ශරීරයෙන් පිටත අත්දැකීම් නොහොත් OBE (306)

post-title

“මගේ ශරීරය මා සිටි ඇදෙන් ඉහළට එසවෙනවා වගේ දැනුණා.... මා කෑ ගසා හඩන්නට වුණා.... ඒත් කිසිවෙකුට ඇසුණේ නැහැ....” - OBE අත්දැකීම 

එය එක්තරා අසුන්දර වූ අඳුරු දිනයකි. මා ජීවත් වනවායැයි තවදුරටත් පසක් කළ දිනය වූයේ එදිනයි. එදා මා සිටියේ කුරුණෑගල ශික්ෂණ රෝහල් භූමියේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳක් මතය. මට දැනුණු ආකාරයට මාගේ ශරීරය මා ගිලන්ව සිටි ඇ‍‍‍දෙන් ඉහළට කෙමෙන් කෙමෙන් එසවෙනවා වගේ දැනුණා. මා දැන් ඉහළට ඇදෙමින් පවතිනවා.... මා එම ප්‍රතිකාර ඒකකයෙහි සිවිලිම තරම් ඉහළට ඇදී ගියා. මට මාව පාලනය කර ගැනීමට නොහැකි වුණා. මට එම අවස්ථාවේ දී දැනුණේ ඉතාමත්ම සැහැල්ලුවක්. මට මගේ ශරීරය පිළිබදව හැගුණේ හිස් බවක්. මා සිවිලිම ඉහළට ගොස් පහළ බලන විට මට පෙනුණේ අනෙක් ලෙඩුන්ය. ඒ විතරක් නොවෙයි මට අසන්නට ලැබුණේ ඔවුන්ගේ කෙදිරිලි හඩවල්. වේදනා සහගත කෑ ගැසීම්. එපමණක් නොවෙයි මමත් මගේ ඇදේ වැතිර සිටින බව මට දක්නට ලැබුණා. මා දුටුවා හෙදියන් ඉතා කලබලයෙන් මට ඔක්සිජන් දීමට මහන්සි ගන්නා බව. කුරුණෑගල ශික්ෂණ රෝහලේම වෛද්‍යවරියක් වූ මගේ නැන්දා ද මට ප්‍රතිකාර ලබා දීම සදහා අනෙකුත් වෛද්‍යවරුන් සමග විශාල පරිශ්‍රමයක් දරමින් මගේ හෘදය නැවත ක්‍රියා කරවීමට දැඩි උත්සාහයක් ගන්නා බව මට පෙනුණා. මගේ මව, පියා, නැගණිය මෙන්ම ඇගේ විශ්ව විද්‍යාලයේ සහෝදරියක් ද මා වැතිර සිටි ඇද අසළට වී බයෙන් හඩමින් කදුළු සලමින් අසිහියෙන් මෙන් හැසිරෙන ආකාරය දැක ගන්නට ලැබුණා. මා ඉහළ සිටිමින් කෑ ගසා හඩන්නට වුණා. ඒ කිසි දෙයක් ඔවුන්ට ඇසුණේ නැහැ. සියල්ල අදුරු වී ගියා. ..... නැවත මා ඇදෙහි සිටිනා බව දැනුනා. මට සිදුවුණු දේ කිසිවක් සිතාගන්නට නොහැකි වුණා. මට මරණයේ වේදනාව සහ භය දැනුණේ එදිනයි.

මොහොතකට කලින් මා ලැබූ එම අත්දැකීම මා හෙදියකට විස්තර කළා. නමුත් ඇය එය විශ්වාස කිරීමට මැලි වුණු අතර මගේ කතාව ඇය ගණනකට ගත්තේ නැහැ. එවිට මා ඔවුනට පැවසුවේ වෛද්‍යවරියක වූ මගේ නැන්දා සහ මා කලින් හදුනා ගෙන සිටි ප්‍රධාන හෙදියගේ නම පවසමින් ඔවුන් විසින් මට ඔක්සිජන් නළය නාසයට තැබුවා නේද කියායි. එවිටම මා අසළ සිටි තවත් හෙදියක විසින් මගේ කතාව අනුමත කොට ඉමහත් පුදුමයට පත් වී මගේ කතාව සාවධානව අසා ගෙන සිටියා....

