ගියද වයස්ගත පිරිස් වැඩි වශයෙන් රෝගවලට ගොදුරු වීමක් හඳුනාගත හැකිය. එවන් අවස්ථාවලදී සෞඛ්‍යය පහසුකම් සැපයීමේදී වුවද ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. සමාජීය වශයෙන් තවදුරටත් සලකා බැලීමේදී වැඩිහිටියන් රැකබලා ගැනීමේ ප්‍රශ්නවලට බොහෝ අවස්ථාවල මුහුණදීමට සිදු වේ. විශේෂයෙන්ම දරුවන්ගේ වගකීම් සහිත නව ක්‍රියාකාරී ජීවන රටාව, දරුවන් රැකියාවල නිරත වීම, දරුවන් රැකියා කිරීම සඳහා දුරබැහැර ප්‍රදේශවල පදිංචියට යාම, නාගරීකරණය හමුවේ ඉදිවන මහල් නිවාසවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, දරුවන් ද ආර්ථික ප්‍රශ්වලින් පීඩිතව මානසික වශයෙන් ගැටලුකාරී තත්ත්වයන්ගෙන් පීඩා විඳීම ආදී හේතු රාශියක් නිසා ජනගහන වයස්ගත වීම ප්‍රබල ගැටලුවක් බවට පත් වෙමින් පවතී.


අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ජනගහන වයස්ගත වීමෙහි ඉහළ අගයක් ගන්නා රටක් නිසාම එම සමාජ ප්‍රශ්නය අවම කර ගැනීම සඳහා පිළියම් සෙවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එහිදී වැඩිහිටියන් කිසිවක් කළ නොහැකි පුද්ගලයන් ලෙස බැහැර නොකර තවදුරටත් ආර්ථික ක්‍රියාවලියට දායක කර ගත යුතුය. වැඩිහිටියන් සතු අත්දැකීම්, දැනුම ,කුසලතා ඵලදායී ලෙස යොදා ගැනීමට කටයුතු කළ යුතුය. නව තාක්ෂණය භාවිතයට ඔවුන්ට අවස්ථාව සලසාදිය යුතුය. ඒ වගේම වැඩිහිටි ප්‍රජාව හා තරුණ ප්‍රජාව අතර සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. වැඩිහිටියන්ට රැකවරණය ලබාදීම පවුලේ වගකීමක් බව අවධාරණය කිරීමද වැදගත්ය. ඒ වගේම ඔවුන් කෙරෙහි ආර්ථික සුරක්ෂිතභාවයක් ඇති කිරීම මගින් ද ගැටලුකාරී තත්ත්වයන් අවම කරගත හැකිය. එහිදී විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක ආදිය නිසි පරිදි ලබා දීම මෙන්ම රක්ෂණ යෝජනා ක්‍රම මගිනි දිගුකාලීන ඉතිරි කිරීමේ ක්‍රම මගින් වැඩිහිටියන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරිමට ක්‍රියා කිරීම අවශ්‍ය වේ. සෞඛ්‍යමය වශයෙන් වුවද පෝෂණ වැඩිසටහන්, සායන ආදිය ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. මේ අයුරින් සෑම අංශයකින් ම වැඩි අවධානයක් ශ්‍රි ලංකාවේ වැඩිහිටි ජනගහනය සම්බන්ධයෙන් ඇති වන ගැටලු කෙරෙහි යොමු කළහොත් යම්තාක් දුරට හෝ ජනගහන වයස්ගත වීම ලෙසින් හඳුන්වන මෙම සමාජ ප්‍රශ්නය අවම කරගත හැකිය.

Top