wachana.lk "ජනදිවි වතගොත" සමගින් දිගහැරුණු අතීතයේ පටන්ම ප්‍රකට "හේන් කෙරුවාව" පිළිබඳ වගතුග රැගෙන පසුගිය සතියේ ලිපියේ ඉතිරි කොටස
කෝපාවිෂ්ඨයෙන් මෙන් දැවී සැලෙනා ගිණි පුළිඟු අතරින් උඩට නැගෙනා පිළිස්සුණු කොළ රොඩු මැද්දෙන් බුර බුරා නැගෙන දුම් වළළු අහස් ඉම ඩැහැගන්නේ හරියට වියරු වැටුණු සුනඛ පෝතකයෙකු මෙනි. මේ ආකාරයට පුරා දින දෙකක් හෝ තුනක් හේන්කරය ගින්නෙන් ඇවිලෙන අතර අවසානයේ ශේෂ වන්නා වූ පිළිස්සුනු කොටන් ගෙන කාගෙ කාගේත් සහයෝගය ඇතිව දඹුවැට නිමවීම සිදුවේ. දඹුවැට යන්නෙන් අදහස් කෙරෙනුයේ අලි ඇතුන්ගෙන් හේන්බිම බේරාගැනීම උදෙසා පිළිස්සුණු කොටං හෙවත් දඹු කොටං එක මත එක තබා ගංකරයේ හේන් ගොවීන් විසින් තනාගනු ලබන වැටය. එමෙන්ම ඒ වටා දඬු වැටක් නිමවා ගැනීමටද පුරාණ හේන් ගොවීහු අමතක නොකළහ. මේ අතරින් හේන් යායට ගොඩ වීම සඳහා කඩුල්ලක් හෝ දෙකක් නිසිතැන් බලා සදාගැනීම ද අනිවාර්ය කරුණකි.
දඬු වැට හා දඹු වැට තැනීමෙන් පසුව වුවද හේන් බිම සහසුද්දෙන්ම එළි පෙහෙළි වන්නේ නැත. කුඩා රොඩු කැබලි, අතු රිකිලි මෙන්ම කටු අකුල් වල සුඹුළු ශේෂව තිබිය හැකිය. එම කුණුරොඩු පහසුවෙන්ම ඉවත් කරලෑම සඳහා ගැමි ගොවියා භාවිත කරලූයේ "ගදැල්කරුව"යි. එනම් කරු තුනක් හෝ හතරක් සිටින සේ නිමවා ගත් මුසුන්නකි. එය වත්මනේ භාවිතා වන රේක්කයට සමාන උපකරණයකි.
මෙම ගදැල්කරුවෙන් කුණු රොඩු ඉවත් කරන විට හේන් බිමේ තවමත් ශේෂව ඇති හිරිකණු හා කණු මන්දවල් හමුවේ. එනම් පිළිස්සී ඇතිමුත් ඉතිරිවී ඇති ගස් වල මුල් කොටස් ය. මෙම හිරිකණු ද සහසුද්දෙටම ඉවත්කරදැමිය යුතු වේ. මන්දයත් හේනේ අස්වනු සාර වී බවබෝග නෙළීමේදී ඒවා නොපෙනීම නිසාවෙන් පා තුවාල් වීමට ඉඩ ඇති නිසාවෙනි.
හේනක ආරක්ෂාව සඳහා දඹුවැට හා දඬුවැට පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ. කටුසර බෝග රැකගැනීම උදෙසා රෑ පැල් රැකීමත් කළ යුතුම කාරියකි. ඒ සඳහා කල්තියාම තෝරාගත් තුන් කරුවක් සහිත රූස්ස ගසක පැලක් අටවාගැනීම සිදුවේ. මෙහිදී කරු තුන හරහා උමං ලී දමාගන්නා අතර එක් පසෙක කුඩා කෝඩු කැබලි අතුරා ඒ උඩින් මැටි ලා ගැනීම සිදුවේ. ඉන් පසු එ'මත කුඩා ලිපක්ද බැඳගනිමින් පියස්සට මානා හෝ කොළ අතු අතුරා වැහි, හුළං කෝඩයන්ට ඔරොත්තු දෙන ආකාරයට පැල අටවාගැනීම සිදුවේ.එම පැලේ එක් පසෙක කෝටු නොඇතිරවූ කොටසට පැදුරු කඩමාල්ලක් දාමාගනිමින් එ'මත හාන්සි වී නිශා කලට ගොඩවදින සතා සීපාවාගෙන් හේංකරය බේරාගනිමින් එක යායට පැල් රැකීම සිදුවේ. මෙම පැලට ගොඩ වීමට බොහෝවිට සාදාගනු ලබන්නේ වැල් ඉණිමගකි. පැලට ගොඩවූයායින් පසුව එම වැල් ඉණිමං කැබැල්ල උඩට ගැනීමට ගොයියෝ වගබලාගනිති.
නිකිණ්නට වැහි බිත්තර මෝරාගෙන එන කලට හේං වැපිරීමට සියල් කටයුතු ලකලෑස්ති වී හමාර කරගත යුතුය. මන්දයත් අක්වැහි ඇද හැළෙනා දොහට බෝග වැපිරීමට ගංකරයේ කවුරු කවුරුත් මුල පුරන නිසාවෙනි. එනිසා පෙර කන්නයේ අගස්මුර පූජාවෙන් පසුව ඉතිරි කරගත් මුං, මෑ, කව්පි, ඉරිඟු , මෙනේරි වැනි කටුසර බෝගයන්හි කරල් දුම්මැස්සෙන් ගෙන වෙන් වෙන් වශයෙන් බීජ කොටස් වලට වෙන් කරගැනීම කළයුතු වේ.