ජීවිතය හරිම පුදුමාකාරයි. ජීවිතය හැරදා මේ කයෙන් මද වෙලාවකට වෙන්ව ගොස් නැවත ජීවත් වීමට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකිනි. ඔබට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදු වී තිබේද? එසේ වූයේ නම් එවන් අත්දැකීමකට මුහුණ දෙන අවස්ථාවේදී ඇති වන හැගීම ඔබට අමුතුවෙන් කිව යුතු නැත. මේ පිළිබද විවිධ පර්යේෂණාත්මක අධ්‍යයන වලින් සිදුවීම් දහස් ගණනක් වාර්තා කර ගැනීමට හැකි වූ අතර බොහොමයක් වාර්තා වී ඇත්තේ රෝහල් වලිනි. වසර සියයකට වැඩි කාලයක පටන් නොයෙකුත් ගවේෂකයන් විසින් මේ සම්බන්ධ තොරතුරු එකතු කරමින් දත්ත විශ්ලේෂණ වල යෙදිණි. ඒ අනුව මෙය සිරුරින් පිටත හැසිරීම් ( Out Of Body Experiences ) නමින් හදුන්වයි. මෙම අත්දැකීම් අංශ තුනක් යටතේ හදාරනු ලබන අතර මෙයට කෙටියෙන් OBE අත්දැකීම් යනුවෙන් කියනු ලබයි. 

  1. පුද්ගලයින් තම ශරීරයෙන් ඉහළට එස වෙන්නේ යැයි දැනෙන අවස්ථාවේ දී EEG හා වෙනත් උපකරණ ඇසුරින් භෞතික ශරීරයත්, අධෝරක්ත කිරණ ( Intre Red ) සංවේදී උපකරණ තුළින් ඒ අවට පරිසරයත් පරික්ෂාවට ලක් කිරීම.
  2. දුරස්ථව ඇති දෙයක් හදුනා ගැනීමට ( ESP- Extra Sensory Perception ) පරීක්ෂණ භාවිතයෙන් ඔහු දකින තොරතුරුවල නිරවද්‍යතාවය පරික්ෂා කිරීම.
  3. මෙම සංසිද්ධිය විස්තර කිරීමට භෞතික න්‍යායයන් හා මනෝ විද්‍යාත්මක න්‍යායයන් ඉදිරිපත් කළ හැකි දැයි සොයා බැලීම.

පර්යේෂණාත්මක අධ්‍යයන වලින් හෙළි වූ ආකාරයට බොහෝ පුද්ගලයන් විවිධ මාදිලියේ OBE අත්දැකීම් වලට මුහුණ දී ඇත. හදිසි වාහන අනතුරු, විදුලි සැර වැදීම, විෂක් ශරීරගත වීම, ශල්‍ය කර්මයකට භාජනය වන අවස්ථාවක දී හා මරණාසන්න අවස්ථාවක දී බොහෝ දෙනාට මෙම OBE අත්දැකීම් ලැබී ඇත. ඉතා සුලු පිරිසකට තම උවමනාවෙන් OBE අත්දැකීම් ලබා ගත හැකි බවද සොයා ගෙන තිබේ. පර්යේෂණ වලින් නිගමනය වන පරිදි තම තමාගේ ආගම් වලට ලැදිව කටයුතු කරන පුදගලයින්ගේ මේ හැකියාව වැඩි බව පෙනී ගොස් ඇත. 

කෙනෙකුට මෙහිදී ප්‍රශ්නයක් මතු විය හැකිය. එනම් මරණය යනු ශරීරයෙන් සිත වෙන්වීමක් ද? මෙම ප්‍රශ්නය පිළිබදව විග්‍රහයක යෙදෙන විට මෙය දෙආකාරයකට සාකච්ජා කළ හැකිය. එනම් ස්ථිර වශයෙන් සිත කයෙන් වෙන් වන අවස්ථාව හා තාවකාලික වශයෙන් සිත ශරීරයෙන් වෙන් වන අවස්ථාවයි. මා සදහන් කළ පූර්වෝක්ත අවස්ථාව මෙම දෙවන අවස්ථාවට අයත් වෙයි. සිත නැවත නොඑන පරිදි ශරීරයෙන් වෙන් වූ අවස්ථාව මරණය ලෙස ව්‍යවහාර කළ හැකිය. නින්දේදී සිදුවන්නේ අපගේ සිත තාවකාලික වශයෙන් භෞතික කයෙන් වෙන්ව යෑමකි. මෙසේ කය අතහැර යන සිත විද්‍යාවේ දී හදුන්වන්නේ මනෝ කාය ( Astral Body ) වශයෙනි. නින්දේ දී භෞතික කය හැර යන සිත ස්වප්න කාය වශයෙන් හදුන්වයි. නින්දේ දී භෞතික කය අතහැර යන ස්වප්න කාය තමාට රිසි තැනකට පාවී ගොස් ඒ ඒ තැන් වල හැසිර නැවත අප අවදි වීමට පෙර නැවත භෞතික කය තුළට ඇතුල් වෙයි. පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ස්වප්න කාය අවකාශයේ සැරිසරන විට දකින දේ සහ අපගේ සිතෙහි පෙර පහළ වූ ඇතැම් සිතුවිලි හා මනෝභාවයන් සිහින ලෙස පෙනෙයි.

බොහෝ විට මනෝකාය අවස්ථාවේ දී ප්‍රකෘති ඇසට පෙනෙනවාට වැඩි පෙනීමක් ලැබෙයි. එය දීප්තියෙන් හා පැහැදිලි බවින් ද වැඩිය. බිත්ති ආදිය තුළින් ද සමහර විට විනිවිද දැකිය හැකිය. බිත්ති හා වෙනත් භෞතික භාණ්ඩ මෙම සූක්ෂම ශරීරයේ ගමනට බාධාවක් නොවේ. සැහැල්ලු හා සුවදායක මානසික තත්ත්වයක් ඇති නිසා ඕනෑම දිසාවකට පහසුවෙන් චලනය විය හැකිය. එබැවින් පෙනීමට හා චලනයට භෞතික බාධක නොමැත. එහෙත් මෙම මනෝකායට භෞතික වස්තුවක් එසවීමට බොහෝ විට අසමර්ථ වන බව සොයා ගෙන ඇත. 

පූර්වෝක්තව සදහන් කළ ආකාරයට මෙම අත්දැකීමට ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදු වන අවස්ථාවන් උදා වෙයි. ඇතැම් අයෙකුට පුටුවක හෝ ඇදක හාන්සි වී ශරීරයත් සිතත් සන්සුන්ව තබා ගනිමින් OBE අත්දැකීම ලබා ගත හැකිය. අපවත් වී වදාළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් මෙම අත්දැකීම ලැබූ අයෙකි. මනෝ විද්‍යා උපදේශක ආචාර්ය ජි. හල්ගස්වත්ත මහතා උන්වහන්සේ සමග කළ සංවාදයකදී අත්දැකීමක් විස්තර කර ඇත්තේ මෙලෙසිනි.

එම හිමියන්ගේ හිතවතෙකු වූ රත්නපුර ප්‍රදේශයේ එක්තරා වෙළෙද ව්‍යාපාරික මහතෙකු හදිසියේ පෙනී සිට, ගරු ස්වාමීන් වහන්ස, මා සියලු කරදරවලින් නිදහස් වුණා. ඔබ වහන්සේට මතක් කර යන්නයි ආවේ. මම යනවා කියා යන්නට ගියේය. හා හොදයි කියා එම හිමියන් හදිසියේම එම ව්‍යාපාරික මහතා තමන් හමුවට පැමිණියේ ඇයි දැයි කියා සිතා සිටින විට විනාඩි 5ක් පමණ පසු වීමේදී වෙළෙද ව්‍යාපාරික මහතාගෙන් ඇමතුමක් ලැබුණි. එම පණිවුඩයෙන් සදහන් වූයේ ව්‍යාපාරික මහතා දැන් ටික වේලාවකට කලින් හදිසියේ මිය ගිය බවයි. 

මින් ගම්‍ය වන්නේ මරණයෙන් පසුව භෞතික කය හැරදමා මනෝ කායෙන් සැරිසරන්නට හැකි බවයි. ගරු අතිපූජ්‍ය අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් අන්තරාභවික තත්ත්වයක් ලෙස හදුන්වන අවස්ථාව මෙයයි. බුදුදහමේ මෙය හදුන්වන්නේ සම්භවේශී අවස්ථාව යනුවෙනි. එනම් උපතක් සොයන අවස්ථාවයි. OBE අත්දැකීම යම් අයෙකු වාහනයක් පැදවීමට පුරුදුවෙත්දී තමන් රියේ වහලය මත සිටින අයුරු, තනියෙන් ගමන් කරන විට, සාමාන්‍ය රැකියාවක් කරන අවස්ථාවලදී මෙම ශරීරයෙන් පිටත හැසිරීම නිරීක්ෂණය වී තිබේ. 