ඕං ඉතින් හා හා පුරා කියාලා විදානෙ උන්දෑගේ මුල්පිරීමෙන් බෝග වැපිරීම සිදුවන අතර ඉරිඟු , මුං, කව්පි, තල, වට්ටක්කා , අළුපුහුල්, ලබු, මිරිස් හා මෑකරල් වැනි ඵලදාව හටගන්නා බෝග උදේ වරුවේදීත්, මයියොක්කා , ඉන්නල, දේසල, කුකුලල, රාජල, බතල වැනි අල බහින බෝග හවහටත් සිටවනු ලැබේ. ගංකරයේ බොහෝ ඇත්තන් පවසන පරිදි ඉර නැගෙන යාමයේ සිටුවන ගස් දළුලා සාරවත් වන අතර හැන්දෑකොරේ සිටුවන බෝග වල මුල් වැඩී හොඳින් අල බසින බවද ගම්පියස් වල ඇති විශ්වාසයකි.
මෙම හේන් රකින කල පැල් කවි කීම අපූරුම සංසිද්ධියකි. පළමුවෙන්ම එක් කවියකට මුල පුරන්නේ යායේ එක් කොණකිනි. ඊට දෙවෙනි හා තුන්වැනි පද ඈඳෙන්නේ යබද පැල් කොටන් වලිනි. මෙනිසාවෙන්ම එක යායම පැල්කවි කීමට සියලුම දෙනා බැඳී සිටීම සිරිතකි. යම් හෙයකින් කවි පදයක් නොකියා සිටියහොත් යාබද පැල් වලින් හූ හඬ තලන්නටද අමතක කරන්නේ නම් නැත. නම කියාම උසුලු විසුලු කරන අතර පණිවුඩය පැලින් පැලට විදානේ උන්දෑගේ කන වැකීම නොවැලැක්විය හැකි කරුණකි. එවිට විදානේ උන්දෑගෙන් දඬුවම් ලැබීමටද සිදුවන බව ගංකරේ බොහෝ දෙනා දන්නා කරුණක්.
එක කතාවට- එක් හූවට පැල් රැකීම අනිවාර්යය සිරිතකි. මන්දයත් යම්හෙයකින් එක් පැලක ගොවියෙක්ට නින්ද ගොස් යායට සතා සීපාවා ගොඩවුවහොත් මුලු හේන් යායම විනාශ වියහැකි නිසාවෙනි. එමෙන්ම ටකපෝරු තැනීමෙන්ද හේන්කරය ආරක්ෂා කරගැනීමට හැකිවනවා සේම රාත්‍රියේදී විවිධ අනුරූ තැනින් තැන තැබීමද, ගිණි හුලු ඇවිලවීම සහ ගිණි මැහි මත ගිණි ගොඩවල් සෑදීම මගින්ද සතා සීපාවාගෙන් බෝග රැක ගැනීම ද සිදුවේ.
එමෙන්ම් පඹයන් සෑදීම, බෝග වලට ඉහළින් නූල් ඇදීම, අලිමංකඩෙහි මදු එල්ලා තිබීම, උගුල් ඇටවීම, හබක ඇටවීම, අතු මිටි බැඳීම, ළෑං ඇටවීම යනාදී සියුම් උපක්‍රම ද මේ සඳහා භාවිතා කිරීමට ගැමි ජනයා සමත් වී ඇත.
ළෑං ඇටවීම යනු කොහොල්ලෑ , දළුක්කිරි එකට මිශ්‍ර කොට ඊට කට්ටකුමංජල් උණුකර දමා තැනින් තැන රිටවල් සිටුවා එම ඇලෙන සුළු ද්‍රාවණය ඒවාගෙයි ගා තැබීමය. එවිට එම රිටවල් වල ඇලෙන කුරුල්ලන් දැක ඊට බියවී නැවත හේන්කරය ට ඇතුල්වීමෙන් වැලකීම සිදුවේ.
මීට හේන්කරයේ සෑම ගොවියෙක්ම වෙහෙස මහන්සි වී වැඩ කරති. මන්දයත් ඔවුන්ගේ සිත්වල පංගු බේරුකම් නැත. පොදුවේ මුලු හේන් යායේම ආරක්ෂාව පතා ඔවුහු ඇප කැප වෙති. යම් හෙයකින් එක හේනක ගොවියෙක් අසනීප වුවහොත් එදිනට යාබද හේන් වල ඇත්තන් එයද රැකබලාගැනීමට කැපවීම කාගේත් පොදු සිරිතකි.
කොහොමින් කොහොමින් හරි අවසානෙට බව බෝග පිරුණු හේංකරය හරි අපූරුවට සාරවත් වීම සෑම ගොවියෙකුගේම සතුටට තුඩුදෙන්නා වූ හේතුව වේ.
සුබ හෝරාවෙන් කැලෑ කෙටීමෙන් ඇරඹෙන මේ කොයි කොයි හේංකරයේ කාරියත් අවසන් වන්නේ අස්වනු නෙළා අගස්මුර පූජාව පැවැත්වීමෙනි. නොයිඳුල් මුල්ම අස්වනු කොටහ "අගස්මුරය" නමින් හැඳින්වේ.
*************
ඉතින් මේ අගස්මුර පූජාවේ රසමුසු තතු සොයා ලබන සතියේදීත් wachana.lk ගැමි දිවි වත ගොත සමගින් මුණගැසෙමු.