පැරණි ආගමික සම්ප්‍රධායන්වල සෑම පුද්ගලයෙකුටම සූක්ෂම ශරීරයක් ඇති බව කියැවේ. සමහර ආගම්වල සදහන් වන්නේ මරණයේ දී මෙම සියුම් ශරීරය ඉවත්ව යන බවත් කිසියම් තැනක උත්පත්තිය ඇති වන්නේ ඉවත්ව ගිය මෙම සියුම් ශරීරය නව ජීවියෙකුට ඇතුල් වීමෙනි. ටිබෙට් මහායාන හිමිවරුන් තමන්ගේ කෙනෙකු මිය ගිය මොහොතේදී ඔහුගේ මනෝ කායට ඊළග ආත්ම භාවයට යාම සදහා නිවැරදි මග පෙන්වීමට ආධ්‍යාත්මික අනුගමනය කරනු ලබයි. ඒවා බාඩොතෝල්ඩ් යෝග ක්‍රම නමින් හදුන්වයි. සමහර පර්යේෂකයන් මෙම සූක්ෂම ශරීරය රිදී හුයකින් ( Silver Cord ) භෞතික ශරීරයට සම්බන්ධව ඇති බවත් කොතෙක් දුර ගියත් එම සිහින් නූල 

නොකැඩී පවතින බව විශ්වාස කෙරෙයි. යම් ලෙසකින් එම නූල කැඩුනහොත් මරණය සිදු වන බවද විශ්වාස කෙරේ. 

ඔබ දන්නවාද?

සෝවියට් විද්‍යාඥයන්ගේ කර්ලියන් උපකරණයෙන් ගසක කොළයක් ජායාරූප ගත කළ විට ඉන් ලැබෙන ජායාරූපයත් කොළය බාගයක් කපා ඉවත් කළ පසු ගත් ජායාරූපයත් එතරම් වෙනසක් නොපෙන්වූවේය. ජායාරූප දෙකේම සම්පූර්ණ කොළයේ මෙන් ජායාරූපයක් අඩංගු විය. තවදුරටත් පර්යේෂණය කළ විද්‍යාඥයන්ට පැහැදිලි වූයේ සම්පූර්ණ කොළයේ ශක්ති පද්ධතිය කොළය කොටස් කපා ඉවත් කළත් වෙනස් නොවී පවතින බවයි. මනුෂ්‍ය ශරීරයේ අතක් හෝ පයක් ශල්‍ය කර්මයකින් ඉවත් කළත් එම අවයවයේ සියුම් ශරීරය පවතින බව මෙම ජායාරූපය පෙන්වයි. තවදුරටත් සියුම් අන්වීක්ෂ ආදිය ආධාර කරගෙන සෝවියට් ඇල්මා ඇටාහි කසකස්තාන කිරොව් රාජ්‍ය සරසවියේ ජීව විද්‍යාඥයින්, ජීව රසායන විද්‍යාඥයින් හා ජීව භෞතික විද්‍යාඥයින් ඇතුලු පර්යේෂක පිරිස කළ පර්යේෂණයෙන් හෙළි වූයේ මෙවන් දෙයකි. 

මිනිසා තුළත් සෑම සත්ත්වයෙකු හා ගහකොළවලටත් ඇත්තේ අණු පරමාණු වලින් සැදුණු භෞතික ශරීරයක් පමණක්ම නොවෙයි. යම් කිසි ශක්ති විශේෂයකින් සෑදුණු තවත් ශරීරයක් එම භෞතික ශරීරයේ ස්වරූපයට සමානව එය තුළම ඇත. ඔවුහු එම සූක්ෂම ශරීරයට බයෝ ප්ලාස්මික් ශරීරය යන නම දුන්නෝය. මෙය ඝන, ද්‍රව, වායු ආදියෙන් යුක්ත වූවක් නොවන අතර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා ප්ලාස්මා නම් ශක්ති විශේෂයෙන් සෑදුණක් බව ඔවුන්ගේ නිගමනයයි.

ඔබගේ මේ සූක්ෂම ශරීරය විශ්වයට සම්බන්ධ වී ඇත. ඔබ ඔබත් සමග මෙන්ම විශ්ව ශක්තිය සමග ද ගනුදෙනු කරන්නෙකි. ඒ නිසා මා ඔබට යෝජනා කරන්නේ අවිද්‍යාවෙන් බැහැරව විද්‍යාවට ඔබ යායුතුයි කියාය.

Top